Saturday 19th of June 2021

English Tamil
Advertiesment


දෙසැම්බර් 31 ට පෙර සියලු දෙනා එන්නත් කළ යුතුයි 


2021-06-03 6532

එසේ කළොත් රටත්-ජනතාවත් බේරා ගත හැකියි 

 

"PCR" පරීක්ෂණ දෙගුණ තෙගුණ කළ යුතුයි 

 

"Express Pearl" ඛේදවාචකයත් ගජ මිතුරු වසන්තයක් නොකරනු 

 

ජනපතිගේ කාබනික පොහොර ප්‍රතිපත්තියට එරෙහිව ගොවීන් කුපිත වෙලා

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

මාරාන්තික COVID-19 වසංගතයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා 2021 දෙසැම්බර් 31 වැනිදාට පෙර අවුරුදු 10 ට වැඩි සියලුම පුද්ගලයින් එන්නත්කරණයට ලක් කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ඊට සමගාමීව රට පුරා සිදු කෙරෙන "PCR" පරීක්ෂණ ප්‍රමාණය දෙගුණ තෙගුණ කළ යුතු බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා "COVID-19" ජය ගත හැක්කේ දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීම්වලින් නොව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් යැයි ද කියා සිටියේය.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් බ්‍රහස්පතින්දා (03) කොළඹ දී සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

COVID-19 වසංගත තත්ත්වය හමුවේ රටත්, ජනතාවත්, බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙමින් සිටින මෙම අවස්ථාවේ අප මෙම අදහස් දැක්වීම සිදු කරන්නේ මෙම භයානක තත්ත්වයෙන් රටත්, රටේ වෙසෙන සියලුම ජනතාවත් මුදා ගැනීම සඳහා අප සතුවද වගකීමක් පවතින නිසායි. හුදු විවේචන සහ දෝෂාරෝපණයන් සිදු කිරීම අපේ අරමුණ නොවෙයි. එනමුත් පවතින යතාර්ථය තේරුම් ගනිමින් එම යථාර්ථය පෙන්වා දීම අප සතු යුතුකමක් සහ වගකීමක් ලෙස අප සලකනවා.

රටේ වර්තමාන තත්ත්වය ගැන සුළුවෙන් තැකිය යුතු නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එම බියකරු තත්ත්වය ගැන අපව දැනුම්වත් කර තිබෙනවා. ඒ නිසා රටක් වශයෙන් අප ගත කරන්නේ ඉතාමත්ම වගකීමකින් සහ කාර්‍යක්ෂමව කටයුතු කළ යුතුව ඇති කාල වකවානුවකයි. නමුත් එවැනි පරිසරයක් රටේ දකින්නට තිබෙනවාද..? COVID-19 වසංගතයේ ඇති බිහිසුණු බව සහ ඒ මඟින් ඇති කරන ප්‍රතිවිපාක පිළිබඳව අවබෝධයක් තිබියදීත් රටක් ලෙස අප වගකීමකින් යුතුව කටයුතු කර තිබෙනවාද..? මේ වන විට අප මුහුණ දෙමින් සිටින අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු නොවී මෙම වසංගතය මීට වඩා සාර්ථකව මර්දනය කිරීමට අපට ඉඩකඩ නොතිබුණාද..? 

ඇත්ත වශයෙන්ම ඒ ගැන අප අපගෙන්ම විමසිය යුතුව තිබෙනවා. රටක් ලෙස අප ඉතිහාසයේ කර ඇති වැරදි පමණක් කතා කිරීමෙන් මෙම අනතුර ජය ගැනීමට හැකියාවක් නැහැ. එනමුත් ඒ වැරදි තේරුම් නොගෙන සහ එමගින් පාඩම් ඉගෙන නොගෙන අපට යථාර්ථයට මුහුණ දිය නොහැකියි. ඒ නිසා මෙම සිදු වෙමින් තිබෙන විනාශය දැන්වත් තේරුම් ගනිමින් හෙට දවස හෝ මීට වඩා යහපත් කර ගැනීම සඳහා  අප සියලු දෙනාම පෙරට ආ යුතුයි.

අපට උපදෙස් ලබා දෙමින් දිරිමත් කරන දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ මතය වූයේ රට අවම වශයෙන් දෙසතියකට හෝ අනිවාර්යෙන් වැසිය යුතු බවයි. අප දන්නා පරිදි රජයට ද එම උපදෙස් ලබා දී තිබුණා. ඒ වුණාට එම  අවස්ථාවේදී බලධාරීන් එම වටිනා උපදෙස් පිළි ගත්තේ නැහැ. නමුත්ජ නාධිපතිවරයා ඇතුළු සියලු බලධාරීන් මේ අවස්ථාවේ දී එක මතයකට පැමිණීම ඉතාමත්ම වැදගත් ප්‍රවනතාවයක් ලෙස අප දකිනවා. අනාගතයේදීත් විද්වතුන්ගේ සහ බලධාරීන්ගේ එකඟත්වයෙන්, එකමුතුවෙන් සහ සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවා ගත හැකි බව අපේ විශ්වාසයයි.

2021 අප්‍රේල් මාසයේදී අපගේ බුද්ධි මණ්ඩලය විසින් වැදගත් කරුණු කිහිපයක් බලධාරීන්ට යෝජනා කළ අතර එහි ප්‍රමුඛ කාර්ය භාරය, වගකීම සහ යුතුකම ලෙස දැක් වූයේ රට පුරා සිදු කරන "PCR" පරීක්ෂණ ප්‍රමාණය දෙගුණ තෙගුණ කළ යුතු බවයි. ඊට සමගාමීව ලෝකයේ සමහර රටවල් බුද්ධිමත්ව සහ දීර්ඝ කාලීන වැඩ සටහනක් සහිතව ක්‍රියා කළ ආකාරයට අනුව යමින් අවුරුදු 10 ට වැඩි සෑම ශ්‍රී ලංකික පුද්ගලයෙකුටම 2021 දෙසැම්බර් 31 වනදාට පෙර එන්නත් ලබා දිය යුතු බව අවධාරණය කර සිටියා. 

ඒ සඳහා අවශ්‍ය වන්නේ එන්නත් ලක්ෂ 300ක් වන අතර අප මේ වන විටත් චීනයෙන් එන්නත් ලක්ෂ 150ක් සහ රුසියාවෙන් ලක්ෂ 150ක් ලබා ගැනීමට ඇණවුම්  ලබා දී තිබෙනවා. ඊට අමතරව "COVAX GLOBAL" ව්‍යාපෘතිය යටතේ තවත් එන්නත් ලක්ෂ 12ක් ලැබීමට නියමිතයි. මේ සඳහා අවශ්‍ය පූර්ණ මුදල ශ්‍රී ලංකා රජය සතුව තිබෙනවා. 2021.06.01 වැනිදා රාත්‍රී වන විට රටට ලැබුණු එන්නත් ප්‍රමාණය වනුයේ,  

(01) ඇස්ට්‍රා සෙනිකා- එන්නත් මිලියන 1.2650යි.

(02) ස්පූටිනික් V-එන්නත් 50,000යි.

(03) සයියනාෆාම්-එන්නත්  7,39399යි.

ඉදිරි දින කිහිපයේ දී සයිනොෆාම් සහ ස්පූටිනික් එන්නත් විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත හෙයින් රජයේ එන්නත් වැඩ සටහන අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකියි. නමුත් එම එන්නත්කරණ වැඩ සටහන දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව විද්‍යානුකූලව සිදු කළ යුතුයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මතය වන්නේ දිනකට එන්නත් 100,000 ක් පමණ ලබා දීමට හැකි ශක්තිය සහ  හැකියාව  ඔවුන් සතුව ඇති බවයි. ඒ හෙයින් විශ්වාසයෙන් යුතුව දීර්ඝ කාලීන සැලැස්මක් ඇතිව ක්‍රියා කළ හැකි නම් 2021 දෙසැම්බර් 31 වන විට සෑම දෙනෙකුටම එන්නත් ලබා දීම පහසුවෙන් නිම කළ හැකි බව විද්වත් මතයයි.

විද්වතුන් සහ බලධාරීන් එක්ව රටේ සංචරණ සීමා කාලය 2021 ජුනි 14 වැනිදා දක්වා දීර්ඝ කළ බවට වාර්තා වුණා. දේශපාලන තීරණ වෙනුවට සියලුම පාර්ශව එකතුව මෙවැනි තීරණයක් ගැනීම යෝග්‍යයි. නමුත් මේ තීරණ සඳහා තවමත් සතියක් පමණ පැරණි දත්ත උපයෝගී කර ගැනීම ඵල රහිත බව අපගේ හැඟීමයි. එමෙන්ම මහනුවර ප්‍රදේශයේ දී "ස්පුට්නික්" එන්නත පාවිච්චිය පිළිබඳ මත දෙකක් ප්‍රකාශ වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රජය අභ්‍යන්තරයෙන්ම පරස්පර මත ප්‍රකාශ වීම මහ ජනයා නොමඟ යැවීමටත්, රජයේ ආධිපත්‍යයටත් හානි කර වනවා. එම නිසා මේ වරද වහාම නිවැරදි කළ යුතුයි.

ඒ අනුව රට-ජනතාව වෙනුවෙන් අප තරයේ අවධාරණය කර සිටින්නේ 2021 දෙසැම්බර් 31 වැනිදාට පෙර වයස අවුරුදු 10 ට වැඩි සෑම පුරවැසියෙකුම  එන්නත්කරණයට ලක් කර, බුද්ධිමත් රාජ්‍යයන් සහ රාජ්‍ය නායකයන් සිය රටවල් යථා තත්ත්වයට පත් කර ගත් ආකාරයට අපේ රටත් ජනතාවත් බේරා ගත යුතු බවයි. ආකාරයෙනි


 
රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය

 

ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය පිළිබඳ ජනාධිපතිවරයා විසින් දැඩි තීන්දුවකට එළඹ ඇති නිසා එම තීන්දුව ආපසු හැරවීමට කිරීමට අපට හැකියාවක් ඇත්තේ නැහැ. එනමුත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ 3/2 බලතල ඇතිව එතුමා ගත් තීරණ කොතෙක් දුරට යථාර්ථවාදී ද යන්න පිළිබඳව අපගේ විද්වත් කණ්ඩායමේ අදහස් දැක්වීමට කැමතියි.

අපත් ඇතුළුව ශ්‍රී ලංකාවේ බහුතරයක් කාබනික පොහොර භාවිතය ඉතා වැදගත් සහ උතුම් ක්‍රියාවක් ලෙස දකිනවා. නමුත්, ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට හදිසි තීරණ ගෙන සති කිහිපයකින් බල පවත් වන ආකාරයට පොහොර භාවිතය සම්බන්ධව  ප්‍රතිපත්ති සකස් කර නැහැ. විද්‍යාත්මක මතය වනුයේ සාර්ථක කාබනික පොහොර භාවිතයට රටක් යොමු කිරීමට අඩුම වශයෙන් අවුරුදු 5 ක් වත් අවශ්‍ය බවයි.

මීට අමතරව ඇතැම් විදේශ රටවලින්  කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ද සැලසුම් සකස් කර ඇති බව වාර්තා වී තිබෙනවා. එමගින් රටට-ජනතාවට විශාල වශයෙන් හානි වීමට ඉඩ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන ගහනයෙන් බහුතර පිරිසකගේ ජීවනෝපාය වනුයේ කෘෂිකර්මයයි. මේ තීන්දු තීරණය යථාර්තවාදීව ගන්නා ලෙස රජයට අප මේ තරම් කියා සිටින්නේ, මේ අවුල  නිසි පරිදි විසඳා නොගත හොත් මේ රට ලේ විලක් වීමට ඉඩ තිබෙන නිසයි. රජයේ මේ හදිසි තීන්දු තීරණය පිළිබඳව ජනතාව අතර දැඩි විරෝධයක් ඇතිවී තිබෙන අතර ඔවුන් කුපිත වී ඇති බව ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙමින් තිබෙනවා 

එම නිසා බලධාරීන්ට අප නැවත නැවතත් කියා සිටින්නේ, COVID-19 වසංගතය විසඳීමට ඉවසීමෙන් යුතුව වියතුන්ගේ අදහස් ලබා ගත් ආකාරයට පොහොර  ප්‍රතිපත්තිය සැකසීම සඳහා ද ගොවීන්ගේ සහ ඊට අදාළ සියලු පාර්ශවයන්වල අදහස්, යෝජනා සහ උපදෙස් ලබා ගෙන නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කර රට තවත් විනාශයකින් බේරා ගන්නා ලෙසයි. 


 
ඒක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වූ මහා පරිසර විනාශය
 

රටක් ලෙස අප එක්සත්ව මුහුණ දිය යුතුව ඇති දැවැන්ත අභියෝගයක් අප ඉදිරියේ තිබියදී ඊට අදාළව බුද්ධිමත් ලෙස තීන්දු තීරණ ගත යුතුව ඇති වාතාවරණයක අහක යන ඛේදවාචකවලට පවා අත වනන තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. රටට විය හැකි අනතුර දැන දැනම වගකීම් විරහිතව කටයුතු කරමින් මහා විනාශයන් රටට කැඳව න තත්ත්වයට අපේ රට පත්ව ඇති බවක් පෙනී යනවා. විදේශීය රටවල් දෙකක බලධාරීන් විසින් සිය වරායන්වලට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර ඇති නැවක් අපගේ වරාය සීමාවට පැමිණීම සඳහා ඉඩකඩ ලබා දෙමින් සිදු කර ගෙන ඇති මහා විනාශය අද අප අත්විඳිමින් සිටිනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වූ මහා විනාශය ඉදිරි පරම්පරා ගණනාවකට බලපාන බව විද්වතුන්ගේ මතයයි. රජය මේ ගැන දීර්ඝ පරීක්ෂණයක් කළ යුතුව ඇති අතර එම පරීක්ෂණ නාවික කටයුතු පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් විසින් කළ යුතුයි. මෙහිදී දේශපාලකයින්ට අත පෙවීමට ඉඩ නොදිය යුතුයි. එමෙන්ම මේ ආකාරයේ ඛේදවාචකයන්ගෙන් පවා ප්‍රයෝජන ගන්නා ගජ මිතුරු බලවේගවලට මෙම ඛේදවාචකය ද වසන්තයක් කර ගැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුයි.

ඇමරිකාව මීට අවුරුදු කිහිපයකට පෙර ප්‍රසිද්ධ තෙල් සමාගමකින් ඩොලර් බිලියන 4ක් ලබා ගත් බවට වාර්තා වුණා. මෙහිදී ජාවාරම්කරුවන්ට මේ සඳහා මැදිහත් වීමට ඉඩ නොදීමට බලධාරීන් වග බලා ගත යුතුයි. අප ඉදිරිපත් කරන මෙම අදහස් සහ යෝජනා සද්භාවයෙන් සහ ජාත්‍යාලයෙන් කෙරෙන බව රට වැසියන් තේරුම් ගත යුතුයි. 

Advertiesment