Saturday 19th of June 2021

English Tamil
Advertiesment


පරිසරයට එරෙහි දේශපාලන ප්‍රචණ්ඩත්වය නවතනු


2021-06-05 7804

තිරිසන් සත්තුවත් සිය මව් කෙළසා වන්දි බලාපොරොත්තු නොවෙති 

 

ජාතියක්-ජන්මයක් ඇති කිසිවෙක් පරිසරයට අත නොතබති 

 

 "X-Press Pearl" ඛේදවාචකයේ හානිය ගණනය කළ නොහැක 

 

 
(අචින්ත මදුර සමරසිංහ)

 

සෑම වර්ෂයකම ජූනි මස පස් වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන අචින්ත මදුර සමරසිංහ ශිෂ්‍යා විසින් මෙම ලපිය සම්පාදනය කෙරිණ. 

සෑම වසරකම ජූනි මස පස් වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනය දා කතා කිරීමට ඇත්තේ සතුටුදායක ආරංචි නම් නොවේ. පරිසරයට මේ තරම් හානියක් වූ කාලයක් මගේ මතකයේ නැති තරම්ය. ඇස් පනාපිට ලක් මව විනාශ වෙද්දී ඒ දෙස ඔහේ බලා සිටීමට සිදු වීම මගේ හදවත සියුම් පිහි තුඩකින් පසාරු  කරන්නක් සේ රිදුම් දෙයි. 

දේශපාලුවන්ට අගයක් නොමැති මේ සුන්දර පරිසරය ඔවුන් විසින් විනාශ මුඛයට ඇද දමමින් තිබියදී, කට වසා ගෙන බලා සිටිය නොහැකි බැවින් මෙලෙස පන්හිද හසුරු වන්නට සිතුවෙමි. එසේ කිරීමෙන් අවම වශයෙන්  ලබන වාරයකදී වත් මෙවැනි දුෂිත පාලකයින්ට ඡන්දය දීමට පෙර ජනතාව හොඳින් සිතා බලා කටයුතු කරනු ඇතැයි සිතමි. 

කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක් වූ "X-Press Pearl" නෞකාවේ සිද්ධිය ආසන්නම සිද්ධිය වන අතර ඊට පෙර 2020 වසරේදී ලෝක උරුම සිංහරාජය විනාශ කරමින් එහි මධ්‍යයේ චීන රජයේ අනුග්‍රහය සහිතව වැව් දෙකක් ඉදි කිරීමට පටන් ගැනීම, 2020 වර්ෂයේ වයඹ ප්‍රදේශයේ වෙරළාසන්න කඩොලාන ශාක පද්ධතිය විනාශ කිරීම, සංචාරක ආකර්ශනය බහුලව පැවති සුන්දර කළුතර කැලිඩෝ වෙරළ තීරය 2018 වසරේදී රටට අහිමි කිරීම, මහා වනස්පතින්ගෙන් ගහන වූ විල්පත්තුව කපා විශාල භුමි ප්‍රදේශයක් හෙළි කිරීම වැනි එකී මෙකී නොකී විවිධාකාර පරිසර හානි මගින් මව්බිමේ සුන්දරත්වය විනාශ කිරීමට මෙතෙක් කල් රට පාලනය කළ මහා දේශප්‍රේමින් කටයුතු කර තිබේ. පරිසර සංරක්ෂණයට අදාළ ජාත්‍යන්තර සම්මුති කිහිපයකට රටක් ලෙස රට අත්සන් තබා ඇත. ඒවා නම්,

(01) Basal - අන්තරයාකාරක අපද්‍රව්‍ය දේශ සීමා හරහා ප්‍රවාහනය පාලනය කිරීම සඳහා පවතින සම්මුතියකි.

(02) Marpol (1973) - නැව් මගින් සිදු වන සමුද්‍රික පරිසර දුෂණය වීම වැළැක්වීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතිය යි.

නමුත් මේවා හරියාකාර ලෙස ක්‍රියාත්මක වන්නේදැයි මේ වන විට මිනිසුන් අතර බරපතළ සැකයක් මතුව පවතින්නේ මෙවැනි මහා පරිමාණ පාරිසරික විනාශයන් සිදු වෙමින් පවතින බැවිනි. මේ දිනවල බහුලව ඇසෙන වචනයක් නම් වන්දි යන වචනයයි. රජයේ ඇමතිවරයෙකු වන වාසුදේව නානායක්කාර පසුගියදා කියා සිටියේ, "ආ ඒවාට අපිට ලොකු වන්දියක් ලැබෙනවා" යන්නයි. වරයා භාර ඇමති රෝහිත අබේගුණවර්ධන ද, "අපි මේවට වන්දි අය කර ගැනීමට අනිවාර්යයෙන් කටයුතු කරනවා" යැයි පවසා තිබේ. 

එනමුදු ගණනය කර නිම කළ නොහැකි තරමේ හානියක් මේ වන විට ද අපගේ සුන්දර වෙරළ තීරයට සිදු වී හමාරයි. මීට මාස 8 කට පමණ පෙර සිදුවූ "New Diamond" නෞකාවේ අනතුරද මේ හා සමාන භයානක ප්‍රතිඵල අත් කර දුන් නමුත් එමගින් ලද අත්දැකීමෙන් පාලකයින් පාඩමක් ඉගෙන ගෙන නොමැත බව නම් පගදිලිය. එමගින් ලැබුණු වන්දි මුදලට සිදු වූයේ කුමක්ද කියා කිසිම හා හූවක් නොමැත. මනා කළමනාකරණයක් තිබුණේ නම් ඉදිරියේදී මෙවැනි අනතුරක් සිදු වුව හොත් එම අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය අධි පීඩන ජල පොම්ප හෝ ලද වන්දි මුදලින් ලබා ගැනීමට කටයුතු යෙදවීමට තිබුණි. එම කටයුතු එසේ සිදු වූයේ නම් අද මෙවැනි විනාශයක් සිදු නොවන්නට ඉඩ තිබිණි.    

 


 
නුදුරුම සිද්ධිය "X-Press Pearl" බැවින් ඒ පිළිබඳව පමණක් විස්තරාත්මකව කතා කිරීමට බලාපොරොත්තු වෙමි. සිදු වී ඇති මහා පාරිසරික විනාශය වන්දිවලින් පිය විය හැකි එකක් නොවේ. කොළඹ සිට උතුරු දෙසට මන්නාරම දක්වා ද,  දකුණු දෙසට ගාල්ල දක්වා ද  සංචාරක ආකර්ශනයේ  කේන්ද්‍රස්ථානයක් වූ මුළු වෙරළ තීරයම මේ වන විට ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් වැසී ඇත. 

මේ වන විට ලැබී තිබෙන තොරතුරුවලට අනුව "X-Press Pearl" නෞකාවේ ප්‍රවාහනය කර ඇත්තේ අඩු ඝනත්ව "Plastic" කැබලි, එතිල් මධ්‍යසාර, නයිට්‍රික් (HNO3) අම්ලය, රූපලාවන්‍ය ද්‍රව්‍ය නිපදවීමට භාවිත වන "Micro Plastic" යනාදී ද්‍රව්‍යයි. මේ සියලුම අපද්‍රව්‍ය නිදහස් වූයේ අපගේ නොගැඹුරු මුහුදු තීරයටයි. එහි ඇති භයානකකම වන්නේඑම මුහුදු තීරය ජෛව විවිධත්වයෙන් අධිකම සාගර කලාපය වීමයි. 

මේ නිදහස් වූ Plastic කැබලි මත්ස්‍යයින්ගේ කරමල් අතර සිර වීම හේතුවෙන් සහ විශාල මත්ස්‍යයින් විසින් ආහාරයට ගැනීම හේතුවෙන් යන දෙයාකාරයෙන්ම ඔවුන් මිය යාමට ඉඩ ඇත. ඊටත් වඩා භයානක තත්ත්වය වන්නේ Micro Plastic නමැති අන්වීක්ෂිය ද්‍රව්‍ය ඇල්ගීවල තැන්පත් වීම හේතු කොට ගෙන ඇල්ගීවල ප්‍රභාසංශ්ලේෂණය අඩාල වන අතර ඇල්ගී ආහාරයට ගෙන ජීවත් වන බහුතර කුඩා මත්ස්‍යයින්ට ආහාර හිඟ වන නිසා කුඩා මත්ස්‍ය ගහනය අඩු වී විශාල මත්ස්‍යයින්ට ආහාර හිඟ වීමෙන් බටහිර මුහුදේ සමස්ත මත්ස්‍ය සම්පතම අතුරුදහන් වී යා හැකි වීමය. මීට අමතරව Micro Plastic තැන්පත් වූ ඇල්ගී ආහාරයට ගන්නා මත්ස්‍යයින් ගෙන් ආහාර දාම ඔස්සේ අවසානයේ මිනිස් ශරිරයට මෙම විෂ එකතු විය හැක.

 

 

නයිට්‍රික් (HNO3) අම්ලය මුහුදට එකතු වීම මඟින් මුහුදු ජලයේ Ph අගය වෙනස් වන අතර එමඟින් නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන ජලයේ Ph අගයට අතිශය සංවේදී ජීවින් කොට්ඨාසයක් වන කොරල් බුහුබාවන් නමැති ජීවීන් මිය යයි. කොරල් බුහුබාවන් විසින් ඔවුන් වටා ශ්‍රාවය කර ගෙන සාදා ගන්නා කවචයන්ගේ එකතුව කොරල් පරය ලෙස හඳුන් වන අතර එම කොරල්පර සෑදී ඇත්තේ CaCO3  යන ද්‍රව්‍යයෙනි.  

 

 

මහා බාධක කොරල් පරයේ සිද්ධියේදීත් කොරල් මිය යාමක් ගැන අප අසා තිබුණ ද එහිදී අවම ලෙස කොරල් පරය වත් ඉතිරි වී පැවතිණි. නමුත් මෙහිදී සාගරයට නිකුත් වුණු නයිට්‍රික් අම්ලය හේතු කොට ගෙන කොරල් පරය ද දිය වී සහමුලින්ම සමුද්‍රික පාරිසරික කලාපයම විනාශ වී ගියේය. මන්දයත් HNO3 අම්ලය CaCO3  සමග ප්‍රතික්‍රියා කොට CaCO3  සම්පුර්ණයෙන්ම දිය කර දමන නිසාය. 

මේ කාරණය මේ රටේ සාමාන්‍ය පෙළ හදාරන සිසු සිසුවියන් ද දන්නා සාමාන්‍ය කරුණකි. කොරල් පරයක් විනාශ වීමෙන් කොරල් ජීවින්ට අමතරව ඒ ආශ්‍රිතව පවතින අති සංවේදී අධික ජෛව විවිධත්වයද අපට අහිමි වී යයි. මිට අමතරව මන්නාරම ආශ්‍රිත නොගැඹුරු මුහුදු පතුලේ වැවෙන මුහුදු තෘණ පත් නමැති අධික ජෛව විවිධත්වයක් සහිත පරිසර කලාපය ද මේ රසායන ද්‍රව්‍ය මුහුදු ජලයට එකතු වීම හේතු කොට ගෙන ඇති වන්නා වූ ආම්ලික තත්ත්වය නිසා මිය යාමට ඉඩ තිබේ.  එවිට ඒ ආශ්‍රිත සත්ව ගහනය ද ඒත් සමඟ නැවත උත්පාදනය නොවන ලෙසින් විනාශ වී යනු ඇත. මෙහි ශෝචනීය ඉරණම තවත් පරම්පරා ගණනකට අත් විඳීමට සිදු වනු ඇත. 

 


 
සිංහරාජය මධ්‍යයේ වැව් තැනීම එක්තරා ආකාරයකට විහිළුවකි. වියළි කලාපයේ ජල හිඟයට වීසදුම් ලෙස අපේ පුරාණ රජවරු වැව් තැනුව ද, තෙත් කලාපීය සදාහරිත වැහි වනාන්තරයක් මධ්‍යයේ වැව් තැනීම අමනෝඥක්‍රියාවකි. ඒ මන්ද යත් එමගින් සිදු වන්නේ ජාල පෝෂක ප්‍රදේශවලට හානි සිදු වීම මිස ජල ගැටලුවලට විසදුම් සෙවීමක් නොවේ.  වැව් සැදුවාට කමක් නැත. එහෙත් වැවක් සෑදීමට තිබෙන්නේ සිංහරාජය පමණ ද..?        

 

     
 
"ඔක්සිජන් තිබිල වැඩක් නැහැ" යන්න කන වැකුණු සැනින් කඩොලාන විනාශය නැවත්වීමට දිවි හිමියෙන් සටන් කළ අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය ඔබේ මතකයට නිසැකයෙන්ම නැගෙනවා ඇත. කඩොලාන පරිසරය ආශ්‍රිතව පවතින ඔක්සිජන් නිෂ්පාදකතාව දන්නා කිසිදු අයෙකු මෙවන් මෝඩ ප්‍රකාශ සිදු කරන්නේ නැත. 

සාමාන්‍ය ගොඩබිම ශාකයකටත් වඩා වැඩි අධික ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවීමේ හැකියාවක් මෙම කඩොලාන ශාක පද්ධතිවලට පවතියි. මෙවැනි ප්‍රකාශ සිදු කරන නූගත් මන්ද මානසිකයින්ට සහ අට පාස් ඇමතියන්ට නොනැමී ඇය කතා නොකරන්නට දේශද්‍රෝහීන් එම පරිසරය වැනසූ වගක් අප දන්නේවත් නැත. පරිසරය පිළිබඳව අබමල් රේණුවක තරම්  හැඟීමක් ඇති අයෙකුට ගසක් කපා දමනවා තියා අත්තක් කඩා දමන්නවත් සිතෙන්නේ නැත. තිලොවටම අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපසම්පදා සීලය පැන වීමේදීත් ගසක අත්තක් වුව නොකැඩිය යුතු යැයි සිල් පදයක් පැන වුවේ උන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ පරිසර වේදියෙක් තවත් නොමැති බැව් පසක් කරමිනි. 
 
2017 වසරේ කළුතර නගරයට පැමිණි ගංවතුර තත්ත්වයක් නිසා ඊට පිළියම් යෙදීමට යැයි නිලධාරීන් විසින් සිදු කරන ලද අමනොඥ ක්‍රියාවක් හේතුවෙන් සුන්දර වෙරළ තීරයක් වූ කැලිඩෝ වෙරළ තීරය අපට අහිමි විය. විශේෂඥයින්ගෙන් නොවිමසා කළු ගඟේ ජලය බැසීමට ගඟට ඍජුව වෙරළ මධ්‍යයෙන් කැපුමක් යොදා කරන ලද සිද්ධියෙන් පසු මාස කිහිපයක් ගත වන්නටත් මත්තෙන් සුන්දර කැලිඩෝ වෙරළ අතුරුදහන් වී කළුතර බෝධිය තෙක්ම මුහුදු රළ පැමිණෙන්නට විය. 

එමගින් නොනැවතුණු එම විනාශය නිසා කළුතර ආශ්‍රිත ජනතාවට මාස ගණනාවක් තිස්සේ ලුණු වතුර පානය කරන්නට සිදු වූයේ මුහුදු ජලය කළු ගඟ දිගේ ඉහළට පැමිණීම නිසා වෙනි. තාවකාලිකව ගල් වැටි යෙදුවද පසු කාලීනව වැලි පොම්ප කළ ද එම සුන්දර වෙරළ තීරය නැවත ඇති නොවිණි. මිනිසුනේ, ස්වභාවික පරිසරයට අත නොතබන්නැයි ඔබෙන් ඉල්ලනුයේ මේ නිසා වෙනි. වනසන්නට ලෙහෙසි මුත් යථා තත්ත්වයට පත් කිරීම කෙතරම් අපහසුද..? ඇතැම් විට කෙදිනකවත් යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස සදහටම අපට එම පරිසර පද්ධති අහිමි වන්නට හැක. කැලිඩෝ වෙරළ තීරය සහ ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරය ඔබට පෙන්වා දෙන්නේ එම යථාර්ථය පවසන්නේ එය නොවේද..?  
 
විල්පත්තුව නම් වූ ශ්‍රී ලංකාවේ තිබූ විශාලතම ජාතික වනෝද්‍යානය නීත්‍යානුකුල නොවන ලෙස ජනතාව පදිංචි කිරීම සඳහා විනාශ කිරීම හේතුවෙන් අද වන විට අක්කර දහස් ගණනකින් වියළි කලාපීය වනාන්තරය අපට අහිමි වී ඇත. ඊට අමතරව වනාන්තරයේ ජීවත් වූ අලි ඇතුන් ආහාර හිඟ වීම හේතු කොට ගෙන ගම් වැදීම සුලබ ප්‍රශ්නයක් වී තිබේ. පරිසරයේ යම් කිසි සමතුලිත බවක් ඇත. එම සමතුලිත භාවය වෙනස් කරන්නට යාමෙන් අත් වන්නේ භයානක ප්‍රතිඵල වේ. එම යථාර්ථය සැම දෙනෙක්ම මතක තබා ගත යුතු කරුණකි. 
 
මේ සිදු වූ විනාශය කියා නිම කරන්නට නොහැකි තරම් වුවකි. ඇත්ත වශයෙන්ම මගේ රට ගැන මට මහා දුකක් දැනේ. මිනිසුන් මේ තරම් අදුරදර්ශී වනුයේ මන්ද..? මේ කෙලෙසන්නේ තමාගේම අම්මා වග ඩොලර්වලට යට වූ ඔවුන්ට නොපෙනෙන්නේ ඇයි..?
 
 

Advertiesment