Monday 7th of October 2024

English Tamil
Advertiesment


චීන අසූචි බුදින්නන් පරදවමු


2021-09-28 14332

 

චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත්

 

සියලුම ශ්‍රී ලංකා පුරවැසියන් වෙත යොමු කරන විවෘත ලිපියයි

 

 
(රජිත් කීර්ති තෙන්නකෝන්)

 

චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත්වී ඇත. පසුගිය ඉරිදා මේ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත වාර්තා කර ඇත. කෙසේ නමුත්, සඳුදා (27) සිට  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත චීන අසූචි පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලපෑම් කරමින් සිටී.

කෘෂිකර්මය යනු විද්‍යාවකි. එම කෘෂි විද්‍යාව දැනුම සහ දත්ත මත විනා ලැබෙන කොමිස් ප්‍රමාණය මත ලන්සු තබා ලක්බීමේ සරු පොළොව දුෂණය කිරීමට උත්සහ දරන ගිජුලිහිණියන්ගේ අවශ්‍යතාවයන් මත විනාශයට යා නොදී රැක ගත යුතුව ඇත. වත්මන් කෘෂිකර්ම ලේකම්වරයා උත්සහ දරන්නේ කෙසේ හෝ ඉදිරි සතිය ඇතුළතදී රටට චීන අසූචි මෙට්ට්‍රික් ටොන් 20,000ක් ගොඩ බෑමටය. මේ වන වට මේ අසූචි තොගය ශ්‍රී ලංකාව බලා නැව් මගින් රැගෙන එමින් තිබේ. මෙම පොහොර තොගයේ සාම්පල ගණනාවක් මේ වන විට ලෝකය පුරා පරීක්ෂාවට ලක් කර ඇත.

2021 සැප්තැම්බර 22 වැනිදා මෙරටට ආනයනය කර ශ්‍රී ලංකාවේ සිදු කළ දෙවන පරීක්ෂණයෙන් අනාවරණය වූයේ එම චීන අසූචි පොහොරවල බැක්ටීරියා අන්තර්ගත බවය. බැසිලස් බැක්ටීරියා විශේෂ එහි අඩංගු වේ. චීන අසූචි පොහොර ගොඩ බෑමට ඉඩ දෙන ලෙස  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ට පාර්ශව රැසකින් බලපෑම් එල්ල වී ඇත්තේ මෙවැනි පරිසරයකය.

මේ චීන අසූචි කන්දට කර ගසා සිටින්නේ 2021.05.10 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, නිල් මැදුර ශ්‍රවණාගාරයේ පෙරවරු 9.30 ට පැවති රැස්වීමට එදා කාබනික පොහොර ආනයන සමාගමක් වෙනුවෙන් සහභාගි වූ සහ මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් දරන නිලධාරියෙකි. ඔහු ඉටු කරමින් සිටින්නේ දේශපාලන අවශ්‍යතාවයකි. මෙම දූෂිත සන්ධානයේ සිටින්නේ, ආණ්ඩුවට කාබනික වගා සංකල්පය අලෙවි කළ ව්‍යාපාරිකයෙකු, භික්ෂූන් වහන්සේ නමක් සහ වෛද්‍ය වෘත්තීය සමිති නායකයෙකුය. 

ඔබ හොදින්ම දන්නා පරිදි, හිටපු කෘෂිකර්ම ලේකම්වරයාට සිය ලේකම් ධූරය අහිමි වූයේ අවිද්‍යාව මත කොමිස් කාක්කන්ට ඉඩ ලබාදීම ඔහු විසින් සිදු නොකළ බැවිනි. එදා ද මම ඔබට මෙලෙසම ඒ අවනඩුව කීවෙමි. පළමු වටයේ කිසිවෙකුගෙන් වත් විරෝධයක් එල්ල නොවීය. දෙවැනි වටයේ ඔබ ඊට එරෙහිව විරෝධය පළ කරන විට අදාළ කෘෂිකර්ම ලේකම්වරයාට ඔහුගේ ධූරය අහිමිවී අවසන්ය.

කෘෂි උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්, වෘත්තිකයින් පමණක් නොව කෘෂිකර්මයට, පරිසරයට ආදරය කරන සියලු දෙනා මේ මොහොතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ රැකවරණය සඳහා ශක්තියක් විය යුතුව ඇත.  එසේ නොවේ නම්, හිටපු කෘෂිකර්ම ලේකම්වරයාට මේ දුෂිත සන්ධානය අත්කර දුන් ඉරණම ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද උරුම වනු ඇත.  ඔබගේ විරෝධය ජන ගත කරන්න. චීන අසූචි කන්ද ශ්‍රී ලංකාවේ හැලීමට එරෙහි වෙමු.  අපි එක්ව චීන අසූචි බුදින්නන් පරදවමු..!
 

Advertiesment