අප රටේ දේශපාලඥයන් අතුරින් අවංක සහ නිහතමානී පුද්ගලයෙකු ලෙස සජිත් ප්‍රේමදාස හැඳින්විය හැකිය. ඔහුගේ පියාට සේම ගුණ ගරුක, යුක්ති ගරුක, නිදහස්, සමානාත්මතා ජන සමාජයක් නිර්මාණය කිරීමට ඔහුටද අදහසක් ඇති බව පෙනේ. එහෙත් ඔහුට එවැන්නක් කළ හැකිවේ ද..? එසේ කිරීමට නම් පළමුව රාජ්‍ය බලය ලබා ගත යුතුය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලැබීමට එකම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමය. එසේ නොවුණා නම් විපක්ෂයට පාර්ලිමේන්තු ආසන 90ක් පමණ හිමි වීමට ඉඩ තිබුණි. එසේ වී නම් වත්මන් අදූර දර්ශි සහ පීඩාකාරී ආණ්ඩුව පෙරළා දැමීමට ද හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් ඒ අවස්ථාව මඟ හැරුණේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම නිසාය.
රනිල් වික්‍රමසිංහ කිසිදාක සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දෙන්නේ නැත. රනිල් වික්‍රමසිංහගේ "එලීට්" සිතුම් පැතුම් අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලැබෙන්නේ තවත් "එලීට්" පැලැන්තියේ කෙනෙකුටය. සජිත් ප්‍රේමදාසට මේ යථාර්ථය තේරුම් ගොස් බොහෝ කල්ය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට ඉක්මන් වූයේ ඒ නිසාය. එම ඉක්මන් වීමම සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂය අහිමි වීමෙට හේතු විය.
රනිල් වික්‍රමසිංහ කෙරෙහි වූ ප්‍රබල ජාතික විරෝධය පසු ගිය මහා මැතිවරණයෙන් මොනවට ඔප්පු විය. සජිත් ප්‍රේමදාස ඔහුගේ ඉක්මන්කම නිසාම ජන බලවේගයක් හදා ගෙන "අලියා" ලකුණ ඉල්ලා සිටියේය. දේශපාලන පක්ෂයක ලාංඡනය තවත් දේශපාලන පක්ෂයකට ලබා දෙන සිරිතක් නැත. එසේ සිය ලාංඡන ලබා දෙන්නේ "ටෙලිෆෝනය" සහ "හංසයා" වැනි අවශේෂ දේශපාලන පක්ෂ පමණි. සමගි ජන බලවේගය නොහදා නැත හොත් "අලියා" ලකුණට පොර නොඅල්ලා සිටීමට සජිත් අසමත් වීම සජිත් ප්‍රේමදාසගේ දුර්වලකමක් විය.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය අනුව කුඩා පක්ෂ හෝ කණ්ඩායම්වලට රාජ්‍ය බලය ලබා ගැනීමට අවස්ථාවක් නැත. එසේ නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එසේ කළේ කෙසේදැයි සජිත් ප්‍රේමදාසට හිතෙනු ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ මහින්ද රාජපක්ෂගේ ජාතික ආකර්ෂණය කැටි කොට යහ පාලන විරෝධය පිණිස ගොඩනගා ගත් ධනවත් සහ සිංහල බෞද්ධ බලවේගයකි. එමෙන්ම එහි කුටෝපයෙහි කෙළපමිණියෝ ද වෙති. එබැවින් සමගි ජන බලවේගය ඒ හා සැසඳීම නොකළ යුතුය.
සමගි ජන බලවේගය සමන්විත වන්නේ දේශපාලන පක්ෂ ගණනාවකිනි. එම පක්ෂවල නායකයන් සහ සෙසු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ බහුතරය වේ. එබැවින් සජිත් ප්‍රේමදාස හිතෛෂීන් එහි ඇත්තේ අතළොස්සකි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයට යළි ඉව අල්ලමින් සිටිති. සමගි ජන බලවේගයේ ඇතැම් පක්ෂ නායකයෝ රජ වීමේ සිහිනය දකිමින් සිටිති. ඔවුන් සජිත් ප්‍රේමදාසට වඩා කපටි කෛරාටික කමින් අග තැන්පත්ය. ඔවුන්ගේ කපටිකම්වලටවත් උපක්රමවලටවත් මුහුණ දී ජය ගැනීමට සජිත් ප්‍රේමදාසට නොහැකිය.
අනාගත දේශපාලන වේදිකාව සකස් වන ආකාරය අනුව අවස්ථාව ලද විගස එම දේශපාලන පක්ෂ සහ නායකයින් සජිත් ප්‍රේමදාස සමඟ ගැටුම් ඇති කර ගෙන ඔහු පාවා දී වෙනත් බලවේගවලට එකතු වනු ඇත. එසේ නැත හොත් සජිත් ප්‍රේමදාස පරදවා සමගි ජන බලවේගයේ නායකත්වය ලබා ගනු ඇත. සමගියත්-බලවේගයත් එතනින් අවසන් වනු ඇත.
මේ ගැන සජිත් ප්‍රේමදාස මනා සිහියෙන් සිටිය යුතුය. සමගි ජන බලවේගයේ සිටින සජිත් ප්‍රේමදාස හැර කිසිදු මන්ත්‍රීවරයෙකුට සිය කොට්ඨාසවලින් තනි තනියෙන් ඉදිරිපත් වුව හොත් ඡන්දයෙන් තේරී පත් වීමට නොහැකිය. මේ හැකියාව ඇත්තේ සජිත් ප්‍රේමදාසට පමණි. ඔහුට කුමන දිස්ත්‍රික්කයකින් ඉදිරිපත් වුව ද තනිව ජයග්‍රහණය කළ හැකිය. එහෙත් ඔහුගේ මිත්‍ර මන්ත්‍රීන් හිතන්නේ ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ සජිත් ප්‍රේමදාස නිසා නොව සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට ආවේ ඔවුන් නිසා බවයි. සිය නායකයා ගැන ඔවුන්ට ගරුසරුවක් හෝ අපේක්ෂාවක් නොමැති බව සේම ඔවුන්ගේ උද්ධච්ඡකම එමගින් මනාව පෙන්නුම් කරයි.
වර්තමාන දේශපාලන පරිසරය මත සජිත් ප්‍රේමදාසට මීට වඩා පුළුල් බලවේගයක් නිර්මාණය කිරීමට සහ ඊට නායකත්වය දිය හැකිද යන ප්‍රශ්න පැන නැගී. එවැනි හැකියාවක් හෝ අවස්ථාවක් ඇතැයි මට නම් සිතිය නොහැක. සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ සිටින මන්ත්‍රීන් බහුතරයක් ඔහුට වඩා ජ්‍යෙෂ්ඨය. අත්දැකීම් සහිතය. පංතියෙන් ඉහළය. කථිකත්වයෙන් ඉහළය. යන එන මං නැති වූ අවස්ථාවේ දී ඔවුන් සජිත් ප්‍රේමදාසගේ පහනෙන් එළිය බැලූ නමුදු ඔවුන් දිගටම ඔහු සමග සිටිනු ඇතැයි සිතිය නොහැක. ඔවුන් සජිත් ප්‍රේමදාස නමැති රුකේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින පක්ෂීන් විනා එම රුක රැක ගැනීමට පැමිණියවුන් නොවේ. ඔවුහූ ඊළඟ අගමැති හෝ ජනාධිපති වීමට සුදානමින් සිටිති.
එසේ නම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ලැබිය යුත්තේ කුමන තනතුරක් ද..? ඔහු සිය අනාගතය සකසා ගත යුත්තේ කෙසේද යන පැනය මෙහි දී වැදගත් වේ. මා දන්නා තරමින් සජිත් ප්‍රේමදාසට දෙවනියා වී සිටීමේ කැමැත්තක් නැත. එබැවින් ඔහු නිරන්තරයෙන් පළමු වැනියා වීමට මහන්සි ගනී.
මේ වනාහි රණසිංහ ප්‍රේමදාසගේ ක්‍රමය නොවේ. හැත්තෑව දශකයේ එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය පුද්ගලයා වූයේ රණසිංහ ප්‍රේමදාසය. ජේ.ආර්. පක්ෂ නායකයා වුවද පොදු ජනයාගේ ප්‍රසාදය ඔහු කෙරෙහි නොවීය. රණසිංහ ප්‍රේමදාස දෙවනියා ලෙස පළමු වැනියාට නිරන්තරයෙන් උදව් කළේය. පළමු වෙනියා දක්වා පැමිණීමට නිසි කල එළඹෙන තුරු ඉවසිලිවන්ත විය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ දෙවැනි තැන සිටීමට අකමැති දෙදෙනෙකු විය. ඒ ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුළත්මුදලි යන දෙදෙනාය. ඔවුන් ද අලුත් දේශපාලන පක්ෂ හැදුවේය. එහෙත් වැඩක් වූයේ නැත. සජිත් ප්‍රේමදාස සිය පියාගේ අඩි පාරේ යන්නට කැමතිය. එසේ නම් දෙවනියා වීමේ සාඩම්බරය ඔහුට ද තිබිය යුතුය.
සජිත් ප්‍රේමදාසට ආදරය කරන දස ලක්ෂ ගණන් මිනිස්සු මේ රටේ සිටිති. එහෙත් රාජ්‍ය පාලන බලය ලබා ගැනීමට නම් ඊට වඩා ඡන්ද ලබා ගත යුතුය. එබැවින් කුඩා පක්ෂයකට කොටු වී කූඩාරම් ලා ගෙන එක්සත් ජාතික පක්ෂයට පාරම්බාමින් දේශපාලන බලය ලබා ගැනීමට කල්පනා නොකළ යුතුය. "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු-වියත් මඟ" පාලනය මහා ජනයාගේ දැඩි වෛරයට පාත්‍ර වී හමාරය. මෙම මහා ජන මතයට නායකත්වය දීමට හරි හමන් නායකත්වයක් හෝ පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැත.
රටේ විවිධ ස්ථානවල උද්ඝෝෂණ කිරීමෙන් සහ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමෙන් දේශපාලන වාසියක් ලබා ගත හැකි වුවද රජය පෙරළා දැමිය නොහැක. ක්‍රමානුකුලව මහා ජන මතය හැඩ ගස්වා එම මහා ජන මතය ඡන්දයක් බවට පරිවර්තනය කිරීමෙන් විනා රජය පෙරළා බලය ලබා ගත නොහැක. මේ වන විටත් මහා ජන මතය සකස් වී තිබේ.
මේ අනුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය රඳා පවතින්නේ කුඩා කණ්ඩායම්වලට නායකත්වය දෙමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කැස කැවීමෙන් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරු වුවත් සජිත් ප්‍රේමදාස කළ යුත්තේ සිය ජනප්‍රියත්වය මත එම පක්ෂය දිනවීමට ක්‍රියා කොට පළමුව අගමැති වීමය. දෙවනුව ජනපති වීමය. ඔහුගේ ඉලක්කය ඒ වන්නේ නම් ඔහුගේ ගමන සාර්ථක වනු ඇත. එසේ නොමැති නම් විකල්පයක් වශයෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතව සජිත් ප්‍රේමදාස එහි දෙවනියා ලෙස ක්‍රියා කළ යුතුය. මක් නිසාද යත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වීමේ දී සජිත් ප්‍රේමදාසට එහි පළමු තැන නොලැබෙන බැවිනි.
සජිත් ප්‍රේමදාස අත හැර සෙස්සෝ එක්සත් ජාතික පක්ෂයට වෙනත් තැනකට ගිය පසු සජිත් ප්‍රේමදාසගේ වටිනාකමක් රැඳෙන්නේ නැත. එබැවින් ඉක්මන් විය යුත්තේ සජිත් ප්‍රේමදාසය. එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමෙන් සිය දේශපාලන අනාගතය සාක්ෂාත් කර ගැනීමට ඔහුට හැකි වනු ඇත. එසේ නැත හොත් විකල්පය ලෙස කෙටි කාලයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගතව දේශපාලන ජයග්‍රහණ අත්පත් කර ගත යුතුය. එමෙන්ම සජිත් ප්‍රේමදාස පක්ෂ සටන් මානසිකත්වයෙන් මිදී සහජීවන මානසිකත්වයක් ආරෝපණය කර ගත යුතුය. පළමුව දෙවනියා වීමට ඔහු සුදානම් විය යුතුය. දෙවනුව ඔහුට පළමු වෙනියා විය හැක්කේ එවිටය.
Lanka Newsweek © 2024