Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


වසංගතය-ජනතාවාදි දේශපාලනය සහ සජිත් ප්‍රේමදාස


2021-05-24 14338

කොරෝනා මරණ 87 ගුණයකින් වැඩි වෙලා 

 

ආසාදිතයින් 48 ගුණයකින් වැඩි වෙලා 

 

රජය සත්‍ය තොරතුරු වසන් කරනවා

 

එන්නත නොගෙන කොත්තමල්ලි බොමින් සජිත් කිව්ව කතාව      

 

 
(මහාචාර්ය ආනන්ද ජයවික්‍රම)
  

මෙම ලිපිය ලියන මෙහොත වන විට රජය වාර්තා කර ඇති මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 161,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 1177 දක්වා ඉහළ ගොස් ඇත. පළමු කෙරෝනා රෝගියා වාර්තා වූ 2020 මාර්තු මස 10 වැනි දා සිට 2020 ඔක්තෝබර් 01 දින දක්වා මෙරට වාර්තා වු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3380ක් වූ අතර එම කාලයේ දී වාර්තා වූ මරණ සංඛ්‍යාව 13කි. 2020 ඔක්තොබර් මාසයේ සිට 2021 මැයි මාසයේ තුන් වන සතිය වන විට මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව හතළිස් අට ගුණයකින් පමණ ද, මරණ සංඛ්‍යාව අසූ හත් ගුණයකින් පමණ ද ඉහළ ගොස් ඇත. 

මේ අනුව කොරෝනා වසංගතය හරහා මිය යන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතියි. මේ වන විට දිනකට රෝගීන් 3500ක් පමණ වර්තා වේ. දෛනික මරණ සංඛ්‍යාව 45 ඉක්මවා ඇත. රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂාවන් මඟින් අනාවරණය වන පරිදි ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයකට මේ වන විට රෝගය වැළදී ඇත. රෝහල්වල ඇඳන් පිරී ඉතිරී ගොස්ය. මේ හේතුවෙන් ජනතාව මේ වන විට නිවෙස්වලම මිය යන තත්ත්වයක් උත්ගතව ඇත. 

වසංගත රෝග මර්දනය කිරීමේ දී සෞඛ්‍යය අංශයේ ක්‍රියාකාරිත්වය සහ දායකත්වය ඉතාමත් වැදගත් වේ. රෝගය හඳුනා ගැනීම, සෞඛ්‍යය මාර්ගෝපදේශ නිකුත් කිරීම, සංචරණ සීමාකම් පනවමින් ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝගය පිළිබඳ පර්යේෂණ කිරීම, එන්නත්කරණ ප්‍රතිකාර වැඩ සටහන නිසි පිරිදි මෙහෙයවීම, ඉදිරි තත්ත්වයන් පුරෝකථනය කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම ආදිය සෞඛ්‍යය සේවාවන්හි කාර්යය වන්නේය. 

මෙම කාර්ය සඳහා නායකත්වය ලබා දිය යුත්තේ වසංගත රෝග පාලනය පිළිබඳ හසල බුද්ධියක් සහ දැනුවත්භාවයක් ඇති පිරිස්ය. වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍යය කාර්යමණ්ඩලයම වසංගතය මර්දනය කිරීමට දායකවීම සිය රැකියාවෙන් ඔබ්බට ගිය ජනතා සත්කාරයක් වශයෙන් සැළකීමට සුදුසු වටපිටාව නිර්මාණය කර දීම රජයේ වගකීම වන්නේය. දේශපාලනඥයින්, ආරක්ෂක අංශ, අනෙකුත් රජයේ සේවකයන් සහ රටෙහි සමස්ත මහා ජනතාව සෞඛ්‍යය සේවා අංශයට සිය උපරිම සහාය ලබා දිය යුතුය. මෙම ක්‍රියාදාමය මෙරට වසංගතය පාලනයේ දී සිදු වන්නේ ද යන්න ගැටලුකාරිය. 

 

ජනතාවාදි දේශපාලනය


 
දේශපාලකයා කෙතරම් දුරට සිය ජනතාවට ඇලුම් කරන්නේද යන්න දැක ගැනීමට අවස්ථාවක් දිගු කාලයක් තිස්සේ බලපාන ආපදා තත්ත්වයන් යටතේ උදා වේ. කොරෝනා වසංගතය ලොව පුරා රාජ්‍ය නායකයන්ගේ ජනතාවාදීත්වය අපූරුවට පරීක්ෂා කළ සහ එසේ පරීක්ෂාවට ලක් කරන ආපදාවක් බවට පත් වි ඇත. 

ජසින්ඩා ආර්ඩර්න් නවසීලන්ත අගමැතිනිය එතරම් වයසින් මුහුකුරා ගිය කෙනෙකු නොවුණ ද වසංගතය රටට ඇතුළු වීමත් සමඟ ඉතාමත් ක්ෂණිකව රට වසා දැමීමට ගත් තීරණයත් ආර්ථිකය රැක ගැනීමට යැයි කියමින් පාලනයකින් තොරව විදේශිකයන්ට රටට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමත්  නිසා කොරෝනා වසංගතය ප්‍රශස්ත ආකාරයටම මර්දනය කළ රට බවට නවසීලන්තය පත් කිරීමට ඇයට හැකි විය. 

එමෙන්ම පසුගිය දා සිය ධූර කාලය අවසන් කළ ඇන්ජෙලා මර්කල් ජර්මානු චාන්සලර්වරිය කොරෝනා මර්දනය සෞඛ්‍ය අංශයන්ට භාර දී අවම දේශපාලන මැදිහත්වීමක් යටතේ ක්‍රියාත්මක වී ජනතා ජීවිත සේම ආර්ථිකය ද අවම හානියක් යටතේ බේරා ගැනීමට සමත් වූවාය. මෙම රාජ්‍ය නායිකාවන් දෙදෙනාම ජනතාවට වඩා ඉදිරියෙන් සිටිමින් ජනතාවාදි දැක්මක් සහිතව වසංගතයෙන් සිය රටවල් මුදා ගැනීමට ක්‍රියාත්මක වි ඇත. 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු සමස්ත රජය වෛරසයට මුහුණ දීමේ ක්‍රියාවලිය මුල සිටම අනාගත් බවක් පෙනී යයි. වසංගතය සමාජ ව්‍යාප්තියට කිසිසේත්ම ආසන්න නොවුණු එක් රෝගියෙකු පමණක් වාර්තා වුණු තත්ත්වයක් මත අනියත බිය මත පදනම්ව මාස තුනක පමණ කාලයක් රට පූර්ණ වශයෙන් වසා දමා ආර්ථිකමය වශයෙන් විශාල හානියක් සිදු කළේය. එමෙන් ම වසංගතය ඉතාමත් උග්‍ර සමාජ ව්‍යාප්තියක් පෙන්නුම් කරන අවස්ථාවන්හි ආර්ථික කටයුතු ලිහිල් කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහ එන්නත්කරණ වැඩ පිළිවෙළ පසෙක තබමින් රටෙහි ජනතාවගේ ජීවිතත් ආර්ථිකයත් උග්‍ර අවදානම්කාරි අවස්ථාවකට තල්ලු කළේය. 

වසංගතයක් පාලනය කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ රෝගය පිළිබඳ බිම් මට්ටමේ සත්‍ය තත්ත්වය නිවැරදිව තක්සේරු කර ජනතාව දැනුම්වත් කිරීමයි. නමුත් මෙරට වසංගත මර්දන ව්‍යාපාරහෙි ප්‍රධාන අරමුණ වී ඇත්තේ වසංගතය වසන් කිරීමය. වසංගතය වසන් කිරීමට උත්සාහ කළ හොත් රටම වසන් විය හැකි බව සෞඛ්‍යය රාජ්‍ය ඇමතිවරියගේ ද අදහසයි. රජය නිතරම උත්සාහ කරනුයේ තොරතුරු පිට වීම වළක්වා ගැනීමටය. මේ බව තොරතුරු මාධ්‍යයට ලබා දීමට ප්‍රථම ඔහුට ලබා දිය යුතු බව ජනාධිපතිවරයා පැවසීමෙන් ද, සත්‍ය තොරතුරු ජනතාවට හෙළි කළ නිලධාරීන් දඩයම් කිරීමෙන් ද මනාව පැහැදිලි වේ. ජනතාව සහ නිලධාරීන් බිය වද්දා ඔවුන් නිහඬ කිරීමට දරන උත්සාහයෙන් වසංගතය මර්දනය කිරීම නොව එම වසංගතය තව තවත් ව්‍යාප්ත වීම පමණක් සිදුවේ. 

මෙරට රජය ජනතාවාදි ප්‍රවේශයකින් සහ ජනතාවාදි දැක්මකින් මෙම වසංගතය පාලනයට යොමු වී නොමැති බව පෙනී යයි. ජනතාවාදි දැක්මක් තිබුණේ නම් වසංගතය උග්‍ර වෙමින් තිබුණු අප්‍රේල් මාසයේ අවසානයේ දී රටම වසා දමා වසංගතයේ පැතිරීම පාලනය කළ යුතුව තිබුණි. එමගින් කෙටි කාලීනව ජනතාවට ආර්ථික අපහසුතා ඇති විය හැකිව තිබුණත් ජනතාවගේ ජීවිත විශාල ප්‍රමාණයක් රැක ගැනීමේ හැකියාව තිබුණි. අද වන විට අධ්‍යාපන පද්ධතිය කඩා වැටී ඇත. කොරෝනාවට නොව වෙනත් අසනීපයකටවත් ප්‍රතිකාර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ආර්ථිකය බිඳ වැටී අංශ භාගයට පත්ව ඇත. පවුල් පිටින් ජනතාව නන්නත්තාර  වී ඇති අතර ලක්ෂ ගණන් ජනතාව ගම් පිටින් නිරෝධායනය කර ඇත. 

ශ්‍රී ලංකා රජයේ මෙම ප්‍රවේශය ජසින්ඩා ආර්ඩර්න්ගේ හෝ ඇන්ජෙලා මර්කල්ගේ කොරෝනා මර්දන වැඩ පිළිවෙළ අසලින්වත් තැබිය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ රජයේ කොරෝනා මර්දන වැඩ පිළිවෙළ වඩාත් සමාන වන්නේ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයාගේ, බ්‍රසීල ජනාධිපතිවරයාගේ සහ ඉන්දියානු අගමැතිවරයාගේ අපරික්ෂාකාරි, නොහික්මුණු සහ ජනතාවාදි නොවන කොරෝනා මර්දන වැඩ පිළිවෙළ සමඟය. මොවුන් සිය අදූරදර්ශීභාවය, ජනතාව කෙරෙහි දැක්වූ නොසැලකිල්ල, වසංගතය හරහා දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම, සෞඛ්‍ය අංශ වෙත නිසි මෙහෙයුම් අධිකාරය ලබා නොදීම ආදි හේතු නිසා සිය රටවල් කොරෝනා මිනී පිටි බවට පත් කර ගත් නායකයන්ය. 

 

සජිත් ප්‍රේමදාස

 

කොරෝනා වසංගතය මෙරටට ඇතුළු වීමටත් පෙර සිටම සෞඛ්‍යය අංශයේ සූදානම්කාරි භාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී වගේම ජන සමාජයේ දී ප්‍රබල හඬක් නැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහු නායකත්වය දුන් මන්ත්‍රීවරු සමත් වූහ. එදා ඔහු ඒ හඬ නැගුයේ රට අභ්‍යන්තරයේ වසංගතය ව්‍යාප්ත වීමක දී, ජනතාවට අත් විය හැකි ඉරණම පිළිබඳ ඉවෙන් වගේ ලත් අවබෝධය නිසාය. 

අනතුරුව වෛරසය රට අභ්‍යන්තරයේ ක්‍රමයෙන් ව්‍යාප්ත වන විට ජනතාවගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සහ ආර්ථික අපහසුතාවන්ට ගොදුරු වූ ජනතාව සඳහා නිසි ආධාර ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. එමෙන්ම හැකි තරම් ඉක්මනට මෙරට ජනතාවට අවශ්‍යය එන්නත් තොග ලබා ගැනීම සඳහා රජය යොමු කරවීමේ කාර්යයෙහි ඔහු නිරත වූයේ වසංගතයට ඇති එකම විසඳුම එන්නත්කරණය බව මැනවින් අවබෝධ කර ගත් නිසාය.  

වසංගතය රටේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවැති වට පිටාවක දී කොරෝනා වසංගතය පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රට පූර්ණ වසා දැමීමකට ලක් කර වසංගතය මැඬලීම සහ එන්නත්කරණය සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් අනුගමනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. 

එහි දී රජයට යම් සහායක් අවශ්‍ය වන්නේ නම් එම සහය නොපැකිළිව ලබා දීමට විපක්ෂය ඉදිරිපත්වීම පැසසිය යුතුය. එමෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය සංගම් ප්‍රධානීන් සහ වෙනත් සියලුම සුව සේවා සංගම් නියෝජිතයින් හමු වූ විපක්ෂ නායකවරයා සුව සේවකයන් මෙම වසංගතය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කරන සේවය ඇගයීමට ලක් කළේය. ඔවුනගේ අදහස් සහ නිර්දේශ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමින් රට වසා දැමීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. නමුත් මෙම ජනතාවාදි ඉල්ලීම් බිහිරි අලින්ට වීණා ගායනා කිරීමක් වැනි විය. ඔහුගේ මෙම ජනතාවාදි මෙහෙවර නොරිස්සූ රජය වසංගතය මර්දනය කිරීම වෙනුවට විපක්ෂ නායකවරයාට මඩ ගැසීමට එම අවස්ථාවත් ප්‍රයෝජනයට ගත්තේය.  

විපක්ෂ නායකවරයා වශයෙන් ඇති සම්බන්ධතා උපයෝගී කර ගනිමින් පරිත්‍යාගශීලීන් සොයා ගනිමින් වසංගතයට මුහුණ දීමේ දී රෝහල් පද්ධතියට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපකරණ-උපාංග බෙදා දීමේ වැඩ පිළිවෙළක් ඔහු ආරම්භ කළේය. එමෙන් ම සිය මුහුකුරා ගිය රාජ්‍යතාන්ත්‍රික භාවය උපයෝගී කර ගනිමින් මෙරට සිටින සියලුම බලසම්පන්න රාජ්‍යයන්හි තානාපතිවරුන් සහ විදේශ ධූත මණ්ඩල ප්‍රධානීන් හමු වී මෙරටට අවශ්‍ය එන්නත් තොග සහ රෝහල්වලට අවශ්‍ය අධි තාක්ෂණීක උපකරණ සපයා ගැනීමේ ප්‍රයත්නයක ඔහු නිරත විය. මෙම සියලු ක්‍රියාමාර්ග සහ මැදිහත්වීම් හරහා සජිත් ප්‍රේමදාස මෙරට විපක්ෂ නායකවරයා සහ සමගි ජන බලවේගයෙහි නායකයා වශයෙන් මෙම ව්‍යසනකාරි අවස්ථාවේ දී, ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සුබ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටීම දැක ගත හැකිය.

කොරෝනා ව්‍යසනය මැද පාර්ලිමේන්තු විවාදයන්ට සහභාගී වීම අතිශය භයංකර බව දැන දැනම රටෙහි සහ ජනතාවගේ චිරස්ථිතිය වෙනුවෙන් වරාය නගර පනත් විවාදයට සහභාගී වීමෙන් අනතුරුව ඔහුට අද කෙරෝනා වෛරසය වැළදී ඇත. රටෙහි අනෙකුත් සියලුම නායකයින් ජනතාවට හොර රහසේම එන්නත විද ගත්ත ද, රටෙහි තුන් වන මහා ජන නායකයා වශයෙන් තමාට තිබෙන වරප්‍රසාද පසෙකට දමා ඔහු එන්නත ලබා ගෙන නොමැති බව මෙම සිද්ධියෙන් හෙළිදරව් විය. එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් 2021 මාර්තු මස 31 දින ඔහු මෙම ලියුම්කරු සමඟ කරන ලද ප්‍රකාශයකින් මෙම ලිපිය අවසන් කරමි. 

මෙම ලියුම්කරු විපක්ෂ නායකවරයා සමඟ ඔහුගේ කාර්යාලයේ දී පැයක පමණ සාකච්ඡාවක නිරත විය. සිය සහායකයා ගෙනත් දුන් යමක් විටින් විට පානය කරමින් කොත්තමල්ලි පිහිටෙන් තමයි මේ දවස්වල ජිවත් වන්නේ යැයි ඔහු ප්‍රකාශ කළේය. ජනතාව අතර වැඩි වශයෙන් ගැවසෙන නායකයෙකු වශයෙන් ඔහු එන්නත විද ගැනීම වඩාත් යෝග්‍යය බව මෙම ලියුම්කරුගේ නිර්දේශය විය. එම නිර්දේශයට ඔහු දුන් පිළිතුර මෙසේ උපුටා දක්වමි. 

"මේකනේ මහාචාර්ය තුමා, මේ රටේ ලක්ෂ සංඛ්‍යාත අහිංසක ජනතාවට එන්නත දී ගන්න තාම බැරි වුණානේ. අපිට වඩා අවදානම වැඩි විශාල ජනතාවක් එන්නත දෙනකම් බලා ගෙන ඉන්නවා. ඒ අයට නොදී එන්නත විද ගන්න මම කැමති නෑ." මෙම ප්‍රකාශය ඔහුගේ අවසරයක් නොමැතිව මා මෙහි සඳහන් කළේ මෙරට ජනතාව කෙරෙහි සජිත් ප්‍රේමදාසගේ චිත්ත අභ්‍යන්තරයේ ඇති ජනතාවාදී බව සහ හැගීම එමගින් යම් මට්ටමකට හෙළිදරව් වන බව මට සිතුණු නිසාය. 

එමෙන්ම වීරයන් ලෙස බලයට පැමිණි නායකයන් වසංගතය හමුවේ ජනතාව නන්නත්තාර කරද්දි, විපක්ෂ නායකවරයා වශයෙන් ඔහු තමාට ඇති සීමිත ඉඩකඩ සහ සම්පත් යොදා ගනිමින් ජනතාව කේන්ද්‍ර කර ගත් ජනතාවාදි දේශපාලනයක් වෙනුවෙන් කළ කැපවීම පෙන්නුම් කිරීමටය. වෛරසය හමුවේ මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයෙන් ඉක්මනින්ම අත් මිදී රටෙහි ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉතාමත් ඉක්මනින් ඔහු පෙනී සිටිනු ඇත.

-මහාචාර්ය ආනන්ද ජයවික්‍රම-
සංඛ්‍යාන සහ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව 
කලා පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
සභාපති 
ජාතික බුද්ධි මණ්ඩපය 
 
Advertiesment