Saturday 19th of June 2021

English Tamil
Advertiesment


ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට මැදිහත් වූ රටවලට කරුගේ ස්තුතිය


2021-06-10 2061

එන්නත් ලක්ෂ 8ක්-වෛද්‍ය උපකරණ තොගයක් ලබා ගැනීමට කරූ දුන් දායකත්වය මෙන්න..!

 

ස්විට්සර්ලන්තයට, ප්‍රංශයට, ජර්මනියට සහ ජපානයට විශේෂ ස්තුතිය 

 

රට-ජනතාව වෙනුවෙන් කරූ ජාත්‍යන්තරයට මැදිහත් වුණේ මෙහෙමයි 

 

 
(සුජිත් මංගල ද සිල්වා)  

 

COVID-19 වසංගතය හේතුවෙන් ඉමහත් අභියෝගයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ යහපත උදෙසා ස්විස්ටර්ලන්ත රජය මඟින් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් එම රජයට සහ ජනතාවට සිය බලවත් ස්තුතිය පුද කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

සිය රටවල තිබෙන අතිරික්ත COVID-19 එන්නත්වලින් කොටසක් සහ වෛද්‍ය උපකරණ ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙසට ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ජර්මනිය යන යුරෝපා රටවල් තුනෙන්, ජපානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද මුලින්ම ඉල්ලා සිටියේ සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා වන අතර ඒ 2021 මැයි මස මුල් සතියේදී ය. 

මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

COVID-19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ඉමහත් අභියෝගයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ යහපත උදෙසා ස්විස්ටර්ලන්ත රජය මඟින් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීම පිළිබඳව අප සංවිධානයේ බලවත් ස්තුතිය එම රජයටසහ ස්විට්සර්ලන්ත ජනතාවටත් පළ කරනු කැමැත්තෙමු. 

අදාළ වෛද්‍ය උපකරණ තොගය (ජූනි 08 වන දා) කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකාව වෙත භාර දී තිබේ. මීට අමතරව ජර්මන් ජන රජය ද අපගේ ආයාචනයෙන් දින දෙකකට පසු ශ්‍රී ලංකාව ඇතුළු සුදුසුකම් ලබන රටවල ප්‍රයෝජනය සඳහා එන්නත් කෝටි තුනක් නිදහස් කර ඇත. ජර්මන් චාන්සලර් තුමිය විසින් මේ තීරණය ගත් බවට අපව දැනුවත් කර ඇත.

මීට අමතරව ගෙවුණු සති කිහිපයේ දී ස්විට්සර්ලන්ත, ප්‍රංශය සහ ජපානය සමඟ ද ඉතා හදිසි අවශ්‍යතාවය පවතින ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 600000ක් ලබා ගැනීම සඳහා අප කළ ඉල්ලීම් වල දී, ශ්‍රී ලංකාවට සහාය වීමට මෙම සෑම රටක්ම ඉදිරිපත් වීම සහ ඔවුන් ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි දැක්වූ සෙනෙහස අගය කරමු. මේ අනුව ජපානයෙන් ලැබෙන ප්‍රදානයත්, අපගේ මිත්‍ර රටවලින් "CVAX" ක්‍රමවේදය හරහා ලැබෙන එන්නත් ප්‍රමාණයත් සමඟ අඩුම වශයෙන් එන්නත් 8,65000ක් ශ්‍රී ලංකාවට ඉක්මනින් ලැබෙනු ඇත.

මෙම දුෂ්කර අවස්ථාවේ සහාය ලබා දුන් රජයන්ට සහ ජනතාවට සේම එම රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ වෙසෙන ගරු තානාපතිවරුන්ට ද, අප දිරිමත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයට ද, මේ සඳහා ආශිර්වාද කළ "UNISEF" ආයතනයට ද,එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතතුමියට ද අපි ස්තුතිවන්ත වෙමු. මෙම එන්නත් මෙරටට ලැබුණු පසු එම එන්නත් බෙදා හැරීම සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සකස් කිරීම රජයට භාර කාර්යයක් වන අතර මේ සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි හුදෙක් විශ්වාස කරමු.

COVID-19 වසංගතයෙන් රටත් ජනතාවත් රැක ගැනීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ජාත්‍යන්තරයට මැදිහත් වූ ආකාරය "කරූගේ ඉල්ලීමට එන්නත් තොගයක්ම නොමිලයේ" යන ශීර්ෂය යටතේ 2021.05.25 වැනිදා "lankanesweek" වාර්තා කළ හැටි..!

 

ජනතාවගේ ජීවිත වෙනුවෙන් කරූ ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීම මෙන්න 

 

ඒ ඒ රටවල තිබෙන අතිරේක එන්නත්වලින් කොටසක් දෙන්නැයි ඉල්ලලා 
 

 

ඉල්ලීම ගැන ස්විට්සර්ලන්තයේ, ප්‍රංශයේ සහ ජර්මනියේ විශේෂ අවධානය
 

 

එක්සත් ජාතීන් එක්කත් කතා කරලා  

 

සිය රටවල තිබෙන අතිරික්ත COVID-19 එන්නත්වලින් කොටසක් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙස හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා යුරෝපයේ රටවල් තුනකින් විශේෂ ඉල්ලීමක් කර ඇත. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා රටත් ජනතාවත් වෙනුවෙන් එම ඉල්ලිම කර තිබෙන්නේ ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල්වලින් වන අතර එම රටවල් නියෝජනය කරන තානාපතිවරුන් දැනුම් දී තිබෙන්නේ ඉල්ලීම කෙරෙහි එම රටවල විශේෂ අවධානය යොමු වී ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති භයානක තත්ත්වය සහ ජනතාව මුහුණ දී සිටින අවදානම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සමඟ ද දේශබන්දු ජයසූරිය මහතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති බව ද දැන ගන්නට තිබේ. 

මෙම සාකච්ඡාවන්හි දී කරු ජයසූරිය මහතා අදාළ රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ මේ වන විට ස්විර්සර්ලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් සතුව පවත්නා අතිරික්ත COVID-19 එන්නත් තොගයෙන් යම් ප්‍රමාණයක් හෝ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන ලෙසය. 

එමෙන්ම කරු ජයසූරිය මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් මැදිහත් වී අදාළ රටවල තිබෙන අතිරේක එන්නත් තොගය කොවැක් ප්‍රදාන සැලසුම යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන ලෙස වන අතර තානාපති අංශ ආරංචි මාර්ග "lankanewsweek" වෙත අනාවරණය කර සිටියේ එම ඉල්ලීම කෙරෙහි යහපත් ප්‍රතිචාර දක්වා ඇති එම රටවල් ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බවය. 

 

 

 

Advertiesment