Saturday 19th of June 2021

English Tamil
Advertiesment


වරාය නගරයෙන් රට වැනසී මිනිස්සු නන්නත්තාර වන හැටි 


2021-05-19 5499

කොළඹ වරාය නගරය සහ එහි වාසිය කවුරුන් වෙනුවෙන් ද..?

 

රටට ලාභ සහ ලාභාංශ අහිමි වේ 

 

ශ‍්‍රම ඉපයීම් අහිමි වේ 

 

විදේශ විනිමය අහිමි වේ 

 

බදු ආදායම් අහිමි වේ 

 

මහා භාණ්ඩාගාරයේ මුදල් අහිමි වේ

 

නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ආයෝජනය කඩා වැටේ

 

දුරාචාර ගොන්නක් සඟවා ගෙන සිටීමට මිනිස්සුන්ට සිදු වේ  

 

 

(මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම)

 

මහ කොළඹ ආර්ථික කොමිසම 

 

1978 වර්ෂයේ අංක 78 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් නීතිය මඟින් එතෙක් ශ‍්‍රී ලංකාවේ දක්නට නොවුණු ආකාරයේ විශේෂිත ආර්ථික කලාපයක් නිර්මාණය කෙරිණි. ඒ එම වර්ෂයේදී මෙරටට හඳුන්වා දුන් විවෘත, අපනයනාභිමුඛ කාර්මික සංවර්ධන උපාය මාර්ගය හරහා මෙරටට වැඩි වැඩියෙන් විදේශ ආයෝජන සහ කර්මාන්ත ඇද ගැනීම මූලික පරමාර්ථය කර ගනිමිනි. 

මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාව පිහිටු වීමේ විශේෂිත වූ අරමුණ වූයේ විදේශීය ආයෝජන ප‍්‍රවර්ධනය කරමින් අපනයනාභිමුඛ කර්මාන්ත ව්‍යුහයක් ස්ථාපිත කිරීමය. මෙම කොමිසමෙහි විශේෂත්වය වූයේ එම කොමිසම සෘජුවම ජනාධිපතිවරයා යටතේ පවතින සහ පාලනය වන බව සඳහන් නොවීමත් අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය යටතේ කොමිසමේ කටයුතු නීර්ණය කර තිබීමත්ය. 

කොමිෂන් සභා නීතිය රටෙහි පොදු නීිතිය සමඟ අනුගත වන ආකාරයටත් නගර සභා විධිවිධාන පනත  ප‍්‍රකාරව නගර සභාවේ සහ එහි සේවකයන්ගේ කටයුතු ඉටු කිරීම සහ ක‍්‍රියාත්මක කිරිම ද කොමිසමේ වගකීමක් වශයෙන් වෙන් කොට තිබුණි. එමෙන්ම මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාවේ කටයුතු දේශීය විගණන නිර්ණායකයන්ට යටත්ව විගණනයට ලක් වන බව සඳහන්ය. 

ඒ අනුව මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාව මෙරට පරිපාලන නීතිරිතිවලට සහ මුල්‍ය විධිවිධානයන්ට යටත් කොට විශේෂිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා පිහිටුවා තිබුණි. මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා බල ප‍්‍රදේශයට මහා නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ රාශියක් අයත් වුවත් ක‍්‍රියාත්මක ක්ෂේත‍්‍රයේදී පරිපාලන ගැටලූ පැන නොනැගිණි. වර්තමානය වන විට ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත වශයෙන් සංශෝධන සහිතව ක‍්‍රියාත්මක වුවත් රටෙහි මූලික නිතිය, පළාත් පාලන ආයතන නීතිය, පරිපාලන නීතිය සහ මුල්‍ය විධිවිධාන පනත ආදිය සමඟ එහි ගැටුමක් නොමැත. 

 

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම

 

කොළඹ වරාය නගර බල ප‍්‍රදේශයේ සහ එහි සිට සිදු කරන ව්‍යාපාර සේම විවිධ මෙහෙයුම් ඇතුළු සියලු කරුණු කාරණාවල පරිපාලනයට, නියාමනයට සහ  පාලනයට අදාළව පිහිටු වන කොළඹ වරාය නගර ආර්ථික කොමිසමෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම හරහා මුල්‍ය වෙළෙඳ පොළ වගේම වෙනත් සේවාවන් සහ ආර්ථික කටයුතු පවත්වා ගෙන යා හැකි විශේෂිත ආර්ථික කලාපයක් සහ ආයෝජන මධ්‍යස්ථානයක් බවට කොළඹ වරාය නගරය පත් කර ක‍්‍රියාත්මක කිරීමය. 

වරාය නගර ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ දී ආරම්භ වී දැනට වැඩ නිම වෙමින් පවතින ව්‍යාපෘතියක් වන අතර චීන සමාගමක් විසින් ඩොලර් බිලියන 1.4ක් (රුපියල් බිලියන 280ක්) වැය කරමින් කොළඹ වරායට ආසන්නව හෙක්ටයාර් 446කට (අක්කර 1102) නොඅඩු බිම් ප‍්‍රමාණයක් මුහුද ගොඩ කිරීමෙන් ගොඩනගන ව්‍යාපෘතියකි. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී චීන ආධාර ඇතිව ක‍්‍රියාත්මක වූ අමුතු ව්‍යාපෘති අතුරින් එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙම කොළඹ වරාය හැඳින්විය හැකිය. දියකඩනයන් නිර්මාණය කරමින් ගැඹුරු මුහුදේ වරායක් ඉදිකිරීමේ පහසුව තිබිය දී මහත් පරිශ‍්‍රමයක් සහ වියදමක් දරා රට අභ්‍යන්තරය හාරා හම්බන්තොට වරාය ඉදි කිරීම සහ මුල්‍යය නගර කලාපයක් අග නගරයට ආසන්නයෙන් රට අභ්‍යන්තරයේ පහසුවෙන් ස්ථාපිත කළ හැකිව තිබිය දී, පාරිසරික ගැටලු නිර්මාණය කරමින් මුහුද ගොඩ කර වරාය නගර භූමිය නිර්මාණය කිරීම එම අමුතු ව්‍යාපෘතීන්ය. 

අදාළ චීන සමාගම විසින් මේ සඳහා වැඩි අනුග‍්‍රාහකත්වයක් දැක්වුව ද, අවශේෂ කාර්යය සඳහා රටෙහි මහා ජන මුදල් විශාල වශයෙන් පොම්ප කර ඇත. එමෙන්ම අදාළ සමාගම මෙම ව්‍යාපාතිය සඳහා දැරූ ආයෝජනයට හිලව් වශයෙන් වරාය නගරයේ හෙක්ටයාර 177ක (අක්කර 437) පමණ බිම් කඩක් මෙම සමාගමට නීත්‍යානුකූලව හිමි වේ. එමෙන්ම ගිවිසුම් ප‍්‍රකාරව රජයට අයත් බිම් ප‍්‍රමාණයෙන් අක්කර 286ක පමණ කොටසක් අදාළ සමාගමට 99 අවුරුදු කාලයකට බදු දී ඇත. ඒ අනුව ප‍්‍රායෝගික ක්ෂේත‍්‍රයේ දී අදාළ ව්‍යාපාර සමාගමට වරාය නගරයේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 66%ක (අක්කර 723ක) පමණ කොටසක අයිතිය සහ පාලන බලය හිමිවේ. මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී රටේ දේශපාලනමය, සමාජමය සහ ආර්ථිකමය ගැටලු රාශියක් නිර්මාණය වනු ඇත. 

 

නීතිමය තත්ත්වය  

 

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කරමින් දැනුම් දී ඇත්තේ, එම පනත් කෙටුම් පතේ සමහර වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ, එනම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන අතර සමහර වගන්ති සඳහා එම විශේෂ බහුතරය සමඟ ජනමත විචාරණයක් ද අවශ්‍ය බව වන අතර එමඟින් පැහැදිලි වන්නේ එම පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගත නොවන බවය.

මේ කාරණයට අදාළව නීති විශාරදයින් සහ දේශපාලන නායකයින් ඇතුළු ජන සමාජයේ විවිධ පාර්ශ්ව මුල සිටම කරුණු දැක්වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් දී තිබෙන නිසා ඊට ගරු කරමින් එම පනතට අදාළ නීතිමය තත්ත්වයන් ගැන මීට වඩා කතා කිරීමට අපි උත්සහ නොකරන්නෙමු.  

 

ආයෝජන ප‍්‍රවර්ධනය  

 

කොළඹ වරාය නගර ආර්ථික බල ප‍්‍රදේශය පිහිටු වීමේ ප‍්‍රමුඛතම අරමුණ වන්නේ විදේශීය ආයෝජන ආරක්ෂණය කර ගනිමින් සේවා අංශයේ ආර්ථික කටයුතු ප‍්‍රවර්ධනය කිරීමය. මේ යටතේ ක‍්‍රමෝපායික වැදගත්කමක් සහිත ආයෝජන ආකර්ශනය කර ගැනීම, විදේශීය මුදල්වලින් ආදායම් ඉපයීමේ අවස්ථා ජනනය කිරීම, සේවාවන් හෝ තොරතුරු තාක්ෂණය දියුණු කිරීමේ ආයෝජන, සංචාරක ව්‍යාපාරය, විනෝදාත්මක කටයුතු, සාප්පු සවාරි, නේවාසික පහසුකම් සැපයීමේ සේවා, මූලස්ථාන මෙහෙයුම් සහ කලාපීය බෙදාහැරීම් මෙහෙයුම් ආදියට අදාළ ආයෝජන මෙම කලාපයේ ස්ථාපිත කිරීමට අපේක්ෂිතය. 

ඒකීය ආයෝජන සඳහා පහසුකම් සලසන්නා ලෙස කොමිෂන් සභාවට කලාපයේ විශේෂ වූ බලාධිකාරයක් හිමි වේ. විවිධ ආයතන හරහා ගොස් ආයෝජන සඳහා අනුමැතිය ලබා ගැනීමට යාමේ දී ඇති වන දුෂ්කරතා, අකාර්යක්ෂමතා සහ විවිධ ස්ථානයන්හි පවතින දුෂණ වංචා නිසා පැමිණීමට අපේක්ෂා කරන ආයෝජකයන් මෙරටට නොපැමිණෙන බවට තොරතුරු පවතියි. ඒකීය ආයෝජන පහසුකම් සලසන්නා ලෙස කොමිසම හඳුනා ගැනීමට ප‍්‍රධාන හේතුව වන්නට ඇත්තේ මෙම විවිධ මට්ටමෙන් ඇති වන අකාර්යක්ෂමතා, අක්‍රමිකතා සහ දුෂණ ඉවත් කිරීමේ අරමුණ නම් එම ප්‍රවේශය ප‍්‍රසංසනීය වේ. 

වරාය නගර පනතෙහි 9 වන කොටසෙහි දැක්වෙන ආකාරයට ක‍්‍රමෝපායික වැදගත්කමක් ඇති ව්‍යාපාර නිශ්චය කිරීම සහ එම ව්‍යාපාර ප‍්‍රවර්ධනය කිරීම සඳහා නිදහස් කිරීමට හෝ දිරි ගැන්වීම් ලබා දීමට කොමිසමට හැකිය. මෙහිදි ක‍්‍රමෝපායික වැදගත්කමක් ඇති ව්‍යාපාර වශයෙන් නිර්වචනය කර ඇත්තේ ජාතික ආර්ථිකය දියුණු කිරීමේ යහපත පිණිස රටට ආර්ථික සහ සමාජ ප‍්‍රතිලාභ ගෙන ඒමට හැකියාව ඇත්තා වූ ව්‍යාපාර වශයෙනි. මෙම අපැහැදිලි නිර්වචනය ආයෝජන අනුමත කිරීමේ දූෂණ සහ වංචාවන්හි තවත් දිශානතියක් පෙන්නුම් කරන්නක් විය හැකිය. 

එම  පනතෙහි 52 (3) වගන්තියට අනුව යම් ව්‍යාපාරයක් ක‍්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස හඳුනා ගැනීමෙන් පසුව ඒ ව්‍යාපාරයට කොළඹ වරාය නගර බල ප‍්‍රදේශයේ සහ එහි සිට ස්වකීය කටයුතු කිරීමට අදාළ වන තාක් දුරට නිදහස් කිරීමේ හෝ දිරි ගැන්වීම් ලබා දිය යුතුය. මෙම ප‍්‍රතිපාදනය ගැටලුකාරි වන්නේ නිදහස් කිරීම් සහ දිරි ගැන්වීම් ලබා දීමේ සීමාවක් එමගින් අර්ථ දක්වා නොමැති වීමයි.  

ක‍්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් සතු ව්‍යාපාරිකයෙකු සිය ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා පවතින සියලුම බදු සහ ගාස්තු ආදියෙන් සම්පූර්ණ වශයෙන් නිදහස් කිරීම් ලබා ගැනීමෙන් අනතුරුවත් එම පහසුකම් ව්‍යාපාරය ආරම්භ කිරීමට ප‍්‍රමාණවත් නොවන බව ප‍්‍රකාශ කළ හොත් භාණ්ඩාගාරයේ මුදල් වැය කරමින් වෙනත් දිරි ගැන්වීම් ලබා දීමට සිදු වන තත්ත්වයක් මෙම ක්‍රමවේදය මගින් පෙන්නුම් කරයි. මේ පදනමින් ගත් විට වරාය නගරයෙහි ව්‍යාපාර ආරම්භ කරන කිසිදු ව්‍යවසායකයෙකු රජයට බදු හෝ ගාස්තු නොගෙවනු ඇති අතර ඒ වෙනුවට රජය මහා ජනයාගේ බදු මුදලින් ඔවුන්ට දිරි ගැන්වීම් ද ලබා දීමක් සිදු විය හැකිය. 

එමෙන්ම 52 (6) වගන්තිය අනුව කොමිෂන් සභාව  විසින් ක‍්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර ආකර්ශනය කර ගැනීම සඳහා දිරි ගැන්වීම් ලෙස අවශ්‍යය විය හැකි වෙනත් සහාය සහ පහසුකම් ද සලසා දෙනු ලැබිය හැකිය.  මෙහිදී ද වෙනත් සහාය සහ පහසුකම් යන්නෙන් කුමක් අදහස් වන්නේද යන්න පැහැදිලි කර නැත. 

මෙම පනතෙහි 52 (7)වගන්තිය අනුව ප‍්‍රදානය කරන ලද  නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් වසර 40ක වලංගු කාලයකට බල පැවැත්වෙන පරිදි ලබා දිය හැකිය. මේ තරම් දීර්ඝ කාලයකට බදු නිදහස් කිරීම් සහ දිරි ගැන්වීම් ලබා දෙන්නේ කුමන හේතුවක් මත ද යන්න පැහැදිලි නැත. සාමාන්‍යයෙන් ආයෝජන දිරි ගැන්වීම සඳහා ලබා දෙන සහන වසර පහකට හෝ දහයකට සීමා කරයි. මෙසේ වසර 40ක බදු නිදහස් කිරීම් සහ දිරි ගැන්වීම් ලබා දීම කිසිසේත්ම දේශීය ආර්ථිකයට යහපතක් නොකරන අතර එමගින් සිදු වන්නේ දේශීය සම්පත් දීර්ඝ කාලයක් තිස්සේ විදේශිකයන්ට සූරා කෑමට හැකි වන වට පිටාව නිර්මාණය කරදීමකි. 

2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත මඟින් සම්මත සමාගම් ආදායම් බදු අනුපාතය 24% ක් වේ. නමුත් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිතව කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්ෂණය හා බැදුණු සේවාවන්, සේවා අපනයන ඉපයිම් සහ විදේශීය මුදල් ආශ‍්‍රයෙන් ඇති සියලුම ඉපයීම් ආදායම් බද්දෙන් පූර්ණ වශයෙන් නිදහස් කර ඇත. 

එමෙන්ම වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 500ට අඩු කුඩා සහ මධ්‍යයම පරිමාණ විදේශීය ආයෝජන ව්‍යාපෘති ආදායම්, භාණ්ඩ විකිණීම සම්බන්ධ සේවාවන් ආශ‍්‍රිතව බැංකු හරහා විදේශීය මුදලින් වන ගණුදෙනු, අක් වෙරළ ව්‍යාපාර, භාණ්ඩ ගබඩා වෙළෙදාම, දේශීය වෙළෙද පොළට සපයන සැපයුම් සේවාවන්, අපයනකරුවන්ට ලබා දෙන සේවා ඉපයුම්, අධ්‍යාපනික සේවා, සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය, ඉදිකිරීම් කර්මාන්ත, කෘෂි ආශ‍්‍රිත නිෂ්පාදන, සෞඛ්‍ය සේවා සහ නේවාසික සමාගම් ලාභාංශ, ආදි ඉපයීම් සඳහා අය කෙරෙන සමාගම් බදු අනුපාතය 14% දක්වා අඩු කර ඇත. 

එමෙන්ම එවැනි ආයතන දේශීය වෙළෙඳ පොළට කරන නිෂ්පාදන ඉපයීම් 18%ක ආදායම් බදු අනුපාතයකට යටත් වේ. නමුත් කොළඹ වරාය නගර බල ප‍්‍රදේශයේ උපයන ආදායම් සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම ආදායම් බදුකරණයෙන් නිදහස් කිරීමේ හැකියාව පවතින අතර එම අසීමිත බදු නිදහස්කරණයෙන් විශාල බදු ආදායමක් රජයට අහිමි වනවා පමණක් නොව අනෙකුත් දිරි ගැන්වීම් සහ පහසුකම් ලබා දීමට මහා ජන මුදලින් විශාල වියදමක් දැරීමට රජයට සිදු වනු ඇත.

 

දුරාචාර ප‍්‍රවර්ධනය 

 

මෙම වරාය නගර කලාපය ඉදිකිරීමේ සැඟ වුණු අරමුණු ද තිබිය හැකිය. විශේෂයෙන් ම රටෙහි පවත්නා නීතිරීති පද්ධතිය සහ සමාජ සංස්කෘතික වට පිටාව හේතුවෙන් රටෙහි අභ්‍යන්තර කලාපයක සිදු කළ නොහැකි මුදල් විශුද්ධිකරණය, රාත‍්‍රී සමාජ ශාලා, මත් මධ්‍යස්ථාන, සූදු කෙළීම, ඔට්ටු ඇල්ලීම සහ ගණිකා මඩම් වැනි ව්‍යාපාර කටයුතු නිදහසේ පවත්වා ගෙන යා හැකි රටෙහි පොදු නීතියට යටත් නොවන "ඩුබායි" වැනි ස්ථානයක් ගොඩනැගීමද මෙහි අරමුණ වන්නට ඇත. අනෙක් අතට මුදල් විශුද්ධිකරණය, රාත‍්‍රී සමාජ ශාලා, මත් මධ්‍යස්ථාන, සූදු කෙළීම සහ ඔට්ටු ඇල්ලීම වැනි ව්‍යාපාර ක‍්‍රමෝපායික වැදගත්කමක් ඇති ව්‍යපාර වශයෙන් සලකන්නේ කුමන පදනමක් මතද යන්න පැහැදිලි නැත. 

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ ඔට්ටු ඇල්ලීම සහ සූදු ක‍්‍රීඩාව ආශ‍්‍රයෙන් ද, මත්පැන් සහ දුම්කොළ නිෂ්පාදනය හෝ අලෙවියෙන් ද, උපයන ආදායම 40%ක බදු අනුපාතයක් යටතේ ආදායම් බද්දට යටත් වේ. එම තත්ත්වය සාමාන්‍ය ආදායම් බදු අනුපාතය වන 24% අනුපාතයට වඩා ඉතා ඉහළ අනුපාතයකි. ඉතාමත් ඉහළ බදු අනුපාතයක් පැනවීම මඟින් එම කටයුතු අධෛර්යමත් කර ඇත. නමුත් වරාය නගර කොමිෂන් සභා පනත මඟින් ඔට්ටු අල්ලන සූදු ක‍්‍රීඩාවලින් ද, මත්පැන් සහ දුම්කොළ අලෙවියෙන් ද, උපයන ආදායම් ආදායම් බද්දෙන් නිදහස් කරනවා පමණක් නොව එම ව්‍යාපාර සඳහා මහා භාණ්ඩාගාරයේ මුදලින් දිරි ගැන්වීම් සහ සහන ද ලබා දීමේ හැකියාව ඇත. සෞභාග්‍යයේ දැක්ම යටතේ දේශීය ආර්ථිකයක් ගොඩනඟා දූෂණ, වංචා සහ අක්‍රමිකතා ආදියෙන් තොර පිරිසිදු රටක් නිර්මාණය කිරීම වෙනුවෙන්  කෑ මොර දුන් ගිහි පැවිදි පිරිස් මෙම ප‍්‍රතිපත්ති කෙසේ අනුමත කරන්නේ ද යන්න පැහැදිලි කර දිය යුතුය.  

 

ශුද්ධ වාසියේ වාසිය 

 

මේ ආකාරයට අසීමාන්තිකව ලබා දෙන බදු නිදහස් කිරීම් සහ දිරි ගැන්වීම් හරහා ආරම්භ කරන ව්‍යාපාරයන්ගෙන් මෙරට ආර්ථිකයට සැලකිය යුතු වාසියක් ලැබේ ද යන්න සැක සහිතය. ව්‍යාපාර ලාභ සහ ලාභාංශ, ශ‍්‍රම ඉපයීම් සහ වෙනත් සේවා සැපයීම් මඟින් කරන ඉපයීම් මෙරට බදුවලින් නිදහස් වන අතර එමඟින් අත් වන වාසිය විදේශීය මුදල් මඟින්ම විදේශීය බැංකු වෙත පේ‍්‍රෂණය කිරීමේ ඉඩකඩ මෙම පනත මඟින් ලබා දී තිබේ. 

රටට ලාභ සහ ලාභාංශ අහිමි වේ. ශ‍්‍රම ඉපයීම් අහිමි වේ. විදේශ විනිමය අහිමි වේ. බදු ආදායම් අහිමි වේ. දිරි ගැන්වීම් නාමයෙන් මහා භාණ්ඩාගාරයේ මුදල් අහිමි වේ. අනෙක් අතට ශ‍්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය ලබා දෙන බදු සහන සහ දිරි ගැන්වීම්වලට සාපේක්ෂව ඉහළ සහ වඩාත් ආකර්ශනීය දිරි ගැන්වීම් කොළඹ වරාය නගර බල ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක ව්‍යාපාරයන්ට හිමි වන බැවින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා රටෙහි වෙනත් ප‍්‍රදේශ වෙත ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම දුෂ්කර ක‍්‍රියාවක් නොව කළ නොහැක්කක් බවට පත් වනු ඇත. ඒ මඟින් රටෙහි මූර්ථ නිෂ්පාදනය ඉහළ නංවා එකතු කළ අගය ඉහළ නංවා නව රැකියා උත්පාදනය කළ හැකි නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ආයෝජනය විශාල කඩා වැටීමකට ලක් වනු ඇත. 

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා අදාළ බල ප‍්‍රදේශයේ හෝටල් ඉදි වනු ඇත. සේවා සැපයීමේ මධ්‍යස්ථාන වෙනුවෙන් හිස් අහස සිප ගත් ගොඩනැගිලි ඉදි වනු ඇත. එම ගොඩනැගිලි අභ්‍යන්තරයේ රටේ සාමාන්‍ය නීතිය යටතේ සිදු කළ නොහැකි නොයෙක් දෑ සිදු වනු ඇත. "China Town" ඉදි වනු ඇත. "Vet Market' ක‍්‍රියාත්මක වනු ඇත. 

එම කටයුතු බද්දෙන් නිදහස් කොට සඳහා මෙරට මහා ජනතාව ගෙවන බදු මුදලින් දිරි ගැන්වීම් ද ලබා දෙනු ඇත. ඒ සියල්ල මැද දේශිකයන් සහ විදේශිකයන් වරාය නගරයේ සාප්පු සවාරි ගසනු ඇත. ජනිත වන ලාභ සහ ලාභංශ විදේශීකයන්ගේ රටවලට රැගෙන යනු ඇත. විදේශීකයන් සිය ශ‍්‍රම ඉපයීම් සතයක හෝ බද්දක් නොගෙවා සිය රටවලට රැගෙන යනු ඇත. වරාය නගරයේ ඉඩම් 99 අවුරුද්දක බදු පදනම මත විදේශීකයන්ට හිමි වනු ඇත. ඉදි කොට ඇති ගොඩනැගිලි සහ දේපළ විදේශිකයන්ට අයිති වනු ඇත. 

ස්වදෙශිකයින්ට එහි ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. ස්වදේශීයකයන්ට එම ව්‍යාපාරවල රැකියා නොලැබෙනු ඇත. විදේශීකයන් බදු නොගෙවා නික්ම ගියත් වැඩ කරන හෝ සාප්පු සවාරි යන ශ‍්‍රී ලාංකිකයන්ට ආපසු එන ගමනේ දී තීරු බදු ඇතුළු සියලුම බදු සහ ගාස්තු ගෙවීමට සිදු වනු ඇත. ශ‍්‍රී ලාංකිකයන්ට සිදු වන්නේ දුරාචාර ගොන්නක් සඟවා ගෙන සිටින වරාය නගරයේ උස් අලංකාර ගොඩනැගිලි දෙස දුරින් සිට බලා ඒ ශ‍්‍රී ලංකාවේ සෞභාග්‍යය වන්නේය යන මානසික තෘප්තිය ලැබීම පමණි.  

 

මහාචාර්ය ආනන්ද ජයවික්‍රම 
ආර්ථික සහ සංඛ්‍යාන දෙපර්තම්නේතුව 
කලා පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
සභාපති 
ජනතාවාදි බුද්ධි මණ්ඩපය 
Advertiesment