Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ඉවසුවා ඇති-ආගමික අන්ත වාදයට එරෙහි වෙමු


2021-06-07 14365

අග රදගුරු ප්‍රකාශයෙන් පැහැදිලි වන භයානක යථාර්ථය මෙන්න..!

 

"ජනතාවට එක නීතියක්-පාලකයින්ට තව නීතියක්"

 

අන්තර් ජාතික ආගමික නිදහස පිළිබඳ ශ්‍රී ලංකාවේ වාර්තාව මෙන්න..!

 

අග රදගුරුගේ ආගමික නිදහස් සටනට ආචාරය 

 

රටේ ආගමික නිදහස-අයිතිවාසිකම් ගැන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ මතය  

 

 
(ලුම්බිණි ප්‍රමෝද්‍යා)
 

කිසියම් ශුද්ධ වූ පරම සත්‍යයක් නොමැති ලෝකයෙහි ආගමික නිදහස එනම්, තමා අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ හෝ ඒ අනුව ක්‍රියා කිරීමේ නිදහස සහ අයිතිවාසිකම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කොට ඇති අතර එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බහුතරයේ ආගම වන බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස සහ අයිතිවාසිකම තහවුරු කොට තිබෙන නමුත් රටක් ලෙස ශ්‍රී ලංකාවේ කලක සිටම සිදු වෙමින් පවතින්නේ ඉතාමත් ප්‍රචණ්ඩ අයුරින් ආගමික ස්වෛරීත්වය කෙලෙසන ක්‍රියාවන්ය. ආගම දඩමීමා කර ගෙන සිය දේශපාලනික, ආගමික හෝ පෞද්ගලික පටු න්‍යාය මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් රට-ජාතිය වනසන අන්තවාදී කණ්ඩායම් ප්‍රධාන වග කිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම රටේත් ජනතාවගේත් අවාසනාවක් වන අතර එම තත්ත්වය රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ හුදෙකලා වීම, ප්‍රතික්ෂේප වීම සහ අසරණ වීම කෙරෙහි ප්‍රබල ලෙස බලපා තිබේ.

ඊට ආසන්නතම සිද්ධිය ලෙස 2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා දිනයේ දී කතෝලික පල්ලි සහ කොළඹ තරු පහේ හෝටල් ඉලක්ක කර ගෙන එල්ල කෙරුණු මරා ගෙන මැරෙන මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය දැක් විය හැකිය. මේ මෙලෙච්ඡ ප්‍රහාරයේ මහා මොළකරුවන් සහ එහි සුලමුල සොයා ගෙන වග කිව යුත්තන් නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබා දීමට සේම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සහ අබාධිත වූ අහිංසක ආගමිකයින්ට සාධාරණය ඉටු කිරීමට රටක් ජාතියක් ලෙස අප තවමත් අසමත්ය.

මෙම මරා ගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විටින් විට සැක පිට අත්අඩංගුවට ගන්නා ආගම සහ ජාතිය පදනම් කර ගත් අන්තවාදීන් සම්බන්ධයෙන් නීතිය අකුරට ක්‍රියාත්මක වනවා ද යන්න පිළිබඳව රටේ බරපතළ සැකයක් මතුව තිබෙන අතර මෙම සමස්ත ක්‍රියාවලිය හුදු "Media Show" එකක් බවට පත්ව ඇත. නීතිය නමැති මකුළු දැලට කෙදිනක වත් ලොකු සතුන් අසු වන්නේ නැත. ඊට හසු වන්නේ කුඩා සතුන්ය. උන් එහිම පැටලී මිය යති.

රටේ උද්ගත වී තිබෙන මෙම අතිශය භයානක, අසාධාරණ සහ අර්බුදකාරී තත්ත්වයේ තරම මනාව පැහැදිලි වන්නේ, අති උතුම් මැල්කම් රංජිත් අග රදගුරු හිමිපාණන් 2021.06.02 වැනිදා ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රටත් ජනතාවත් එම ජනයාගේ ආගමික නිදහස සේම අයිතිවාසිකමුත් වෙනුවෙන් හඬ නගමින් එම සටන සියතට ගැනීමත් සමඟය.

මේ රට ආරක්ෂා කිරීමට භාර ගත් කණ්ඩායම රට විනාශ කරන මාවතට ගමන් කරමින් සිටින බවට එහිදී චෝදනා කර සිටී අග රුදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ කරුණාකර මේ විනාශකාරී ගමන වහාම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.

20219.04.21 වැනි පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පසු පස කුමන්ත්‍රණයක් පවතින බවට හිටපු නීතිපතිවරයා ප්‍රකාශයක් කර ඇති නිසා අලුත් නීතිපතිවරයා ඒ කියන කුමන්ත්‍රණය ගැන කරුණු සෙවිය යුතු බව අවධාරණය කර සිටී උන්වහන්සේ එම ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කරුණු සොයා බලා ඉදිරිපත් කළ වාර්තාව විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කළේම එක රටක් එක නීතියක් යන සංකල්පය බිඳ හෙළා "ජනතාවට එක නීතියක්-පාලකයින්ට තව නීතියක්" තිබෙන බව රටට පෙන්වීමට යැයි ද චෝදනා කළහ. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඇතුළු හිටපු බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන ලෙස අදාළ වාර්තාවෙන් කියා තිබුණත් ඒ අය සම්බන්ධයෙන් කිසිදු අයුරකින් නීතිය ක්‍රියාත්මක නොවන බවට ද අග රුදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ එහිදී චෝදනා කර සිටියහ. 

අග රුදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මෙම බරපතළ ප්‍රකාශයෙන් සහ චෝදනාවෙන් පැහැදිලි වන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආගමික නිදහසට සහ අයිතිවාසිකම්වලට අත්ව තිබෙන ඉරණම සේම ආගම, ජාතිය සහ දේශපාලනය පදනම් කර ගත් කුරිරු අන්තවාදයේ භයානක තත්ත්වය බව කිව යුතය.

මේ අනුව පැහැදිලි වන්නේ ජාති වාදය, ආගම් වාදය සහ පටු දේශපාලනය පදනම් කර ගත් අන්ත වාදී කුරිරු ත්‍රස්ත වාදයට එරෙහිව සර්වාගමික සහ සර්ව ජාතික නිදහස සේම අයිතිවාසිකම් වෙනුවෙන් සමස්ත පුරවැසියන් එකට ඒකරාශී විය යුතු කාලය එළැඹ ඇති අතර එම පෙළ ගැස්ම අත් නොහළ හැකි වගකීමක්, වහවීමක් සේම යුතුකමක් වන බවය. 

 

 

 


 

Advertiesment