Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ආණ්ඩුව ඇත්තටම Fail කියන්නේ මේ නිසයි 


2021-06-13 14373

ආණ්ඩුව විතරක් නොව විපක්ෂයත් රටත් "Fail" ය..!

 

ලොකුම "Failure" එක "Fail" බව නොදැන සිටීමය 

 

ඉදිරි මැතිවරණවලට අපේක්ෂකයින් ගෙන් වන්නේ තව්තිසාවෙන් ද..?

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

"ආණ්ඩුව 30න් 28ක් ෆේල්" යනුවෙන් මා "Island" සහ "ලංකාදීප" පුවත්පත්වලට 2017 මැයි-ජූනි කාලයේ දී ලියූ ලිපි යහපාලන ආණ්ඩුවේ ආර්ථික අසමත්කම හෙවත් ''ෆෙල්වීම'' එම ආණ්ඩුව පෙරළා කුජීත කර දැමීම දක්වා වූ ක්‍රියාවලියේ එක් පුරෝගාමී කාර්යයක් ඉටු කළේය. ඊට අනුග්‍රහයක් ලෙස වියත්මගේ ආර්ථික දේශනවලට මට ආරාධනා ලැබුණි. 

වියත්මගේ සාකච්ඡාවල දී මා දුටු මූලික ලක්ෂණයක් වූයේ සෑම වියතෙකුම පාහේ සිරිමා බණ්ඩාරණායක ප්‍රතිපත්තිවලට කැමැත්තෙන් සිටි බවයි. මා ඊට තරයේ අකමැති වුවද ඒ ගැන වාද විවාද කිරීමට මට අවශ්‍ය නොවූයේ යහපාලනය පෙරළා පත් කර ගනු ලබන ආණ්ඩුව ලිබරල්වාදී ආණ්ඩුවක් වනු ඇතැයි අපේක්ෂාවෙනි. එනමුත් මේ ආණ්ඩුව අපේ එම අපේක්‍ෂාව බිඳ දමා දැනටම අවුරුදු එකහමාරක් ගත වේ. 

මේ ආණ්ඩුව කියුබානු සහ උතුරු කොරියානු ආර්ථික මොඩලයට තල්ලු වනු ඇතැයි මා කිසිදා සිතුවේ නැත. විදේශ විනිමය හිඟය ගැන කියමින් හිඟමනේ යාම සහ මන්ත්‍රීවරුන්ට "Prado" වර්ගයේ අති සුඛෝපභෝගී වාහන ආනනයනය කිරීම යන දෙක අතර ඇති විනිමය සම්බන්ධතාව ආණ්ඩුවට තේරුම් ගොස් නොමැති නම් එම තත්ත්වය "Fail" වීමකි. ඍජු ආයෝජන යැයි කියමින් චීන "Port City" ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට විදේශිකයන්ට ආරාධනා කිරීමෙන් අප රටේ අපනයනයේ වර්ධනයක් සිදු නොවන බව නොදැනීම ද "Fail" වීමකි. දැඩි ආනයන පාලනයකින් රටක් දියුණු කළ නොහැකි බවත් ඒ සඳහා අපනයන ප්‍රවර්ධනය අවශ්‍ය වන බවත් නොදැනීම තවත් "Fail" වීමකි. 

ආහාර අවශ්‍යතාව සහ සුරක්ෂිතතාව ගැනත්, කෘෂි නිෂ්පාදන සහ ආර්ථිකය අතර පවතින සම්බන්ධතාව ගැනත් කිසිවක් නොදැන කෘෂිකර්මය කාබනික ක්‍රමයට කිරීමට යාමෙන් ආහාර හිඟයක් ද, සා ගින්නක් ද, ජීවිත හානි ද, කෘෂි කර්මාන්තයේ විනාශය ද, කෘෂි අපනයන අඩුවීම ද, මිල මට්ටම් සේම වැටුප් ඉහළ යාම ද, කාර්මික අංශය බිඳ වැටීම  යන සංසිද්ධීන් අතර සම්බන්ධතාව නොදැකීම ද "Fail" වීමකි. මේ ආණ්ඩුව බලයට පත් වූයේ විද්‍යාත්මක ලෙසත් අවංකවත් පාරදෘශ්‍ය ලෙසත් නීති ගරුකවත් "Systematic" ලෙසත් වැඩ කිරීමටය. මෙම අභිප්‍රායයන් මේ වන විට මුළුමනින්ම බිඳ වැටී තිබීම "Fail" වීමකි. මෙම "Fail" වීම ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේ දී මැති ඇමතිවරුන් 40ක් ලෙස පත් කිරීමට තිබූ ඇමති මණ්ඩලය 25ට සීමා කොට බොරු අවංකකමක් ප්‍රදර්ශනය කිරීමට ගොස් මන්ත්‍රීවරුන් අමනාප කර ගැනීමත් සමගය. 

අනතුරුව රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමට ඉල්ලුම්පත් කැඳවා බොරු පාරදෘශ්‍ය ක්‍රමයක් ගෙන විත් නැවත"Fail" විය.  ඊළඟට විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත් කිරීමට ගොස්  විෂයයන් කෑලි කෑලිවලට කඩා අවිද්‍යාත්මක වීමෙන් යළි "Fail" විය. අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වූ රජයට ඊට කිසිදු ප්‍රායෝගික විසඳුමක් නොමැති බව දිනෙන් දින ඉහළ යන අලි-මිනිස් ගැටුම්වලින් ඔප්පු වී තිබීම නිසා ඒ අතින් ද "Fail" ය. පරිසරය සුරැකීම අංක එකේ ප්‍රමුඛතාව ලෙස සලකන බවට ප්‍රතිඥා දී බලයට පත් වූ රජයට, ගෙවුණු වකවානුවේ දී රටේ සිදු කෙරුණු මහා වන විනාශය නවතා ගැනීමට නොහැකි වීමෙන් ද "Fail" විය. 

රාජ්‍ය දේපළ විදේශිකයන්ට විකිණීමෙන් හෝ පැවරීමෙන් වළකින බව පමණක් නොව මෙතෙක් බදු දී ඇති හම්බන්තොට වරාය වැනි වත්කම් නැවත රජයට පවරා ගන්නා බවට තරයේ කියා සිටී රජය මේ වන විට ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාදාමයක නියැලී සිටින බැවින් ඒ අතින් ද "Fail" වී ඇත. ආනයන සීමා කිරීමට ගොස් දේශීය නිෂ්පාදනය පුළුල් කර ගැනීමට නොහැකිව ආහාර මිල අහස උසට නැගීමෙන් යළිදු "Fail" විය. පොදු ජනයාට අවශ්‍ය ආහාරවලට ආනයන සීමා පනවා මැති ඇමතින්ට "Prado" වර්ගයේ අති සුඛෝපභෝගී වාහන ගෙන්වීමට හොර රහසේ කැබිනට් අනුමැතිය ලබාදී නැවතත් "Fail" විය. ටයර් ඇතුළු වාහන අමතර කොටස් ද, Tile වර්ග සහ Bathroom කට්ටල ද යනාදිය ආනයනය සීමා කර එම භාණ්ඩවල හිඟයක් නිර්මාණය කොට මහා ජනයා අසරණ භාවයට පත් කිරීමෙන් ද "Fail" විය. 

COVID-19 වසංගත සමයේ "Online" ක්‍රමයට ඉගැන්වීමට "Network" සම්බන්ධතා හෝ සහන ශීලී ලෙස දත්ත හෝ ලබා දීමට මෙතෙක් අසමත්ව දරු දැරියන් විපතට හෙළා ද "Fail" විය. COVID-19 වසංගතය මර්දනය කිරීම සඳහා නිසි වෙලාවට තීරණ නොගෙන පාලනය හරි හැටි කර ගැනීමට නොහැකිව රෝගීන් සහ මරණ සංඛ්‍යාව වර්ධනය වීමට ඉඩ හැරීම නිසා ද "Fail" විය. "ඉටුකම" COVID-19 අරමුදල කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් එමගින් හරි හැටි ප්‍රයෝජනයක් ලබා ගැනීමට අපොහොසත් වීමෙන් ද "Fail" විය. COVID-19 වසංගත මර්දන එන්නත ගෙන්වා ගැනීමේ දී නිසි කලට ඇණවුම් කිරීමට නොහැකිව සිල්ලර ක්‍රමයට ඒ ඒ රටවලින් එන්නත් එන තෙක් බලා සිට නැවත "Fail" විය. විදේශ රටවලින් එසේ ලැබුණු එන්නත් හරි හැටි කළමනාකරණය කොට අවශ්‍ය පිරිස්වලට නිසි පරිදි ලබා දීමට අසමත් වීමෙන් ද "Fail" විය. 

එක රටක්-එක නීතියක් ගෙන ඒමට පොරොන්දු දී එසේ එක රටක්-එක නීතියක් ඇති කිරීමට නොකිරීමෙන් ද "Fail" විය. "Systematic" ලෙස සංචරණ සීමා පවත්වා ගැනීම, ආධාර බෙදා දීම සහ එන්නත්කරණය සිදු කිරීම ආදී සියල්ල අවුල් නොකර සිදු කර ගැනීමට නොහැකිව ද "Fail" විය. ජනතාව අතර රජය කෙරෙහි විශ්වාසයක් ගොඩනැගීමට අපොහොසත් වීමෙන් ද "Fail" විය. මහා බැංකු බැඳුම්කර වංචාව සහ මරා ගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් හරිහමන් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමද "Fail" වීමක් ලෙස රට වැසියෝ දකිති. මේ ආකාරයට රජය සෑම අතින්ම "Fail" වී ඇති බව මහා ජනයාට හැඟී ගොස් තිබේ. 

ඒ නිසාම මේ ආණ්ඩුවට වඩා මෛත්‍රීපාල සිරිසේන පාලනය හොඳා යැයි කියන මිනිසුන් ගණන දිනපතා වැඩිවෙමින් පවතී. යහා පාලන ආණ්ඩුව පෙරළීමටත් මේ ආණ්ඩුව බලයට පත් කර ගැනීමටත් බොහෝ වෙහෙස මහන්සි වූ මට මේ මොහොතේ කිසිවක් සිතා ගත නොහැකිය. ආණ්ඩුව "Fail" ය. විපක්ෂය ද  "Fail" ය. අපි ද  "Fail" ය. රටම "Fail" ය. මේ අනුව ඊළඟ මැතිවරණවලට අපේක්ෂකයන් ගෙන් විය යුත්තේ තව්තිසා දිව්‍ය ලෝකයෙන්වත් දැයි මට නිකමට සිතේ.

(ප.ලි.) එක් විද්වත් පාඨකයෙකු මේ ලිපිය ගැන දක්වා තිබුණු වැදගත් අදහසක් වූයේ "Fail" වීම තේරුම් ගැනීමට නොහැකි වීම ද "Fail" වීමක් යන්නය.මා ද ඒ මතය අනුමත කරන අතර "Fail" වීම නොතේරීම ලොකුම "Fail" වීම වේ.

 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
නිර්මාතෘ සහ පීඨාධිපති 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
කළමනාකරණ පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
 
Advertiesment