Saturday 19th of June 2021

English Tamil
Advertiesment


ඛනිජ තෙල් සංස්ථාවත් විකුණන් කයි 


2021-06-09 2081

ජාතික ආරක්ෂාව අනතුරේ..! 

 

මේ අපරාධයට ඉඩ දෙනු එපා

 

දේශද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

මේ ගනුදෙනුව හෙළි කරමින් විජිත හේරත් මහතා මේ අදහස් පළ කළේ, ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ දී බදාදා (09) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. 

කොරෝනා වසංගතය අස්සේ ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. 1961 වෙන කොට අපේ රටට තෙල් ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම ඇතුළු සියලු කටයුතු පාලනය කළේ ෂෙල්, එසෝ සහ කැල්ටෙක්ස් කියන බහුජාතික සමාගම්. මේ සමාගම් ලෝකය පුරාම තෙල් ඒකාධිකාරය පවත්වා ගෙන යනවා. 50 දශකය අග භාගයේ ඇති වුණු ප‍්‍රගතිශීලී ජනතා නැගිටීම් එක්ක එවකට තිබුණු ආණ්ඩුවලට තෙල් පිළිබඳ ඒකාධිකාරී බලය රජය අතට ගන්න සිදු වුණා. 

ජන සතු කිරීමේ ව්‍යාපාරවල ප‍්‍රතිඵලයක් විදිහට 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සම්මත කර ගත්තා. තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම වගේම අපනයනය කියන සියලු කටයුතු ඛනිජ තෙල් සංස්ථාවට පැවරුවා. ඒ අනුව පිරිපහදුවත් පසු කාලයකදී ස්ථාපිත කළා. මේ නිසා මුල් වකවානුවේදී අති විශාල ලාභයක් ලැබුවා. 

මේ අනුව 1969 වසරේ සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබා ගත් ආදායමෙන් තෙල් ආනයනයේ වියදමෙන් 25%ක් ඉතිරි කර ගත්තා. කොළොන්නාවේ ලිහිසි තෙල් යන්ත‍්‍රාගාරයෙන් ඝන තාර, ඉටි පන්දම් සහ පොහොර ඇතුළු අතුරු ඵලයන් රැසක් නිෂ්පාදනය කළා. ඒ නිසා ලාභය තවත් විශාල වශයෙන් වැඩි වුණා. ඒ ලාභයෙන් විතරක් එදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැව් 3ක් මිලදී ගත්තා‍.

1976 දක්වා ලාභ ලබමින් තිබුණා. 76දී තෙල් ගේන්න ගිය සල්ලිවලින් 45%ක් අතුරු නිෂ්පාදන අපනයනයෙන් උපයා ගත්තා. එවැනි අසීමිත ලාභ ලබන ආයතනයක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව පැවතුණා. මේ කර්මාන්ත ශාලා නිසා විශාල රැකියා ප‍්‍රමාණයක් ලැබී තිබුණා. ඒ නිසා ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබුණා. 

නමුත් 1987 එක්සත් ජාතික පක්‍ෂය ඉන්දියාවත් එක්ක අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම යටතේ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවර දීමත් එක්ක පාවාදීම ආරම්භ වුණා. එදා ඉන්දියාව රටේ ජාතික ප‍්‍රශ්නයට මැදිහත්වීමෙන් පළාත් සභා පෙන්නලා ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ටික ලබා ගන්න ඒ ගිවිසුම පාවිච්චි කළා. 

ඒ පළමු පාවාදීමෙන් පස්සේ 2002 වසරේදී නැවත මේ පනත සංශෝධනය කර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙන්ම රජයේ තෙල් ඒකාධිකාරී බලය පුද්ගලික අංශයට පැවරීමට මුල පිරුවා. එදා 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත ගෙනත් 61 පනතේ මූලික හරය වෙනස් කළා. ඒ අනුව 61 අංක 28 දරන පනතේ "5-කේ" සහ "5-ජේ" ආදී වශයෙන් වගන්ති ගණනාවක් සංශෝධනය කළා. ඒ අනුව 2002 අංක 2 දරන බල ශක්ති සැපයුම් තාවකාලික විධිවිධාන පනත සම්මත කර ගත්තා. මේ ආකාරයට පනත් දෙකක් සම්මත කර ගෙන අවුරුදු දෙකක කාලයක් සඳහා බල ශක්ති සැපයුම් කමිටුවක් පිහිටුවා ගත්තා.

පවතින තත්ත්වය නිරීක්‍ෂණය කරලා පුද්ගලික ආයතනවලට ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේ බලය පැවරුවා. රජය සතුව තිබුණු ඛනිජ තෙල් සම්බන්ධ ඒකාධිකාරයන් පවාදීම මේ සමග ආරම්භ කළා. නමුත් එමගින් ලැබුණේ තාවකාලික බලයක් විතරයි. අවුරුදු දෙකක් සඳහා කමිටුව පත් කළ නිසා ඒ කාලයේ දී බලපත‍්‍ර 3ක් දීමේ හැකියාව ලබා ගත්තා. ඒ අනුව අයි.ඕ.සී. සමාගමට අවුරුදු 20ක කාලයක් සඳහා පමණක් බලපත‍්‍රයක් ලබා දුන්නා. මේ බලපත‍්‍රය දුන්නේ 2003දයි . ඒ අනුව 2023දී අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා.

වර්තමානය වන විට උදය ගම්මන්පිල මහත්මයා මේ පනතේ සංශෝධනය කරන්න යන්නේ මොනවාද..? අරමුණ විදිහට පෙන්වන්නේ මෙතෙක් කල් පැවති තෙල් ආනයනය, අපනයනය, ගබඩා කිරීම, පිරිපහදු කිරීම, බෙදාහැරීම සහ අලෙවිය කියන සියලු කර්තව්‍යයන් වෙනත් ඕනෑම කෙනෙකුට පැවරීමේ බලය ලබා ගැනීමයි. 

කොවිඩ් සංචරණ සීමාවලට ජනතාව කොටුවී සිටිය දී උදය ගම්මන්පිල දේශප්‍රේමී කඩතුරාවට මුවාවී මේ දේශද්‍රෝහී පනත් සංශෝධනය ගෙනත් තිබෙනවා. මේ අනුව ඇමතිවරයා අතට ඛනිජ තෙල් සම්බන්ධ සියලුම බලය පවරා ගන්න යනවා. ඩොලර් මිලියන 3,000ක ආයෝජනයක් අර ගෙන අලුත් ව්‍යවසායකයෙක් එන බව ඇමතිවරයා කියනවා. ඒ නිසා මේ පනත සංශෝධනය කර අලුත් පිරිපහදුවකට අවස්ථාව දිය යුතු බවට පට්ට පල් බොරු කියනවා. අපේ රටේ ජාතික සම්පතක් වෙච්ච තෙල් පිරිපහදුව කොම්පැණිවලට පැවරීමේ බලය ඇමතිවරයා අතට ගන්නවා.

අයි. ඕ.සී. සමාගමට තිබෙන කාලය 2023 දෙසැම්බර් 31 වෙන කොට අවසන් වෙනවා. නැවත ඒ බලය අයි. ඕ.සී. එකට දෙන්න පවතින පනත් අනුව බැහැ. ඒ නිසා ඇමතිවරයාට බලය පවරා ගෙන පිරිපහදුවේ කතාවක් දාලා අයි. ඕ.සී. එකට දීපු ලයිසන් එක නැවත දීර්ඝ කරන්න මේ හදන්නේ. පළවැනි උවමනාව ඒක. 

අයි. ඕ.සී. ගිවිසුම අවසන්වී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නැවත පූර්ණ ඒකාධිකාරිත්වය එනවා. ඒක වළක්වන එකයි පළමු වැනි උවමනාව. ඊළඟට ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලාබා දෙන එක තහවුරු කිරීමයි. ලෝක දේශපාලනයේ බල අරගලය නිසා ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට අපේ රට මැදිවී තිබෙනවා. 

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ටික අයි. ඕ.සී. එකට පවරලා හම්බන්තොට වරාය සමාගමට අයිති සිනෝපෙක් ආයතනය තෙල් ආනයනය කරලා නැව්වලට ලබා දෙනවා. සිනෝපෙක් කොම්පැණියෙන් ගෙන් වන නැව් තෙල් අයි. ඕ.සී. කොම්පැණියෙන් ගන්නවා. ආණ්ඩුව මේ කරන්න හදන්නේ හම්බන්තොට වරායෙන් නැව් තෙල් ගේන සිනෝපෙක් ආයතනයට ඒ පරිශ‍්‍රයේ ඊළඟ තෙල් පිරිපහදුව හදන්න අවසර දීමයි.

පහුගිය කාලයේ කළ වංචා-දූෂණවල ප‍්‍රතිඵලයක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව, ලංකා බැංකුව සහ මහජන බැංකුව කියන ප‍්‍රධාන බැංකු දෙකට ඩොලර් මිලියන 3300ක ණයක් තියෙනවා. රුපියල් කෝටි 66,000ක් විතර. හිටපු පාලකයෝ තෙල් සංස්ථාව පාඩු කරලා දැන් වෙන කොට කෝටි 66,000ක ණයකරුවෙක් කරලා. එදා නැව් 03ක් තිබුණු තෙල් සංස්ථාවේ අද තත්ත්වය ඒකයි. 

තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදාහැරීම එක පැත්තකින් අයි. ඕ.සී. සමාගමටත් අනෙක් පැත්තෙන් චීන සමාගමටත් ලබා දෙනවා. ඊට අමතරව වෙනත් ඕනෑම බහුජාතික සමාගම්වලටත් අවසර දෙන්න හැකියාව ලබා ගන්නවා. මෙතෙක් රාජ්‍යය සතුව තිබුණු තෙල් ඒකාධිකාරයේ සියලු බලතල පුද්ගලික අංශයට දෙනවා. මේ නිසා තෙල් සංස්ථාව මුළුමනින්ම විනාශවී යනවා. අලුත් ආයෝජනයක් ගේන බව කීවාට තාමත් ශක්‍යතා අධ්‍යයන වාර්තාව වත් හදලා නැහැ. නමුත් හදිසියේ ජනතාව රවට්ටලා අපේ ජාතික සම්පත් දැනට තියෙන ටිකත් විකුණන්න උත්සාහ කරනවා.

සපුගස්කන්දේ පිරිපහදු සංකීර්ණයේ දැවි තෙල් වැහි කාලෙට පිටාර ගලන එක වළක්වා අවට ජනතාවගේ ආරක්‍ෂාව හදන්නවත් මේ ඇමතිටත් ආණ්ඩුවටත් බැහැ. ගංවතුර ඉවර වෙලත් ඒ අවට ජනතාව පීඩා විඳිනවා. ගෙවල්වල කළු තෙල් තට්ටු බැඳිලා. ඒ තත්ත්වයට විසඳුම් දෙන්නවත් බැරි ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපෘති ගැන බොරු කතා කියනවා. 

ජනාධිපතිවරයා ජාත්‍යන්තර ආයෝජන සමුළුවේදී කිව්වේ 2030 වෙන කොට  ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියට මාරු වෙනවා කියලා. උදය ගම්මන්පිල ඇමතිවරයා ගේන මේ කැබිනට් පත්‍රිකාවත්, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයත් පරස්පර විරෝධීයි. ලෝකය අද වෙන කොට පුනර්ජනනීය බලශක්ති ක්‍ෂෙත‍්‍රයට මාරු වෙමින් යනවා. නමුත් උදය ගම්මන්පිල ඇමතිවරයා අවුරුදු 20 කාලයකට බහුජාතික සමාගමකට තෙල් සංස්ථාව පවරා දෙන්න යනවා.

අබලන් වෙච්ච අපේ පිරිපහදුව තියා ගෙන ඔය කියන ආයෝජකයත් එක්ක අපිට තරග කරන්න පුළුවන්ද..? හම්බන්තොට වරායේ හදන පිරිපහදුවත් එක්ක අපට තරඟ කරන්න පුළුවන්ද..? මේ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුළුමනින්ම අභාවයට යනවා. මේ පනත සංශෝධනය කරන්නේ එක අතක තිබෙන පෑනට බලය ගන්නයි. ඒ පෑන විකිණෙන මිල අනුව, එහෙම නැත්නම් සාක්කුවට වැටෙන ඩොලර් ප‍්‍රමාණය අනුව සියල්ල තීරණය කරන්න. රටම මෙහෙය විය හැකි බලශක්තිය එක පෑනකට ඌණනය කිරීමයි මේ කරන්නේ. 

මේක ඉතාම භයානකයි. බොරු දේශප්‍රේමියෙක් වෙච්ච උදය ගම්මන්පිල මහත්මයා රටේ ජාතික ආරක්‍ෂාව පවා අනතුරට හෙළනවා. බලශක්තිය කියන්නේ රටේ ආරක්‍ෂාවේ කොටසක්. කවර හෝ සමාගමකට පුළුවන්ද රටක මුළු ක්‍රියාකාරිත්වයම නතර කරන්න. මේකෙන් සිද්ධ වෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාව බිලිදී ඛනිජ තෙල් සංස්ථාවත් මුළුමනින්ම අභාවයට යැවීමයි. මේ අපරාධයට ඉඩ දෙන්න එපා කියලා රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ජනතා ද්‍රෝහී, දේශද්‍රෝහී ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වය නතර කරන්න පෙළ ගැහෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Advertiesment