Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


රාජ්‍යයත් වියත්කමත් බංකොලොත් කියන්නේ මේ නිසයි..!


2021-05-30 14376

ආණ්ඩුවේ අසමත් භාවයට COVID-19 පළි නැහැ 

 

වියත් පංතියට ආණ්ඩුකරණය නොහැකි බව හෙළි වෙලා 

 

මේ වියතුන් කරන්නේ ප්‍රශ්න විසඳනවා වෙනුව නැති ප්‍රශ්න ඇති කිරීමයි 

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

රාජ්‍යයක බංකොලොත් භාවය තීරණය වන්නේ එම රාජ්‍යය පාලනය කරනු ලබන ආණ්ඩුවේ "Fail" වීම මතය. රට වැසියාට ආහාරපාන හිඟ නම්, සෞඛ්‍ය ආරක්‍ෂාව නොමැති නම්, මුදලේ අගය පිරිහේ නම්, ජාතික ධනය කොල්ල කන්නේ නම්,  ජාතික වස්තු විදේශ රටවල් පැහැර ගන්නේ නම් සහ පුද්ගල ආරක්‍ෂාව නොලැබේ නම් එවැනි රාජ්‍යයක් බංකොලොත් රාජ්‍යයකි. 

නිදහස ලැබීමෙන් පසු කාලයේ දී රටක් ලෙස අප අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කර ඇත. එම අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලැබූ උගත්-බුද්ධිමත්-නැණවත් වියතුන් පිරිසක් ආණ්ඩුව මෙහෙය වීමට සහ ආණ්ඩු කිරීමට තෝරා ගත යුතුය යන මතය කරළියට ආවේ, අවුරු 70ක් ම ඊට නිසි අවස්ථාවක් නොලබිණැයි යන මැසිවිල්ල නිසාය. 

2019 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලන භාරකරුවන් වන්නේ මේ වියත් පංතියයි. වියත් පාලනය ආරම්භ වී අවුරුදු එක හමාරක් හෙවත් පාලන කාලයෙන් තුනෙන් එකක් පමණ මේ වන විට ගත වී ඇත. සෙතක් වී තිබේද..? මේ වියත් පංතියේ විශේෂත්වයක් ඇත. එනම් ඔවුන් තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට නොහැකි පිරිසක් වීම පමණක් නොව නැති ප්‍රශ්න ඇති කිරීමට රුසියෝ පිරිසක් වී සිටීමයි. මෙවැනි වියතුන් මේ තුන් ලෝකයේ තවත් කොතැනකවත් සිටී දැයි කිසිවෙකු නොදනී. 

ඇතැමෙකුගේ ව්‍යාපාරවල ලාභය දෙගුණ තෙගුණ වී තිබේ යැයි සමාගම් වාර්තාවල ඇත. ඇතැමෙක් ඉඩම් සොයති. ඇතැමෙක් ව්‍යාපාර මිල දී ගැනීමට සොයති. තවත් අයෙක් ඩොලර් ණයට ගනිති, ඇතැමෙක්  ඒ ඩොලර්වලින් අති සුඛෝපභෝගී "Prado" ගෙනෙති. කිසිවෙක් ඊට විරුද්ධ නොවෙති. සියලු දෙන එන්නත් විදගනිති. එහෙත් එම එන්නත් විදින පිළිවෙළ නොදනිති. ඇතැමෙක් ඉටුකම අරමුදල ප්‍රචාරණයට වැය කරති. අයෙක් එම මුදලින් එන්නත් ආනයනය නොකරති. තවත් අයෙක් මේ අස්සේ "Permit" වාහන ගෙන්වා ගැනීමට සැරසෙති. ඇතැමෙක් නීති දෙකක් ඇති චීන "Port City" ය ගෙනෙති. ඇතැමෙක් ඊට ඡන්දය දෙති. ඇතැමෙක් ගැසට් ගසති. තවත් අයෙක් ඒ ගැසට් හකුළා ගනිති. ඇතැමෙක් ගෑස්වලින් වංචා කරති. තවත් අය එම වංචා සාධාරණීකරණය කරති. ඇතැමෙක් තෙල් පොහොර නවත්වති. තවත් අයෙක් ඊට උඩගෙඩි දෙති. 

මේ ලැයිස්තුව A-9 මාර්ගය තරම් දිගය. මෙවැනි අබුද්දස්ස කෙරුම් නිසා වියත් පංතිය විසින් රාජ්‍යයේ බංකොලොත් භාවය කෙටි කලක් ඇතුළත දී අද තිබෙන තත්ත්වයට තීව්‍ර කර දී තිබේ. එකක් පැහැදිලිය. ඒ වියත් පංතියට ආණ්ඩුකරණය නොහැකි බවය.

 
 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
නිර්මාතෘ සහ පීඨාධිපති 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
කළමනාකරණ පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
Advertiesment