Monday 7th of October 2024

English Tamil
Advertiesment


කොවිඩ් වසංගතය දුරලීමේ මගේ කොටස


2021-10-04 14335

 

(ලුම්බිණි ප්‍රමෝද්‍යා ලියනගේ) 

 

ශ්‍රී ලංකාව ඇතුළුව සියලු දුප්පත් රටවල් යට කරමින් ගලායන ප්‍රබල ගැටළුවක් බවට කොවිඩ්19 වසංගතය මේ වන විටත් පත්ව ඇත. ලෝක මට්ටමේ අභියෝගයක් බවට පත්ව ඇති කොරෝනා වසංගතය ඒ ඒ රටවල ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික යන අංශවලට විවිධාකාරී ලෙසින් බල පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ දෙවන කොවිඩ් රැල්ලත් සමග ඇතිවූ අර්බුදය තුන්වන රැල්ලත් සමඟ ඉතා ව්‍යසනකාරී තත්ත්වයක් බවට පත්වී හමාරය.

නිරන්තරයෙන්ම කතා බහට ලක්කරන මරණ ගණන, ආසාධිතයින් ගණන ,රෝගී පරිසරය ගැන කතා කිරීමටත් වඩා මෙම වසංගතය හමුවේ මාගේ කොටස මාගේ යුතුකම මාගේ කාර්යභාරය නම් මාතෘකාවේ සිට අපි කාලීන අර්ථකථනයක යෙදෙමු .
        
අතීත ඉතිහාසය පිළිබඳ කළ සොයා බැලීමකදී මා හට 1917 -1920 කාලයේ දී  ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ රෝගය  පිලිබඳ තොරතුරු හමුවිය.ඒ පිළිබඳව අපේ පැරැන්නන් වුවද තතු කියනු ඇත.

එය අප මෙවැනි ව්‍යසනයකට ප්‍රායෝගික ලෙස මුහුණ දුන් මෑත කාලීන ඉතිහාසගත සිදුවීමකි. එහෙත් ඊට වෙනස්ව උච්චාවචනය වෙමින් ගමන් ගන්නා කොවිඩ් තුන්වන රැල්ලක් මේ වන විටත් අප වටා ගෙතී අවසානය. 

ඊට විසඳුමක් ලෙස දියත් කල එන්නත්කරණය මේ වන විටත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ එන්නත්කරණ ක්‍රියාවලිය මුළු ජනගහනයෙන්  60% ක් දක්වාවත්  සම්පූර්ණ කරගතහොත් ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කරගත හැකි බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.
        
එන්නත්කරණය සිදුකල අය අතර පවා මෙම රෝගය තවදුරටත් පැතිර යා හැකි නමුත් එන්නත්කරණය හමුවේ ප්‍රතිශක්තිකරණය හා මරණයට පත්වීමේ ප්‍රතිශතය අඩු කරගත හැකි වනු ඇත.

 

 

නොවැම්බර් දෙසැම්බර් වන විට එන්නත්කරණයට මුළු ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් යොමු වුවහොත් ආසාදිතයන් ප්‍රමාණය අඩු කරගැනීම කෙසේ වෙතත් සදහටම අප හැර යන අපේ ආදරණීයයන් අප අතරම රඳවා තබා ගැනීමට  හැකි වනු ඇත. 
        
සාමාන්‍ය ජන ජීවිතයක් අපට අවශ්‍යමය. එය අපේ පොදු මතයයි. එහෙත් මේ වසංගතය හමුවේ මූලික වශයෙන් 'මාගේ වගකීම' මා විසින් හඳුනා ගනු ලැබුවාද? එසේත් නොමැති නම් කොවිඩ් මාර්ගෝපදේශ බිඳ දමා අන් අය සමග පොදු ගමනක යන්නේ දැයි සිතට එකගව විග්‍රහයක යෙදෙමු .
        
හුදෙකලාකිරීම එසේ නොමැති නම් lockdown කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම නිසා අපරදිගට සාපේක්ෂව පෙරදිග ජනතාව  සමාජ ක්‍රියාකාරීත්වයෙන් සහ සමාජයීය වශයෙන් බිඳ වැටීමකට ලක් ව ඇත. වසංගත තත්ත්වය හමුවේ සැවොම එක්ව පොදුවේ සමාජයක් ලෙස ගලා ගිය ගමනක නැවතුම මේ වකවානුවේ සනිටුහන් කර ඇත .

මින් පෙර මරණයක් වුවත් විවාහයක් වුවත් එකිනෙකාගේ දුක් ප්‍රකාශ කිරීම් සහ සතුටු සැමරුම් දින ගණනාවක් දක්වා ඇදී යයි. නමුත් පැය විසි හතරක් ඇතුළත කිසිදු ආගමික කටයුත්තකින් තොරව අප අත්හැර දමමින් ඇඳිවත පිටින් ම නැවත නොඑන ගමන් යන ප්‍රියයන් හමුවේ ජීවත් වන්නවුන් ලෙස අප කොපමණ අසරණද? එසේම මරණයකදී පවා අපේ දුක බෙදාගන්නට කිසිවකු අප වටා නොමැත.

 

 

සාමාන්‍යකරණය වෙමින් යන මෙම රටාව අනාගතය නියෝජන කරන සාමාජිකයන්ට අපරදිග සංස්කෘතිය ලෙසින්, පෞද්ගලිකත්වය පමණක් සිත්වල මුල්බැස ගත් රටාවක් වනු ඇත.

මෙම කතිකාවට එකිනෙකා තර්කානුකූල මත ගෙනහැර දක්වාවි. එහෙත් සමාජයීය වශයෙන් මේ තත්ත්වයන්  අපට ඔරොත්තු නොදෙන්නේ ශ්‍රී ලාංකික අප ලේ වලින්ම එකිනෙකා සමග යා වෙමින් ගමන් කරන ජන කණ්ඩායමක කොටස්කරුවන් නිසාවෙන්ම ය. එයින් උපදින හුදෙකලා බව අපේ සිතට ගතට නුහුරු  වනු ඇත.
       
ජෛව මානසික ත්‍රස්තවාදයක් බඳු මෙම උවදුර නිසා මානසික භීතියට පත්වන මිනිසුන් කොරෝනා හමුවේ වහලුන් බවට පත් වු ස්වභාවයක් මා සිතට හැඟෙයි .
        
මෙම රෝගය මර්දනය පිළිබඳව  මාධ්‍යයට පැමිණෙන විශේෂඥවරු විවිධ අදහස්  ඉදිරිපත් කරන අතරම තවත් වෛද්‍යවරු ඉදිරිපත් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් අදහසකි.

නම් ගම් ඉදිරිපත් නොකළ ද මෙම මත ඉදිරිපත් කිරීම හමුවේ මං මුළා වන්නේ සාමාන්‍ය ජනතාවමයි.ජෛව මානසික ත්‍රස්තවාදයක් අප සිත්වලට එබිකම් කර ඇති වග මා ඉහත දැක්වූයේ එලෙස එකිනෙකා දක්වන පරස්පර අදහස් නිසාවෙනි.

එමෙන්ම හෙළ වෙදකම සහ බටහිර වෙදකම මත අප දෝලනය නොවේද? වසංගතය දුරලීමේ කර්තව්‍යයේ දී මාගේ අදහස නම් මධ්‍යස්ත ක්‍රමවේදයකින්  ජනතාව අතරට මෙම ක්‍රමවේදයන් ගමන් කළ යුතු බවය.

එසේ නොවීම හේතු කොටගෙන ජනතාව පීඩනයටත්  ආතතියටත් පත් වේ. විවිධ සමාජ මාධ්‍ය  ගාල කඩා ගත් හරක් මෙන් කිසිම ආකාරයක නීති රෙගුලාසියකට යටත් නොවී සමාජ අභ්‍යන්තරයේ ඇති මෙම ප්‍රශ්නය තව තවත් දවා අළු කර දමන්නේ නැතිව සැබෑ කතිකාවක් නිර්මාණය කරමින් ජනතාව දැනුවත් කිරීම කල යුතුය.

එමෙන්ම රෝගී වූවකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම වැනි තොරතුරු ඉදිරිපත් කිරීමේදී  එම නිවස නම් ගම් ගමන් මාර්ගය නිවැසියන්  අපහසුතාවයට පත් නොකර තම ප්‍රවෘත්ති තොරතුරු ඉදිරිපත් කළ යුතුය. විචාර බුද්ධියෙන් මදක් නැවතී සිතන්න.එහිදී කායික පීඩාවට වඩා මානසික පීඩාව කොපමණ වැඩි විය හැකිද?
        
උගත් හෝ නූගත් වේවා මෙම ව්‍යසනය හමුවේ පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාවයි. කෙසේ කොහොම තර්ක ගෙන ආවත් එයයි ඇත්ත තත්ත්වයයි.  සමාජ මාධ්‍යයන්හි නිරත වන්නවුන් තම හෘද සාක්ෂියට තට්ටු කරගෙන බලන්න.

ඔබ  විසින් මෙම ව්‍යසනය හමුවේ 'මගේ කොටස' වෙනුවෙන් ඔබේ කැප වීමේ ප්‍රමාණය කොපමණ අගයක් ගනී ද? පසුගිය දිනෙක ජාත්‍යන්තරය පවා කතා බහට ලක්කල කාරණයක් වූයේ රෝගීන්ගේ දත්ත වාර්තා, සෞඛ්‍ය අමාත්‍යංශය සහ  පළාත් සෞඛ්‍ය කාර්යාලයන් ඉදිරිපත් කරන සංඛ්‍යාවල විශාල පරස්පර බවක් දක්නට ලැබුණු බවයි.එවිට මාධ්‍යයන් මෙම දත්තයන් සියල්ල ම එහෙන් මෙහෙන් ඇහිඳ ගනිමින් ජනතාවට පූජා කරයි .
        
උසස් නිලධාරීන්  තමන්ගේ කොටස ඉටු කළ අයුරු ප්‍රශංසනීය ලෙස පිළිගත නොහැකිය.ඒසී කාමර වල සිටින ටයි පැළඳි මහත්වරුන් මාධ්‍යයට පැමිණ පවසන්නේ ඕනෑම ස්ථානයක දී ඕනෑම පුද්ගලයකුට එන්නත්කරණය සිදු කරගත හැකි බවයි.

 

 

ජීවිතය ඉල්ලන ජනතාව විශාල ලෙස ඒකරාශී වෙමින් කුසට අහරක් නොමැතිව අව්වක් වැස්සක් නොබලා පෝලිම්වල පැය ගණනක් තෙරපී එන්නතක් වෙනුවට කොරෝනාව ද ශරීරගත කර ගනිමින් පොලිස් නිලධාරීන්ගෙන් බැණවැදීම්, බැටන් පොලු ප්‍රහාර ලබා ගනිමින් හිස් අතින් නිවෙස් කරා යයි. 

ප්‍රචාරණය නිසි ලෙස ජනතාවට ලබා දුන්නා නම් මිනිසුන් මේ ලෙස අතරමං නොවනු ඇත. ඔවුන් වසංගතය හමුවේ තමන්ගේ කාර්යය ඉටු කළ අයුරු උපහාසාත්මක ලෙස මා දකිමි.
       
රටක් පාලනය කරගෙන යන දේශපාලන අධිකාරිය විසින් තමන්ගේ අතින් ඉටුවිය යුතු යුතුකම හරියාකාරව ඉටු නොකරපු අවස්ථාද මාධ්‍යයෙන් අප නෙත ගැටුණි.
        
විටෙක දේශපාලඥයකු පැමිණ පැවසුවේ "මේක සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් විතරයි. ඕනම නම් සැනිටයිසර් බිව්ව නම් හරි යාවි."මෙවැනි විහිළු ද මෙම මාතෘකාවේ කොනක තැන්පත් කිරීම විඩාබර මනසට පුංචි  සිනහවක් ගෙන එනු ලැබේ . එපමණක් නොව මෙම ප්‍රශ්නයේ දී ගම් බිම් මට්ටමෙන් සහන මල්ල ගසා කෑ දේශපාලන හොරුන්ද අපට හසු විණි.
        
වෘත්තීය සමිති විවේචන ඉදිරිපත් කරමින් පිබිදෙනු දක්නට ලැබේ .මගේ අදහස නම් එම විවේචනවල දුර්වල තැන් හදා ගැනීමට අවශ්‍යයි. නමුදු මෙම විවේචන දුරු කොට අලුත් යෝජනා ද ඒ සමගම සාර්ථකව ඉදිරිපත් කරමින් ඔබ ඔබේ කොටස ඉටු කරනු මැනවි.

පවුලක් විදිහට අපටත් කළ හැකි කාර්යභාරයන් ඇත .උදාහරණයක් ලෙස අප රෝගයට ගොදුරු වූයේ නම් අප තවත් කෙනෙකු ගොදුරුකර ගැනීම නොකල යුතුය. මක්නිසාද යත් අප ශාරීරිකව විඳින පීඩාව තවත් අයකු නොවිදිය යුතුය .ඒ අවදානමෙන් තවත් කෙනෙකු බිය නො වැද්දිය යුතුය .මා ලද අත්දැකීමක් අනුව මෙසේ කතා කළෙමි. 
        
නිරෝධායනයට සීමා වූ දින කිහිපයේ අනෙකාගේ ඇස් වසා කොත්තු කන්න යන මිනිස්සුත්  තවමත් මෙහි ඇති  බැරෑරුම් බව තේරුම් ගෙන නොමැත. එය වසංගතය හමුවේ එක් අයෙකු විසින් වගකීම ඉටු නොකළ ,මා ඇස ගැටුණු එක් අවස්ථාවකි.

පාවිච්චියට ගත් මාස්ක්  තැන තැන දමමින් ළදරුවන් මෙන් හැසිරෙන අය නිසා මෙම ගැටලුව තවත් දුරදිග යනු ඇත . එමෙන්ම නිවසට පැමිණෙන ඥාතීන් ද දැනුවත් නැති නම් ඔවුන්ද දැනුවත් කිරීමට තරම් මේ වසංගතය හමුවේ සැවොම දැනුවත් විය යුතුමය .එවිට පවුලක් විදිහට අපි අපේ වගකීම ඉටු කළා යැයි සතුටට පත් විය හැකි වේවි.

එමෙන්ම මේ අමාරු කාලේ තමන්ගේ ගෙවත්තේ මිරිස් පැළ කිහිපයක් හෝ සිටුවා මේ ජීවිත අඩාළව යන වකවානුවේ ජීවිත පසුබිම මදක් හෝ සාධාරණීකරණය කර ගැනීමට පෞද්ගලිකව අපට යමක් කළ හැකිය.

රජයට ම දොස් පවරමින් සිටින්නේ නැතිව අල්පේච්ඡතාවයන් මේ කරදර කාලයේ නිහඬව දරාගනිමින් ජීවිත සටනට උර දෙමු .රජයක් විදිහට ලොක්ඩවුන් ඇතිකරමින් හමුදා පොලිස් ආරක්ෂක වැඩ පිළිවෙල යොදමින් මිනිස් ඒකරාශී බව අඩු කිරීමට ප්රයත්න දරයි. එහෙත් මිනිසුන් හොරෙන් හොරෙන් කෙසේ හෝ තම මල්ල තර කර ගැනීමට වෙර දරයි .'අත්‍යවශ්‍ය සේවා' පත්‍රිකා අලවා ගනිමින් සමාජ ගත වීමට වෙර දරයි.
        
රටේ බොහෝ තැන්වල 'බාර්' අඩක් විවෘත කරමින්  තම අලෙවියන් සිදු කරයි.සෞඛ්‍ය අංශ ගන්නා උත්සාහයන් "ගඟට කැපුව ඉණි මෙනි".මේවා ඇරීමට අවසර දුන්නේ කවුරුන් දැයි  කවුරුත් නොදනී.

 

 

එහෙත් අද මා මාධ්‍යයෙන් දුටුවේ මත්පැන් අලෙවි සල් අසල පොලිස් නිලධාරීන් රාජකාරියේ නියුක්තව සිටින අතරම  පිරිමින් පෝලිමේ ගොස් රහමෙර මිලදී ගැනීම් කරන ආකාරයත් එළවළු වෙළඳාමේ නියුක්ත වී සිටින ජනතාවට බැනවදිමින් ඔවුන් එළවා දමන පොලිස් නිලධාරීනුත්ය .නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතුය .එය වසංගතය දුරලීම හමුවේ 'මාගේ කොටස' වෙනුවෙන් පෙනී නොසිටි තවත් එක් අවස්ථාවකි.
        
සෞඛ්‍ය අංශයේ නිරත වූවන් මාස  ගණනාවක සිට මෙම වසංගතය හමුවේ ඉතා ලොකු කැප කිරීමක් සිදු කොට ඇත.හිස නමා අප ඔවුන්ට ආචාර කළ යුතුය. තම දරුවන් ස්වාමියන් නෑදෑයින්  අමතක කොට ඔවුන් තම රාජකාරිය වෙනුවෙන් කැපව සිටී .මෙම ලිපියේ විශේෂ සටහනක් ලෙස සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව ද තමන්ගේ වගකීම උතුම් කොට සලකා කටයුතු කිරීම පිළිබඳව නමස්කාර පූරකව සිහිපත් කරමි.

 


        
දිනකට අප 100%ක් දෛනික ක්‍රියා වල නිරත වීමට  උත්සාහ ගනී . නමුදු මේ කාල පරිච්ඡේදයේදී එම වැඩ වලින් 50%ක් කැපකොට දෛනික වැඩ වලට යොමු වෙමු. මේ ලිඛිත සටහන ඔබේ ප්‍රයෝගික ජීවිතය හා සසඳා ගලපා බලන්න .එවිට උදාහරණ සහිතව ඔබට මේ දේවල් ග්‍රහණය කළ හැකි වනු ඇත.
        
නොබෝ  දිනකදීම පෙර තිබූ සහයෝගීතාව සාමූහිකත්වය අධ්‍යාත්මික සුවය ස්වයං නිර්මාණකරණය කරා අපට ළඟා විය හැකි වේවි. ඔබ අසාර්ථක වුණා , ජීවිතයේ ආපස්සට ගියා, ව්‍යාපාර බිඳ වැටුණා , යනුවෙන් සිතා කිසි විටකත් අධෛර්යට පත් නොවන්න . එවිට එතැන රෝපණය වේව් සාර්ථකත්වය නම් සිතුවිලි  බීජය.
        
කොටින්ම  කියනවනම් නව ලිබරල්වාදයෙන් අපට කිඳා බස්සවා ඇති අවශ්‍යතා උපයෝගීතා අපට මඳක් අඩපණ කළ හැකි වූවොත් වසංගතයට නිරාවරණය වන ප්‍රමාණය හරි අඩකින් සීමාකර මාතෘකාවේ ලැගුම් ගත හැකි වනු ඇත.

සවිඥානිකව බලා මාගේ භූමිකාව , රටේ සැමගේ භූමිකාව බවට පත්කිරීමට කැපවෙමු. එය රටේ හෙට දවස වෙනුවෙනි. දණ්ඩ නීති සංග්‍රහ සිවිල් නීති සංග්‍රහ පොලිස් ආඥා පනත තිබුණත් ස්වයං වාරණයක් අපට තිබිය යුතුමය. උදාහරණයක් ලෙස කියුබාව හැම විටෙක ම රටක් ජාතියක් ලෙසට නැගී සිටියි. මේ වසංගතය හමුවේ දී පවා රටක් ලෙස ඔවුන් සාර්ථක විය.
        
මානව ශිෂ්ටාචාරය ගත්කල ඕනෑම ප්‍රජාවක තමන් හා තමන්ගේ අසල්වාසීන් තේරුම් ගැනීමට හැකියාවක් තිබිය යුතුයි .මාතෘකාවට අනුව කතිකාවත දිග හැරීමේදී අප සියලු දෙනා මම ලෙස බලන කල සැවොම අටලෝ දහමට මුහුණ දිය යුතුය.

සතර බ්‍රහ්ම විහරණය ට අනුව ජීවිත ගමන් කළ යුතුය .එකිනෙකා  ඉතා සක්‍රීය මෙන්ම ඵලදායී ලෙස මෙම රාමුවේ මාතෘකාවට අනුව වසංගතය දුරලීමට 'මගේ කොටස' අවබෝධයෙන් යුතුව ඉටු කළ යුතුව ඇත.

 

 

Advertiesment