Monday 7th of October 2024

English Tamil
Advertiesment


වියත් මග දිගේ ඉතියෝපියාවට


2021-05-30 14329

මහා සාගතයක් අත ළඟ 

 

ආහාර නිෂ්පාදනය 50%කින් ද, සැපයුම 80%කින් ද අඩු වේ 

 

සියලුම ආහාර ආනයනය කරන තැනට වියතුන් රට තල්ලු කරනු ඇත 

 

ජාතියක පැවැත්ම ඇත්තේ ආහාර සුරක්‍ෂිතතාව, සෞඛ්‍ය සහ මහා ජන ආරක්‍ෂාව මතයි 

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) 

 

ඉතියෝපියාව ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සාගත රටක් ලෙසය. එරට භූමිය, පරිසරය, පස සහ දේශගුණය කොතරම් හොඳ තත්ත්වයක පැවතිය ද එරට ආහාර හිඟය උග්‍ර බැවින් සාගත රටක් ලෙස ප්‍රකට වී තිබේ. 

ශ්‍රී ලංකාවේ වියත් කෘෂිකාර්මික ප්‍රතිපත්තිය දිශානුගතව ඇත්තේ තවත් ඉතියෝපියාවක් නිර්මාණය කිරීම දෙසටය. රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම් කොට කාබනික ක්‍රමයට කෘෂිකර්මාන්තය කිරීමට ගත් වියත් ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ආහාර හිඟයකට නුදුරේ දීම පාර කපයි. ජාතියක පැවැත්ම රඳා පවතින්නේ එහි ආහාර සුරක්‍ෂිතතාව, සෞඛ්‍ය ආරක්ෂාව සහ මහා ජන ආරක්‍ෂාව යන ආදී ප්‍රධාන සාධක මතයි. මේ අතරින් ප්‍රමුඛ වන්නේ ආහාර සුරක්‍ෂිතතාවයයි. වර්තමානයේ දී අපේ රටේ ආහාර නිෂ්පාදනයේ පිරිවැය වැඩි බැවින් ද, නිෂ්පාදනය අඩු බැවින් ද, සහල් ඇතුළු බොහෝ මූලික ආහාර පවා ආනයනය කරනු ලැබේ. ඒ වූකලී ආහාර හිඟයේ එක් ලක්‍ෂණයකි.

වියත් නිර්දේශය වන්නේ කාබනික වගාව නොහොත් රසායන විද්‍යාව ලොව හඳුනා ගැනීමට පෙර ආදී කාලයේ පැවති වගා ක්‍රමය අදට ගැළපෙන බවය. එකල පසේ වූ පොහොර සහ ආහාර අවශ්‍යතාව යනාදිය මත ස්වයං පෝෂිත ක්‍රම ලෝකයේ සෑම රටකම වගේ පැවති අතර කාබනික අකාබනික යුද්ධයක් ද නොවීය. ශ්‍රී ලංකාව ද, බුරුමය ද, කාම්බෝජය ද ඊට හොඳ නිදසුන්ය. යටත් විජිත සමයේ මුල් කාලයේ කෝපි, තේ, රබර් යනාදිය ද පොහොර භාවිතයකින් තොරව සරු පස මත පමණක් වගා කරන ලදී. 

21 වෙනි සියවසේ දී වියත් ක්‍රමයට පරාක්‍රමබාහු පන්නයේ ගොවිතැනට බැසීම හාස්‍ය ජනකය. එනම් වියතුන්ගේ දැනුම වසර 1000ට වඩා පරණය. මම කෘෂි විශේෂඥයෙකු නොවූවද, ඒ සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය දැනුම මේ කාබනික පිළිවෙත ගැන කතා කිරීමට ප්‍රමාණවත්වේ යැයි සිතමි. වර්තමාන භෝග වනාහි වැඩිදියුණු කරන ලද භෝග වර්ගයන්ය. ඒවා වැඩි දියුණු කර ඇත්තේ කාබනික පරිසරයේ නොව අකාබනික පරිසරයේය. එමගින් ලෝක ජන ගහනයේ ආහාර අවශ්‍යතාව පිරිමැසීම ද අරමුණු කෙරේ. 

භෝගවලට කාබනික අකාබනික යන සරුප නොතේරේ. ඒවාට තේරෙන්නේ එක භාෂාවකි. භෝග ප්‍රතිචාර දක්වන්නේ ඊට පමණි. කිනම් හෝ පොහොරක් හෝ රසායනයක් භෝගයට ගැළපේ නම් එම භෝගය ඊට ප්‍රතිචාර දක්වයි. වැඩෙයි. දළුලයි. අල-ඵල දරයි. වියතුන්ගේ කාබනික යුතෝපියා සරුප භෝගවලට නොතේරේ. භෝග පසු බසියි.

තේ හෙක්ටයාරයට නයිට්‍රජන් කිලෝ ග්‍රෑම් 335ක් පමණ වසරකට අවශ්‍ය වන අතර එහි හිලව්වට කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 22,000ක් අවශ්‍යවේ. ඒ සඳහා කොළ අතු, ගොම, ගව මුත්‍රා, අළු යනාදිය කිලෝ ලක්‍ෂ ගණනක් අවශ්‍ය වේ. ඒවා සැකසීමට අක්කරයක පමණ බිමක් ද අවශ්‍යවේ.  එසේ කරනු ලැබුව ද භෝගයකට අවශ්‍ය වන පොහොර වර්ගය යූරියා පමණක් නොවන බැවින් අනෙක් මූල ද්‍රව්‍ය ලබා දීම ගැටලුවකි. යූරියා කිලෝ එකක හිලව්වට කාබනික පොහොර කිලෝ 50ක් අවශ්‍ය වේ. මක් නිසාද යත් කාබනික පොහොර කිලෝවක යූරියා ලෙස ක්‍ෂණිකව ක්‍රියා කරන පදාර්ථ ඇත්තේ 2%ක් වන බැවිනි. 

වියතුන් ඉතියෝපියාවට කපන මාර්ගයේ ප්‍රතිඵල සහ අතුරු ඵල මොනවාද..? කාබනික වගාව නිසා ආහාර සහ ආර්ථික භෝග අස්වැන්න 50%කට වඩා අඩු වේ. නෙළා ගන්නා අස්වනු කෘමි උවදුරු නිසා විකෘති වීම සහ නරක් වීම සිදු වේ. එවිට එම භෝග විකිණීමටත් පරිභෝජනයටත් ගත නොහැකි වේ. ඒ අනුව සැපයුම 80%කින් පමණ පහළ යාමට ඉඩ තිබේ. 

දිගු කාලයේ දී කාබනික පොහොර තට්ටු පාංශු ඛාදනය ඔස්සේ ජලාශවල තැන්පත් වේ. බීජානුහරණය නොකළ කාබනික පොහොරවල තිබෙන ශාක බීජ සහ සත්ත්ව බීජ රට පුරා ව්‍යාප්ත වීම නිසා පාරිසරික සමතුලිතතාව බිඳ වැටේ. කුඹුරුවලට මෙහි බලපෑම වැඩි බැවින් ද, වල් නාශක කියා කිසිවක් නොමැති  බැවින් ද, කුඹුරු තෘණ භූමි බවට පත් වී විනාශයට යයි. අස්වනු අඩු වීමෙන් ගොවීන්ගේ ආදායම බිඳ වැටෙයි. පාරිභෝජන ශක්තිය පිරිහෙයි. ආහාර මිල ඉහළ යාම නිසා ඒවා මිල දී ගැනීමට කෘෂිකාර්මික නොවන අංශයේ ආදායම ප්‍රමාණවත් නොවේ. සමස්ත රටම ඉතියෝපියාවක් බවට පත් වන්නේ මේ මාර්ගයෙන්ය.  

කාබනික පොහොර ආනයනය කෙරෙහි ද වියත් ඇස යොමු වී තිබේ. මුල දී වියත් මතය වූයේ පොහොර ආනයනය නවතා විදේශ විනිමය ඉතිරි කර ගැනීමයි. නමුත් මේ වන විට ඊට ප්‍රතිවිරුද්ධ මතයක එල්බ සිටියි. යූරියා නැවක් ගෙන්වීම වෙනුවෙන් කාබනික පොහොර නැව් 50 ගෙන් විය යුතුය. වරාය, මහා මාර්ග සහ ප්‍රවාහනය ද පනස් ගුණයකින් වැඩි කළ යුතුය. එමෙන්ම පොහොර යෙදවීමට යන ශ්‍රමය ද පනස් ගුණයකින් වැඩි කළ යුතුය. එම පොහොරවල තිබිය හැකි විදේශීය ශාක බීජ සහ සත්ත්ව බීජ නිසා ශ්‍රී ලංකාවේ සමස්ත පරිසර පද්ධතියම වැනසී යාමට ඉඩ ඇත. එපමණක් ද නොව විදේශවල කසල ප්‍රතිචක්‍රීයකරණය ඔස්සේ ද, කාබනික පොහොර නිපදවයි. එවැනි පොහොරවල විෂ ද්‍රව්‍ය, ක්‍ෂුද්‍ර වීදුරු සහ ප්ලාස්ටික් වැනි පොළොවට අහිතකර ද්‍රව්‍ය කෙතෙකුත් තිබෙන්නට පුළුවන. එවැනි පොහොර භාවිතයෙන් මිනිසුන් පමණක් නොව පොළොව ද රෝගී වනු ඇත. ඒ හා වැල නොකැඩී එන ප්‍රශ්න තවම වියත් මනසට වැටහී නැත.

ලෝකයේ කාබනික පොහොර භාවිතය 1-2%ක් බැව් සඳහන් වේ. එහෙත් ඊට ද කෘෂි රසායන යොදන බැවින් කාබනික ගොවිතැන මුළු ගොවිතැනෙන් අල්ප මාත්‍රයකට සීමා වේ. එසේ ලෝක නිෂ්පාදන ක්‍රමය තීන්දු වී ඇත්තේ ආහාර නිෂ්පාදනය පුළුල් කිරීමේ අවශ්‍යතාව නිසාය. ශ්‍රී ලංකාවට ගෙන් වන සෑම භාණ්ඩයක්ම වස විසෙන් අනූනය. ශ්‍රී ලංකාවේ ආහාරවල ප්‍රමිති ලාංඡනය දකින විට සිහියට එන්නේ මිනී ඔළුව සහ ඇටකටු දෙක සහිත ලාංඡනය යි. 

ආනයනය කරනු ලබන පොහොර සහ කෘෂි රසායන ද තත්ත්වයෙන් අතිශයින් බාලය. ඒවා භාවිතය කෘෂි විද්‍යාත්මක පදනමක් මත නොව දේශපාලන පොරොන්දු මත තීරණය වූ බැවින් භාවිතය ද අධික විය. කෘෂිකර්මය වකුගඩු රෝගයට සම්බන්ධ බව මෙතෙක් කියා ඇත්තේ කැළණි සරසවියේ නාථ දෙවියන් විසින් පමණි. 

ඉදින් වියත් මුළ දේශීය චින්තනයෙන් මුස පත්ව අප රට ඉතියෝපියාවට ගෙන යන බව නොපෙනේ ද..? මේ නාඩගම නටා අවාසානයේ දී වියත් මුළ අවසන් වශයෙන් රජයෙන් ඉල්ලා සිටින දෙයක් ඇත. එනම් සියලු ආහාර ආනයනය වහා ආරම්හ කරන ලෙසය..! ඒ වන විට ආර්ථික භෝග ද, ආහාර භෝග ද විනාශයට ගොස් UNICEF, UNO සහ WB දෙන සහනාධාර මත යැපෙන ජාතියක් බවට පත්වී හමාරය.!!!

 
 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
නිර්මාතෘ සහ පීඨාධිපති 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
කළමනාකරණ පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
Advertiesment