Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


බැසිල්ගේ අභියෝගය..! 


2021-07-08 14392

 

බැසිල්-මොළ හත-ලබු සහ පුහුල්

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

බැසිල් රාජපක්‍ෂ යනු මහින්ද රාජපක්‍ෂ රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකු සේම වත්මන් රජයේ නොනිල බලවතෙකි. ඔහු ප්‍රසිද්ධව ඇත්තේ සද්ද-බද්ද නැති උපායෙහි දක්ෂ වැඩකාරයෙකු ලෙසයි. ඔහුට වැඩ වැරදුණු අවස්ථා කොතෙකුත් ඇතත් ඒ සියල්ල නිශේධනය කිරීමට ඔහු සමත් වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනඟා මාස කිහිපයක් ඇතුළත එම පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා මෙහෙය වීමෙනි. 

එතෙකුදු නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ "පොහොට්ටුව" ලකුණෙන්ම විධායක ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ද  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද පහසුවෙන්ම ලබා ගැනීමෙනි. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ නියම දේශපාලන වැඩකරු වන්නේ බැසිල් රාජපක්ෂ බව සියලු දෙනාගේ මතය වේ. ඒ අනුව පසු ගිය කාලයේ හොඳටම කරලා තිබෙන්නේ බැසිල් රාජපක්ෂ ය. 

බැසිල් රාජපක්ෂ ගැන උනන්දුවක් දක්වන පිරිස් පවසන්නේ 2019 ජනාධිපතිවරණයෙන් පසු ඔහු වැඩ කළේ තිරය පිටු පස සිට බවය. ඔහු තිරය පිටු පසට වී සිටීමේ ප්‍රතිඵලය වූයේ දිනෙන් දින රටේ ආර්ථිකය, ජීවන තත්ත්වය, ආහාර, නීතිය, රැකියා, විදේශ විනිමය, රුපියලේ අගය යනාදිය පිරිහී ජීවත් වීම ගැටලුවක් බවට පත්වී සමාජය "Panic" වී යාමය. 

ජනාධිපතිවරයාගේ "Tools" වලට හෝ වියත් මඟේ වියත් මුළට රට "Un-Panic" කිරීමේ මගක් සොයා ගත නොහැකි විය. කර කියා ගත හැකි කිසිවක් නොමැති ආණ්ඩුවට පෙනී ගියේ "සුරබිදෙන" ද "ඇලඩින්ගේ පුදුම පහන" ද තිබෙන්නේ තිරය පිටු පසට වී සිටින බැසිල් රාජපක්‍ෂ ළඟ බවය. ඒවායින් වැඩ ගැනීමට නම් තිරය විවර කොට පළමුව බැසිල් රාජපක්ෂ එළියට ගෙන පාර්ලිමේන්තුවට ගෙන විත් ඇමතිකමක් පවරා දිය යුතු යැයි තීරණය වූයේ ඒ ආකාරයටය.

මෙසේ මවන ලද පරිසරයේ බැසිල් රාජපක්‍ෂ විශ්මකර්මයෙකු විශ්වකර්මයෙකු බව පෙන්වා දීමට බොහෝ දෙනෙක් පොරකන්නට වූහ. ඒ අතරින් එකෙක් බැසිල් රාජපක්ෂට මොළ හතක් ඇති බවත් එම මොළ හතෙන් නොකළ හැක්කක් නොමැති බවත් කීහ. ඉන් පසුව බැසිල් රාජපක්ෂට මොළ හතේ කුමාරයා යැයි අන්වර්ථ නාමයක් ද පට බැඳුණේය. ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන "ඇන්ජිම" බැසිල් රාජපක්ෂ බව ආර්ථික විද්‍යා මහැදුරෙකු ද නොපැකිළව කීය. 

බැසිල් රාජපක්ෂයට පාර්ලිමේන්තු ඒමට ජන වරමක් නැත. එහෙත් මගක් ඇත. ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීන් වැල නොකැඩී පෙළ සැදී ගෙල දීමට සූදානම් විය. ඒමතු ද නොව ආණ්ඩුවේ සෙසු මන්ත්‍රීන් ද එක හෙලා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නොසිටීමේ අඩුව නිසා රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවය. 

ජනාධිපතිවරයා ලත් තැනම ලොප් වූ බැවින් සහ "Fail" වූ බැවින් රටට පත් කර ගත යුත්තේ ජනාධිපතිවරයෙකු නොවේ දැයි මහා ජනයා ප්‍රශ්න කරන්නට වූහ. බැසිල් රාජපක්ෂයට තනියෙන් රටක් ගොඩදැමිය හැකි යැයි ඔවුන් කියන බැවින් වැඩ කළ නොහැකි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් 150ක් සහ ඇමතිවරුන් 100ක් පමණ මහා ජන මුදලින් නඩත්තු කරන්නේ කුමන පිස්සුවකට දැයි මහා ජනයා අසන්නට වුවත් ආණ්ඩුව ඊට නිරුත්තර විය. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ක්‍රියාශීලී දායකත්වයක් නොදෙන්නේ මන්දැයි සිතා ගත නොහැකිව පාක්ෂිකයන් දුර්මුඛ විය. සියලු දෙනාගේ ආසන පමණක් නොව ජීවිත ද රත් වී ගිය පසු අවසානයේ දී බැසිල් රාජපක්ෂගේ පඬුපුල් ආසනය රත්වී ගියේය.    

අපේ රටේ අභාග්‍යමත් කාලවල විවිධ කුමරුන් පහළ වන බව ඉතිහාසයේ සඳහන් වේ. වරෙක ගැමුණු කුමරා ද තව වරෙක දියසේන කුමරා ද තවත් වරෙක සපුමල් කුමරා ද පැමිණියේය. බැසිල් රාජපක්ෂගේ ආගමනය ද තවත් කුමාරයෙකුගේ පහළ වීමක් බවත් ඒ සත් මොළ කුමරාගේ සම්ප්‍රාප්තිය බවත් බැසිල් රාජපක්ෂ හිතෛෂීන් ප්‍රකාශ කරන්නට විය. 

සැබවින්ම බැසිල් රාජපක්ෂට මොළ හතක් තිබේ දැයි දන්නේ ඔහු ළඟින් ඇසුරු කරන්නන් පමණි. බැසිල් රාජපක්ෂ යනු උපායෙහි දක්ෂ දේශපාලන සංවිධායකයෙකි. එබැවින් ඔහු ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රතිසංවිධානයක් කිරීමට ඉඩ ඇත. ජනාධිපතිවරයාගේ අසමත් භාවය හට ගත්තේ පසික්කාට්ටු වියතුන්ගේ කීම ඇසූ බැවින් යැයි බැසිල් රාජපක්ෂට දැනටමත් වැටහී ඇති බව නොඅනුමානය. එබැවින් කයිවාරුවෙහි උපන් හපන්කම් ඇති සාම්ප්‍රදායික වූත් නාකි වූත් අසමත් වූත් වියතුන් සහමුලින් අතුගා දමා වැඩෙහි දක්‍ෂ නව පරපුරට ඔහු වැඩ පවරනු ඇත. ප්‍රායෝගික අදහස්වලට පමණක් ඔහු කන් දෙනු ඇත. 

කවුරු කෙසේ කීවත් බැසිල් රාජපක්ෂට මොළ හතක් ඇතැයි මම විශ්වාස නොකරමි. එබැවින් හත් මොළ කුමාරයා යැයි නම් පට බැඳීම ඔහුට කරන ගෞරවයක් නම් නොවිය හැක. හැමෝටම එක් මොළය බැගින් ඇතත් එම මොළයෙන් ප්‍රයෝජන ගැනීමට බොහෝ දෙනෙක් නොදනිති. වෙසෙසින්ම පසික්කාට්ටු වියතුන්ට මොළයෙන් වැඩක් ගත නොහැකි බව ඔප්පු කොට තිබේ. බැසිල් රාජපක්ෂගේ මොළය වියතුන්ගේ මොළ වගේ කුරුවල් වූ එකක් යැයි මම නොසිතමි. ඔහුගේ මොළය වැඩ කරන ආකාරය ගැන කදිම නිදර්ශනයක් ඇතත් මගේ මිත්‍ර මන්ත්‍රීවරයෙකුට හානි විය හැකි බැවින් ඒ ගැන සඳහන් නොකරමි. 

මා විශ්වාස කරන පරිදි බැසිල් රාජපක්ෂ පළමුව අත තැබිය යුත්තේ ලබ්බට නොව පුහුලටය. එනම් ජනාධිපතිවරයාගේ සහ පසික්කාට්ටු වියතුන්ගේ මුග්ධ ක්‍රියාවන්ටය. පුහුලට අත ගැසූ විට ලබ්බට යන කලක් නැත. බැසිල් රාජපක්ෂ යනු ඔහුට ආවේනික ක්‍රමයකට වැඩ කරන කෙනෙකි. ගැටලුවලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නෙකි. 

එබැවින් මා උදක්ම විශ්වාස කරන්නේ බැසිල් රාජපක්ෂගේ මේ ක්‍රමවේදය වෙනස් නොකොට නාකි වියතුන් පළවා හැර වැඩ බිම සුද්ද කර ගනු ඇතැයි යන්නය. වැඩ බිම සුද්ද කර ගත් පසු බැසිල් රාජපක්ෂට පමණක් නොව සියලු දෙනාටම වැඩ කිරීම පහසුය. දේශපාලනය නොදත් අය වෙනුවට ආණ්ඩුකරණය සහ දේශපාලනය දත් අය ආණ්ඩුකරණය වෙත යොමු කිරීමට ඔහුට හැකි වනු ඇත. බැසිල් රාජපක්ෂ බැලිය යුත්තේ ළඟ නොව දුරය. එනම් ලබු නොව පුහුල් දෙසය. 

අප සියලු දෙනා එකට එක්ව බැසිල් රාජපක්ෂට සුබ පැතිය යුතුය. ඒ මක්නිසාද යත් ඔහු එන්නේ අද වන විට බංකොළොත් වී ඇති රටට සෞභාග්‍යය උදා කර දීම පිණිස වන බැවිනි. අපේ රට, අපේ ජීවිතය සහ අපේ අනාගතය ගලවා ගැනීම සඳහා වන අවසාන තුරුම්පුව ලෙස ආණ්ඩුව තෝරා ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂය. 

ඔහු අසමත් වුව හොත් රට ගැලවා ගැනීමට ආණ්ඩුව පැත්තෙන් වෙනත් කිසිවෙකු නැත. ගෝඨාභය රාජපක්ෂ අසමත්ය, මහින්ද රාජපක්ෂ අසමත්ය. කැබිනට් මණ්ඩලය ද අසමත්ය. එවැනි අගාධයකට අභීතව පා තබන බැසිල් රාජපක්ෂ අවතක්සේරු නොකළ යුතුය. ඔහුගේ ආගමනයෙන් විපක්ෂයට වුව ද "Jackpot" වාසියක් සැලසෙන්නට ඉඩ ඇත. ඒ කුමක් ද යත් බැසිල් රාජපක්ෂත් "Fail" වුව හොත් රාජපක්ෂ සංහතියේම දේශපාලනය ඒ සමඟ අවසන් වීමය. විපක්ෂයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට එන්නේ බැසිල් රාජපක්ෂය. හැබැයි යන්නේ ආණ්ඩුවය. මේ අනුව පක්ෂ විපක්ෂ සැමට බැසිල් රාජපක්ෂගේ  සම්ප්‍රාප්තිය කිරිබත් කා රතිඤ්ඤා දල්වා තාප්පවල චිත්‍ර ඇඳ සෞභාග්‍යයේ ඉදිරිය දකිමින් ප්‍රීතිමත්ව කල් ගෙවීමට හේතුවකි. එහෙත් බැසිල් රාජපක්ෂ දැකිය යුත්තේ රටේ සහ සිය දේශපාලනයේ ඉදිරියයි.

 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
නිර්මාතෘ සහ පීඨාධිපති 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
කළමනාකරණ පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
 
Advertiesment