ශ්‍රී ලංකා රජය ගෙවුණු මාස 20 ඇතුළත දී රුපියල් කෝටි 125,747 ක් (රු. 1,257,470,000,000) අච්චු ගසා ඇත. ඉවක් බවක් නොමැතිව මෙසේ මුදල් අච්චු ගැසීම හේතුවෙන් ඉතිහාසයේ දැවැන්තම මුල්‍ය අර්බුදයට ශ්‍රී ලංකාව දක්කා ගෙන ගොස් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි පිළිගත් ආයතන වෙතින් උපකාර ලබා නොගෙන රාජ්‍ය දේපල විකුණා දැමීම, ගජ මිතුරන්ට ධන උල්පත් පාදා දී භාණ්ඩාගාරය හිස් කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය තව තවත් ආගාධයට යමින් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2020 ජනවාරි 01 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල මුහුණත අගය රුපියල් බිලියන 74.74 ක් විය. 2021 සැප්තැම්බර් මස 30 වැනිදා වන විට එම අගය රුපියල් බිලියන 1,3332.21 කි. මාස 20 ට අච්චු ගසා ඇති මුදල රුපියල් බිලියන 1,257.47 ක් හෙවත් රුපියල් කෝටි එක් ලක්ෂ විසි පන් දහසකට වැඩි ය. අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වූ පසුව මේ දක්වා රුපියල් කෝටි 4784 ක් හෙවත් මත්තල ගුවන්තොටුපල සෑදීමට වැය වූ මුදලට ආසන්න මුදලක් අච්චු ගසා ඇත.
2019 ජනාධිපතිවරණයෙන් පසුව ධනවත්ම ව්‍යාපාරිකයන් පිරිසකට බදු සහන ලබාදීම හේතුවෙන් රජයේ ආදායම දැවැන්ත ලෙස පහත වැටීමෙන් වත්මන් ආර්ථික අර්බුදය ආරම්භ විය. ධනවතුන්ට බදු සහන ලබාදීම නිසා අහිමි වු ආදායම පියවා ගැනීමට රටේ ඩොලර් සංචිත ණය ගෙවීමට භාවිතා කරන ලදී. ඩොලර් සංචිත අහිමිවීම හේතුවෙන් රජය ඉන්ධන ආයනයන සඳහා ඩොලර් ගෙවීම සීමා කළේය. ඩොලර් හිඟයට පිළියමක් ලෙස පොහොර, බෙහෙත්, ආහාර, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, කෘෂි රසායන ඇතුළු භාණ්ඩ රැසක් ගෙන්වීම නතර කිරීමට රජයට සිදුව ඇත. එහි ප්‍රතිඑලයක් ලෙස රට පුරා පෝලිම් දක්නට ලැබේ.
රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම නිසා කෘෂි නිෂ්පාදනය බිඳ වැටෙමින් ඇත. සීමිත සම්පත් ප්‍රමාණය බලය සහ ධනය ඇති පිරිස් විසින් අත්පත් කර ගනිමින් ඇත. සාධාරණ වෙළෙඳ තරඟය වෙනුවට බලය මත මුදල් හුවමාරුව සිදු වෙමින් ඇත. එහි සෘජු ප්‍රතිඑලය කළු කඩ නිර්මාණයවීමය. බැංකු සහ මුල්‍ය ආයතන පද්ධතියට පරිබාහිර "කළු කඩ මුදල් වෙළෙඳ පොළක්" වේගයෙන් වර්ධනය වෙමින් තිබේ.
මුදල් අච්චු ගැසීම ජනතාවට දැනෙන ආකාරය බඩු මිල ඉහළ යාමයි. සෑම භාණ්ඩයකම මිල ඉහළ යාම වැලැක්වීමට රජයේ සහ මහ බැංකුවේ පුවත්පත් නිවේදන හෝ ගැලරි කතාවලට නොහැකිය. හිතුවක්කාරී මුදල් අච්චු ගැසීමේ විනාශකාරී පීඩනය ඉදිරි මාස දෙක ඇතුළත දී තව තවත් දැනෙනු ඇත.
Lanka Newsweek © 2024