Tuesday 26th of October 2021

English Tamil
Advertiesment


සුනිල් කියන්නේ දැවැන්ත සංස්කෘතික විපලවකරුවෙක් 


2021-09-06 5704

හුදු සංගීතකරුවෙකු නොවෙයි 

 

සුනිල් පෙරේරා කියන්නේම සාදයක්-ප්‍රීතියක්..! 

 

කාලකණ්ණි චීන වෛරසය ලිබරල් වීරයො ඔක්කොම ඉවර කරනවා

 

 
(චින්තන ධරමදාස) 

 

සුනිල් පෙරේරා මගේ ජීවිතේට ඇතුළු වුණේ අසූ ගණන්වල. ඒ කියන්නෙ දහම් පාසැල්වලින්, ඉස්කෝලවලින් අපිට ප්‍රබුද්ධ දේවල් බලෙන් පුරුදු කරන කාලෙ. සුනිල්ගෙ පා වෙන පීරිසියක් සිංදුව තමයි මං මුලින්ම ඇහුවෙ. ලංකාවෙ ඒ කාලෙ අඟහරු ලෝකෙන් එන කුරුමිට්ටො ගැන සිංදු කියන්න කවුරුවත් හිටියෙ නෑ. ඒවටම හරියන පුදුම ප්‍රසාංගික ඉදිරිපත් කිරීම් තිබුණ. ''උඹලට වැඩක් ඇති සිංදුවක නං වචනයක්වත් මතක හිටින්නෙ නෑ'' කියල  අම්මලා බනින්න ගත්තෙ ඒ සිංදු නිකංම මුල ඉඳන් අගට කට පාඩම් හිටින හින්ද. ඕන තැනක කට ඇරපු ගමන් කියවෙන හින්ද. 

මේ ප්‍රතිසංස්කෘතියක විප්ලවීය ආභාෂයක් කියල අපි දැන ගෙන හිටියෙ නෑ. දහම් පාසල් සමිතියෙ සුනිල්ගෙ සිංදු කියන්න තහනම් කරලයි තිබුණේ. ''ඕයේ  ඔජායේ'' ආවම ඒක පිස්සුවක් වගේ හැම කොල්ලෙක්ම නට නට කියන්න ගත්තා. ඔජායේ සංස්කෘතියක් හදනවා කියල මිනිස්සු සුනිල්ට බැන්නා. සුනිල් ලුණු දෙහි ගැන, බීලා වැටෙන සයිමන්ලා ගැන, අංකල් ජොන්සන්ලා ගැන සිංදු කිව්වා. ඔහු රට වෙනස් කරන්න හෝ සාහිත්‍ය නගා සිටු වන්න හෝ සිංදු කිව්වෙ නෑ. ඔහු සිංදු කිව්වෙ අතට අහු වෙන, දකින, වදින, ඇඟේ හැපෙන ජීවිතේ ගැන. 

ප්‍රබුද්යධන්ට අහිතකර වීමට පුළුවන් කියල බය නැතුව කැසට්වල ගහලා තිබුණ ප්‍රබුද්ධයෝ කියන්නෙ ලැජ්ජා හිතෙන පිරිසක් කියන එක අපේ ඔළුවලට ගියේ ඒ වැකියෙන් වෙන්නත් පුළුවන්. සුනිල් හින්ද අපිට කිසි දවසක ප්‍රබුද්ධයෙක් වීමේ ආසාවක් නැති වුණා. සුනිල් පෙරේරා කියන්නෙ සංගීතකරුවෙක් නෙමෙයි. සුනිල් කියන්නෙ අපේ රටේ දැවැන්ත සංස්කෘතික විප්ලවකාරයෙක්. සමාජයට ඕන දේ නෙමෙයි තමන්ට ඔ්න දේ කරන්න බය නැති වුණු තනි මිනිහෙක්. අඩුම තරමේ සුගායනීය හඬක්වත් නැතුව සංගීතය කණපිට ගහපු මිනිහෙක්. නිදහස් ලිංගික ජීවිතයක්, සතුට හොයා ගෙන යන ජීවිතයක් තිබුණු ඇරියස් නැති මිනිහෙක්. හැංගිලා දේවල් කරන්නෙ නැතුව එළිපිට ජීවත් වුණ ලංකාවට ආගන්තුක ජීවියෙක්.

සුනිල් ජීවත් වුණේ ලෝකයට විවෘත සංස්කෘතියක. ඒත් සුනිල්ගේ සිංදු උඩම තලයෙ ඉඳන් පහළම මුඩුක්කුව දක්වා කණ පැලෙන්න ඇහුවා. ඕනෑම මාර ඩීසන්ට් පාටියක වුණත් අන්තිමට සුනිල්ගේ ''සික්ස්-එයිට්'' වැලක් වැදුණා. නැත්තං පාටියක් තිබුණේ නෑ වගේ. සුනිල් පෙරේරා කියන්නෙම සාදයක්. ප්‍රීතියක්. 

ඇඩ්වර්ටයිසින් කරන්න ගත්තට පස්සෙ මං ජින්ගල්වලට වැඩිපුරම ගත්තෙ සුනිල්ගෙ සිංදු. ඒවායේ ජනප්‍රියකම හින්දම ලොකු ගණන් කියන්න ලේසියෙන්ම පුළුවන් වුණත් සුනිල් ගත්තෙ හිතා ගන්නවත් බැරි තරම් පොඩි ගාණක්. ''මගේ සිංදු පුළුවන් තරම් කොපි කරනවට මං ආසයි මල්ලි...හැබැයි එක්කෙනෙකුට විතරක් රයිට්ස් දෙන්න නං බෑ...'' 

සුනිල් අයියා කිසි දවසක ලෝබ නැතුව අත දිග ඇරලා සිංදු දුන්නා. අපේ සම්භාව්‍ය සංගීතකාරයෝ තමන්ගෙ රයිට්ස්වලට නඩු දදා හිඟා කන හැටි දැක්කම සුනිල් පෙරේරා කියන්නෙ කොහොම මිනිහෙක්ද කියල මතක් වෙනවා. කොවිඩ් කාලෙත් අන්තිමට මං HIV ගැන සුනිල් එක්ක සිංදුවක් කළා. ඒ වගේ වැඩවලට ඔහු සල්ලි ගත්තෙවත් නෑ. කිසි දවසක බෑ කිව්වෙත් නෑ. සමහර විට ඒක වෙන්න ඇති සුනිල් අයියා කරපු අවසාන වැඩෙත්.

මේ කාලකණ්ණි චීන වෛරසය අපේ රටේ ලිබරල් වීරයො ඔක්කොම ඉවර කරනවා කියල මට හිතෙනවා. කිලී මහරාජා, මංගල සමරවීර, දැන් සුනිල් පෙරේරා. ඒ සංස්කෘතික අවකාශය පුරවන්න කිසි කෙනෙක් නෑ. කොරොනා ඉවර වෙද්දි මිනිස්සු ඉතුරු වෙලා හිටියත් අපිට තියෙන්නෙ මැරිච්ච රටක් කියල මට හිතෙනවා. උපන්නාට මේ ලොව වැනි වැනී අපි ජීවත් වෙයි. මේ දූපතේ ගෝත්‍රිකයො තව වැඩි වෙයි. ලෝකයක් දකින මිනිස්සු නැති වෙයි.

Advertiesment