Wednesday 4th of August 2021

English Tamil
Advertiesment


සරසවි ප්‍රජාවගෙන් කරූට මල් මිටක්..!  


2021-07-19 5753

විපක්ෂය එකතු කළාට ආචාරය

 

"නොකිළිටි නායකයෙකු ඊට මැදිහත් වීම වටිනවා" මහාචාර්ය ප්‍රසන්න 

 

"ජාතික වගකීම පැහැර හරින්න කිසිම පක්ෂයකට බැහැ"

 

"පොදු වේදිකාවට ජවිපෙත් ආ යුතුයි"

 

සටන ඇරඹිලා..!  

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

ඒකාධිපති වාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සාමය සහ යහ පාලනය තහවුරු කිරීම සඳහා රට-ජනතාව වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ නායකයින් පොදු වේදිකාවකට කැඳ වීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව ඔහු වෙත සිය ආචාරය පුද කර සිටිති.

විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවක් ගොඩනැගීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ එහි සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මැදිහත් වී කැඳ වූ මෙම විශේෂ සහ තීරණාත්මක සාකච්ඡා සභාව කොළඹ "ජානකී" හෝටලයේ දී සෙනසුරාදා (17) අතිශය උත්කර්ශවත් අයුරින් පැවැත්  විණ.

මෙහිදී අතිශය තීරණාත්මක සහ විශේෂතම දේශපාලන සිද්ධිය ලෙස කැපී පෙනුණේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන දේශපාලන පක්ෂ සිය එදිරිවාදීකම් නොතකා ඒකාධිපති වාදයට එරෙහිව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සාමය, ජනතා අයිතීන් සහ යහ පාලනය වෙනුවෙන් මෙම පොදු දේශපාලන වේදිකාවට එක්ව සිටීමය.

සමගි ජන බලවේගය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ද, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දේශපාලන වශයෙන් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන මේ අතිශය වැදගත් සහ තීරණාත්මක සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් "lankanewsweek" වෙත අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාන සහ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ පැවැසීය.

"ආණ්ඩුව සමග දේශපාලන වශයෙන් සටන් කරමින් ඒකාධිපති වාදයට එරෙහිව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සාමය, ජනතා අයිතීන් සහ යහ පාලනය තහවුරු කිරීම සඳහා ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය කලක් මුළුල්ලේ පැවතුණා. විපක්ෂයේ දේශපාලන පක්ෂ, නායකයින් සහ කණ්ඩායම් රට-ජනතාව වෙනුවෙන් පොදු වේදිකාවකට ආ යුතු අතර රටත් ජනතාවත් දින විය හැක්කේ එවිට පමණයි.

මේ ජාතික වගකීම, යුතුකම සහ කාර්ය භාරය වෙනුවෙන් උර දෙමින් පොදු විපක්ෂයක් ගොඩනැගීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ එහි සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා දරන උත්සාහයට විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප අපගේ ආචාරය පුද කර සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුයි. අපරාධ හෝ දුෂණ ඇතුළු කිසිදු චෝදනාවක් නොමැති නොකිළිටි නායකයෙකු ලෙස දේශබන්දු කරු ජයසූරිය මහතා මේ ජාතික වගකීම, යුතුකම සහ කාර්ය භාරය වෙනුවෙන් මැදිහත් වීම අගය කරන අතර ඒ හේතුවෙන්ම කළු වළාවක රිදී රේකාවක් දැකීමට අපට හැකි වුණා. 

මෙම පොදු දේශපාලන වේදිකාවට දැනට පැමිණ නොමැති ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ ද ඉදිරියේ දී ඊට සම්බන්ධ වනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප තරයේ විශ්වාස කරනවා. මේ ජාතික වගකීම, යුතුකම සහ කාර්ය භාරය පැහැර හැරීමට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ නායකයෙකුට සදාචාරාත්මක අයිතියක් ඇත්තේ නැහැ."   

 

Advertiesment