Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


නීතිය මත පාලනය


2021-09-11 7763

 
(වික්ටර් අයිවන්)

 

ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ වන විට තිබෙන්නේ රට පාලනය කරන ආණ්ඩුවට පමණක් ජය ගත නොහැකි විරුද්ධ පක්ෂවල ද, පොදුවේ මහ ජනයාගේ ද බලවත් පොදු ජාතික උත්සහායකින් ජය ගත යුතුව තිබෙන මහා අරබුදයකය.ඒ බව තෙරුම් ගැනීමට පාලක පක්ෂය සේම විරුද්ධ පක්ෂ ද අසමත්වී තිබේ.

ශ්‍රී ලංකාව අනතුරු ඇගවීම්වලින් අවදි කළ නොහැකි ගොළු බිහිරි රටකි. වර්තමානයේ කරන දේවලට අනාගතයේ ලැබෙන ප්‍රතිඵල කල් තියා දකින්නට පුළුවන් කමක් නැති රටකි.වැරදි සිදුවූ පසු කිසි විටෙකත් ඒවා නිවරදි නොකරන රටකි. ආණ්ඩුව සිතන බව පෙනෙන්නේ ව්‍යවස්ථාපිතව තමන්ට රට පාලනය කිරීමට ලැබී තිබෙන වසර කිහිපය හොදට හෝ නරකට පාලනය කිරීමේ බලය තමන්ට තිබෙන බවය. 

විරුද්ධ පක්ෂ හිතන බව පෙනෙන්නේද ආණ්ඩුවට හොදට අනා ගන්නට ඉඩ දී 2025 එළඹෙන තෙක් බලා සිටිය යුතු බවත් එවිට බලවත් උත්සහයකින් තොරවම ආණ්ඩු බලය තමන්ගේ ඔඩොක්කුවට වැටෙනු ඇති බවත් ය.ඒ අතර වාරයේ මහා බිද වැටීමක් සිදු වුව හොත් කළ යුත්තේ කුමක් ද කියා දෙපක්ෂයම දන්නා බවක් පෙනෙන්නේ නැත. මේ පසුබිම මත අප වැනි අයට කළ හැකි ඵලදායක දෙයක් වනුයේ අනාගත ගොඩ නැගීමකට ලැබෙන ප්‍රයෝජනය සලකා ශ්‍රී ලංකාවේ අසමත් භාවය කෙරෙහි බලපෑ හේතු මහ ජනයාට පැහැදිලි කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීමය.
               

පරිකල්පනයේ දුප්පත් කම

 

නීතිය මත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක තිබිය යුතු වැදගත්ම ලක්ෂණයකි. ශ්‍රී ලංකාවට නිදහස ලැබී අවුරුදු 73 ක් තරම් දීර්ඝ කාලයක් ගෙවී තිබියදීත් එම දීර්ඝ කාලය ශ්‍රී ලංකාවෙ අප ගත කර තිබෙන්නේ නීතියෙන් තොර පාලනයකය. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ අසාර්ථක භාවය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය.

බ්‍රිතාන්‍යන්ගෙන් ලැබී තිබුණ සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ නීතිය මත පාලනයක් සදහා අවශ්‍ය සියලු ප්‍රතිපත්ති සහ විධිවිධාන ඇතුළත්ව තිබුණි. එහෙත් නිදහසින් පසුව රටේ පාලන කටයුතු සිදු වූයේ ඒ රාමුවට අනුකූලව නොවේ.1972 දී ශ්‍රීලනිප-සමගි පෙරමුනු ආණ්ඩුව කිරීටයට තිබෙන බැදීම් ඉවත් කරන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගත්තේ නීතිය මත පාලනයක් සදහා තිබිය යුතු වැදගත්ම කොන්දේසි දෙකක් ලෙස සැලකිය හැකි අධිකරණ ස්වාධීනත්වය සහ අධිකරණයට තිබුණ විමර්ශන බලය අහිමි කෙරෙන ආකාරයටය.

ඉන් පසු 1978 දී ශ්‍රී ලංකාවට සුවිශේෂ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ඇති කළේ රාජ්‍යයේ සකල විධ බලය හිමි කර ගත් ජනාධිපති නීතියට ඉහළින් තැබෙන අකාරයටය. ඔහු කරන හෝ නොකර පැහැර හරින කවර ක්‍රියාවකට වත් එරෙහිව නඩු පැවරිය නොහැකි ආකාරයේ මුක්තියක්ද ඔහු වෙත හිමි කර දෙන අකාරයටය.

 
ඩයිසිගෙ නියාය

 

නීතිය මත පාලනය පිළිබඳ ධර්මතාව බ්‍රිතාන්‍යයේ නීති සහ ව්‍යවස්ථා විශාරදයෙකු වූ ඇලබට් වී ඩයිසිගේ ය. (1835-1922) එම සංකල්පයේ ආදි කතෘ ලෙස සැල කෙන්නේ ඇරිස්ටෝටල්‍ ය. නීතිය මත පාලනය යන්නෙහි තේරුම වනුයේ රාජ්‍යයට සම්බන්ධ සියලු දෙනා නීතියට බැදී සිටින බව සහ නීතියට යටත් බවය. එසේම සියලු නිලධාරීන් ( රාජ්‍යය නායකයාගේ සිට පහළම නිලධාරියා දක්වා) නීතියෙන් දෙනු ලබන බලයේ සීමාව ඇතුළත පමණක් ක්‍රියා කළ යුතු බවය.

එහෙත් ශ්‍රී ලංකාවේ නීතිය මත පාලනය යන සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත් විකාර රූපී ආකාරයකටය.ජනාධිපති සිටින්නේ නීත්‍යට ඉහළින් වන නිසා ඔහු විසින් කරන නීති විරෝධී ක්‍රියාවලදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. ජනාධිපතිවරණයක් සදහා ප්‍රධාන අපේක්ෂකයෙකු කළ යුතු වියදම රුපියල් බිලියන 03 කි. මුදල් ලැබෙන ආකාරය හෝ වියදම් කෙරෙන ආකාරය විගණනය කෙරෙන්නේ නැත. ජනාධිපතිවරු තමන් භාරයේ තිබෙන පොදු වස්තුව තමන් වෙත හිමි කර ගන්නා අතර සිය ගජ මිතුරන් වෙතද හිමි කර දෙති.

17 වැනි සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් ජනාධිපති හීලෑ කිරීමට උත්සහා කළේ ද ඉතාමත් හාස්‍ය ජනක අකාරයකටය. එනම් ජනාධිපති නීතීයට ඉහළින් සිටින තත්ත්වය අහෝසි නොකොට බලය තුලන කරන විධිවිධාන ඇති කිරීමයි.රටේ පාලකයා නීතියට ඉහළින් සිටින්නට ඉඩ දෙන ක්‍රමය ප්‍රාජාතන්ත්‍ර විරෝධී, අශීලාචාර සහ ව්‍යවස්ථාපිත ඒකාධිපති ක්‍රමයක් බව තෙරුම් ගැනීමටවත් අද දක්වා ශ්‍රී ලංකාව සමත් වී නැත.

 
වසංගතය සහ නීතිය

 

වසංගත කාලයකදී සුළු වැරදි සදහා තොග ගණනින් රිමාන්ඩ් සිර භාරයට පත් කරීම නුසුදුසු දෙයක් බව වසංගත තත්ත්වය ඇති වූ මුල් කාලයේදීම මම ලීවෙමි. සුළු වැරදිවලට සිර ගෙවල්වල සිටින අය පවා නිදහස් කොට සිරකරුවන්ගේ ආරක්ෂාව සදහා සිර ගෙවල්වල තද බදය ලිහිල් කළ යුතුව තිබුණි. සුළු වැරදිවලදී පුද්ගලයින් අත්අඩන්ගුවට නොගෙන පොලීසියේ පරික්ෂාව යටතේ ඔවුන් නිවාස අඩස්සියේ තැබීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන තිබෙන්නේය.

එහෙත් වසංගත කාලයේදී සුළු වැරදි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් එවැනි කරුණාවන්ත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්න්ට නැත. ඒ වෙනුවට පළි ගැනීම සදහා පුද්ගලයින් අත්අඩන්ගුවට ගෙන රිමාන්ඩ් කරන අවස්ථා පෙනෙන්න්ට තිබුණි. පෙරටුගාමි පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය නායකයින් තිදෙනෙක් සහ එම පක්ෂයේ නායකයෙක් අත්අඩන්ගුවට ගෙන නිරෝධායන කදවුරුවලට යැවීමෙන් පසු ඔවුන්ට කොරෝනා වැළදී ඇති බව වාර්තා විය.

මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නීතියට තිබෙන පිළි ගැනීම මරා දැමීමි සදහා සිදු වුණු බිහිසුනුම දෙයක් වනුයේ නඩු හබ තිබු ආණ්ඩුවේ සියලු නායකයින් එම නඩුවලින් නිදහස් කිරීමට හේතු වන ලෙස ඔවුන්ට අදාළ නඩු නීතිපතිගේ නිර්දේශ මත ඉවත් කර ගැනීමය. එසේ ඉවත් කර ගත් නඩු සංඛ්‍යාව අසූවකට ආසන්න බවද වාර්තා විය.එසේ ඉවත් කර ගනු ලැබූ නඩු අතර යහ පාලන ආණ්ඩුව විසින් නොව අවුරුදු 10ක් 15ක් තරම් පැරණි නඩු ද විය. එම ක්‍රියාදාමයට අධිකරණයෙන් ද කිසිදු විරෝධයක් එල්ල වූයේ නැත. 

ඒ අනුව එම වරප්‍රසාදය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පමණක් නොව තමන්ටත් ලබා දෙන ලෙස නඩු තිබෙන පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ද ඉල්ලා සිටිය හැකිය. ඒ ඉල්ලීමද ඉටු කිරීමට ජනාධිපතිවරයාට සිදු වනු ඇති අතර එහි ප්‍ප්‍රතිඵලයක් වශයෙන් විරුද්ධ පාක්ෂිකයන්ට පමණක් ක්‍රියාත්මක පොලිසියක් සහ අධිකරණ ක්‍රමයක්ද වැඩි කල් නොගොස් මේ රටේ ස්ථාපිත වනු ඇත. මේ නින්දාසහගත තත්ත්වයට ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂය ද නීතිපති දෙපාරතමේන්තුව සහ අධිකරණය ද වග කිව යුතුය.

 
පාස්කු සිද්ධියේ පරීක්ෂණ 

 

පාස්කු ඛේදවාචකය ශ්‍රී ලංකා රාජ්‍යය උපරිම මට්ට්මකට අසමත් තත්ත්වයක පත්ව තිබෙන බව සනාථ කරන නිදර්ශන සිය ගණනක් අතරින් බලවත් ම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. පහරදීමක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව, පහරදීම සිදු වන දිනය, වේලාව සහ ඊට සම්බන්ධ අයගේ විස්තරාත්මක තොරතුරු ශ්‍රී ලංකාවේ ජාතික ඔත්තු සේවයට ඉන්දියානු ඔත්තු සේවයෙන් ලැබී තිබියදීත් ඒ ගැන කරුණු සොයා බලන තැනකට යමින් පහර දීමක් ඇතිවීම වළකා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් විය.

විශාල විනාශයක් සිදු වීමෙන් පසුද පරීක්ෂණ කටයුතු විධිමත් සහ පරිපූර්ණ අකාරයකට සිදුවී තිබෙන බවක් පෙනෙන්නේ නැත. නීතිය ක්‍රියාත්මක වීමද නිසි අකාරයකින් සිදුවී තිබෙන බවක් පෙනෙන්නේ නැත. හිටපු ආරක්ෂක ලේකම්ට සහ හිටපු පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ලොකු උනන්දුවක් දක්වා ඇතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කළ යුතු බවට ජනාධිපති කොමිෂම නිර්දේශ  කර තිබියදීත් ඒ සදහා උනන්දුවක් දක්වා තිබෙන බවක් පෙනෙන්නේ නැත. ශෙහාන් මාලක තරුණයාගේ ප්‍රකාශයෙන් පසුව ජනාධිපති කොමිෂම නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබූ උසස් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු මල් වතු නා හිමියන් හුමුවී කර තිබෙන ප්‍රකාශ පොලිසියේ විශ්වාසයට සහ ගෞරවයට හේතු නොවන බව කිව යුතුය.

පාස්කු සිද්ධිය සහ ඒ සදහා කර තිබෙන පරීක්ෂණ සමස්තයක් ලෙස ගෙන බලන විට පෙනෙන්නේ තර්කානුකූල නිගමනයන් ඇති කර ගැනීමට පුළුවන් තරමට පරීක්ෂණ කටයුතුවල සමාප්තියක් තවමත් සිදු වී නොමැති බවය. නැත හොත් පරීක්ෂාවට ලක් විය යුතු වැදගත් අගු කොන් ගණනාවක් හොදින් පරීක්ෂාවට ලක්වීමකින් තොරව ඉතිරි වී තිබෙන බවය.එම තත්ත්වය ද සිද්ධියට ගුප්ත බවක් ලබා දීමට හේතුවී තිබෙනවා විය යුතුය.

විශ්‍රාම ගිය නීතිපති සිද්ධිය පිටු පස ලොකු කුමන්ත්‍රණයක් තිබෙන බව කීවේය. ජාතික බුද්ධි ආයතනයේ හිටපු ප්‍රධානියා ( අසංග අබේගුණසේකර ) කියා තිබෙන්නේද "පාස්කු මොළකරු තව අවුරුදු 20කට වත් හෙළි නොවන බව" ය.පොලිස්පති කියා තිබෙන්නේද පාස්කු සිද්ධිය සංකීර්ණ අවුලක් බව සහ කරුණු හරි හැටි තේරුම් ගැනීමට තව කල් යනු ඇති බවය.

එසේම පහර දීම පිටු පස විදේශ  කුමන්ත්‍රණයක් තිබෙන බව ව පොලිස්පති කීවේය. එම ප්‍රකාශ සහ සිදුවී තිබෙන සියලු දේවල් එකට ගත් විට පහරදීමක් සිදු වන්නට නියමීත බව බලධාරීන් දැන ගැනීමෙන් පසුත් පහර දීමකට ඉඩ හැරීමෙන් ලබා ගත හැකි කිසියම් විශේෂ පළ ප්‍රයෝජනයක් සලකා එම පහරදීම වළකන්නට පුළුවන්කම තිබියදී එසේ කිරීමෙන් වැළකී සිටියේද කියන ප්‍රශ්නය බරපතළ ස්වරූපයකින් මතු  කිරීමට හේතු වන බව කිව යුතුය. එම සැකය සාධාරණ නොවේ නම් එම මතය දුරු කළ යුත්තේ බලධාරින්‍ ය.

 


 

Advertiesment