Tuesday 26th of October 2021

English Tamil
Advertiesment


ත්‍රිපිටකය සහ අට්ඨකථාවල පරම අයිතිය මහා විහාරයට පමණක්ද..?


2021-07-22 5689


 
යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධව අතිපූජ්‍ය මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් 09/07/2021 දිනැති ගරු ජනාධිපතිතුමන් වෙත යවන ලද ලිපිය දැක බලවත් විමතියට පත්වුණෙමි.

පාලි ත්‍රිපිටකය එහි මූලික ස්වරූපයෙන් ආරක්ෂාව කර ගැනීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම අභිලාෂය මෙන්ම පරම යුතුකම ද වේ. අට්ඨකථා ඇතුළු සමස්ත පාලි ත්‍රිපිටක සාහිත්‍යයෙහි අයිතිය එක භික්ෂු පරම්පරාවකට හෝ එක් කණ්ඩායමකට අයත් නොවන බව පැහැදිලිව අවධාරණය කළ යුතුය. වසර 2500 ක කාල පරාසයක් තුළ ත්‍රිපිටක සාහිත්‍යය මනාව සංරක්ෂණය වූයේ පැවිදි - ගිහි  බෞද්ධ විද්වතුන්ගේ නොමද උත්සාහයෙන් බව නොරහසකි.

බුදුන් වහන්සේ ක්‍රි. පූ. 6 වැනි සියවසේ දේශනා කළ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ සියවස් ගණනාවකට පසුවය. එතෙක් කළක් ත්‍රිපිටකය සංරක්ෂණය වූයේ ඒ සඳහා ඇප කැපවී ත්‍රිපිටකය අධ්‍යයනය කළ බෞද්ධ භික්ෂුන් ගෙන් බව ඉතිහාසය පෙන්වා දෙයි. එදා උන්වහන්සේලා ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කොට එය ස්මරණය කර ගුරු ශිෂ්‍ය සම්ප්‍රදාය ඔස්සේ පවත්වාගෙන පැමිණියහ. පෙරදිග අධ්‍යාපනය ක්‍රමය එදා සැකසී තිබුණේ පාඩම් කරගෙන ස්මරණය කර ගැනීම පදනම් කරගෙනයි.

ඒ අනුව ගුරු ශිෂ්‍ය සම්ප්‍රදාය අනුකූලව ත්‍රිපිටක ධර්මය වාචිකව පවත්වාගෙන පැමිණ ඇත. එසේ වාචික ව පවත්වාගෙන පැමිණි ත්‍රිපිටක සාහිත්‍ය ප්‍රථම වරට ග්‍රන්ථාරූඪ කළ බවට සඳහන් වන්නේ කි. පූ. පළවෙනි සියවසෙහි වලගම්බා රජු සමයේ ය. නමුත් එසේ ගන්ථාරූඩ කළ ධර්ම ග්‍රන්ථ අද අපට දකින්නට නොමැත. අද අපට දකින්නට ලැබෙන ත්‍රිපිටක සාහිත්‍ය ග්‍රන්ථ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසටත් පසුව ග්‍රන්ථාරූඩ වූ ඒවා ලෙස සැලකිය හැකිය.

එසේ ග්‍රන්ථාරූඪ වූ ත්‍රිපිටක සාහිත්‍ය දශක විස්සකට වඩා වැඩි කාල පරාසයක් පුරා සංරක්ෂණය වූයේ පැවිදි - ගිහි බෞද්ධ උගතුන්ගේ නොමද කැපකිරීම් නිසා මිස පාර්ලිමේන්තු අණ පනත් කෙටුම්පත් හරහා නොවන බව තරයේ අවධාරණය කරනු කැමැත්තෙමි. අවස්ථාවාදීන්ගෙන් සම්බුද්ධ සාසනයත් බුදු දහමත් ආරක්ෂා කර ගැනීම පිළිබදව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය.

ලෝකයේ විවිධ රටවල්වල බුරුම, කොරියන්, චීන, ජපන්, ඉංග්‍රිසි හා ජර්මන් ආදී විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති ත්‍රිපිටක ධර්මය අංග සම්පූර්ණ ත්‍රිපිටකය දැකිය හැක්කේ පාලි ත්‍රිපිටකය තුළින් බව ඒ පිළිබඳව පර්යේෂණය කළ ඩී. ටී සුසිකි පඬිවරයා ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. බුදු දහමේ පණිවිඩය ලංකාවට ලැබීමෙන් පසු ගෙන ආ ත්‍රිපිටකය හා ඒ සම්බන්ධව ගොඩනැඟුණු අට්ඨකථා සහ ටීකා ඇතුලු ත්‍රිපිටක සාහිත්‍ය 18 සහ 19 වැනි සියවස්වල මෙරට පැමිණි බටහිර උගතුන් විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය රටවලට ගෙන යන ලදී.

එසේ ගෙන ගිය ත්‍රිපිටකය ඉංග්‍රිසි බසට පෙරළා ප්‍රකාශයට පත් කර ඇත. Pali Text Society නමින් ලන්ඩනයේ ඇති කළ පාලි පොත් සංගමය මගින් පාලි ත්‍රිපිටකය මනාව සංරක්ෂණය කර ඇත. පාලි පොත් සංගමය මගින් ප්‍රකාශයට පත් කළ ත්‍රිපිටක සාහිත්‍යය වර්තමානයෙහි ලොව පුරා ඇති විශ්ව විද්‍යාලයන්හි පරිශීලනයට ලක්වෙයි. ඒ අනුව ලොව පුරා සිටින විද්වතුන්ගේ පරිශීලනයට ත්‍රිපිටකය ලක් වනවා යනු ත්‍රිපිටකයේ සඳහා ලැබෙන ඉහලම සංරක්ෂණයයි. ගෞරවයයි. දැනටමත් මෙය අසූ දෙකෝටියකට (82) වැඩි බෞද්ධයන්ගේ ලෝක උරුමයත් වී අවසානය.

සංරක්ෂණය යන්නෙන් අදහස් කරනුයේ මනා ලෙස ආරක්ෂා කිරීමයි. වටිනා කෞතුක වස්තුවක් හෝ වටිනා පාෂාණයක් නම් ආරක්ෂිත කුටියක හෝ සේප්පුවක තබා සංරක්ෂණය කළ හැක. මුද්‍රිත ත්‍රිපිටක ද භෞතික වස්තුවක් සේ සලකා වීදුරු කුටියක හෝ සේප්පුවක දමා ආරක්ෂා කළ හැකිය.

නමුත් එහි ඇති ඵලය කුමක්ද? "ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ" යන බුදු වදනට අනුව "එන්න බලන්න එසේ බලා තේරුම් තේරුම්ගෙන ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කරගන්න" යනුවෙන් සඳහන්වේ. ඒ අනුව ත්‍රිපිටක ධර්මය රාජ්‍යයක හෝ වෙනත් අධිකාරියක හෝ සංඝ සභාවක හෝ ඇඟිලි ගැසීමෙන් තොරව  නිදහස්ව තිබිය යුතු අතිපූජනීය, අති සම්භාවනීය, මහාර්ඝ වටිනා වස්තුවකි.

අති ගෞරවනීය සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් ඇති කළ බෞද්ධ පුනරුදය සමඟ ත්‍රිපිටක සාහිත්‍යයට විශාල ආලෝකයක් ලැබිණි.  එම පුනරුදයේ ප්‍රතිඵලය ලෙස ත්‍රිපිටක ධර්මය පිළිබඳ දැන උගත් මහා පඩිරුවන් රාශියක් පැවිදි - ගිහි දෙපක්ෂ‍යෙන්ම බිහි වූහ.

එදා වැඩසිටි අතිපූජ්‍ය, හික්කඩුවේ ශ්‍රී සුමංගල, පොල්වත්තේ බුද්ධදත්ත, බළංගොඩ ආනන්ද මෛත්‍රීය, ලබුගම ලංකානන්ද, රේරුකානේ චන්දවිමල, කෝදාගොඩ ඥානාලෝක, වැලිවිටියේ සෝරත, පරවාහැර වජිරඥාන, අම්බලංගොඩ ධම්මකුසල, පලන්නොරුවේ විමලධම්ම, වේරගොඩ අමරමෝලි, කරහම්පිටිගොඩ සුමනසාර, ඉදුරුවේ උත්තරානන්ද වැනි ත්‍රෛනිකායික බොහෝ නාහිමිවරුන්ගේ, මහා සංඝ පීතෘවරයන්ගේ උගත්කමත්, බුද්ධිමත් භාවයත්, දුරදක්නා නුවණත්, සාසනික හැගීමත්, ඉමහත් ශ්‍රද්ධාවත්නිසා ත්‍රිපිටක ධර්මය ලෝකය පුරාම ප්‍රචාරයට පත් විය.

උන්වහන්සේලා එදා සිදු කළ ඒ සේවාව ත්‍රිපිටකයට කරනු ලැබූ ඉහළම සංරක්ෂණය වෙයි. නමුත් වර්තමානයේ දී ත්‍රිපිටකය දැන උගත් සංඝ පීතෘවරයාණන් වහන්සේලාගේ දුර්ලභත්වයක් දක්නට ඇත. ත්‍රිපිටක පිළිබදව තමන් තරම් දන්නා උගතෙක්, බුද්ධිමතෙක්, දාර්ශනිකයෙක් මේ මිහිපිට නැතැයි සමහර මහාචාර්යවරු යැයි කියා ගන්නා හිමිවරුන් තුළින් දක්නට ලැබීම ඉමහත් සංවේගයට කාරණාවකි.

ත්‍රිපිටක සංරක්ෂණය යනු මාගේ පෞද්ගලික හැඟීම නම් ඒ පිළිබඳව මනාව උගෙන එහි ඇතුළත් කරුණු ලෝකයා හමුවේ පැහැදිලි කිරීමයි. මෑත යුගයේ වැඩසිටි ආචාර්ය වල්පොළ රාහුල ස්වාමීන් වහන්සේ සහ රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටක ධර්මයේ ඇතුළත් කරුණු සරල බසින් බටහිර ලෝකයා හමුවෙහි තැබූ ශේෂ්ඨ නිහතමානී උගතුන්ය. පඩිවරුන්ය.

බුදු දහම යනු ප්‍රායෝගික දහමකි. ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී උපයෝගී කර ගත යුතු දහමකි. යහපත් ජීවිත දැක්මක් යහපත් සංකල්පනාවන් ගෙන් යුක්ත වීම, යහපත් වචන භාවිතා කිරීම, යහපත් කර්මාන්ත කිරීම, යහපත් දිවි පැවැත්මක් තිබීම, යහපත් උත්සාහය, යහපත් සිහි කල්පනාවෙන් යුක්තව වීම, සමාධිගත වීම යනාදී කරුණු බුදුදහමේ හරය වන අතර මේ සියල්ල ප්‍රායෝගිකව භාවිතා කළ යුතු දේ වෙයි. ඒ අනුව එවන් ප්‍රායෝගික දහමක් පාර්ලිමේන්තු නීති නීතිරීති අණපනත් මගින් සංරක්ෂණය කර තැබීමේ කිසිදු ඵලයක් නැත.

ත්‍රිපිටකය පිළිබදව මෙලෝහසරක දැනුමක් නැති පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම ත්‍රිපිටකය ගිණි තබා විනාශ කළ යුතුයැයි පණතක් ගෙනාවත් අත උස්සනවාට කිසි සැකයක් නැත. මෙතෙක් සම්මත කර ඇති යම් යම් අණ පණත් අනුව එවැනි නිගමනයකට එළඹීමට අපට සිදු වේ. කිසිදු බාධාවක් නැත.

අට්ඨකථා ලිව්වේ ක්‍රි. ව. පස්වන සියවසේ මහානාම රජු සමයේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. ත්‍රිපිටක තුළ ඇති ගැටලු තැන් මෙමගින් නිරාකරණය කර ඇත. ඒවා අවබෝධයට ඉතා පහසුය. ටීකා කියන්නේ අටුවාවල අපහැදිළි තැන් තවදුරටත් පැහැදිලි කිරීමට ලියූ ග්‍රන්ථයි. උක්ත කරුණුවලට අනුව ත්‍රිපිටකය සංරක්ෂණය කිරීමට යැයි පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒම අතිශයින්ම නොවැදගත් අමනෝඥ අනුවණ ක්‍රියාවකි. පැවිදි - ගිහි බෞද්ධයන්ගේ බලවත් විරෝධය මේ නිසා පවතින රජයට එල්ලවීම නොවැළැක්විය හැක්කකි.

පින්වත් ජනාධිපති තුමන් හා අගමැති තුමන් මෙම මෝඩ තීරණ පිළිබදව දැඩිසේ කල්පනාකාරී විය යුතුය. පාර්ලිමේන්තුව විසින් ඉටු කළ යුතු මීට වඩා අත්‍යාවශ්‍ය කාර්යය රැසක් ඇත. මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ලක්ෂ කෝටි ගණන් තිබේ. ඒ සියල්ල අමතක කර බුද්ධ බලයෙන් ආරක්ෂාවන කරුණක් පිළිබදව පාර්ලිමේන්තුවේ කාලය, ධනය, ශ්‍රමය යෙදවීම නීශ්ඵල ක්‍රියාවකි. මෙම කරුණ සංඝ භේදයටද තුඩ දී විශාල පාප කර්මයක් කරගන්නා බවද පෙනී යයි.   
 
ත්‍රිපිටකය සම්බන්ධ අභිමතානුසාරී බලය මල්වතු - අස්ගිරි විහාර දෙකට පමණක් පවරා ගැනීම මුළු මහත් බෞද්ධ ලෝකයාට කරණ බලවත් අවමානයකි, අපහාසයකි, අගෞරවයකි, නින්දාවකි. එම නිසා අතිගරු මහනාහිමිවරු දෙදෙනෙකුට පමණක් ත්‍රිපිටකයත් අට්ඨකථා පිළිබද පරිපූර්ණ පරම අයිතිය  අභිමතානුසාරී ලෙස ඔප්පුවකින් ලියා ගැනීමට සදාචාරාත්මක හෝ ඓතිහාසික හිමිකමක් නොමැති බව ඉමහත් ගෞරවයෙන් සිහි කර සිටිමු. සීමාවක් නොමැති අභිමතානුසාරී බලය නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාමට ඉමහත් බාධාවකි. එහි පූර්ණ අයිතිය මහා විහාරය සතුවන බවට ලිඛිත හෝ අලිඛිත සාක්ෂියක් නැත. ඔප්පුතිරප්පු, උප්පැන්න සහතිකද නැත.

එම නිසා අතිගරු උත්තරීතර මහනායක හිමිපාණන් වහන්සේලා කවුරුන් හෝ ලියා දෙන ලද ලිපියකට අත්සන් කිරීමට පෙර මැනවින් කියවා බලා තේරුම් ගෙන සිටින ලෙස දෙපා නැමද ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙය ඔබ වහන්සේලාට අගෞරවය පිණිස නොලියූ බවද මගේ පුද්ගලික අවබෝධය මත දුටු වරද කීමෙන් මෙත්තාවචී කර්මය පුරා යන ධර්මතාවය මත පිහිටා සටහන් කළ බවද වැඩිදුරටත් දන්වා සිටිමි. බුදු දහම විනාශ කරන්නේ අන්‍ය ජාතිකයින්වත් අන්‍ය ආගමිකයින්වත් නොව පැවිද්දන් හා බෞද්ධ ගිහියන් විසින්ම බව කවුරු තරහවුණත් නොකියාම බැරිය. පස්වාදහස්කල් බුදු සසුන බැබලේවා ..!
 

-තිනියාවල පාලිත නා හිමි-
නුගේගොඩ නාලාන්දාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති,
මහා බෝධි සංගමයේ නියෝජ්‍ය ලේකම්,
චෙන්නායි මහා බෝධි මධ්‍යස්ථානාධිපති,  
කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික
සහ විනිශ්චය කාරක සංඝ සභික
 
Advertiesment