Monday 6th of December 2021

English Tamil
Advertiesment


රවීගේ සක්‍යතාවය සරසවි සිසුහූ අවධාරණය කරති 


2021-08-04 5825

 

 

රවී ආර්ථිකයට පණ දුන් හැටි හෙළි කරති 

 

"රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි"


 
"යහ පාලනය වැටුණේ මුදල් ඇමතිගේ කකුලෙන් ඇද්ද නිසා"


 
"ජාතික දේශපාලනට අවශ්‍ය රවීලා වගේ ප්‍රායෝගික මිනිස්සු"

 

සරසවි සිසු ප්‍රජාව රවී වටා පෙළ ගැසෙති 

 

 

(අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ප්‍රමෝද්‍යා ලියනගේ, හේමන්ත තුසිත කුමාර සහ නිලන්ති මානෙල්)

 


අනෙකුත් ඇමතිවරුන්ගෙන් වෙන් වූ සුවිශේෂී කාර්ය භාරයක් රටක මුදල් අමාත්‍යවරයා සතුව පවතින අතර එම වගකීම රටේ අභිවෘද්ධිය උදෙසා ඉතාම වැදගත් වේ. ඒ බව අන් කවරදාටත් වඩා අද වන විට බෙහෙවින් ඉස්මතු වී ඇත. ඔහුගේ අරමුණු අතර සමස්ත අයවැය අරමුණු ඉටු කර ගැනීම ප්‍රධාන තැනක් ගනී.  

අයවැය ක්‍රියාවලිය සංවිධානය කිරීම මත පදනම්ව මුදල් අමාත්‍යවරයාගේ කාර්ය භාරය ක්‍රියාවට නැංවීම, ඒවා අධීක්ෂණය කිරීම සහ බලාත්මක කිරීමත් මත රජයක පැවැත්ම තීරණය වන ආකාරයක් හඳුනා ගත හැකිය. වර්තමානයේ මෙම අමාත්‍ය ධූරය හරහා ඉන්ද්‍රජාලිකයෙකු මැවීමට වර්තමාන රජය කටයුතු කරනුයේ ඒ නිසා විය හැකිය. 

සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් නැගෙන වියදම් පීඩනයන්ට සාර්ථකව මුහුණ දීමට ද මුදල් අමාත්‍යවරයාට සිදු වන අතර පුළුල් පරාසයක කටයුතු කරන, අයවැය පිළිබදව පුළුල් දැක්මක් සහ ආර්ථිකය හැසිරවීම පිළිබදව මනා අවබෝධයක් මුදල් අමාත්‍යවරයාට අනිවාර්යෙන්ම පැවතිය යුතු වන්නේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරුන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් කීර්තිමත් ඇමතිවරුන් දෙදෙනෙකු මතකයට නැගේ. එනම් 1970-1975 කාල පරිච්ඡේදයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ඇන්.එම්.පෙරේරා මහතා සහ 1977-1988 කාලයේදී මුදල් අමාත්‍ය ධූරය දැරූ රොනී ද මෙල් මහතාය. 

ආචාර්ය ඇන්.එම්.පෙරේරා මහතා දේශපාලනික වශයෙන් සමාජවාදී බල කඳවුර නියෝජනය කළ අතර ආර්ථිකය අභ්‍යන්තරාභිමිඛ කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ආනයන ආදේශන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවීම ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ ආකාරයක් හඳුනා ගත හැකිය. 

එමෙන්ම 1977-1988 කාලයේදී මුදල් අමාත්‍ය ධූරය දැරූ රොනී ද මෙල් මහතා නිදහස් විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් කෙරෙහි අවධානය යොමු කරමින් බාහිරාභිමුඛ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලාංකික ආර්ථිකය යොමු කළ බව හඳුනා ගත හැකිය. දෙදෙනාගේ දේශපාලන දිශානතීන් එකිනෙකට වෙනස් වුවද එතුමන්ලාගේ කාර්යක්ෂම තීරණ මෙරට ආර්ථිකයේ ධනාත්මක වෙනසක් ඇති කළ බව නම් නොරහසකි.

දකුණු ආසියානු කලාපයේ කීර්තිමත් මුදල් අමාත්‍යවරුන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී බංගලාදේශ මුදල් අමාත්‍ය මුස්තාපා කමල්, අසල්වැසි ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය මන්මෝහන් සිං සහ ඉන්දුනීසියාවේ මුදල් අමාත්‍යවරිය වන ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී යන මහත්ම මහත්මීන් සාර්ථකව සිය මුදල් අමාත්‍ය  ධූරයේ වගකීම් ඉටු කිරීමට සමත්ව ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. 

ජේ.ආර්.ජයවර්ධන මහතාගෙන් ආරම්භ වන නිදහස් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ධූරය වර්තමානය වන විට අමාත්‍යවරුන් ගණනාවක් විසින් මෙහෙයවා ඇති අතර පැවති යහ පාලන රජය යටතේ මුදල් අමාත්‍ය ධූරය අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් දරා ඇත. රවී කරුණානායක මහතා 2015 ජනවාරි 12 සිට 2017 මැයි 22 දක්වාත්, මංගල සමරවීර මහතා 2017 මැයි 22 සිට 2019 නොවැම්බර් 17 දක්වා නව ආණ්ඩුව බලයට පත් වන තෙක් මුදල් අමාත්‍යවරුන් ලෙස පාලන කටයුතු කළේය.

"The Banker" සඟරාව බැංකු සහ මූල්ය අංශයේ විශ්වාසය දිනා ගත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සඟරාවක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ලියාපදිංචිව පවත්නා බැංකු සියල්ලක්ම පාහේ සිය වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම්වලදී "The Banker" සඟරාවට අනුව සිය බැංකුවලට ලැබුණු ශ්‍රේණි ගත කිරීම් යොදා ගනිමින් බැංකු ප්‍රවර්ධන කටයුතු කෙරෙහි යොමු වන ආකාරයක් වර්තමානයේදී දැක ගත හැකිය. ඒ හේතුවෙන් "The Banker" සඟරාවේ විශ්වාසනීයත්වය පිළිබඳ මොනවට පැහැදිලි වන අතර එම සඟරාව උපුටා දක්වමින් බැංකු සහ මුල්‍ය අංශය පිළිබඳ විමසුමක් මෙම සඟරාව හරහා ඉදිරිපත් කරයි. 

ආසියා ශාන්තිකර සාගරයේ වඩාත් කාර්යක්ෂම මුල්‍ය පද්ධතිය හසුර වන්නන් තෝරා පත් කර ගැනීම ද "The Banker" සඟරාව හරහා වාර්ෂිකව සිදු කරන අතර 2017, 2018, 2019, 2020 වර්ෂවලදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ බංගලාදේශයේ මුදල් අමාත්‍ය ධූරය දරන ලද නිලධාරීන් සම්මානයට පත්‍ර වී ඇත. "The Banker" සඟරාව විසින් 2017 වර්ෂයේදී ආසියාතික කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගන්නා අතර එම තීරණයේ කාර්ය සාධනය සලකා බැලීම මෙම සාකච්ඡාවේ අරමුණ වේ.

මේ පිළිබඳව මේ අවස්ථාවේ සාකච්ඡාවට ලක් කිරීම වඩාත්ම වැදගත් වන්නේ, 2017 වර්ෂයේ ආසියා ශාන්තිකර කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගනිමින්, 'The Banker" සඟරාව විසින් ඔහුව එලෙස තෝරා පත් කර ගැනීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳව දක්වූ අදහස නිසාවෙනි. 

එම තීරණයට පාදක වූ හේතු පාඨය මෙසේ උපුටා දැක් විය හැකිය."ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් මතු වී තිබුණු මුල්‍ය අර්බුදය වළක්වාලීමටත්, රටෙහි මුදල් සංචිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එමගින් විදේශ ආයෝජකයින් කෙරෙහි විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටත් සමත් වීම වෙනුවෙන්" එම සම්මානය ලබා දෙන බවයි. 

එම හේතු පාඨයෙන් මොනවට පැහැදිලි වන්නේ, 2015 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රජය භාර දෙන විටත් වර්තමානයේදී සේම දැවැන්ත විදේශ විනිමය ගැටලුවක රට හිර කර තිබූ බව සහ දක්ෂ මුල්‍ය කළමනාකරුවෙකුගේ කාර්යක්ෂම තීරණ හේතුවෙන් රටේ ජනතාවට වර්තමානයේදී වගේ දැවැන්ත ගැටලුවකට මුහුණ නොදී එම අර්බුදයෙන් ගැලවීමට හැකි වූ බවය.

සාර්ථක මුදල් අමාත්‍යවරයෙකුගේ කාර්ය භාරය වන්නේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමයි. මෙහිදී රවි කරුණානායක මහතා නිලධාරීන්ගේ උපදෙස් මත යැපෙනවා වෙනුවට නිර්මාණශීලිත්වයෙන් යුතුව සිය ධූරයේ වගකීම් ඉටු කර ඇති අතර ඔහු ප්‍රායෝගිකත්වය වඩා හොදින් අවබෝධ කර ගෙන මෙම තීරණ කෙරෙහි යොමු වූ බව විශේෂයෙන්ම හඳුනා ගත හැකිය. 

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිම ප්‍රමාණයකින් ඉහළ දැමීම සිදු වන්නේ 2015 වසරේදී ය. මාසිකව රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීමක් සිදු කළ අතර එම තත්ත්වය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වාර්ෂිකව රුපියල් 120,000කින් ඉහළ යාමකි. 

මෙම වැටුප් වැඩිවීම නිසා 2014 වර්ෂයේදී පැවති වැටුප් බිල රුපියල් බිලියන 455 සිට 2015 වර්ෂයේදී රුපියල් බිලියන 580ක් දක්වා ඉහළ ගියේය. 
යහ පාලන ආණ්ඩුව නියෝජනය කළ ඇතැම් පිරිස් පසු කාලීනව මෙම වැටුප් ඉහළ දැමීම ගැටලුකාරී බවත් රාජ්‍ය වියදම් ඉහළ යෑමට එම තත්ත්වය දැඩි බලපෑමක් ඇති කළ බවත් පැවසූහ. 

නමුත් නිසි ලෙස කරුණු විමසා බැලීමේදී එම තර්කය නිවැරදි නොවන අතර රාජ්‍ය සේවක වැටුප්  එලෙස වැඩි කිරීම ඉතා සැලසුම් සහගත තීරණයක් බව ඉතා පැහැදිලිව පෙනේ. නිෂ්පාදන බද්දට ඇතුළත් මත්පැන් බදු මගින් රුපියල් බිලියන 36ක් පමණ, වැඩි වූ වැටුප් බිල පියවා ගැනීම වෙනුවෙන් උපයා ගැනීමට සමත් විය. 

2014 වර්ෂයේදී නිෂ්පාදන බදු ආශ්‍රිත මත්පැන් බදු රුපියල් බිලියන 69ක් වූ අතර 2015 වර්ෂයේදී දී එම ප්‍රමාණය රුපියල් බිලියන 105 ක් දක්වා වැඩි වී ඇති බව වගු අංක (01) යටතේ දක්වා ඇත. එමෙන්ම 2014 වර්ෂයේදී සිගරට් ආශ්‍රිත බදු රුපියල් බිලියන 57ක් වූ අතර 2015 වර්ෂයේදී එම බදු ආදායම රුපියල් බිලියන 80ක් වුණි. මෙමගින් ද රුපියල් බිලියන 23ක අමතර ආදායමක් උපයා ගැනුණි. මේ නිසා රුපියල් බිලියන 60ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වූ අතර ,වැඩි වූ වැටුප් බිලෙන් අඩකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනුණි. 

 

වගු අංක (01) 2010 සිට 2019 දක්වා රජයේ මුල්‍ය මෙහෙයුම්.

 


  
 -මූලාශ්‍රය- 

ශ්‍රී  ලංකා මහ බැංකුව-විවිධ වාර්ෂික වාර්තා

 

රජයේ බදු ආදායම දෙස අවදානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රුපියල් බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1355ක් දක්වා, රුපියල් බිලියන 305කින් එනම් 30%කින් පමණ ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද ඉහත වගුවෙන් පැහැදිලි වේ. 2014 වර්ෂයේදී දී රුපියල් බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රුපියල් බිලියන 497ක් දක්වා, රුපියල් බිලියන 241 කින් ඉහළ නංවා ගැනීමට රජය සමත් විය. මෙහිදී වර්තමාන රජය වගේ සාමාන්‍ය ජනතාවට බදු බර නොපටවා රාජ්‍ය සේවක වැටුප දැනෙන සුළු ආකාරයෙන් ඉහළ දැමීමම රවී කරුණානායක අමාත්‍යවරයාගේ කාර්යක්ෂම තීරණයන්ට හොඳම උදාහරණයක් බව මුල්‍ය විශේෂඥයින්ගේ මතයයි.

ප්‍රස්ථාර සටහන අංක (01) 

-දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට අනුව රජයේ ආදායම-


 
 
 
-මූලාශ්‍රය-

https://www.statista.com/statistics/797372and Central Bank of Sri Lanka, (Various) Annual Reports  

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයේ හැසිරීමප්‍රස්ථාර සටහන් අංක (01) හි දක්වා ඇත. රජයේ ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය දශක ගණනාවක් මුළුල්ලෙහි පහළ අගයක් ගැනුණු අතර එම අගය දිගින් දිගටම අඩු වෙමින් පැවතීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය ගැටලු බොහොමයකට හේතු වී තිබුණි.  මෙලෙස එම අනුපාතය දිගින් දිගටම පහළ වැටීමට හේතු සිදු වූයේ රජයේ ආදායම පහළ යාමයි. 2000 වර්ෂයේදී 17.2%ක් ලෙස පැවති එම අගය 2014 වර්ෂයේදී 11.6%ක් දක්වා පහළ වැටුණි. 2015 වර්ෂයේදී එම අගය 13.3%ක් ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර 2016 වර්ෂයේදී 14.1%ක් දක්වා ඉහළට එස වීමද සුවිශේෂී කරුණකි. ඉන් අනතුරුව නව මුදල් අමාත්‍යවරයෙකු පත් කිරීමත් සමගම මෙම අනුපාතය නැවත පහළ යාම ආරම්භ විය. 2020 වර්ෂයේදී එම අගය නැවතත් 9.6% දක්වා අඩු විය. 

2015-2016 අතර රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවා තිබියදීත් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාවක් ලැබී ඇත. මේ අනුව රාජ්‍ය ආදායම මගින් රාජ්‍ය වියදම පියවා ගැනීමට ද හැකියාවක් ලැබුණි. ප්‍රාථමික ගිණුම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ද 2015-2016 කාලපරිච්ඡේදයේ එම ගිණුමේ ශේෂයද ධන අගයකට ගෙන ඒමට හැකි වුණි.  

පශ්චාත් යුද සමයේ පැවති ආර්ථික වෘද්ධි වේගය ඉහළ මට්ටමක රදවා ගැනීමට 2014ට පෙර පැවති රජයට හැකියාව නොලැබුණි. ප්‍රස්ථාර සටහන අංක (02) හි ඒ බව පැහැදිලව දක්වා ඇත. පැවති ගෝලීය අර්බුද සහ රට අස්ථාවර වීම මධ්‍යයේ වුවත් 2015-2016 වර්ෂවල ආර්ථික වෘද්ධියේ සාමාන්‍ය අගය 5% ක මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වුණි. ඉන් පසුව 4% කට වඩා අඩු ආර්ථික වෘද්ධියක් වාර්තා වේ. 2019 වර්ෂයේ දී එම ආර්ථික වෘද්ධිය සංසන්දනය කිරීම ප්‍රායෝගික නොවන්නේ එහි පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරයේ බලපෑම පවතින නිසාය. එමෙන්ම 2020 ආර්ථික වෘද්ධියෙහි COVID-19  ගෝලීය වසංගතයේ ආර්ථික බලපෑම ඇතුළත්ව ඇත.

ප්‍රස්ථාර සටහන අංක (02)  

-2010 සිට 2020 දක්වා ආර්ථික වර්ධන වේගයන්-


 
 
-මූලාශ්‍රය-  

CBSL, Annual Reports and IMF Forecasting for 2020

 

වර්තමාන තත්ත්වයේ දී රජයේ පුනරාවර්තන වියදම පියවා ගැනීමටවත්රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවේ. දේශීය වශයෙන් උපයන ආදායම රාජ්‍ය සේවය නඩත්තු කර ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. එහෙත් 2015-2016 දී එවකට සිටි මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා "බදු දැල" හෙවත්  බදු පදනම ප්‍රසාරණය කරමින් බදු ගෙවීමක් කිරීමට හැකි පුද්ගලයින් බදුකරණයට හසු කර ගැනීමටත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා එම බදු මුදල් කාර්යක්ෂමව ඒකරාශී කර ගැනීමටත් සමත් වුණි.

මේ වාතාවරණය යටතේ මතු කළ හැකි තර්කය වන්නේ "The Banker" සඟරාව පවසන පරිදි රටෙහි ඇති විය හැකි මුල්‍ය අර්බුදය වළක්වා ගැනීමටත්, රටේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම මගින්  රාජ්‍ය වියදම පියවා ගැනීමටත් 2015-2016 වසරවලදී මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා සමත් වූ බවයි. මෙහිදී වඩා වැදගත්ම කාරණය වන්නේ මෑත ඉතිහාසයේ පහළ වූ අකාර්යක්ෂම ම භාණ්ඩාගාර ලේකම්වරයා තබා ගෙන මේ තරම් සක්‍රීය සහ සාධනීයක්‍රියා මාර්ග සේම තීන්දු තීරණ කෙරෙහි යොමු වීමට ඔහු සමත් වීමයි. 

මෙම තීන්දු තීරණ සඳහා හේතු වූයේ රවි කරුණානායක මහතා පෞද්ගලික අංශයේ ක්‍රියා කරමින් උපාය ගෙන ඇති අත්දැකීම්, දැනුම, පළපුරුද්ද සහ    කාර්යක්ෂමතාවය බව පැහැදිලිව කිව හැකිය. මෙම ප්‍රතිඵල දිවා රෑ නොතකා මහා භාණ්ඩාගාරයේ ගත කරමින්, සාකච්ඡා පවත්වමින් සහ තීන්දු තීරණ ගනිමින් ලබා ගන්නා ලද වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය යුතුය.

යුරෝපයේ මුදල් ඇමතිවරුන්ගේ පෞද්ගලික චරිත ලක්ෂණ පිළිබඳ දත්ත භාවිතා කරමින් (1980-2010) මාක්-ඩැනියෙල් මොයිසින්ගර් (2012) පෙන්වා දුන්නේ ද මුදල් ඇමතිවරයකුගේ පෞද්ගලික ගති ලක්ෂණ ඔහුගේ හෝ ඇයගේ සමස්ත කාර්ය සාධනයට බලපාන බවයි. ඇත්තටම රවී කරුණානායක මහතා මුදල් අමාත්යවරයා වශයෙන් කළ මෙහෙවර සහ ඔහුගේ දේශපාලන-ආර්ථිකය ගැන අපට කරන්න කිසිම තක්සේරුවක් ඉතිරි වී නොමැත. එහෙත් කණගාටුවෙන් හෝ කියා සිටීමට අපට මේ වන විට සිදුව ඇත්තේ වර්තමාන රජය රාජ්‍ය මුල්‍ය සේම විදේශ විනිමය කළමනාකරණය කර ගැනීමට නොහැකිව සාමාන්‍ය ජනතාව අපායට ඇද දමමින් සිටින බවය.

1926 සිට ගෝලීය මුල්‍ය පිළිබඳ ප්‍රමුඛතම මාසික සඟරාව වන ලොව ප්‍රකට "Financial Times" සමූහයට අයත් "The Banker" සඟරාව විසින් 2017 සඳහා ආසියා-පැසිෆික් කලාපයේ "හොඳම මුදල් ඇමති" සම්මානය රවී කරුණානායක මහතාට පුද කරමින් ජාත්‍යන්තරය ඔහු ගැන විශාල තක්සේරුවක් කර තිබියදීත්, ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ දී ඔහුට විවිධ චෝදනා එල්ල කෙරේ. සුදුස්සාට සුදුසු තැන ලබා නොදීමේ මෙම ප්‍රවණතාවය නිසා රටක් ජාතියක් ලෙස වර්තමානයේදී අප දරුණු ප්‍රතිවිපාක භුක්ති විඳිමින් සිටියි. 

ආර්ථික විද්‍යාව හදාරන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස ලෙස මෑත දේශපාලන ඉතිහාසයේ අප දුටූ හොඳම අය-වැය යෝජනාවලිය වන්නේ මුදල් ඇමතිවරයා වශයෙන් 2015 දී රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අය-වැයයි. ඒ අනුව රවී කරුණානායකගේ කකුලෙන් නොඇද එම අය-වැය යෝජනාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඔහුට එදා ඉඩ දුන්නා නම් රට මෙවැනි අර්බුදයකට තල්ලු නොවන අතර එසේ වුණා නම් තවමත් බලයේ සිටින්නේ ද යහ පාලන ආණ්ඩුව බව කිව යුතුය.

ඒ වගේම මාරාන්තික COVID-19 නව කොරෝනා වසංගතය හමුවේ රටක්-ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටී සිටින මේ මොහොතේ රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියා නම් වත්මන් ආණ්ඩුව වගේ මුදල් අච්චු ගැසීමට රජයට සිදු නොවන බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලෙස අපගේ අදහසය.

මෙවැනි බරපතළ සහ හදිසි තත්ත්වයකදී මුදල් අච්චු ගසා රටේ ආර්ථිකය තව තවත් අර්බුදයකට තල්ලු නොකර ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මුල්‍ය ප්‍රතිපාදන රැස් කිරීමට සේම අර්බුදය අවසන් වන තුරු එම ප්‍රතිපාදන කළමනාකරණය කිරීමට රවී කරුණානායක මහතාට හැකියාවක් තිබේ. ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනයේ නිත්‍ය සාමාජිකයෙකු වන රවී කරුණානායක මහතා, මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අත්දැකීම් සහ හැකියාවන් බහුල පුද්ගලයෙකු බව කිව යුතුමය.

එවැනි අත්දැකීම් සහ හැකියාවන් සහිත වෘත්තීයවේදීන් ජාතික දේශපාලනයේ සිටින්නේ ඉතා අතලොස්සකි. රට ගොඩනැගීමට නම් රවී කරුණානායකලා වැනි ප්‍රායෝගික දේශපාලකයින් ජාතික දේශපාලනයට වැඩි වැඩියෙන් අන්තර් ග්‍රහණය කර ගත යුතුයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය හැක්කේ රවී කරුණානායක සාධකය සමගින් වන අතර ඔහු නියත ලෙසම පක්ෂයේ ඉදිරියට ආ යුතුව තිබේ. ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය පුළුල් ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු අතර එහිදී රවී කරුණානායක මහතා ඉදිරියෙන් සිටිනු දැකීම තරුණ තරුණියන් වශයෙන් අපගේ  අපේක්ෂාවය. 
 

 

Advertiesment