Tuesday 26th of October 2021

English Tamil
Advertiesment


රට අශීලාචාර මානව කාන්තාරයක් වෙයිද..? 


2021-06-06 5699

නව මූල්‍ය මූලෝපායක් අත්‍යාවශ්‍යයි

 

රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය කරනු 

 

ණය ප්‍රතිව්‍යුහ ගත කරනු 

 

රටේ ආර්ථිකයේ තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න..! 

 

The Truth of Economy

 

 

(පාඨලී චම්පික රණවක)

 

මෙම ලිපිය මෙසේ ලියනුයේ, හුදු පටු දේශපාලන අරමුණක් පෙරදැරි කර ගෙන නම් නොවේ. මෙම රචනය 2016 වසරේ අප විසින් රචනා කරනු ලැබූ "මූල්‍ය අගාධයක් අභියස" නම් කෘතිය යාවත්කාලීන කිරීමකි. එමෙන්ම පවත්නා රජයට ආර්ථික ක්‍රමෝපාය පිළිබඳ අඩු පාඩු නිවැරදි කර ගැනීමට නැවතත් කරනා ආයාචනයකි. වැරදි ආර්ථික ක්‍රමෝපායන් නිවැරදි කර ගැනීමට රජයට බලපෑම් කිරීමට අවශ්‍ය දැනුම්වත් භාවය මහ ජනතාව අතර ඇති කිරීමට ගන්නා අවංක උත්සාහයකි. 

 
රාජ්‍ය මූල්‍ය අගාධය අභියස

 

රටක් ජාතියක් ලෙස අප මේ මොහොතේ අත්විඳිමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම රාජ්‍ය මූල්‍ය ඛේදවාචකයයි. වසර ගණනක් මුළුල්ලේ විනයකින් තොරව ක්‍රියාත්මක වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය රටේ ණය බර ඉහළ දමා ඇත. විශේෂයෙන්ම අධික පොලී අනුපාත යටතේ ලබා ගත් කෙටි කාලීන විදේශ  ණය, සමහර විට ප්‍රතිලාභ නොලබන දිගු කාලීන මහා පරිමාණ ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම අප රටක් වශයෙන් කළ සුවිශාල වරදකි. 

මෙම බරපතළ තත්ත්වය 2014 දී මා විසින් රචනා කරනු ලැබු, "ආලපාලු ආර්ථිකය" නම් කෘතියෙන් මනාව පෙන්වා දී තිබේ. එමෙන්ම පසු ගිය 2019 දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කළ බදු සහන පැකේජය මෙම අදූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්තියේ කූඨ ප්‍රාප්තිය බව මගේ පුද්ගලික මතයයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය අංශයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 109.7% ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර ඇත. 

ඒ ඉතිහාසයේ ඉහළම අගයයි. රජය විසින් ස්වෛරී බැඳුම්කර වටිනාකම අඩුවෙන් දැක්වීම නොසලකා හැරිය හොත් එම අගය දළ දේශීය නිෂ්පාදනයෙන් 113% ඉක්මවා යනු ඇත. මෙම ණය ඉහළ යෑමට බලපෑවේ බදු සහන පැකේජය හරහා රාජ්‍ය ආදායම 40% කින් පමණ කඩා වැටී, අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 11.1% ක මට්ටම දක්වා ඉහළ යාමයි. 

සත්‍ය අය වැය හිඟය, හිඟ පිය වීම් සමඟ ගැළපුව හොත් දළ දේශීය නිෂ්පාදනයෙන් 14% ක් ලෙස ඉහළ යනු ඇත. COVID-19 නිසා ඇති වී ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක මීට අඩු වැඩි වශයෙන් බලපා ඇත. නමුත් දළ දේශීය නිෂ්පාදිතය විශාල වශයෙන් අඩු වී ඇති අවස්ථාවක (සෘණ ආර්ථික වර්ධනයක් සහිත) රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ඉතිහාසයේ අවම මට්ටම වූ 9.2% වාර්තා කරනා විට මෙම අර්බුදය කොරෝනා වෛරසයට වඩා රාජ්‍ය බදු ප්‍රතිපත්තිය නිසා සිදු වූවක් ලෙස හඳුනාගත හැක. 

ණය ගෙවීමට පමණක් රජයේ මුළු ආදායමෙන් 70% කට වඩා වැය වන බව තේරුම් ගත් විට මෙම අර්බුදය තවත් පැහැදිලි වෙයි. තිරසර නොවන මුල්‍ය ප්‍රතිපත්ති නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ණයබර දැරිය නොහැකි ලෙස ඉහළ යනු ඇතැයි ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතන මේ වන විටත් පුරෝකථනය කර ඇත. (වගුව-I)

 

 

පවත්නා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ණය තව දුරටත් ඉහළ යාම සහ රට බංකොළොත්භාවය දක්වා ගමන් කිරීමත් වැළැක් විය නොහැක. මෙම මූල්‍ය ප්‍රතිපත්තිය රටේ ණය ශ්‍රේණි ගත කිරීම අධි අවදානම් රටක් දක්වා පහළ යාමට ද හේතුවක් විය. ශ්‍රේණි ගත කිරීම පහළ යාම නිසා අපේ රට ඇන්ගෝලාව, ආජන්ටිනාව, මොසැම්බික් රාජ්‍යය, කොංගෝව, ඉතියෝපියාව සහ ගැබෝන් රාජ්‍යය යන රටවල් කණ්ඩායමට එකතු වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළවල් හරහා අරමුදල් සම්පාදනයට ඇති ඉඩ කඩ සම්පූර්ණයෙන්ම ඇහිරී ඇත. 

එනම්, ආර්ථික සංවර්ධනයට සේම ගත් ණය ආපසු ගෙවීම සඳහා විදේශීය ණය පහසුකම් ලබා ගත නොහැකි රටක් බවට පත් වෙමින් ශ්‍රී ලංකාව  බංකොළොත්භාවයේ මුව විටට වැටී ඇත. සාමාන්‍ය වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 6-7 කට ආසන්න ණය සහ පොලිය ගෙවීමේ හැකියාවක් රටක් ලෙස ශ්‍රී ලංකාවට තව දුරටත් නොමැත.

 
මේ තත්ත්වය පාලනය කිරීමට දැනට පවත්නා ක්‍රමෝපාය සෑහේද..?

 

රටේ උද්ගත වී තිබෙන බරපතළ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා රජය ගන්නා බව කියන පියවර සම්බන්ධයෙන් රටක් වශයෙන් අපට සෑහීමකට පත් විය හැකි ද..? රාජ්‍ය මූල්‍ය හිඟය පියවීමට අසීමාන්තිකව මුදල් අච්චු ගැසීම සහ බැංකුවලින් ණය ගැනීම පළමු ප්‍රතිචාරය වී ඇත. 2020 වසරේ දී රුපියල් බිලියන 650ක මුදල් අච්චු ගසා නිකුත් කළ අතර 2021 වසරේ පළමු මාස 04 ඇතුළත දී තවත් බිලියන 169 ක් අච්චු ගසා නිකුත් කර ඇත. 

අධික මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිපාක ජනතාවගේ ජීවන බරට මේ වන විටත් යම් තාක් දුරකට එකතු වී ඇති අතර විනිමය අනුපාතය විශාල ලෙස අව ප්‍රමාණ වීමේ අවදානමට ද මුහුණ දී සිටියි. මෙම පීඩනය ඉදිරි මාස කිහිපයේ දී තව දුරටත් උත්සන්න වීමට නියමිතය. (මුදල් අච්චු ගැසු ප්‍රමාණය පළමු රූප සටහනින් දක්වා ඇත.)

 

 

දෙවන ප්‍රතිචාරය වී ඇත්තේ අපගේ විදේශ ණය ගෙවීමට මහ බැංකුවේ නිල සංචිත යොදා ගැනීම සහ වාණිජ බැංකුවල විදේශ වත්කම් අත්පත් කර ගැනීමය. මෙම ක්‍රියා මාර්ගය හරහා දේශීය වාණිජ බැංකු අධික පීඩනයට ලක්වී ඇති අතර එම බැංකුවල ණය වර ලිපිවල වලංගුභාවය පිළිබඳව අවදානමක් ද මතු වී ඇත. 

තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විදේශ සංචිත 2010 වසරෙන් පසු වාර්තා වී ඇති අවම අගය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 4 මට්ටමට කඩා වැටී ඇත. ඉදිරි මාස දෙකක කාලය ඇතුළත දී තවත් ඩොලර් බිලියන 1.5ක් ගෙවීමට ඇත්තේද මෙම කඩා වැටී ඇති නිල විදේශ සංචිතවලිනි. බැංකු ක්‍රමයේ ඇති මුළු ශුද්ධ වත්කම් දැඩි සේ කඩා වැටෙමින් පවතියි. විදේශීය වත්කම් පාලනය හරහා ඉදිරි කාලයේ දී තෙල්, ඖෂධ, පොහොර ඇතුළු අනෙකුත් ආනයනික භාණ්ඩ සහ අන්තර් භාණ්ඩ ගෙන්වීමට රට අපොහොසත් වනු ඇති අතර භාණ්ඩ හිඟයක්, භාණ්ඩ මිළ ඉහළයාමක් සහ කළු කඩ ඇති වීමක් වැළැක්විය නොහැක. (රූප සටහන් අංක 02 සහ අංක 03 බලන්න )

 

 

මෙම ක්‍රියා මාර්ග සත්‍ය වශයෙන්ම අපට සිහි ගන්වනුයේ එකක් කඩතොළු වසා ගන්නට තවත් කඩතොළු කිහිපයක් නිර්මාණය කළ ඉඳුරුවේ ආචාරියාය. නමුත් අප පත්ව ඇති අසීරු අඩිය උපහාසයට ලක් කිරීම හෝ එම තත්ත්වය දේශපාලන වාසියක් කර ගැනීමට මේ අවස්ථාවක් නොවේ. ක්‍රමෝපායන් නිවැරදි කර නොගත හොත් රටට, නූපන් පරපුරට සහ මහ ජනතාවට පක්ෂ භේදයකින් තොරව වන්දි ගෙවීමට සිදු වනු ඇත. එබැවින් මෙම අවස්ථාව ඉතා ප්‍රවේශමෙන් සබුද්ධිකව කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ. 

 
කළ යුත්තේ කුමක්ද..?

 

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය යළි ළඟා කර ගැනීම අත්‍යාවශ්‍යය වේ. මේ සඳහා 2019 හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්‍රමිකව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ. මේ හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේත්, මූල්‍ය ආයතනවලත්, විශ්වාසය ගොඩනැගෙනු ඇත.  

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මුදල් අච්චු ගැසීමට ඇති අවශ්‍යතාවය අවම කරනා අතර ආර්ථික ස්ථායීකරණයට මහත් පිටු බලයක් වනු ඇත. රාජ්‍ය ණය සහ පොලී ගෙවීම අසීරු අඩියක පවතින හෙයින් ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම අනෙක් අත්‍යාවශ්‍ය කාරණයයි. සාධාරණ රාජ්‍ය මූල්‍ය රාමුවක් ඉදිරිපත් කොට ණය ලබාදී ඇති ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් රටට ඉදිරි වසර කිහිපයේ දී ගෙවීමට ඇති හැකියාවට යෝග්‍ය වන ලෙස ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම කළ යුතුය. 

එමෙන්ම ආයෝජන විශ්වාසය තව දුරටත් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපට බල කර තිබේ. එසේ නොමැතිව මිත්‍රශීලී රටවල් සමඟ විදේශ මුදල් අත මාරු කරණය මඟින් අර්බුදය කල් දැමීමෙන් සිදු වන්නේ මහා අර්බුදයකට ද, අවසානයේ වටිනා රාජ්‍ය දේපොළ සහ ඉඩම් විදේශිකයන්ට විකිණීමට ද පාර කැපීමය. මේ නිසා රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය සහ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම මේ මොහොතේ වහාම සිදු කළ යුතු කාර්යයකි. 

මෙම පියවර කිසිවක් පහසු ජනප්‍රිය ක්‍රියා මාර්ග නොවේ. ඉදිරි වසර කිහිපය මුළු රටටම අතිශය අසීරු කාලයක් වනු ඇත. නමුත් සාධනීය පියවරක්  නොගෙන දැනට පවත්නා ක්‍රමය දිගටම පවත්වා ගෙන ගිය හොත් රට යළි ගොඩගත නොහැකි අඳුරු යුගයකට යනු ඇත.  සම්පත්වලින් පිරුණු වෙනිසියුලාව සහ සිම්බාබ්වේ රාජ්‍ය අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල විදහා දක්වන ජීවමාන උදාහරණ වේ. එවැනි තත්ත්වයකට රට ගමන් කිරීම වැළැක්වීම අප සියලු දෙනාගේම වගකීමයි. මෙහිදී ජනතාවට පමණක් බර නොපටවා දේශපාලන නායකත්ව සහ නිලධාරී තන්ත්‍රයද පටි තද කර ගැනීම අවශ්‍ය වේ. මෙමඟින් විශාල ආර්ථික අර්බුදයක් සහ සමාජ අසහනයක් වළක්වා ගැනීමට යම් හැකියාවක් ලැබෙනු ඇත.  

ජාවාරම්කාර ව්‍යාපාර පංතියකට ඉඩදීම නිසා බිඳ වැටී ඇති ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීමද, ප්‍රතිඵලදායක නොවන ප්‍රාග්ධන ආයෝජන සහ COVID-19 වසංගතය කළමනාකරණය කිරීම දේශපාලනකරණය කිරීමෙන් ඇතිවී ඇති සමාජ අසහනය පුපුරා යෑමට පෙර වළක්වා ගත යුතුය. ඒ සඳහා අවවාදයට වඩා ආදර්ශය අත්‍යාවශ්‍ය වේ. 

මේ වන විටත් වාර්තා වී ඇති ආකාරයට රටේ උගත් තරුණ පරපුර ලක්ෂ ගණනින් විදේශ රටවලට යෑමටත්, රටේ ධනය හිමි පිරිස් විදේශ රටවල නේවාසික වීසා ලබා ගැනීමටත් මහා පරිමාණයෙන් පෙළඹී සිටිති. මෙම වාතාවරණය මෙසේම පැවතුණොත් ශ්‍රී ලංකාව හැකියාවන්ගෙන් පිරුණු මිනිසුන් නොමැති අශීලාචාර මානව කාන්තාරයක් වනු නොඅනුමානය. මේ එලඹ තිබෙන්නේ හැකියා පූර්ණ මිනිසුන්ගේ ඉදිරිපත්වීම රටට අත්‍යාවශ්‍යම මොහොතයි. 

ඒ අනුව ආණ්ඩුවේ ආර්ථික ක්‍රමෝපාය වෙනස් කිරීමට සියලු දෙනාම බල කළ යුතු අවස්ථාව එළඹ තිබේ. අප නැවත නැවතත් රට වෙනුවෙන් ආයාචනා කරන්නේ මහා ජන එකඟතාවය ඇතිව වහාම නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසයි. ඒ සඳහා කොන්දේසි විරහිතව සහය දීමට රට වෙනුවෙන් අප ඉදිරිපත් වන්නෙමු. මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොවී පසුව කණගාටුවීම අප කිසිවෙකුටත් ඵලදායී නොවනු ඇත. 

Advertiesment