Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


මුදල් අච්චු ගැසීමෙන් ආර්ථිකයේ පාලන නූල කැඩිලා 


2021-10-08 14393

2020 සිට මේ දක්වා කෝටි 136,805ක් අච්චු ගහලා   

 

ඔක්තෝබර් පළමු සතියේ විතරක් බිලියන 110.58ක් අච්චු ගහලා  

 

අජිත් කබ්රාල් පැමිණි දවසේ සිට කෝටි 15,842ක් අච්චු ගහලා

 

 

 
(රජිත් කීර්ති තෙන්නකෝන්)


2021 ඔක්තෝබර් මාසයේ පළමු දින හතර ඇතුළත දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් කෝටි 11, 058 ක් (රුපියල් කෝටි එකොලොස් දහසකට වැඩි මුදලක්) අච්චු ගසා ඇත.  නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස මේ දක්වා රුපියල් කෝටි 15,842ක් අච්චු ගසා ඇත.

2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල  රුපියල් කෝටි 136,805ක් වේ. (රුපියල් 1,368,050,000,000) ඉවක් බවක් නොමැතිව මෙසේ මුදල් අච්චු ගැසීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය නූල කැඩුණු සරුංගලයක් බවට පත්වී ඇත.

රජයේ මුල්‍ය කටයුතු සහ මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් තවමත් ආර්ථික විද්‍යාඥයින්ගේ හෝ විපක්ෂයේ හෝ සිවිල් ක්‍රියාකාරීන්ගේ දැඩි අවධානයක් යොමු වී නොමැත. බොහෝ විට ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් වන්නේ මතුපිට විවේචනයක් පමණයි. රජය සිය නාස්තිකාර වියදම් දෛනිකව ඉහළ දමමින් සිටියි. එම වියදම් පියවා ගැනීමට රටේ සම්පත් කිසිදු මුල්‍ය විනිවිද භාවයකින් තොරව හිතුමතේ විකුණා දමමින් සිටියි. රටේ ආර්ථිකය දිනෙන් දින වේගයෙන් අගාධයට ඇද වැටෙමින් තිබේ. කිසිදු වග විභාගයකින් තොරව මුදල් අච්චු ගැසීම හේතුවෙන් මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා සුරංගනා කතා බවට පත් වෙමින් ඇත.

භාණ්ඩ මිල අහස උසට යමින් තිබේ.  කෘෂි නිෂ්පාදනය සඳහා රසායනික පොහොර සහ කෘෂි රසායන නොමැති වීම හේතුවෙන් රටේ මහා සාගතයක් ඇති වෙමින් ඇත. සෑම නගරයකම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පොලිම් දකින්නට ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2020 ජනවාරි 1 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල මුහුණත අගය රුපියල් බිලියන 74.74 ක් විය. එම අගය 2021 ඔක්තෝබර් මස පළමු සතිය වන විට රුපියල් බිලියන 1,442.79 කි. මහ බැංකුව  අච්චු ගසා ඇති මුදල රුපියල් බිලියන 1,368.05 ක් හෙවත් රුපියල් කෝටි එක් ලක්ෂ තිස් හයදහස් අටසීයකට අධිකය. (රුපියල් කෝටි 136,805)

Advertiesment