Thursday 13th of February 2025

English Tamil
Advertiesment


එක පුද්ගලයෙකුව අලුතින් රු. 148,000ක ණය කාරයෙකු කරලා


2021-08-12 14361

ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 740,000 ඉක්මවලා 

 

රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,031.5ක්

 

ගෙවුණු මාස 16 දී රු. ට්‍රිලියන 3.2ක් අලුතින් ණය වෙලා   

 

අච්චු ගහන සල්ලි කන්න බෑ

 

 
(රජිත් කීර්ති තෙන්නකෝන්) 

 

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 16  ඉක්මවා ඇති අතර එම ණය ප්‍රමාණය රොකට් වේගයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වඩා වැඩි මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුව තිබෙන අතර අඛණ්ඩවම මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ විශාල ලෙස ඉහළ යමින් පවතී. සල්ලි අච්චු ගැසුවාට හාල්-පොල්-පරිප්පු-කිරි-බිත්තර අච්චු ගැසීමට නොහැකි අතර හාල්-පොල්-පරිප්පු-කිරි-බිත්තර විනා  සල්ලි කුස ගින්නට කෑමට ගත නොහැකිය.

2020 ජනවාරි මස පළමු වැනිදා සිට 2021 අප්‍රේල් දක්වා වූ  මාස 16 ඇතුළත දී  රටක් ලෙස ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 3.2 ක් අලුතෙන් රටට-ලෝකයට ණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව, 2019 අවසානයේ දී ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,031.5 කි. 2021 අප්‍රේල් මාසය වන විට එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,287.8ක් දක්වා වැඩි වී ඇත. 

ඒ කයන්නේ ගෙවුණු මාස 16 ඇතුළත දී වැඩි වී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 3256.3 ක් හෙවත් රුපියල් ට්‍රිලියන 3.2 කි. එනම්, එක පුද්ගලයෙකු අලුතින් රුපියල් එක් ලක්ෂ හතලිස් අට දහසක් (148,000) ණය වී ඇත. ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට රටක්-ජාතියක් ලෙස අප අද මුහුණ දී සිටියි.  

87-89 වකවානුවේ දී උතුර-දකුණ දෙකම ගිණි ගත් අවස්ථාවේදී ද, චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ පරිවාස ආණ්ඩුවක් සෑදීමට පවා සිදු වු 2001 වර්ෂයේ දී රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනය ඉක්මවා ගියේය. 1988 සහ 2003 දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ණය දෙකක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි විය. පොහොර, ගෑස්, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම අඛණ්ඩව සිදු කිරිමට එමගින් අවස්ථාව ලැබුණි. රට බංකොලොත් නොවූයේ ඒ නිසාය. 

ඉතා කෙටි කාලයක දී රට මුහුණ දෙන ණය අර්බුදය වටහා ගැනීමට පහසුම මඟක් ඇත. වත්මන් රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,287.8 කි. එනම් රුපියල් මිලියන 16,287,800කි. රටේ ජන ගහනය මිලියන 22ක් යැයි සිතමු. ඒ අනුව, ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 740,000 කට වැඩිය. එම ඒක පුද්ගල ණය ප්‍රමාණයෙන් 20%ක් එනම් රුපියල්  148,000 ක් ණය වී ඇත්තේ 2020 ජනවාරි සිට 2021 අප්‍රේල් දක්වා වූ මාස 16 ඇතුළත දී ය. 
 
ශ්‍රී ලංකාවේ නිල ණය ප්‍රමාණය වශයෙන් සැලකෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත්, රුපියල් ණය සහ විදේශ ණයවල එකතුව ඇතුළු තවත් තත්ත්වයන්සේය. ඒ අනුව, සමස්ත දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,709.5 කි. ඊට භාණ්ඩාගාර බිල්පත් බිලියන 1,759.1 ක්, බැඳුම්කර 6,011.9 ක්, රුපියල් ණය බිලියන 24.1 ක් ඇතුළු තවත් බොහෝ දේ අයත්ය. සෘජු විදේශ ණය රුපියල් බිලියන 6,578.3කි. ඒ අනුව දෙස්-විදෙස් සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,287.8කි. 

ණය අර්බුදයට විසඳුමක් ලෙස විපක්ෂය යෝජනා කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරා යාමය.  එම ක්‍රියා මාර්ගය යථාර්ථයක් නොවන බව රජය  පැහැදිලිව හඳුණා ගෙන ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම ලැබුණේ 2018 සහ 2019 යන වර්ෂවලදී ය. 2018 දී රුපියල් බිලියන 1950කි. 2019 දී රුපියල් බිලියන 1900කි.  2020 වර්ෂයේ දී එම රාජ්‍ය අදායම රුපියල් බිලියන 1373 දක්වා පහත වැටුණේ ධනවතුන්ට අසීමාන්තික බදු නිදහසක් ලබා දීමේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය සහ COVID-19 වසංගතය නිසාය. 

2021 රුපියල් බිලියන 2019 ක ආදායමක් රජය බලාපොරොත්තු වෙයි. එම ආදායම නොලැබෙන බව පැහැදිලිය. රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්නට රුපියල් මිලියන 2100 ක් අවශ්‍ය වේ. ණය වාරික සහ ණය පොළිය ගෙවීමටවත් රටේ අදායම ප්‍රමාණවත් වන්නේ නැත.  රටේ ආදායම වැඩි කර ගැනීමට සහ වියදම් අවම කර ගැනීමට රජය තවදුරටත් අසමත් වන්නේ නම් තවදුරටත් ආර්ථික අර්බුදය උත්සන්නවීම නොවැලක් විය හැකි වනු ඇත. 
 

Advertiesment