Saturday 19th of June 2021

English Tamil
Advertiesment


ජනපතිතුමනි..! රට වෙනුවෙන් සියලු බලවේග එක්සත් කරන්න


2021-05-09 6623

රටට ආදරයක් තිබේ නම් මිත්‍රත්වයේ දෑත දිගු කරනු 

 

එසේ නොවුණොත් රට අඳුරු ප්‍රපාතයකට ඇද වැටෙනු නියතය 

 

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වහාම ක්‍රියාත්මක කරන්න..!

 

කරු ජයසූරියගේ ප්‍රකාශයට දස දෙසින් උණුසුම් ප්‍රතිචාර 

 

සියල්ලන්ගේ පැසසුමට ලක් වූ කරූගේ ප්‍රකාශය මෙන්න..!

 

මේ වන විට උද්ගත වී තිබෙන බිහිසුණු ව්‍යසනයෙන්, දරුණු තත්ත්වයෙන් සහ අනතුරෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහා දේශපාලන භේද සහ දේශපාලන බල අරමුණු සියල්ල පසෙක තබා රට වෙනුවෙන් සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් මුළු රටම එක්සත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පැවැසීය.

රට කෙරෙහි ආදරයක් තිබේ නම් කල් නොයවා සිය මිත්‍රත්වයේ දෑත් දිගු කරමින් සියලු දේශපාලන බලවේග සහ සියලුම ජන කොටස් එකට ඒකරාශී කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව අවධාරණය කර සිටී කරු ජයසූරිය මහතා එසේ නොවුණ හොත්, මේ රට ඇද වැටෙනු ඇත්තේ ඉතාමත්ම අඳුරු වූ ප්‍රපාතයකට යැයි ද අනතුරු ඇඟවීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව අවධාරණය කර සිටියේ රටේ උද්ගත වී තිබෙන භයානක තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් සර්වාගමික නායකයින් ප්‍රධාන පාර්ශවවලින් ඉතා සාධනීය ප්‍රතිචාර ලැබෙමින් පවතියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ජනමාධ්‍ය හමුවේ කළ එම විශේෂ ප්‍රකාශය මෙසේය. 

අද වන විට අපගේ මාතෘ භූමිය සංකීර්ණ වූ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එය අප සියලු දෙනාම පිළි ගන්නාවූ ද, සියලු දෙනාටම පොදු වන්නාවූ ද සත්‍යයක්. ශ්‍රී ලංකාවට අදාළව ගත හොත්, අද අප මුහුණ දෙමින් සිටින මෙම අර්බුදය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිණියක්ද අපට අනතුරු හඟවා තිබෙනවා. 

එහිදී ඇය පෙන්වා දී ඇති අනෙක් කරුණ වන්නේ මෙම වසංගතය දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙමින් සිටින බරපතළම ව්‍යසනය වන බවයි. එබැවින් කිසිවෙකුට හෝ මෙම ව්‍යසනය මඟ හැර යමින් රටේ අනාගතය පිළිබඳව කිසිවක්ම හෝ කළ නොහැකිය. මේ ආකාරයේ අර්බුද මතු වූ අවස්ථාවලදී ලෝකයේ එක් එක් රටවල් ඊට මුහුණ දී ඇති ආකාරයෙහි පොදු ස්වාභාවයක් දැක ගත හැකියි. 

දෙවන ලෝක යුද්ධය පිළිබඳව සළකා බැලුව හොත්, සමස්ත ලෝකයම ඊට මුහුණ දුන්නේ එක්සත් වීමෙනුයි. එහිදී දේශපාලන පස මිතුරුකම් පිළිබඳව සළකා බැලුවේ නැත. පොදු සතුරාට එරෙහිව සිය ආසන්න ප්‍රතිවාදියා සමඟ එක්සත් වෙමින් ඔවුන් ඊට මුහුණ දුන්නා. එවකට ඇමරිකානු ජනාධිපති වූ ෆ්‍රෑන්ක්ලීන් රූස්වේට්, බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය වින්ස්ටන්ට් චර්චිල් සෝවියට් නායක ජෝෂප් ස්ටාර්ලින් සමඟ එක්ව අත්වැල් බැඳ ගත්තේ ඒ නිසයි. එදා එසේ නොවුණා නම්, අති භයංකර වූ ෆැසිස්ට්වාදය මුළු මහත් ලෝකයම ගිල ගැනීමට ඉඩ තිබුණා. ඔවුන් ගත් ඒ පියවර නිසා පසු කලෙක ලෝකය පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව සාමකාමී වුණා. සමස්ත ලෝකවාසී ජනතාවගේ නිදහස සහ ජීවිතයට ඇති අයිතිය බොහෝ දුරට තහවුරු වුණා. යුද්ධයට මුහුණ දීමේදී පමණක් නොව යුද්ධයෙන් පසු නැවත එවැනි ව්‍යසනයක් ඇති නොවීම සඳහාද එම සියලු බලවේග එක්සත් වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීම සඳහා එදා විවිධ දේශපාලන මතවාදයන්හි පිහිටා සිටි බොහෝ රාජ්‍යයන් එක පෙළට සිට ගැනීම ඒ සඳහා දැක් විය හැකි තවත් එක් උදාහරණයකි.

අද රටක් වශයෙන් ගත් විට අපද යොමු විය යුතුව ඇත්තේ එවැනිම වූ ප්‍රවේශයකටය. එහිදී විවිධ දේශපාලන මතවාද සහ බලය සඳහා වන අපේක්ෂාවන් කිසිවක් පෙරට ගත යුතු නැත. අන් සියල්ලටම පෙර අප හමුවේ ඇති මේ බිහිසුණු ව්‍යසනයෙන් රටත්, රටේ ජනතාවත් මුදා ගත යුතුය. ඒ සඳහා මුළු රටම එක් විය යුතුය.

අප පසුගියදා මහනුවරදී ප්‍රථම වරට එකී ආයාචනය සිදු කළා. අති පූජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේලා බැහැදකිමින් උන්වහන්සේලා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළා. උන්වහන්සේලාගේ ආශිර්වාදයද ඒ සඳහා නොමඳව ලැබෙන බව අපට එහිදී පසක් වුණා. ඒ අනුව අප මේ රටේ ගරු ජනාධිපතිතුමාගෙන් සහ සමස්ත ජනතාවගෙන්ම ඒ සඳහා පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා. 

අප මෙම ආයාචනය සිදු කරන්නේ ඉතාමත්ම සද්භාවයෙනුයි. රට කෙරෙහි ආදරයක් තිබේ නම් කල් නොයවා සියලු දේශපාලන බලවේග සහ සියලුම ජන කොටස් එකට එක්ව අත්වැල් බැඳ ගනිමින් මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. එහිදී ගරු ජනාධිපතිතුමාගේ මිත්‍රත්වයේ දෑත් සියලු පාර්ශව වෙත දිගු කළ යුතුයි. ඒ රටේ බහුතර ජනතාවගේ ද මතයයි. එසේ නොවුණ හොත්, මේ රට ඇද වැටෙනු ඇත්තේ ඉතාමත්ම අඳුරු වූ ප්‍රපාතයකටයි.

ඇත්ත වශයෙන්ම මෙම උත්සාහය කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා වන ප්‍රයත්නයට පමණක්ම සීමා නොකළ යුතුයි. රසායනික පොහොර එක් වරම තහනම් කිරීමට රජය ගත් තීරණය සේම කොළඹ වරාය නගරය නැත හොත් "Port City" ව්‍යාපෘතිය වැනි ජාතික වශයෙන් ඉතා වැදගත් වන්නා වූ  කරුණු කාරණාවලට පවා රටක් ලෙස අප තීන්දු තීරණ ගත යුතුව ඇත්තේ පොදු සම්මුතියක පිහිටා සිටිමිනුයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ පැහැදිලි ස්ථාවරය වන්නේ එයයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ එම අහිංසක උත්සහය නැවතත් ඉදිරිපත් කිරීමටයි. මේ පිළිබඳව සියලුම දේශපාලන නායකයන්ගේ ද, සිවිල් සමාජයේ ද, අවදානය යොමු වේවායි අප ප්‍රාර්තනා කරනවා අප එවැනි ප්‍රවේශයකට යොමු වන්නේ නම්, එහිදී විශේෂයෙන්ම සළකා බැලිය යුතු කරුණු ගණනාවක් ද තිබෙනවා. 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිවූ විධායකයට බලය පැවරීම හේතුවෙන් පාර්ලිමේන්තුව බෙලහීනවී තිබෙනවා. ජාතික වැදගත්කමින් යුත් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ අද කිසිම සාකච්ඡාවක් සිදු වන්නේ නැහැ. මහා ජන නියෝජිතයන්ගේ සහභාගීත්වයක් ඇත්තේ නැහැ. 
ප්‍රජාතන්ත්‍රවාදය රජයන ඇමෙරිකාව, එංගලන්තය, යුරෝපය ආදී රටවල සෑම වැදගත් දේශපාලන තීරණයක්ම ගනු ලබන්නේ විද්වතුන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම් ද සැළකිල්ලට ගනිමින් ඒ ඒ රටවල මහා ජන නියෝජිත ආයතනයන් මඟිනි. ඒ සඳහා වන විශේෂ කමිටු සහ කාරක සභා ක්‍රමවේදයන්ද පවතිනවා. ශ්‍රී ලංකාවට අදාළව එවැනි ක්‍රියාමාර්ගයන්ට යොමු වන්නේ ආංශික අධීක්ෂණ කාරක සභා හරහාය. මෙම ක්‍රමය ලෝකය පිළිගත් ඉතා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් වනවා.

අපගේ ගරු ජනාධිපතිතුමා බොහෝ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයෙහි ජීවත් වෙමින් අත්දැකීම් ලබාගත් අයෙක් බව කවුරුත් දන්නවා. ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ ක්‍රියාත්මක වන එවැනි කමිටු කොතරම් වැදගත් කාර්‍යභාරයක් ඉටු කරමින් සිටිනවාද, ඒ මඟින් ගනු ලබන තීරණාත්මක තීන්දු තීරණ පිළිබඳව එතුමාට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතැයි අප සිතනවා. සමහර විට අන් බොහෝ දෙනෙකුටම වඩා ඒ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ද එතුමාට ඇතැයි අප විශ්වාස කරනවා. 

එසේ නම් අප යෝජනා කරන්නේ මහා ජන නියෝජිතත්වය පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා හරහා ක්‍රියාත්මක කර විය යුතු බවයි. 2015  ආරම්භ කළ සෑම අධීක්ෂණ කාරක සභාවකින්ම බලාපොරොත්තු වූ ප්‍රතිඵල සමහර සාමාජිකයින්ගේ උනන්දුව අඩු නිසා නොලැබුණත් අධ්‍යාපන, අධිකරණ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක වූ බව අප පිළි ගත යුතුයි. 

එහිදී  නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ සංඛ්‍යාව 118 සිට 218 දක්වා සහ, මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 70-108 දක්වා වැඩි කිරීමටත්, ත්‍රිපුද්ගල දූෂණ විරෝධී අධිකරණ දෙකක් පිහිටුවීමටත් මෙම ආංශික අධීක්ෂණ සභාවේ යෝජනා මත සිදු කෙරුණා. එපමණක් නොව විනිශ්චයකාරවරුන්ගේ ද, නීතීඥවරුන්ගේ ද, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද අධිකරණ ලඝු ලේඛන නිලධාරීන්ගේද වැටුප් සැළකිය යුතු ආකාරයට වැඩි කරන ලද්දේ එම කාරක සභා මගින් සිදු කරන ලද යෝජනාවන් මතයි.  

එමෙන්ම අධ්‍යාපන ආංශික කාරක සභාව හරහා ලබා දුන් නිර්දේශ මක මඩකලපු විශ්ව විද්‍යාලය පවරා ගැනීම සහ බොහෝ කල් ගිය වැටුප් විශමතා නිවැරදි කිරීමත්, සයිටම් සහ කොතලාවල අධ්‍යාපන පීඨ යා කිරීමත් සිදු වුණා.  නව ත්‍රස්තවාදය සහ අන්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම් යෝජනාවලියට අදාළ කැබිනට් පත්‍රිකාව අතිගරු ජනාධිපතිතුමන් විසින් 2021පෙබරවාරි මස 18 වනදින ඉදිරිපත් කළේ ද ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේ කමිටු වාර්තාව පදනම් කර ගෙනයි.  පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල මුස්ලිම් ජාතින් අතර සමගිය  ඇති කිරීම සඳහා ද විශාල සේවයක් සිදු කළ බවද අප තේරුම් ගත යුතුව තිබෙනවා.

එහෙයින් කොවිඩ් ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීම සඳහා  සෞඛ්‍ය ආංශික අධීක්ෂණ කාරක සභාවක් පිහිටුවා ඊට යොමු කිරීමෙන් විපක්ෂයට සේම දේශීය සහ විදේශීය විද්වතුන්ටද ඊට සහභාගිවී එම කටයුතු පොදු ජාතික කටයුත්තක් වශයෙන් ක්‍රියාත්මක කළ හැකියි. එම ක්‍රියාවලිය ඉතා කාලෝචිත පියවරක් වශයෙන් අපි දකිනවා. සති කිහිපයකින් මෙම කටයුතු ආරම්භ කළ හැකියි. 

කොළඹ වරාය නගර යෝජනාවද සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා හෝ රජය ඒ අයුරින් නම්‍යගීලි වන්නේ නම්, එම ක්‍රියාමාර්ගය ඉතාමත්ම සුදුසු පිළිවෙත වනු නියතයි. දැනට ඇති ගැටලුවට සාමකාමී විසඳුම් වනුයේ සර්වපාර්ශික අධීක්ෂණ කාරක සභාවක් පිහිටුවා දේශීය සහ විදේශීය අදහස් සේම උපදෙස් ලබා ගෙන මෙම ව්‍යාපෘතිය අවසානයක් කරා ගෙන යාමයි. 

වෙළඳ කලාප ඇති කිරීමට කිසිවෙකු විරුද්ධ වී නැහැ. ගැටලුව ඇත්තේ ඊට පැවරෙන බලතල කුමක්ද, ඒවායේ පාලනය පැවරෙන ආයතන රටේ මූලික ව්‍යවස්ථාවට එකඟ වන්නේද නැද්ද යන්න පිළිබඳවයි. විදේශගතව සිටින කීර්තිමත් ශ්‍රීලාංකික නීතිවේදියෙකු වන මහාචාර්ය සූරි රත්නපාල මහතා වැනි විද්වතුන්ගේ සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහස්වලටද කන් යොමු කිරීම මෙහිදී ඉතා වැදගත් වනවා. 

දකුණු ආසියාවේ පළමු වැනි වෙළඳ කලාපය සහ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරය මහා කොළඹ ආර්ථික කොමිසම නමින් ඇති කරන ලද්දේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විසිනුයි. ඒ අනුව රාජ්‍යයට අයිතිව තිබූ ලංකා සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලය කොරියාවේ ප්‍රසිද්ධ සමාගම් දෙකක් සමඟ එක් කර ආසියාවේ විශාලතම පාවහන් කර්මාන්ත ශාලාව කොරියා සිලෝන් පුට්වෙයාර් සමාගම නමින් කටුනායක වෙළඳ කලාපයේදී ආරම්භ කළා. මුල් අවුරුදු කිහිපයේ දී දුෂ්කරතා ඇති වුවද පසුව එම ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වුණා. 

මෙහි සාර්ථකත්වය ගැන දැන ගත් එවකට මැලේසියානු අගමැතිවරයා දොස්තර මහතීර් මොහොමඩ් මැතිතුමා සහ එම මැතිණියද ශ්‍රී ලංකාවට පැමිණ කර්මාන්ත ශාලාව පරීක්ෂා කළ අතර ඉන්පසු චීන ආර්ථික විප්ලවයේ මහා මොළකරුවා වන ඩෙංෂියාඕ පෙන්ග් මැතිතුමාගේ විශේෂ නියෝජිතවරයෙකු වශයෙන් ෂැන්ග්හයි නගරාධිපති ෂියාන් සමින්ග් පැමිණ බොහෝ වේලාවක් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු අධ්‍යයනය කළා. පසුව ෂියාන් සමින්ග් මහතා චිනයේ ජනාධිපති පදවියට ද පත් වුණා. 

එමෙන්ම එදා ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මහා කොළඹ ආර්ථික කොමිසමේ කර්මාන්ත ශාලා සඳහා විශේෂ බලතල සහ පහසුකම් ලබා දුන්නා. එමෙන්ම පරිපාලන සහ වාණිජමය නිදහසද මෙම ආයතනවලට ලැබී තිබුණා. රේගු කටයුතු ද විධිමත් කෙරුණා. විශේෂ ආනයන සඳහා පහසුකම් ලබා දුන්නා. මේ කරුණු වගකීමෙන් යුතුව සඳහන් කරන්නේ එම සමාගම් සභාපති සහ පෞද්ගලීකරණය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස අප ලබා ඇති අත්දැකීම් පදනම් කර ගෙනයි. 

රසායනික පොහොර සහ රසායනික කෘමි නාශක සම්පූර්ණ වශයෙන් නැවැත්වීම සඳහා රජය ගත් තීරණයද අධීක්ෂණ කාරක සභාවක් සඳහා යොමු කිරීම ඉතා යෝග්‍ය බව අපගේ විශ්වාසයයි. මෙවැනි තීන්දු තීරණ ගත යුත්තේ ඊට අදාළ සෑම අංශයන් පිළිබඳවම ඉතාමත්ම ගැඹුරින් කරුණු කාරණා සොයා බලමිනුයි. පරිසරයේ ආරක්ෂාව, ජන ජීවිතයේ ආරක්ෂාව, රටේ ආහාර සුරක්ෂතතාවය, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව සේම රටේ සමස්ත පාරිභෝගික අවශ්‍යතාවයන් පිළිබඳවද එහිදී සළකා බැලිය යුතුව තිබෙනවා. රටක් වශයෙන් අප බරපතළ තීන්දු තීරණ ගත යුත්තේ එවැනි සියලු කරුණු කාරණා ගැඹුරින් සමාලෝචනය කරමිනුයි.

කොම්පෝස්ට් පොහොර පාවිච්චිය ප්‍රචලිත කිරීම ගැන කිසිවෙකු විරුද්ධ නැහැ. මා පසුගියදා 1297 දෙනෙකු සහභාගී වූ අන්තර්ජාලය හරහා සිදු කෙරුණු සම්මන්ත්‍රණයක දී ඒ පිළිබඳව ඉදිරිපත් වූ අදහස් සහ යෝජනාවලට සවන් දුන්නා. එහි සියලු දෙනාගේ මතය වූයේ එය ඉතා හොද අදහසක් වුවත් අවුරුදු කිහිපයක් යන තුරු එය ක්‍රියාත්මක කිරීම අපහසු බවයි. ගොවි රජවරුන්, එළවලු, තේ, රබර්, පොල් වගාකරුවාද මේ මතයේ දැඩිව සිටින බව පැහැදිලියි. අද වන විට මේ රටේ බොහෝ ප්‍රදේශවල මතු වෙමින් තිබෙන ගොවි ජනතාවගේ විරෝධතාවයන් මඟින් පෙන්නුම් කරන්නේ එම යතාර්ථයයි.  

එහෙයින් මාස කිහිපයක් මෙම යෝජනාවන් අධීක්ෂණ කාරක සභාවන් හරහා දීර්ඝ අධ්‍යනයකට ලක් කිරීමෙන් සුහදව සහ යථාර්ථවාදීව මෙම ගැටලුවලට විසඳුම් ලබා ගත හැකියි. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් එකිනෙකාට පරිභව කර ගැනීම වෙනුවට මෙවැනි සුහද ක්‍රමවේදයක් ඔස්සේ රටේ දැවෙන ප්‍රශ්න විසඳා ගත හැකි බව අපගේ දැඩි මතයයි. අප මෙම යෝජනා ඉදිරිපත් කරන්නේ සහජීවනයෙන් රටේ දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමේ උදාර පරමාර්ථය ඇතිවයි.  මෙම කරුණු බලධාරීන්ගේත්, දේශමාමක ජනතාවගේත් අවදානයට යොමු වේවායි ප්‍රාර්ථනය කරනවා.

Advertiesment