Saturday 19th of June 2021

English Tamil
Advertiesment


COVID-19 එක්ක දේශපාලනය කරනු එපා 


2021-05-11 7393

මේ සටන ආණ්ඩුවේ නම බේරා ගැනීමට යොදා නොගනිනු 

 

සටන කළ යුත්තේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහායි 

 

වසංගත මර්දනයට අවශ්‍ය සියලු බලතල කැබිනට්ටුවට ගනු 

 

විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ක කතා කරනු 

 

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

මාරාන්තික COVID-19 වසංගතයට එරෙහි සටන ආණ්ඩුවේ නම බේරා ගැනීමේ හෝ පටු දේශපාලන සටනක් නොවිය යුතු අතර එම සටන මේ සටන ජනතාවගේ ජිවිත බේරා ගැනීම සඳහා වන සටනක් පමණක් විය යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. 

රටේ ජනතාව මෙම COVID-19 වසංගතයෙන් රැක ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගැනීමට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව සහ කැබිනට් ඇමතිවරුන් වහාම ක්‍රියා කළ යුතු අතර විපක්ෂයේ දේශපාලන නායකයින් සමඟ කතා කර ඒ සියලු දෙනාගේ සහය ලබා ගැනීමට  ක්‍රියා කළ යුතු බව ද කියා සිටියේය. 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ, රට පුරා පැතිර යමින් පවතින COVID-19 වසංගතයේ භයානක තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය හමුවේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය. 

COVID-19 රෝගයේ උග්‍ර තත්ත්වයකට රටක් ලෙස අප මුහුණ දී සිටිනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ක්‍රමානුකුලව කඩා වැටෙමින් තිබෙනවා. ඒ කියන්නේ COVID-19 ව්‍යසනය මේ වන විට ශ්‍රී ලංකාව පුරාම පැතිරෙමින් තිබෙනවා. එන්න‍තේ හිගයක් තිබෙනවා. ඒ වගේම ඔක්සිජන් හිඟයක් තිබෙනවා.  VENTILATORS හිඟයක් තිබෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් ද ඇති වෙලා. රෝහල් පිරිලා. 

දිනෙන් දින මේ COVID-19 වසංගතය වැඩි වෙනවා. ඒ අනුව රටක් ලෙස අප සිටින්නේ තීරණාත්මක අවස්ථාවක. අපේ වෛද්‍ය සහ සෞඛ්‍ය උපදෙස් අනුව අප තව දුරටත් තීරණ නොගත්තොත් අප අමාරුවේ වැටෙනවා. ඇමරිකාවේ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ "Institute of Health Metrics and Evaluation" (IHME) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව අපේ රටත්, රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයේ උපරිමයකට එන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම දවසකට සියයකට වඩා මිය යා හැකි තත්ත්වයක් 2021 ජූනි-ජූලි මාසය වන විට එන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේ අප සියලු දෙනා එකට එකතු වෙලා ක්‍රියා කළ යුතුයි. 

මේ සටන ආණ්ඩුවේ නම බේරා ගන්නා සටනක් නොවෙයි. ඒ වගේම මේ සටන දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මේ සටන ජනතාවගේ ජිවිත බේරා ගැනීම සඳහා වන සටනක් බව කිව යුතුයි. ආණ්ඩු මාරු කරන්නැයි අප කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයටයි. 

අපේ ජනතාව මෙම වසංගතයෙන් රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගැනීමට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව සහ කැබිනට් ඇමතිවරුන් ක්‍රියා කළ යුතුයි. ගත යුතුයි. COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා තිබෙන කමිටු අසාර්ථක වෙලා. මෙහි බරපතළකම ගැන කලින් කිව්වාට එකක්වත් ක්‍රියාත්මක වෙලා නෑ. ජනතාවගේ විශ්වාසය නැති වෙලා. 

එක්සත් ජාතික පක්ෂය ලෙස අප කියා සිටින්නේ, කැබිනට් මණ්ඩලයට මේ බලතල දිය යුතු බවයි. ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම භාර ගත යුතුයි. මේ සතියේම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන නායකයින් සමග කතා කළ යුතුයි. ඒ අයගේ සහයෝගය සහ අදහස් ලබා ගත යුතුයි. ඒ වගේම ඔවුනුත් ඒ අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුයි. ඉක්මණින් ක්‍රියාත්මක විය යුතුයි. මෙම ක්‍රියා මාර්ග මේ මොහොතේම නොගත්තොත් ජිවිත විශාල ප්‍රමාණයක් අපට අහිමි වේවි. රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ වගකීම භාර ගත යුතුයි. පළපුරුද්දක් තියෙන අය එහි සිටිනවා. ඒ අනුව ක්‍රියා කරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.

Advertiesment