2021 අපේ‍්‍රල් 29 වෙනිදා මෙරට ලොකු-කුඩා ව්‍යාපාරික සහ යැපුම් ආදි සියලුම ගොවීන්ට දෙලොව රත් වු දිනයක් විය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවක දී මෙරටට රසායනික පොහොර ආනයනය කිරීම වහාම අත්හිටු වන බවත් රසායනික පොහොර භාවිතය ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ‍්‍රී ලංකාව පත් කරන බවත් ප‍්‍රකාශ කිරිම නිසාය. තමන් රසායනික පොහොර තහනම් කිරීමට ගත් පියවර කුමන බලපෑම ආවත් ආපස්සට නොගනිමි යැයි ජනාධිපතිවරයා වාගාඩම්බරයක් ද කරන ලදී. වී ගොවීන්, බඩ ඉරිගු ගොවීන්, එළවළු ගොවීන්, අර්තාපල් ගොවීන්, පළතුරු ගොවීන්, කුරුඳු ගොවීන්, ගම්මිරිස් ගොවීන්, පොල් ගොවීන්, රබර් ගොවීන්, තේ ගොවීන් ආදි මෙකී නොකි සියලුම ගොවීන් අද කල්පනා කරන්නේ සිය ගොවිතැනට අත් වන ඉරණම කුමක් ද යන්න පිළිබඳවය.
2020 වර්ෂයේ දී වී ඇතුළු ධාන්‍ය වර්ග, එළවළු, පළතුරු, තේ, පොල්, රබර්, කුළු බඩු වර්ග ඇතුළු සියලුම බෝග වර්ග නිෂ්පාදනය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.6%ක් බව ශ‍්‍රී ලංකා මහා බැංකු වාර්තාවෙන් පෙන්නුම් කරයි. එම වාර්තාවට අනුව 2020 වර්ෂය වන විට මෙරට කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්ත ජන ගහනය සමස්ත සේවා නියුක්ත ජන ගහනයෙන් 27%ක ට මඳක් ඉහළය.
මෙරට සමස්ත භූමි ප‍්‍රමාණයෙන් 44%ක් පමණ ම වෙන් වි ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහාය. 2000 දි කෘෂිකර්මාන්තය සඳහා යෙදවූ භූමි ප‍්‍රමාණය හෙක්ටයාර් 2350ක් වූ අතර 2018 වන විට එම භුමි ප්‍රමාණය හෙක්ටයාර් 2812ක් දක්වා හෙක්ටයාර් 482කින් වැඩි වී තිබුණි. මෙරට කෘෂිකර්මාන්තය තව දුරටත් ශුද්ධ විදේශ විනිමය ඉපයුම් මාධ්‍යයක් වශයෙන් ද ක‍්‍රියාත්මක වේ. ආහාර ද්‍රව්‍ය ශුද්ධ අපනයන ඉපයීම් වශයෙන් මෙරටට ලැබුණු විදේශ විනිමය ප‍්‍රමාණය 2000 දී ඩොලර් මිලියන 228ක් ද, 2010 දී ඩොලර් මිලියන 295ක් ද, 2018 දී ඩොලර් මිලියන 277ක් ද විය. එමෙන්ම මෙරට ජන ගහනයෙන් 82%ක් පමණ ග‍්‍රාමීය ප‍්‍රදේශවල වාසය කරන බැවින් කෘෂිකර්මාන්තය මෙරට බහුතරයක් ජනතාවට තවමත් ඉතාමත් සමීප සහ සංවේදී වේ. ඒ නිසා කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ මෙරට දේශපාලනයේ ඉතාමත් තීරණාත්මක සාධක වශයෙන් ද ක‍්‍රියාත්මක වේ.
පළමු රූප සටහනේ තීරු ප‍්‍රස්තාරය මඟින් මෙරට ධාන්‍ය නිෂ්පාදන ඵලදායිතාව හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම්වලින් දැක්වේ. ඒ අනුව මෙරට ධාන්‍ය නිෂ්පාදනයේ දී විශේෂයෙන්ම වී නිෂ්පාදනයේ ඵලදායිතාව 1961 දී හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 1765ක් වූ අතර 2018 වන විට එම ඵලදායීතාව හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 3762 දක්වා ඉහළ ගොස් තිබුණි.
මෙරට ධාන්‍ය නිෂ්පාදන ඵලදායිතාව දෙගුණ වීම සඳහා වසර 57ක් ගත වී ඇත. නමුත් පළමු රූප සටහනේ දැක්වෙන ආකාරයට එම කාලයේදී ම චීනයේ ධාන්‍ය නිෂ්පාදන ඵලදායිතාව පස් ගුණයකින් වැඩි වි ඇත. ඉන්දුනිසියාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවල ධාන්‍ය නිෂ්පාදන ඵලදාව එම වසර 57 ක කාලයේ දී තුන් ගුණයකට වඩා වැඩි ඉහළ යාමක් පෙන්නුම් කරයි.
ඒ අනුව ආසියානු කලාපයේ සමාන නිෂ්පාදන තත්ත්ව සහිත රටවල් සහ සාපේක්ෂව ගත් විට මෙරට ධාන්‍ය නිෂ්පාදනයේ ඵලදායිතා වර්ධනය තරමක් මන්දගාමී බවක් පෙන්නුම් කරයි. මෙරට ධාන්‍ය නිෂ්පාදන ඵලදායීතාව කාලීනව දැඩි උච්චාවචනයකට ලක් වී ඇති බවත් පෙනී යයි. මීට හේතු වන්නට ඇත්තේ වරින් වර දේශපාලනමය හේතු මත සිදු කරන ප‍්‍රතිපත්තිමය වෙනස්කම් සහ රරටේ විශේෂයෙන්ම උතුරු-නැගෙනහිර කලාපයේ උද්ගත වූ යුදමය තත්ත්වයන්ය.
රූප සටහන 01
මූලාශ‍්‍ර-ලෝක බැංකු සංවර්ධන දර්ශක අනුසාරයෙන්
රූප සටහන 01
මූලාශ‍්‍රය-ලෝක බැංකු සංවර්ධන දර්ශක අනුසාරයෙන්
ඉන්දියාව සහ තායිලන්තය වැනි රටවලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ අගයක් ගත්ත ද අනෙකුත් රටවලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව සැළකිය යුතු මට්ටමකින් අඩුය. ශ‍්‍රී ලංකාවට වඩා අඩු ආර්ථික සංවර්ධන මට්ටමක සිටින බංග්ලාදේශයේ කෘෂිකාර්මික හෙක්ටයාරයක ඵලදාව ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික හෙක්ටයාරයක ඵලදාවට වඩා කිලෝ ග්රෑම් 1030කින් වැඩිය. ඉන්දුනීසියාවේ හෙක්ටයාරයක ඵලදාව මෙරට ඵලදාවට වඩා කිලෝ ග්රෑම් 1465කින් ඉහළය. වියට්නාමයේ කෘෂිකාර්මික ඵලදාව මෙරට ඵලදාවට වඩා කිලෝ ග්රෑම් 1923කින් ඉහළය. චීනයේ කෘෂිකාර්මික ඵලදාව ශ‍්‍රී ලංකාවේ ඵලදායිතාවට වඩා කිලෝ ග්රෑම් 2319කින් ඉහළය. දකුණු කොරියාවේ කෘෂිකාර්මික ඵලදායිතාව මෙරටට වඩා කිලෝ ග්රෑම් 2823කින් ඉහළය.
මෙම හේතුව නිසාම මෙරට ගොවියාගේ ආදායම් මට්ටම අඩු වී ජීවන තත්ත්වය පහළ මට්ටමකට ඇද වැටී ඇත. තවද 2010 දී පැවති මෙරට ධාන්‍ය නිෂ්පාදන ඵලදායිතාවට වඩා 2018 දී හෙක්ටයාරයක ඵලදාව කිලෝ ග්රෑම් 212 කින් පහත වැටී ඇත. රටෙහි සමස්ත වගා බිම් ප‍්‍රමාණයට සාපේක්ෂව ගත් විට රටෙහි කෘෂි නිෂ්පාදනයෙහි විශාල පිරිහීමක් මෑත වර්ෂවලදී සිදු වි ඇත. අද වන විට මෙරට හෙක්ටයාරයක ඵලදායිතාව කිලෝ ග්රෑම් 3500ක් පමණ දක්වා පහත වැටී තිබිය හැකිය. මෙම තත්ත්වය කෘෂිකර්මාන්තය සම්බන්ධ තීරණ ගැනීමේ දී පාලකයන් ඉතාමත් සැලකිල්ලට ලක් කළ යුතු අතර ප‍්‍රතිපත්ති තීරණයන්හි ප‍්‍රමුඛත්වය දිය යුත්තේ මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහාය.
1961 වර්ෂයේ දී මෙරට කෘෂිකර්මාන්ත අංශයේ භාවිතා කළ පොහොර ප‍්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 140ක් විය. එම වර්ෂයේ දී දකුණු කොරියාව ශ‍්‍රී ලංකාවට වඩා තරමක වැඩි පොහොර භාවිතයක් පෙන්නුම් කළ ද, අනෙකුත් රටවල පොහොර භාවිතය ඉතාමත් සුළු මට්ටමක පැවතිණි. තරමක් උස් පහත් වීම් සහිතව 1961-74 දක්වා වූ කාලයේ දී මෙරට පොහොර භාවිතය හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 130ක සාමාන්‍යය අගයක් විය. රජයේ ආනයන සීමාකම් හේතුවෙන් 1975 දී පොහොර භාවිතය හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 85 දක්වා අඩු විය.
මේ සමඟම ඇති වූ කෘෂිකර්මාන්තයේ බිඳ වැටීම රට අභ්‍යන්තරයේ උග‍්‍ර ආහාර අහේනියක් නිර්මාණය කළේය. 1978 දී හඳුන්වා දුන් නව ආර්ථික ප‍්‍රතිපත්ති සමඟ කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු විය. ඒ අනුව පොහොර භාවිතය ද ක‍්‍රමයෙන් ඉහළ නඟින්නට විය. 1980 දී හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 184 දක්වා ද, 1989 වන විට හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 234 දක්වා ද, ඉහළ ගොස් තිබුණි. 1998-2008 සිට මෙරට පොහොර භාවිතය හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 280ක සාමාන්‍ය අගය ඉක්මවා තිබුණු අතර 2002 සහ 2008 වර්ෂවල දී හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 300 ද ඉක්මවා තිබුණි. ඉන්පසු 2013 වන විට එම පොහොර භාවිතය කිලෝ ග‍්‍රෑම් 174 දක්වා අඩු වුවත් 2014 නැවතත් ඉහළ ගොස් 2015 දී හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 307 ඉක්මවා ගොස් තිබුණි.
රූප සටහන-02
මූලාශ‍්‍රය-ලෝක බැංකු සංවර්ධන දර්ශක අනුසාරයෙන්
අනතුරුව යහ පාලන රජය අනුගමනය කළ පොහොර භාවිතය අඩු කිරීමේ ප‍්‍රතිපත්තිය හරහා නැවත් මෙරට වාර්ෂික පොහොර භාවිතය අඩු වී 2018 වන විට හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 138 මට්ටමට අඩු විය. ඒ අනුව 1961 දී හෙක්ටයාරයකට භාවිතා කළ පොහොර ප‍්‍රමාණයටත් අඩු පොහොර ප‍්‍රමාණයක් 2018 වන විට කෘෂිකර්මාන්තය සඳහා යොමු කර ඇත. අද වන විට එම පොහොර භාවිතය හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 100කටත් වඩා අඩු වී ඇති අතර ගොවීන්ට සිය වගාව කර ගෙන යාමට සරිලන පොහොර ප‍්‍රමාණය සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ද උදාවී ඇත. මෙම තත්ත්වය අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතාමත් ශෝචනීය තත්ත්වයක් බව පැහැදිලිය.
ඉඩම් හෙක්ටයාරයක් වගා කිරීම සඳහා ශ‍්‍රී ලංකාව 2018 දී භාවිතා කළ පොහොර ප‍්‍රමාණය කිලෝ ග්රෑම් 138ක් වන විට අනෙකුත් රටවල් හෙක්ටයාරයක් වගා කිරීම සඳහා භාවිතා කළ පොහොර ප‍්‍රමාණය මෙසේය. තායිලන්තය කිලෝ ග‍්‍රෑම් 149කි. ඉන්දියාව කිලෝ ග‍්‍රෑම් 175කි. ඉන්දුනීසියාව කිලෝ ග‍්‍රෑම් 236කි. බංග්ලාදේශය කිලෝ ග‍්‍රෑම් 318කි. කොරියාව කිලෝ ග‍්‍රෑම් 370කි. චීනය කිලෝ ග‍්‍රෑම් 393කි. වියට්නාමය කිලෝ ග‍්‍රෑම් 415කි.
ඒ අනුව ආසියානු කලාපයේ අනෙකුත් ප‍්‍රධාන කෘෂිකාර්මික රටවලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාව ගොවිතැනේ දී භාවිතා කරන පොහොර ප‍්‍රමාණය අඩු මට්ටමක පවතින බව පැහැදිලිය. ලෝකයේ වැඩිම පොහොර භාවිතා කරන රට වන්නේ සිංගප්පුරුවයි. එම ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 3000 ඉක්මවයි. මැලේසියාව හෙක්ටාරයකට කිලෝ ග‍්‍රෑම් 2,600කට වැඩි පොහොර ප‍්‍රමාණයක් යොදවයි. ඒ අනුව මෙවැනි ඉහළ පොහොර භාවිතයක් ඇති රටවල පරිසරයට සහ ජනතාවගේ සෞඛ්‍යයට අසාමාන්‍ය ලෙස දරුණු බලපෑමක් ඇති කළ යුතු අතර එම රටවල් අපට වසර ගණනාවකට පෙර රසායනික පොහොර භාවිතය තහනම් කළ යුතුය. නමුත් එවැනි තීරණයක් එම රටවල් මේ දක්වා ගෙන නොමැත.
2018 වර්ෂයේ දී චීනය සිය කෘෂිකර්මාන්තය සඳහා පළිබෝධ නාශක ටොන් මිලියන 1.8 ක් යොදා ගන්නා විට ශ‍්‍රී ලංකාව භාවිතා කර ඇති පිළිබෝධ නාශක ප‍්‍රමාණය ටොන් 2,260ක් පමණ වේ. එනමුත් ඉන්දියාවේ ටොන් 58,160ක් ද, තායිලන්තයේ ටොන් 35,290ක් ද, වියට්නාමයේ ටොන් 19,150ක් ද, දකුණු කොරියාවේ ටොන් 18,720ක් ද, බංග්ලාදේශයේ ටොන් 15,140ක් ද, ඉන්දුනිසියාවේ ටොන් 1600ක් ද වශයෙන් පළිබෝධ නාශක භාවිතා කර ඇත.
එමෙන්ම ශ‍්‍රී ලංකාව හෙක්ටයාර් එකක වගාව සඳහා වාර්ෂිකව යොදා ගන්නා පළිබෝධ නාශක ප්රමාණය කිලෝ ග‍්‍රෑම් එකක් පමණ වේ. නමුත් චීනය සිය වගා හෙක්ටයාරයකට යොද වන පළිබෝධ නාශක ප්රමාණය කිලෝ ග‍්‍රෑම් 13 ඉක්මවයි. ආසියාවේ ඉහළම සංවර්ධන මට්ටමක් පෙන්නුම් කරන ජපානයෙහි හෙක්ටයාරයක් සඳහා භාවිතා කරන පළිබෝධ නාශක ප්රමාණය කිලෝ ග‍්‍රෑම් 11ට වැඩිය. මැලේසියාවේ කිලෝ ග‍්‍රෑම් 5 ඉක්මවයි. බංග්ලාදේශය, වියට්නාමය සහ තායිලන්තය වැනි රටවල් ද හෙක්ටායාරයකට කිලෝ ග්රෑම් 1.7ක පමණ පළිබෝධ නාශක ප‍්‍රමාණයක් වගාවේ දී යොදා ගනී.
ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ වගා හෙක්ටාරයකට යොද වන පළිබෝධ නාශක ප‍්‍රමාණය පිළිවෙළින් කිලෝග‍්‍රෑම් 0.34 ක් සහ 0.03ක් වැනි අවම මට්ටමක පවතියි. පවතින පළිබෝධ උවදුරු සහ ආක‍්‍රමණික පැලෑටි ව්‍යාප්තිය සැළකිල්ලට ගත් විට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් ම රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කර ගෙන යා හැකි යැයි කෙනෙකු විශ්වාස කරන්නේ නම් ඔහු හෝ ඇය කෘෂිකර්මාන්තයේ මළ පොතවත් නොදන්නා අයෙකු විය යුතුය.
දෙවැනි රූප සටහන මඟින් ආසියාවේ ප‍්‍රධාන කෘෂිකාර්මික රටවල කෘෂිකර්මාන්තය ආශ‍්‍රයෙන් ජනනය වන නයිට‍්‍රස් ඔක්සයිඩ ප‍්‍රමාණය, රටෙහි ජනනය වන මුළු නයිට‍්‍රස් ඔක්සයිඩ ප‍්‍රමාණයේ ප‍්‍රතිශතයක් ලෙස සහ කෘෂිකර්මාන්තය ආශ‍්‍රයෙන් ජනනය වන මීතේන් වායු ප‍්‍රමාණය, රටෙහි ජනනය වන මුළු මීතේන් වායු ප‍්‍රමාණයෙහි ප‍්‍රතිශතයක් වශයෙන් දැක්වේ.
රූප සටහන-02
මූලාශ‍්‍රය-ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය අනුසාරයෙන්
කෘෂිකර්මාන්තය ආශ‍්‍රයෙන් නයිට‍්‍රස් ඔක්සයිඩ නිපද වෙන්නේ කෘත‍්‍රීම පොහොර භාවිතය, සත්ත්ව පොහොර භාවිතය, සත්ව අපද්‍රව්‍ය කළමනාකරණය සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය පිළිස්සීම හේතුවෙනි. 2008 වර්ෂයට අදාළ මෙම දත්ත අනුව ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ආශ‍්‍රයෙන් රටෙහි ජනනය වන මුළු නයිට‍්‍රස් ඔක්සයිඩ ප්‍රමාණය 65%ක් පමණ වේ.
ඒ අනුව කෘෂිකාර්මික නයිට‍්‍රස් ඔක්සයිඩ වැඩියෙන් ම නිපදවන රටවල් අතර ශ්‍රී ලංකාව 111 වැනි ස්ථානයේ පසු වේ. ජපානය හැර අනෙකුත් සියලුම රටවල් සිය කෘෂිකර්මාන්තය ආශ‍්‍රයෙන් ශ‍්‍රී ලංකාවට වඩා වැඩි නයිට‍්‍රස් ඔක්සයිඩ ප‍්‍රමාණයක් ජනනය කරයි. වියට්නාමයෙහි එම ප්‍රමාණය 84%ක් වන අතර බංග්ලාදේශයෙහි 83%ක් වේ.
කෘෂිකර්මාන්තය ආශ‍්‍රයෙන් මීතේන් වායුව ජනනය වන්නේ සතුන්ගෙන්, සත්ව අපද්‍රව්‍යවලින්, වී වගාවෙන් සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය පිළිස්සීම ආශ‍්‍රයෙනි. ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ආශ්‍රයෙන් නිපද වෙන මීතේන් වායු ප‍්‍රමාණය රටෙහි ජනනය වන සමස්ත මීතේන් වායු ප‍්‍රමාණයෙන් 67%කි. ඒ අනුව කෘෂිකර්මාන්තය ආශ‍්‍රයෙන් වැඩිම මීතේන් වායු ජනනය කරන රටවල් අතර 41 වන ස්ථානය ශ‍්‍රී ලංකාවට හිමි වේ. අනෙකුත් ආසියානු රටවලින් ජපානය 72%ක් සහ බංග්ලාදේශය 69%ක් වශයෙන් ශ‍්‍රී ලංකාවට වඩා වැඩි මීතේන් වායු ප‍්‍රමාණයක් කෘෂිකර්මාන්තය ආශ‍්‍රයෙන් ජනනය කරයි.
ශ‍්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය කෘෂිකර්මාන්තයෙන් ඉවත් කළ හොත් කෘෂිකර්මාන්තය ආශ‍්‍රයෙන් ජනනය වන නයිට‍්‍රස් ඔක්සයිඩ ප‍්‍රමාණය සැළකිය යුතු ලෙසින් අඩු විය හැකිය. නමුත් ඒ වෙනුවට කාබනික පොහොර භාවිතය වැඩි වීම හරහා නයිට‍්‍රස් ඔක්සයිඩ සේම මීතේන් වායු නිකුතුව ද ඉහළ යා හැකිය. මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ කාබනික සහ රසායනික පොහොර යන දෙවර්ගයම පසට අවශ්‍ය පමණට වඩා යෙදුව හොත් එමඟින් අත් වන්නේ එක හා සමාන ප‍්‍රතිඵලයන් බවය.
සමහර අයගේ අදහස වන්නේ කෘෂිකර්මාන්තය රසායන ද්‍රව්‍යවලින් මුදවා ගෙන සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වීම හරහා සමාජයේ ඇති නව අනූවක් රෝග නිට්ටාවට සුව කළ හැකි බවයි. කාබනික වගාව පිළිබඳව වැඩියෙන්ම කතා බහ කරන්නේ ගොවීන් නොව සීත කාමරවල වැජඹෙන සුපිරි පංතියේ ධනවතුන් සහ දේශපාලකයන්ය. ඔවුන්ට අවශ්‍යය වන්නේ සිය ශරීර සෞඛ්‍යය හිත සුව පිණිස කාබනික ක‍්‍රමයට නිපද වූ ආහාර ද්‍රව්‍යවලින් සප්පායම් වීමය. ඔවුන්ට කාබනික වගාව හරහා ගොවියා මුහුණ දෙන ආදායම් අහිමි වීම, දුෂ්කරතා සහ වගාව අත හැර දැමීම ආදිය පිළිබඳව තේරුම් ගැනීමට අවශ්‍යතාවක් නැත.
කාබනික වගාවේ ඇති දුෂ්කරතා, අවාසි සහ අනෙකුත් පිරිවැය සැළකිල්ලට ගත් විට කාබනික වගාව කෙරෙහි එතරම් උනන්දුවක් ගොවීන් අතර නැත. මේ බව පසුගිය දශක එක හමාරක පමණ කාලයේ දී ලෝකය පුරා කාබනික වගාවේ ව්‍යාප්තිය සැළකිල්ලට ගත් විට පෙනී යයි. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව 2005 වර්ෂය වන විට ලෝකයේ සමස්ත කෘෂිකාර්මික බිම්වලින් 0.5%ක් කාබනික වගාවට යොමු වී තිබුණි. 2018 වර්ෂය වන විට එම භූමි ප්‍රමාණය 1.5% දක්වා ඉහළ ගොස් තිබුණි. වසර 15ක කාලය ඇතුළත දී 0.9% කින් පමණක් ලෝක කාබනික වගා බිම් ප‍්‍රමාණය ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය ආසියාවේ ඉතාමත් කණගාටුදායකය. ආසියාවේ මුළු කෘෂිකාර්මික බිම්වලින් 2005 වන විට කාබනික වගාව සඳහා යොමුව තිබුණු 0.2% ක් වූ බිම් ප‍්‍රමාණය 2018 වන විට 0.4% දක්වා පමණක් ඉහළ ගියේය. එමගින් පෙනී යන්නේ ලෝකයේ කාබනික වගාවේ ව්‍යාප්තිය ඉතාමත් මන්දගාමි බවක් පෙන්නුම් කරන බවය.
ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මීට තරමක් වෙනස්ය. 2005 දී මුළු කෘෂිකාර්මික බිම් ප‍්‍රමාණයෙන් කාබනික වගාවට යොමුව තිබුණේ 0.4%කි. නමුත් 2016 වන විට කාබනික වගාව සඳහා යොමු වූ බිම් ප‍්‍රමාණය මෙරට මුළු කෘෂිකාර්මික බිම් ප‍්‍රමාණයෙන් 3.5% දක්වා ඉහළ ගියේය. රජය කාබනික වගාව ප‍්‍රවර්ධනය කිරිමට අනුගමනය කළ ක‍්‍රියාමාර්ග හේතුවෙන් 2017 වන විට කාබනික වගාවට යොමු වූ බිම් ප‍්‍රමාණය මුළු කෘෂිකාර්මික බිම් ප‍්‍රමාණයෙන් 6% දක්වා ඉතාමත් වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කළේය. එක් වසරක් ඇතුළත දී කාබනික වගාවට යොමු වූ බිම් ප‍්‍රමාණය 2.5%කින් ඉහළ ගියේය. නමුත් මෙහි ප‍්‍රතිවිරුද්ධය 2018 වසරේ දී සිදු විය. 2018 වන විට කාබනික වගාව සඳහා යොදා ගත් බිම් ප‍්‍රමාණය රටෙහි මුළු කෘෂිකාර්මික බිම් ප‍්‍රමාණයෙන් 2.7%ක් දක්වා එක් වසරක දී 3.3%කින් කඩා වැටුණි. එමගින් කියැ වෙන්නේ කුමක්ද..? කාබනික වගාව සම්බන්ධයෙන් රජය අනුගමනය කළ ප‍්‍රතිපත්ති සහ ප‍්‍රචාරණ වැඩ පිළිවෙළ හේතුවෙන් වැඩි ගොවීන් පිරිසක් කාබනික වගාවට යොමු වුව ද, වගාව කර ගෙන යාමේ දී ඇති වූ දුෂ්කරතා, කාබනික පොහොර වෙළෙඳ පොළේ නොමැති වීම සහ අස්වැන්න අඩු වීම ආදි හේතු නිසා ගොවීන් ඉක්මනින්ම කාබනික වගාවෙන් ඉවත් වී ඇති බවය.
රසායනික පොහොර භාවිතය ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ‍්‍රී ලංකාව පත් කරන්නේ යැයි කරන ප‍්‍රකාශයේම අවුලක් තිබෙන බව ජනාධිපතිවරයාට අවබෝධ නොවීම ඔහුගේ නොදැනුවත් භාවය ප‍්‍රදර්ශනය කරනවාට වඩා රටෙහි අනාගතයෙහි දුර්භාග්‍යය පෙන්නුම් කරන්නකි. අඩුම තරමින් ලෝකයේ දැනට රසායනික පොහොර නොමැතිව කාබනික ක‍්‍රමයට සිදු වන වගාවේ විස්තෘතිය පිළිබඳ අවබෝධයක් ඔහුට තිබිය යුතුය. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට කෘෂිකාර්මික තොරතුරු සපයන 240ක් පමණ වන රටවල් අතුරින් එක් රටක් හෝ ශ‍්‍රී ලංකාවට ප‍්‍රථමයෙන් රසායනික පොහොර ඉවත් කළ රටක් බවට පත් නොවූයේ මන්ද යන්න පිළිබඳව විමර්ශනය කළ යුතුව තිබුණි. එමෙන් ම පසුගිය වසරවල කාබනික වගාවට යොමු වූ මෙරට ගොවීන්ට මේ වන විට අත් වී ඇති ඉරණම කුමක්ද යන්න පිළිබඳව සොයා බැලිය යුතුව තිබුණි. එමෙන්ම රටේ ප‍්‍රමාණවත් කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු වන්නේ ද යන්න පිළිබඳ ද සොයා බැලිය යුතුව තිබුණි.
ප‍්‍රායෝගිකව මෙම රජයට විදේශ විනිමය ප‍්‍රශ්නයක් ඇත. රටට ඩොලර් ලැබෙන්නේ නැත. එවන් වට පිටාවක වාර්ෂිකව ඩොලර් මිලියන 220ක් පමණ වැය කර පොහොර ආනයනය කිරීමට රජයට විදේශ විනිමය සොයා ගත නොහැකිය. එමෙන්ම රජයට පොහොර සහනාධාරය ද හිසරදයක් වී ඇත. පොහොර සහනාධාරයට වාර්ෂිකව ගෙවන රුපියල් මිලියන 50,000ක මුදල රැක ගැනීමට ඇති හොඳම විකල්පය රසායනික පොහොර තහනම් කිරීම බව ජනාධිපතිවරයාට සිතෙන්නට ඇත. ජනාධිපතිවරයා සිතන ආකාරයට කාබනික වගාවට යොමු වීම නිසා අහිමි වන අස්වැන්න සඳහා පොහොර සහනාධාර වියදම යොදා ගනිමින් ගොවීන්ට වන්දි ගෙවිය හැකිය. නමුත් නිසි වැඩ පිළිවෙළක් නැතිව කාබනික වගාවට ගොවීන් තල්ලු කිරීම නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය 70%කින් පමණ පහළ යනු ඇත. එසේ අහිමි වන ආදායමට වන්දි ගෙවීම සඳහා පොහොර සහනාධාරයට දරන වියදම ප‍්‍රමාණවත් වන්නේ නැත.
කෘෂිකර්ම විෂය භාර අමාත්‍යවරයා ප‍්‍රකාශ කරන ආකාරයට කාබනික පොහොර භාවිතයට යොමු වීම නිසා අඩු වන අස්වැන්නට හිලව් කිරිම සඳහා සහල් සහ ආහාර ද්‍රව්‍ය වෙනත් රටවලින් ආනයනය කිරීමට නියමිතය. එසේ ආහාර ද්‍රව්‍ය වැඩි වැඩියෙන් ආනයනය කොට මෙරට විදේශ විනිමය ඉතිරි කර ගත හැකිද..? අධික ලෙස රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන චීනය, වියට්නාමය සහ බංග්ලාදේශය වැනි රටවලින් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය මඟින් වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී, නිරෝගිමත් සහ ඵලදායි පුරවැසියෙකු බිහි කළ හැකි ද යන්න ජනාධිපතිවරයා බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. රජයේ අසමත්කම වසා ගැනීමට පොහොර ආනයනය සීමා කරමින් ගොවිතැනට අවශ්‍ය පොහොර ප‍්‍රමාණය ලබා නොදී ත‍්‍රස්තවාදීන්ටවත් කිරීමට නොහැකි වූ හානියක් ගෝඨාභය රාජපක්ෂ රජය මෙරට කෘෂිකර්මාන්තයට කරනු ඇත.
රසායනික පොහොර තහනම් කිරීමේ ප‍්‍රකාශයෙන් වාසි දායක තත්ත්වයක් නිර්මාණය වූ පිරිසක් ද වෙති. ඒ තොගයට සහ සිල්ලරට පොහොර සහ රසායනික ද්‍රව්‍ය අලෙවි කරන්නන්ය. ජනාධිපතිවරයාගේ එම ඓතිහාසික කතාවත් සමඟම වෙළෙඳ පොළෙන් රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය අතුරුදන් වූ අතර ඉතා ඉහළ මිල ගණන්වලට දින දෙකකට පසුව පොහොර අලෙවි වන්නට විය. උදාහරණයක් ලෙස කිලෝ ග‍්‍රෑම් එකක් රුපියල් 70ට තිබුණු තේ පොහොර කිලෝවක් රුපියල් 140ට අලෙවි කරන බවට කුඩා තේ ගොවීහූ මැසිවිලි නගති. රජය දුප්පත් ගොවියා ගසා කෑමට වෙළෙන්දන්ට පාර කපා දී ඇත්තේ එසේය.
තමන්ට සිතුණු සැනින් එක රැයින් සමස්ත කෘෂිකර්මාන්තය කාබනික වගාවට හැර වීමට දත කනවාට වඩා ජනාධිපතිවරයා සිය සිහි නුවණ යොදවා කළ යුත්තේ කාබනික වගාව සඳහා අවශ්‍ය පසු තලය රට අභ්‍යන්තරයේ ක‍්‍රමයෙන් සකස් කිරීමය. කාබනික වගාවට සේම අකාබනික වගාවට පවතින ඉඩකඩ විවෘතව තැබිය යුතු අතර කාබනික වගාවට යොමු වන්නේ ද, අකාබනික වගාවට යොමු වන්නේ ද යන්න පිළිබඳව තීරණය කළ යුත්තේ ගොවියාය. පොහොර භාවිතය තහනම් කරමින් කෘෂිකර්මාන්තයට සහ ගොවීන්ට බලහත්කාරකමක් කිරීමේ අයිතිය ජනතාව මෙම රජයට ලබා දී නොමැත. මෙම අවස්ථාවේ දී ගොවියාගේ උදහසට ලක් වීම යම් පමණකට හෝ සමනය කර ගැනීමට ජනාධිපතිවරයාට ඇති එකම විකල්පය වන්නේ සිය උද්ධච්චකම පසෙකට තබා පොහොර තහනම් කිරීමට ගත් පියවර ආපස්සට ගැනීම පමණි.
Lanka Newsweek © 2024