Monday 18th of October 2021

English Tamil
Advertiesment


එක නීතියක් නැත්තේ රටේ  ආණ්ඩු ගොඩක් තිබෙන නිසයි


2021-09-26 5664

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) 

 

එක රටක තිබිය යුත්තේ එරටේ සෑම පුරවැසියෙකුටම බලපාන එකම ආකාරයේ එක නීති පද්ධතියක් බව සියලු දෙනාගේ විශ්වාසයයි. ජාතියක් ගොඩනැගීමට එම තත්ත්වය ඉමහත් ලෙස හේතු පාදක වන බව පොදු පිළි ගැනීමයි. ජාතීන් වශයෙන් සාර්ථකව ගොඩනැගුණු රටවල ක්‍රියාවට නංවා ඇත්තේ එක පොදු නීති පද්ධතියකි. එම නීතිය ලොකු පොඩි භේදයකින් තොරව සියලු දෙනාට පොදුවේ බලපායි. 

ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමට ද මෙබඳු නීති පද්ධතියක අවශ්‍යතාව වර්තමානයේ දී බෙහෙවින්ම පැන නැගී තිබේ. ඊට හේතුව එක් එක් පුද්ගලයාට, එක් එක් ජන කණ්ඩායම්වලට, එක් එක් ප්‍රදේශවලට වෙන වෙන නීති ක්‍රියාත්මක වන රටක් බවට අපේ රට ක්‍රම ක්‍රමයෙන් එහෙත් ශීඝ්‍රයෙන් පත්වීමයි. මෙම ගැටලුවේ බැරෑරුම්කම කෙතෙක්ද කිව හොත් 2019 පැවැත්වූ ජනාධිපතිවරණ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂගේ සටන් පාඨය වූයේ ද  "එක රටක්-එක නීතියක්" යන්නය. 

ඒ සඳහා ඔහුට ජනවරමක් ලැබුණේ එක නීතියක් ගෙන ඒමට විධායක ජනාධිපති කෙනෙකුම අවශ්‍ය බැව මහ ජනයා පිළි ගත් නිසාය. ගෝඨාභය රාජපක්‍ෂ දිවුරුම් දුන් අවස්ථාවේ කරන ලද කතාවේදී ද එක රටක් එක නීතියක් ස්ථාපිත කරන බවට දිවුරුම් දුන්නේය. ඒ කතාවට මේ වන විට අවුරුදු දෙකක් ගත වී තිබේ. එම අවුරුදු දෙකේදී ම ඔහුට එම දිවුරුම ඉටු කළ නොහැකි වූවා පමණක් නොව ඔහුට එම කාර්ය භාරය කළ නොහැක්කක් ලෙස මහජනතාවගේ පිළි ගැනීම බවට පත්ව තිබේ. 

ඊට හේතුව නම් ගෙවුණු වසර දෙක ඇතුළත දී වෙනදාටත් වඩා නීතියේ බහු විධ භාවිතය නැත හොත් එක එක්කෙනාට එක එක නීති ක්‍රියාත්මක වීම ප්‍රකටව පෙනෙන බැවිනි. එසේ නම් සැමට එක නීතියක් ගෙනෙන දිවුරුම ඔහු දුන්නේ හුදු දේශපාලන විනෝදාස්වාදය ගෙන දෙන පාඨයක් පමණක් ලෙස බව මේ වන විට පිළිගන්නට සිදු වී තිබේ.

විධායක ජනාධිපතිවරයෙකුටවත් ශ්‍රී ලංකාවේ එක නීතියක් ක්‍රියාත්මක කළ නොහැක්කේ මක්නිසාද යන්න සොයා බැලිය යුතු වැදගත් ගැටලුවකි. රටක ආණ්ඩුවක් බලයට පත් වන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට පාලනය කිරීම පිණිසය. නැත හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තත්කාලයට නොගැලපේ නම් එම ව්‍යවස්ථාව වැඩි දියුණු කොට වඩා හොඳින් ජාතියක් ගොඩනැගීමටය. 

ශ්‍රී ලංකා ආණ්ඩුව සමන්විත වන්නේ විධායක ජනාධිපති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයකිනි. එම ආණ්ඩුව නිර්මාණය කර ගන්නේ මහජන ඡන්දයෙනි. ශ්‍රී ලංකාවේ මෙතෙක් ආණ්ඩු කිසිවක් එක රටක් එක නීතියක් යන අභිප්‍රාය නැත හොත් වගකීම ඉටු කිරීමට සමත් වී නැත. එබැවින් ශ්‍රී ලංකාව නීතිය අතින් අරාජික සහ හෑල්ලුවට පත් රටක් බවට පත්ව තිබේ. මෙසේ වූයේ කවර හේතු නිසාදැයි පහතින් විස්තර කෙරේ. 

අපේ රටේ ඉහත සඳහන් කළ ආකාරයේ එක මහ ආණ්ඩුවක් තිබේ. මේ ආණ්ඩුව යටතේ අධිකරණය, පරිපාලන සහ ආරක්ෂක අංශ පවතී. නීති ක්‍රියාත්මක කෙරෙනුයේ එම යාන්ත්‍රණය ඔස්සේය. එසේ නම් එම යාන්ත්‍රණයේ අඩුපාඩුවක් නිසා නීතිය බිඳ වැටී තිබේද..? ප්‍රශ්නය ඒ නොවේ. මගේ නිරීක්ෂණවලට අනුව ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ එකවර ආණ්ඩු ගණනාවක් ක්‍රියාත්මක වීමය. මහ ආණ්ඩුව මහජනයා පත් කර ගන්නා අතර තවත් ආණ්ඩු රැසක් ඒ ඒ කණ්ඩායම් විසින් පත් කර ගනු ලැබේ. ඒවා අතුරු ආණ්ඩු නොව මහ ආණ්ඩුවටත් වඩා බලවත් ආණ්ඩුය. ප්‍රශ්නය උග්‍ර වන්නේ, "හොඳටම කරන්නේ" මේ අනෙක් ආණ්ඩු විසින් වීමය. ජනාධිපතිවරයා ද අන්‍යාකාරයෙන් මේ ඇතැම් ආණ්ඩුවල පුරවැසියෙකි.

මහ ආණ්ඩුව හැරුණු විට රට පාලනය කරනු ලබන අනෙකුත් ආණ්ඩු මෙසේය. භික්ෂු ආණ්ඩුව, අන්‍යාගම් ආණ්ඩු, රජයේ වෛද්‍යවරුන්ගේ ආණ්ඩුව, ජනමාධ්‍ය ආණ්ඩුව, මුස්ලිම් පක්ෂ ආණ්ඩුව, දෙමළ පක්ෂ ආණ්ඩුව, දෙමළ වතු කම්කරු පක්ෂ ආණ්ඩුව, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ආණ්ඩුව, පොලිස් ආණ්ඩුව, පළාත් සභා මන්ත්‍රී ආණ්ඩුව, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආණ්ඩුව, ග්‍රාම සේවක ආණ්ඩුව, විදුහල්පති ආණ්ඩුව, නිලධාරී ආණ්ඩුව, දේශපාලන හෙංචයියන්ගේ ආණ්ඩුව, ධනවතුන්ගේ ආණ්ඩුව, ඥාතීන්ගේ ආණ්ඩුව සහ ජාවාරම්කරුවන්ගේ ආණ්ඩුව යනාදී වශයෙන් ඒවා හඳුනාගත හැකිය. 

මේ එක් එක් ආණ්ඩුව ශ්‍රී ලංකා මහ ආණ්ඩුවේ ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන ආණ්ඩුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් අණපනත් අනුව සාධාරණ ලෙස මහ ආණ්ඩුවට ක්‍රියාත්මක වීමට මෙම අනෙකුත් ආණ්ඩු විසින් ඉඩ දෙන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක වීමෙන් මෙම අනෙකුත් ආණ්ඩුවලට සම්බන්ධ පුද්ගලයන්ට වන හානිය වළක්වා ගැනීමට රටේ නීතියට වඩා ඉහළින් ක්‍රියාත්මක වීම මෙම අනෙක් ආණ්ඩුවල කාර්යයයි. 

එනම් නීතියට පටහැනි දේ කිරීම, ඒ සඳහා මහ ආණ්ඩුවට බලපෑම් කිරීම, මහ ආණ්ඩුව ඊට අවනත කර ගැනීම, රටේ නීතිය නොසලකා හැර සිටීම, එක පිරිසකට නැති අයිතිවාසිකම් තවත් පිරිසකට ලබා ගැනීම සහ එක නීතියක් ක්‍රියාත්මක වීමට ඉඩ නොතැබීම යනාදී ක්‍රියා විසින් මෙම අනෙකුත් ආණ්ඩු විසින් මහ ආණ්ඩුව ග්‍රහණය කර ගෙන සිටී. එබැවින් මහ ආණ්ඩුවට කර කියා ගත හැකි දෙයක් නැති තැනට පත්වේ.

මහ ආණ්ඩුවට ඉහළින් සිටින ආණ්ඩුවලට ඒවාට ආවේණික ව්‍යවස්ථාවක් සහ න්‍යාය පත්‍ර තිබේ. ඒ අනුව එම ආණ්ඩුවලට අදාළ පුරවැසියන්ගේ ආරක්ෂාව, සහනය සහ ආර්ථික සුබ සිද්ධිය ඉටුවේ. මේ පිළිබඳ නිදසුන් මෙහි නොලීවාට ශ්‍රී ලංකා පුරවැසියන් ඒ ගැන හොඳින් දැන සිටී. එම තත්ත්වය හඳුන්වා දීමට පොදුවේ භාවිත කරන පාඨය වන්නේ "අපිට එක නීතියක්-උන්ට තව නීතියක්" යන්නය. 

විවිධ කණ්ඩායම් විසින් හදා ගත් ආණ්ඩුවල පුරවැසියන් මහ ආණ්ඩුවේ නීති රීති අභිභවා ගොස් ඔවුන්ට පමණක් වාසිදායක නීති සහ ක්‍රම සම්පාදනය කර ගෙන වඩා හොඳ ජීවිත ගත කරයි. ඔවුන්ට මහ ආණ්ඩුව විසින් පනවා ඇති ඉඩම් නීති, වංචා දූෂණ නීති, පරිසර නීති, මාර්ග නීති, මත්ද්‍රව්‍ය නීති, අපරාධ නීති, ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති, කල්ලි ගැසීමට එරෙහි නීති, භෞමික අඛණ්ඩතා නීති, පුරාවස්තු නීති හෝ වෙනත් කිසිදු නීතියක් අදාළ නැත. ඔවුන් ජීවත් වන්නේ ඊට ඔබ්බෙනි. 

තවද, මහ ආණ්ඩුවේ අණසකට යටත් සාමාන්‍ය මහ ජනයාට එම අනෙකුත් ආණ්ඩුවල නීති මගින් ගෙනෙන ව්‍යසනයන්ට ගොදුරු වීමට ද සිදුවී තිබේ. එහිලා මහ ආණ්ඩුව වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කර දීමට නොහැකිව අසරණ වේ. රටක එකවර ආණ්ඩු රැසක් පවතින විට එම ජාතිය අසරණ වන්නේ එලෙසය. 

එබැවින් එක නීතියක් ගෙන ඒමට නොහැකිව මහ ආණ්ඩුවේ විධායක ජනාධිපතිවරයා ද ඉමහත් අසරණ භාවයට පත්ව ඇති සැටි කොතෙක් ද යත් හෙතෙම සිය එක නීතියක් ගෙනෙන බවට දුන් දිවුරුමේ හිරකාරයෙකු බවට පත්ව සිටී. ගෝඨාභය රාජපක්ෂට සැබවින්ම එක නීතියක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. ඒ මක්නිසාද යත් ඔහු යටතේ තිබෙන මහ ආණ්ඩුවේ ව්‍යවස්ථාවට වඩා අනෙක් ආණ්ඩුවල ව්‍යවස්ථා බලවත් කමින් වැඩි බැවිනි. එමෙන්ම ඔහු ද එම අනෙක් ආණ්ඩුවල ප්‍රධානියෙකු හෝ පුරවැසියෙකු හෝ වන බැවිනි. අපේ රටේ එක නීතියක් රජයන දවස උදා වන්නේ මහ ආණ්ඩුව බල ගන්වා අනෙකුත් ආණ්ඩු සුනු විසුණු කළ දාටය. ඒ සඳහා මහ ආණ්ඩුව සහ එහි ඥාතිමිත්‍රාදීන්ට අයත් ආණ්ඩු පළමුව විසුරුවා හැරිය යුතුය. එවිට අනෙකුත් ආණ්ඩු ද විසුරුවා හැර නිදහස් මහ ආණ්ඩුවක් නිර්මාණය කර ගත හැකි වේ. "එක රටක්-එක නීතියක්" යන්න එතෙක් හුදු වචන මාත්‍රයක් පමණි.

 
 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
නිර්මාතෘ සහ පීඨාධිපති 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
කළමනාකරණ පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
 
Advertiesment