දේශපාලන දැක්මක් සහ රට වෙනුවෙන් තමන් සිදු කළ යුතු කාර්ය භාරයක් ඇතැයි විශ්වාස කරන සහ විශ්වාස කළ සෑම චරිතයක්ම අවසානයේ ජයග්‍රහණය කරනු ඇත්තේ හෝ පරාජයට පත් වනු ඇත්තේ තමන් අත්පත් කර ගත් බලය මත නොව තම හෘද සාක්කිය ඉදිරියේදීය. වෙනත් ආකාරයකට කියන්නේ නම්, බලය ලබා ගන්නා ආකාරය සහ එම බලය ක්‍රියාවේ යොදවා ඇති ආකාරය අනුවය.
ශ්‍රී ලංකා දේශපාලන සිතියම මැනවින් පිරික්සා බලන්නෙකුට ඒ බව හොඳින් හඳුනා ගත හැකිය. ඒ අතර රටේ අගමැති තනතුර සඳහා දෙවරක්ම සූදානම් වන ලෙස ආරාධනය ලැබ තිබියදීත් එම ආරාධනය නොතකා හැර ඇති පුද්ගලයෙකු වෙත් නම් හෙතෙම සුවිශේෂී චරිතයක් ම විය යුතුය. විශේෂයෙන්ම රට වෙනුවෙන් ඉටු කළ යුතු දැවැන්ත කාර්ය භාරයක් තමා ඉදිරියේ ඇතැයි විශ්වාස කරන චරිතයක් සහ ඒ වෙනුවෙන් නොපැකිළව ක්‍රියා කළ චරිතයක් එවැන්නක් සිදු කර ඇත් නම් එවැන්නක් සුවිශේෂී චරිතයකින්ම පමණක් අපේක්ෂා කළ යුත්තකි. කරු ජයසූරිය චරිතය මේ රටේ අනෙකුත් සියලුම දේශපාලන චරිත අතරින් සුවිශේෂී චරිතයක් වන්නේ ඒ නිසාය.
ඔහු තමන් ඉදිරියේ ඇති අගමැති තනතුර එයාකාරයට දෙවරක්ම ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කර ඇත්තේ එවැනි වග කිව යුතු තනතුරකට තමා තරම් නොවෙතැයි කල්පනා කළ නිසා නොවේ. කෙතරම් බලගතු තනතුරක් වුවද එම තනතුර ලැබෙන්නට යන ආකාරය තමන්ට තරම් නොවේ යැයි හෘද සාක්ෂියට එකඟව විශ්වාස කළ නිසාය. විනයක් සහිත, ප්‍රතිපත්තිගරුක සහ මනා පෞරුෂයකින් හෙබි අයෙකුට විනා කිසිම පුද්ගල චරිතයකට එවැනි තීරණයකට එළැඹිය නොහැකිය. කරු ජයසූරිය මේ රටේ ප්‍රතිපත්තිගරුක සහ ප්‍රතාපවත් මෙන්ම අසාමාන්‍ය දේශපාලන චරිතයක් වන්නේ ද එබැවිනි. අද ඔහුගේ ඡන්ම දිනයයි.
කරු ජයසූරිය අපූර්ව දේශපාලන චරිතයකි. බලය උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානම් නොවූ සහ අදටද සූදානම් නොවන චරිතයකි. ඔහු දේශපාලනයට එන්නේ ද එක්සත් ජාතික පක්ෂය පසු පස සුවිශාල භූමිකාවකට පණ පෙවූ එන්.ජී.පී. පණ්ඩිතරත්න මහතාගේ යොමු කිරීමකිනි. ඒ බලය අපේක්ෂාවකින් තොරවය. එදා ඔහු ඊට එකඟ වන්නේ එක්සත් ජාතික පක්ෂයට මේ රටේ අනාගතය උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඇති බවද ඒ වෙනුවෙන් තම දායකත්වයද ලබා දිය යුතුව ඇතැයි ද ඔහු අවංකවම විශ්වාස කළ නිසාය.
පසුව ඔහු සක්‍රීය දේශපාලනයට යොමු කරවා ගන්නට උත්සාහ ගෙන ඇත්තේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. ඒ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර ගැනීමේ අදහසිනි. එහිදී රණසිංහ ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව වී ඇත්තේ ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක යන දෙපළ වෙනුවට අග්‍රාමාත්‍ය තනතුර කරු ජයසූරිය මහතා වෙත භාරදීමට වන බව කියැවේ.
ඒ වන විට කරු ජයසූරිය මහතා මේ රටේ ප්‍රමුඛ ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ සමාගම් පනස් දෙකක සභාපති සහ විධායක අධ්‍යක්ෂ ධුරයන් හොබ වමින් ප්‍රකට කර තිබූ ඉහළ කළමනාකරණ හැකියාව සේම පටු අරමුණුවලින් තොරව රට වෙනුවෙන් වූ තම වගකීම මැනවින් ප්‍රකට කර තිබීම ඊට බලපෑ අනෙක් හේතුව විය.
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිදු කර ඇති එම ඉල්ලීම ඉතාමත්ම කාරුණිකව සහ උපායශීලී ලෙස ප්‍රතික්ෂේප කරන කරු ජයසූරිය මහතා සක්‍රීය දේශපාලනය වෙත යොමු වෙන්නේ ඉන් පසු කාලයකදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ කොළඹ මහා නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කරමිනි. මහ ජනතාව අතරට යමින් ඉහළම මහ ජන වරමකින් කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වෙමිනි.
කරු ජයසූරිය මහතා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සමය නගර සභා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස ප්‍රකටය. ඔහු එහිදී එකී නගරාධිපති ධුරය දරන්නේද වසර එකහමාරක් තරම් කෙටි කාලයකටය. ඒ දේශපාලනයට පිවිසීමේදී තම පක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා එකඟ කර ගත් විශේෂ කොන්දේසියකට යටත්වය. එනම් තමා නගරාධිපති ධුරයට තරග කර ජයග්‍රහණය ලබා ගැනීමෙන් පසුව තම උපරිම කාර්ය භාරය ඉටු කර ධුර කාලයේ හරි අඩකදී පමණ ඉවත් වෙන බවට කරු ජයසූරිය මහතා ඉදිරිපත් කර ඇති කොන්දේසියට අනුවය. එකී කෙටි කාල සීමවක දී ඔහු කොළඹ මහ නගර සභාවට සිදු කර ඇති සුවිශේෂී කාර්ය භාරය ඇගයීමට ලක් කරනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි. ඒ 1999 වසරේ ආසියාවේ ආදර්ශමත්ම නගරය වශයෙන් කොළඹ නගරය නම් කරනු ලැබීමෙනි.
කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු නැවත තම ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත වැඩි අවධානයක් යොමු කරවීම කරු ජයසූරිය මහතාගේ අභිප්‍රාය වී ඇතත් ඒ කාලයේදී එළැඹුණ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පක්ෂය විසින් ගනු ලැබූ තීන්දුවට අවනත වීමට ඔහුට සිදු වී තිබේ. එම කාර්ය පක්ෂය වෙනුවෙන් අත්නොහැරිය යුතු වගකීමක් බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දී තිබීම ඊට හේතුව වී ඇත.
ඒ අනුව ගත් එම තීරණයෙන් ඔහු මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ වඩා ස්ථාවර කිරීමට ද හේතුවක් වූ බව ඉතා පැහැදිලිය. එම කාල වකවානුව එක්සත් ජාතික පක්ෂයේ අතීත ස්වර්ණමය යුගයකට පසු එළැඹ තිබූ තවත් එක් දුෂ්කර කාල පරිච්ඡේදයක් විය. බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ගත කළ ඒ කාල වකවානුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධනය උදෙසා කැප කරන්නට කරු ජයසූරිය මහතාට සිදු විය. ඒ වන විටත් ඔහු කටයුතු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙනි. එම කාල සීමාව ඇතුළත 1999 වසරේ දී එළැඹුණ ජනාධිපතිවරණයට තරග කළ එක්සත් ජාතික පක්ෂ නායකයා පරාජයට පත් වීමත් සමග නැවත ජයග්‍රාහී පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ස්ථාවරව ඉදිරියට ගෙන යාමේ අභියෝගය හමුවේ කරු ජයසූරිය මහතාගේ කර මත තව තවත් වගකීම් බහුල විය. එම වගකීම කවර අභියෝග හමුවේ වුවද ඉටු කළ යුතු වගකීමක් ලෙස ඔහු සැලකීය. 1999 වසරේදී පැවැති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ නම් අග්‍රාමාත්‍යවරයා වශයෙන් කරු ජයසූරිය මහතා පත් කරන බවට එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීන්දු කර තිබීමද ඊට තවත් හේතුවක් වූවා විය හැකිය.
2000 වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැති මහා මැතිවරණයට තරග කරන්නට පක්ෂය මගින් කරු ජයසූරිය මහතා යොමු කරවන්නේ ගම්පහ දිස්ත්‍රික්කය වෙතය. එම මහා මැතිවරණයේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වන්නේ ඉහළම මනාප ප්‍රමාණයක් ද ලබා ගනිමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ජනතාව හමුවේ ඉටු කළ යුතු වගකීම සේම පක්ෂයේ උන්නතිය උදෙසා තමන් වෙත පැවරී ඇති කාර්ය භාරයද දෙවුර මත තබා ගත් කරු ජයසූරිය මහතා සැබවින්ම දෙකොන පත්තු වන විලක්කුවකට මැදි වූ මිනිසකු බවටද ඒ අනුව පත් විය.
එවකට පාලන බලය තිබූ රජයේ මර්දනයට එරෙහිව නොබියව පෙනී සිටීමටද, ඒ වන විටත් පක්ෂ අභ්‍යන්තරයේ මතුව පැවති අර්බුද හමුවේ ඊට විසඳුම් සෙවීමටද ඒවා සමහන් කර ගනිමින් ශක්තිමත් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ගොඩ නැඟීමේ සටනට උරදීමට ඔහුට සිදු විය. 2001 වසරේදී නුවර සිට කොළඹ දක්වා සිදු කළ දැවැන්ත පා ගමන අතරතුර වෙඩි උණ්ඩ සහ කඳුළු ගෑස් මැද එදා ඔහු ප්‍රදර්ශනය කළ වික්‍රමාන්විත පෙනී සිටීම පාක්ෂිකයන් අතර මහත් අභිමානයක් ඇති කරලීය. සැම විටම මහත්මා දේශපාලනය විශ්වාස කරමින් එම ප්‍රතිපත්ති අත් නොහැර වැළඳ ගෙන සිටි කරු ජයසූරිය මහතාට එම කාලය අලුත් අත්දැකීම් ලබා දුන් කාල වකවානුවක් විය. ඉන් අනතුරුව 2002 වසරේදී පැවැති ජන බල මෙහෙයුමේදී ද එල්ල වූ බාධක, තර්ජන සහ මර්දනය හමුවේ ද එවැනි ම වූ අත්දැකීමකට මැදි වන්නට ඔහුට සිදු විය.
ඒ වන විටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ උදෙසා ක්‍රියාකාරී සේම නායකත්ව භූමිකාවකද නිරත වෙමින් සිටි කරු ජයසූරිය මහතා මේ රටේ සිවිල් සමාජ සංවිධාන සහ මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික නායකයන් සමගද පුළුල් සංවාදයක නිරත විය. මේ රටේ සිවිල් සමාජ සංවිධාන සමග පුළුල් සහයෝගයකින් කටයුතු කරමින් සිටි කරු ජයසූරිය මහතාට විශේෂයෙන්ම මහා සංඝරත්නයෙන් ලැබුණ ආශිර්වාදය එදා සේම අදටද එක සේ නොවෙනස්ව පවතී.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකාය ආරක්ෂක සභාවේ සභාපති ධුරය දීර්ඝ කාලයක් මුළුල්ලේ අදටද හොබවමින් සිටින්නේ ඔහුය. ඊට අමතරව සියම් මහා නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වන්ගෙන් ද, අමරපුර මහා සංඝ සභාව සහ රාමඤ්ඤ මහා නිකායෙන්ද ඔහු වෙත ප්‍රදානය කර ඇති ගෞරව නාමයන් ඊට නිදසුන්ය. කරු ජයසූරිය මහතාට ලැබී ඇති ගෞරව නාමයන් සැලකීමේදී එම ගෞරව නාමයන් ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවීමද විශේෂත්වයකි. ඉන්දියාවේ අබ්දුල් කලාම් ආයතනය මගින් ප්‍රදානය කරන ලද ආසියාවේ අභිමානය සම්මානය සේම ජපන් රජය මගින් පිරිනමන උදාවන සූර්යයා සම්මානය ද ඒ අතර වීම විශේෂය. ජපානය සිය සුවිශේෂී විදෙස් මිතුරන් සඳහා පිරිනමන උසස්ම සම්මානය වන උදාවන සූර්යයා සම්මානයෙන් පුදනු ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වන්නේද කරු ජයසූරිය මහතාය.
පෞද්ගලික අංශයේ ප්‍රමුඛ සමාගම් පනස් දෙකක ප්‍රධානියා ලෙස ඉහළම සාර්ථකත්වයක් ලබා තිබීම මගින් අත්දැකීම්වලින් පරිපූර්ණව සිටි කරු ජයසූරිය මහතාට රාජ්‍ය පාලනයට සම්බන්ධවීමෙන් පසුව පැවරුණු වගකීම්වලින්ද උපරිම සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට අපහසු නොවීය. විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීම ලබද්දී මුළු රටම දැවැන්ත විදුලි හිඟයකට මුහුණ දෙමින් අඳුරේ පවතිද්දී එම අභියෝගයට මුහුණ දුන් හෙතම එම අභියෝගය ජය ගත්තේ ඔහු ලබා දුන් නියමිත දිනයට පෙර අදාළ ප්‍රශ්නය සාර්ථකව නිම කිරීමට තමන්ට නොහැකි වුව හොත් තමන් දරන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන බවට පොරොන්දු වෙමින් එම දුෂ්කර ඉලක්කය සාර්ථකව නිමා කරවමිනි.
පසු කලෙක රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ සමය මේ රටේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය වඩ වඩාත් සක්‍රීය වීමටද ඔහුගේ නායකත්වය බලවත් සාධකයක් විය. ඒ බව රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා අදටත් සිහිපත් කරන සත්‍යයකි. බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස ඔහු විසින් ඉටු කරන ලද කාර්ය භාරය මේ රටේ මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේද ඉමහත් ඇගයුමට ලක් විය. සමස්තයක් වශයෙන් ගත් කළ කරු ජයසූරිය මහතා හොබ වන ලද සෑම අමාත්‍ය තනතුරකටම අදාළවද ඔහු ලබා දුන් සේවය අදටත් බොහෝ දෙනෙකු සිහිපත් කරන්නේ අතිශය ගෞරවයකිනි.
තොරතුරු දැන ගැනීම සඳහා වන අයිතිය මහ ජනාවට ලබාදීමට ඔහු කළ පුරෝගාමී කැපකිරීමද ඒ අතරට එක් වන්නකි. කරු ජයසූරිය මහතා ක්‍රියාකාරී දේශපාලනයට සමුදීමට පෙර හොබ වනු ලැබූ පාර්ලිමේන්තුවේ කතා නායක භූමිකාව නොමැකෙන මතක සටහන් රැසක්ම ඉතිරි කර තිබුණි. සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ඉහළින්ම ඔසවා තබන්නට සේම ඊට එරෙහිව මතු වන කවර හෝ අභියෝගයන් හමුවේ ඍජු ලෙස නිර්භීතව පෙනී සිටීමට ඔහු අභ්‍යන්තරයේ වූ දැවැන්ත පෞරුෂය මේ රටේ අනාගත කතානායකවරුන්ටද පූර්වාදර්ශ සපයනු නොවනුමානය. කතානායකවරයා ලෙස ඔහුගේ මැදිහත්වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ද, පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැක ගනිමින් මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රැකදීමට පමණක්ම සීමා වූවක් නොවීය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සුභසාධනය සහ කාර්යක්ෂමතාවය ඉහළ නංවාලීම වෙනුවෙන් කරු ජයසූරිය මහතා සිදු කර ඇති මැදිහත්වීම වචනයේ සැබෑ අරුතට අනුව අසමසමය.
කරු ජයසූරිය මහතාගේ ජීවිතයේ උසස් පෞරුෂයක් ප්‍රදර්ශනය කළ තීරණාත්මක අවස්ථා දෙකක් පිළිබඳවද අවධානය යොමු කළ යුතුමය. ඉන් එක අවස්ථාවක් වන්නේ රට වෙළා ගෙන පැවැති බිහිසුණු ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම සඳහා ගෙන ගිය දීර්ඝ කාලීන යුද්ධය සාර්ථක අවසානයක් කරා ගෙන ඒමට දේශපාලනික වශයෙන් ඔහු ලබා දුන් දායකත්වයයි. ඒ සඳහා ඔහු සිය දේශපාලන ප්‍රතිවාදියා පවා වැළඳ ගනු ලැබීය. ඒ ඔස්සේ ඔහු ප්‍රදර්ශනය කළ විශේෂිතම ගුණාංගය වන්නේ තමන්ගේ එම තීරණය තමන් නියෝජනය කරන ලද එක්සත් ජාතික පක්ෂයට පැහැදිලිවම දැනුම් දී යුද්ධය සාර්ථක අවසානයක් කරා ගමන් කරවීමෙන් පසු තමන් තවදුරටත් ආණ්ඩුවට සහාය නොදක්වන බවට පැහැදිලි පොරොන්දුවක්ද ලබා දෙමින් ඒ සඳහා යොමු වීමය.
ඔහු එම පොරොන්දුව අකුරටම ඉටු කළා පමණක් නොව කරු ජයසූරිය මහතාගේ එම තීරණයට පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයද ගරුත්වයක් පළ කරන ලද බව මෙහිදී අවධාරණය කළ යුතුය. යුද්ධය අවසන් අදියරට එළැඹෙමින් ජයග්‍රහණය ප්‍රත්‍යක්ෂයක් බවට තහවුරු වූ මොහොතේ ඔහු ආණ්ඩුවෙන් ඉවත් වී නැවත පැමිණෙන තුරු එක්සත් ජාතික පක්ෂය ඔහු කලින් දරමින් සිටි නියෝජ්‍ය නායක පදවිය හිස්ව තබා ගැනීමද ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ දිනට පසු දිනම නැවත කරු ජයසූරිය මහතාට එම තනතුර ගෞරවාන්විතව පිරිනැමීම මගින් ද ඒ බව සනාථ වේ.
දෙවැනි අවස්ථාව වන්නේ කරු ජයසූරිය මහතා කතානායකවරයා වශයෙන් කටයුතු කළ සමයේදී රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලෙස ජනාධිපතිවරයා විසින් පුන පුනා කරන ලද ඉල්ලීම දැඩි ස්ථාවරයකින් යුතුව ඉතාමත්ම නිහතමානී ලෙස ප්‍රතික්ෂේප කිරීමය. එම සිද්ධිය ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තිමය ආචාර ධර්මයන් ඉතාමත්ම ඉහළින් ප්‍රකට කළ තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. බලය උදෙසා ප්‍රතිපත්ති විරහිතව ඕනෑම ක්‍රියා මාර්ගයකට යොමු වන දේශපාලකයන් බහුල ශ්‍රී ලංකාවේ දේශපාලනය ක්ෂේත්‍රයේ කරු ජයසූරිය මහතා තමන් වෙත ලබා දෙන්නට යන රටේ ඉහළම තනතුරත් එයාකාරයෙන් දෙවන වරටද ප්‍රතික්ෂේප කරන ලද්දේ එම තනතුර ලැබෙන්නට යන ආකාරය තමන්ගේ ගෞරවයට තරම් නොවන බව විශ්වාස කළ නිසාය.
අතිමහත් බහුතරයක් දෙනා බලය උදෙසා දේශපාලනයේදී ඕනෑම පහත් ක්‍රියාවක් වුව කරන්නට දෙවරක් සිතා නොබලන රටක කරු ජයසූරිය මහතා ප්‍රදර්ශනය කළ එකී ස්ථාවරය අතිශයින්ම ගරු කටයුතුය. ඔහු තම දේශපාලන දිවිය පුරා දැරූ තනතුරු මගින් ලැබුණු වැටුප් පුද්ගලික ප්‍රයෝජනයට ගෙන නොතිබීමද තමන්ට නිත්‍යානුකූලව හිමි වන වාහන බලපත්‍ර වාර හතකදීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් ලෙසටද ඔහු මේ රටට විරල ආදර්ශයක් සපයා තිබේ. මේ රටට තව තවත් අවශ්‍ය වන්නේද අද වන විට අතිශයින්ම දුර්ලභ වී ඇත්තේ ද එවන් වූ මහත්මා ගුණ සපිරි නිකළැල් දේශපාලනඥයන්ය.
කරු ජයසූරිය මහතාණෙනි, ඔබට සුබ උපන්දිනයක් වේවා..!
Lanka Newsweek © 2024