මෙම ලිපිය ලියන මෙහොත වන විට මෙරටින් වාර්තා කර ඇති සමස්ත කොවිඞ් 19 ආසාදිත සංඛ්‍යාව 117,000 ඉක්මවා ඇති අතර කොවිඞ් මරණ සංඛ්‍යාව 720 දක්වා ඉහළ ගොස් ඇත. පළමු කෙරෝනා රෝගියා වාර්තා වූ 2020 මාර්තු මස 10 වැනි දා සිට 2020 ඔක්තෝබර් 01 දින දක්වා මෙරට වාර්තා වු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3380ක් වූ අතර එම කාලයේ දී වාර්තා වූ මරණ සංඛ්‍යාව 13කි. ඒ අනුව 2020 ඔක්තොබර් මාසයේ සිට 2020 අපේ‍්‍රල් මාසය අවසන් වන විට ආසන්න වශයෙන් මාස හයක කාලසීමාවේ දී මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 35 ගුණයකින් පමණ ද, මරණ සංඛ්‍යාව 55 ගුණයකින් පමණ ද ඉහළ ගොස් ඇත.
කොරෝනා වසංගතය හරහා මිය යන ප‍්‍රමාණය සමස්ත ආසාදිතයන්ගේ ප‍්‍රතිශතයක් වශයෙන් දැක් වූ විට එම ප්‍රමාණය 2020 ඔක්තෝබර් මාසයේ 0.38%ක් වූ අතර 2021 අපේ‍්‍රල් මාසය අවසාන වන විට සියයට 0.68%ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ කොරෝනා වසංගතය රටේ එන්න එන්නම මාරාන්තික වන බවය.
ඇතැම් කොරෝනා මර්දන වැඩසටහන් ප‍්‍රධානීන් මරණ සංඛ්‍යාව අවතක්සේරු කරමින් සහ මිය ගිය පුද්ගලයන් කොහොමටත් මැරෙන්න හිටිය අය බව ඇඟ වෙන ප‍්‍රකාශ කළ ද එක් අයෙකුගේ මරණය වුව ද සමීතමයන්ට වගේම රටට සිදු වූ අහිමි වීමකි. රජය වසංගතය මර්දනය කිරීමට ගන්නා පියවර ප‍්‍රමාණවත් නොවන වටපිටාවක සහ වසංගතය අත හැර දමා තිබුණු වටපිටාවක පසුගිය සති කිහිපයේ දී මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ තීව්‍ර අවස්ථාවක් පෙන්නුම් කරයි.
මේ වන විට කෙරෝනා තුන් වැනි රැල්ලක් මතු වි ඇති බව රජය පවසයි. සමහර විට මේ තත්ත්වය එකම රැල්ලක නොනවතින ගමන විය හැකිය. ඊට හේතුව වන්නේ දෙවන රැල්ල මැඬලීම වෙනුවට අපට දකින්නට ලැබුණේ දෙවන රැල්ල වසන් කිරීමය. එසේත් නොමැති නම් කොරෝනා සමඟ ජීවත් වීමට ජනතාවට කීමය.
විශේෂයෙන්ම සිංහල දෙමළ අලුත් අවුරුද්ද සහ වෙනත් උත්සව කටයුතුවලදී කොරෝනා මර්දන ක‍්‍රියාදාමයෙන් බැහැර වී ජනතාවට අවශ්‍යය පරිදි හැසිරීමට ඉඩ හැරීම මඟින් කෝවිඩ් ව්‍යාප්තිය උත්සන්න වි ඇති අවස්ථාවක් අද දැකිය හැකිය. මේ වාතාවරණය අලුත් අවුරුදු පොකුර වශයෙන් හැඳින්වීමට තරම් සෞඛ්‍යය බලධාරීන් අඥාන වී ඇත. මෙම අලුත් වාතාවරණය පොකුරක් නොවන අතර එම තත්ත්වය සමස්ත සමාජයයි. නොඑසේ නම් සමස්ත රටයි. මේ වන විට කොරෝනා වෛරසය රටෙහි සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර ගොස් ඇති බවට රට පුරාවට හමු වන ආසාදිතයන්ගෙන් පැහැදිලි වේ.
කොරෝනා වැනි සෞඛ්‍යය වසංගතයන් නිසා වැඩිම හානිදායක තත්ත්වයකට පත් වන්නේ සමාජයේ පහළ ආදායම් ස්ථරයේ ජනතාවයි. එදිනෙදා කුලී වැඩ කරමින් හෝ කුඩා ව්‍යාපාරයක් කරමින් ජීවත් වූ ජනතාවයි. විශේෂයෙන්ම බිඳ වැටුණු ආර්ථික කටයුතු සහ වසා දැමුණු ආයතන නිසා රැකියා සහ ආදායම් මාර්ග අහිමි වූවන් වසංගතය නිසා වඩාත් වැඩි පීඩාවට පත් වන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනවලට අනුව 2022 වන විට කොවිඞ් වසංගතය හේතුවෙන් දියුණු රටවල ඒක පුද්ගල ආදායම 13% කින් පහළ වැටෙනු ඇත. දියුණු වෙමින් පවතින රටවල ඒකපුද්ගල ආදායම 2022 වන විට 22% කින් පහත වැටේ. ශ‍්‍රී ලංකාව ද දියුණු වෙමින් පවතින කාණ්ඩයට අයත් වන රටක් බැවින් 2022 වන විට මෙරට ඒක පුද්ගල ආදායම ද 22%කින් පහළ යාමේ අවධානමක් පවතියි.
එවැනි වාතාවරණයක දී සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන ගණනක ජනතාව අධික දරිද්‍රතාවට සහ මන්දපෝෂණයට ගොදුරු වනු ඇත. එමෙන් ම දියුණු වෙමින් පවතින රටවල ජන ගහනයෙන් වැඩි පිරිසක් ආවරණය වන ආකාරයට එන්නත්කරණය සිදු වනු ඇත්තේ 2022 වර්ෂයේදී පමණ වීම හේතුවෙන් මෙම තත්ත්වයේ බැරෑරුම්කම තවත් ඉහළය.
තවද වෛරසයේ ජීවන චක‍්‍රය සහ එහි අලුත් ප‍්‍රභේද පිළිබඳව පවතින දුරවබෝධය හේතුවෙන් වෛරසයේ අවසාන බලපෑම තවමත් අවිනිශ්චිතය. වෛරසය කුමන වේලාවක කුමන ස්ථානයකින් කුමන ස්වරූපයකින් කුමන පරිමාවකින් ඉස්මතුවේ ද යන්න නොදන්නා බැවින් ඕනෑම රටක අනාගතය පැහැදිලි නැත. ඒ අනුව වෛරසය සමඟ ජීවත්වීම අතිශයින් භයංකර වන අතර වසංගතය මැඬ පැවැත්වීම මානව සමාජය විසින් අවශ්‍යයෙන්ම කළ යුත්තක්ව ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු රාජ්‍ය මැදිහත්වීම අවම කර ගැනීම සඳහා නිතරම රාජ්‍යයන්ට නිර්දේශ කරන ආයතනයක් වුවත් කොවිඞ් 19 වසංගතයෙන් හානි වන ජනතාවට සහන සැලසීම රටක රාජ්‍ය මුල්‍ය ප‍්‍රතිපත්තියේ වගකීමක් වශයෙන් එම සංවිධානය පවා අවධාරණය කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි වාර්තා දක්වන ආකාරයට සංවර්ධිත රටවල් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 24%ක් පමණ හානියටපත් සහ ආදායම් මාර්ග අහිමි වූ ජනතාවට සහන සැළසීම සඳහා රජයේ වියදම් ලෙස මුදා හැර ඇත. ඉදිරියට එමින් පවතින රටවල් හානියට පත් ජනතාව රැක බලාගැනීම සඳහා සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් යොදවා ඇත. අවාසනාවකට වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම අනුපාතය 2%කටත් අඩුය. ශ‍්‍රී ලංකාව ද එම තත්ත්වයෙන් බැහැර වීමට අපොහොසත්ව ඇත.
කොවිඞ් වසංගතයෙන් හානි වූ ජනතාවට සහනදායි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් සොයා ගැනීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ හැකි පළමු කාර්යය වන්නේ සිය රජයන්ගේ ආදායම් ශක්තිමත් කිරීමත් අනවශ්‍ය සහ නාස්තිකාර වියදම් ඉවත් කර ගැනීමත්ය. කෙසේ වුවත් ශ‍්‍රී ලංකාව මෙහිදී බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත. ඊට හේතුව වන්නේ රජය පසුගිය වසරේ සිදු කළ ආදායම් බදු කපා හැරීම හරහා විශාල බදු ආදායමක් දැනටමත් අහිමි කර ගෙන සිටීමය. එමෙන්ම අධික තීරු බදුකරණයට ලක්ව තිබෙන මෝටර් වාහන, පිඟන් ගඩොල්, නාන කාමර උපකරණ සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය දැඩි ලෙස සීමා කර ඇති වටපිටාවක තවත් විශාල ප‍්‍රමාණයක බදු ආදායම රජයට අහිමි වි ඇත. සීනි වංචාව සහ පොල්තෙල් වංචාව ඇතුළු වෙන් මගඩි හරහා තවත් රුපියල් කෝටි ගණනක බදු ආදායමක් රජයට අහිමි වී ඇත. එමෙන් ම මෙම දරුණු වසංගතය හමුවේ වුවද රජය කිසිදු ආකාරයකින් සිය නාස්තිකාර වියදම් කපා හැරීම සඳහා සාධනීය පියවරක් ගෙන නොමැත.
වසංගතයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සම්පත් සොයා ගැනීමේ දෙවන විකල්පය වන්නේ ජාත්‍යන්තර සහයෝගීතාව යටතේ හැකි තරම් සහනදායි පදනම මත විදේශීය මුල්‍ය පහසුකම් සහ ආධාර ලබා ගැනීමය. එසේ මුල්‍ය පහසුකම් ලබා ගැනීමේදී නිල සහ පෞද්ගලික යන මුලාශ‍්‍ර දෙකටම ප‍්‍රවේශ වීමේ හැකියාව රටවලට පවතියි. මෙවැනි පහසුකම් යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර ලබා දීම සඳහා විශේෂ හැර ගැණුම් පහසුකම් සහ වෙනත් සහන පැකේජ යටතේ ඩොලර් බිලියන 250කට වැඩි අරමුදල් ප‍්‍රමාණයක් බෙදා හැරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කටයුතු කරමින් සිටියි. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් හෝ වෙනත් ආයතයන්ගෙන් හෝ වෙනත් විදේශීය රාජ්‍යයන්ගෙන් අවශ්‍ය මුල්‍ය පහුසකම් සහ ආධාර ලබා ගැනීම සඳහා අවශ්‍යය රාජ්‍යතාන්ත‍්‍රික බව සේම හැකියාව මෙම රජයට නොමැති බව මේ වන විට පෙන්නුම් කර හමාරය.
2020 මාර්තු මාසයෙන් ඇරඹුණු වසංගතයෙහි පළමු රැල්ලේ දී හානියට පත් පවුලක් සඳහා මාසයකට රුපියල් 5000ක දීමනාවක් ගෙවීමට රජය කටයුතු කළේය. මෙම මුදල ගෙවීමේ ක‍්‍රියාවලිය ද දැඩි දේශපාලනීකරණයට ලක් වු බව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා වූ තොරතුරු අනුව පැහැදිලි විය. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 මාර්තු මාසයේදී මෙරට එක් පුද්ගලයෙකුගේ මූලික වුවමනාවන් සම්පුර්ණ කර ගැනීමට අවම වශයෙන් මාසයකට රුපියල් 4986ක මුදලක් අවශ්‍ය විය. ඒ අනුව පුද්ගලයන් හතර දෙනෙකුගෙන් සමන්විත පවුලක මාසික අවම අවශ්‍යතාවන් සඳහා රුපියල් 20,000ක මුදලක්වත් අවශ්‍යය විය. මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් විපක්ෂයේ දේශපාලනඥයන් විශේෂයෙන්ම විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස හතර දෙනෙකුගෙන් සමන්විත පවුලකට අවම වශයෙන් මාසිකව රුපියල් 20,000 ක මුදලක් ලබා දෙන ලෙස රජයට බලපෑම් කරන ලදී. කෙසේ වුවත් රජය එම ඉල්ලීම් නොසළකා හැරිය අතර මහා මැතිවරණය අවසන් වූ විගස හානියට පත් පිරිස් වෙත ආධාර දීමේ වැඩ පිළිවෙළ ද අත හැර දමන ලදී. මෙරට රජය ඇත්තටම සිදු කළේ හානියට පත් පිරිස් ණයකරුවන් බවට පත් කර ඔවුන් කබලෙන් ලිපට ඇද දැමීමය.
ශ්රී ලංකාවේ පළමු දේශීය කොරෝනා රෝගියා වාර්තා වන්නේ 2020 මාර්තු මස 10 වෙනිදාය. ඒ සමඟම ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම පළමු අරමුණ වශයෙන් තෝරා ගනිමින් රජය රට පුරා සංචරණ සීමාකම් පනවා ජනතාව ඒකරාශී වීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලදි. නමුත් 2020 ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වූ දෙවන රැල්ලේ දී රජය සිය ප‍්‍රතිපත්තිය මාරු කිරීමක් කළ බව දැකිය හැකිය. ඒ පළමු රැල්ලේ දී ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ ප‍්‍රමුඛත්වයේ සිට දෙවන රැල්ලේ දී රටෙහි ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ ප‍්‍රතිපත්තියටය.
නමුත් ජාත්‍යන්තරව පිළි ගත් සම්මතයන්ට අනුව දිගු කාලීනව සෞඛ්‍යය වසංගතයකට මුහුණ දීමේ දී රටක් සුදානම් විය යුතු කරුණු කිහිපයක් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි වාර්තාවන්ට අනුව දිගු කාලීනව වසංගතයට මුහුණ දිමේ දී රටෙහි සෞඛ්‍ය අංශ ධාරිතාව ඉහළ නැංවීම සහ සූදානම්කාරි බව ශක්තිමත් කළ යුතුය. රටෙහි සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කළ යුතුය. රටේ ආහාර සහ අත්‍යවශ්‍යය ද්‍රව්‍ය බෙදාහැරීම වඩාත් සාධාරණ සහ කාර්යක්ෂම කළ යුතුය. දරුවන්ගේ සහ යෞවනයන්ගේ අධ්‍යාපනය තහවුරු කිරීම කළ යුතුය. වැඩ බිම්වල දී ශ‍්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුය. ජනතාවගේ රැකියා සහ ආදයම් මූලාශ‍්‍ර ආරක්ෂා කිරීම වගේම ව්‍යපාරයන්හි අඛණ්ඩ ක‍්‍රියාකාරිත්වය තහවුරු කිරීම කළ යුතුය. වසංගතය සඳහා ප‍්‍රජාවගේ ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කිරීම කළ යුතුය. සැමට සමානව සැලකීමත් සමාජ කතිකාව ප‍්‍රවර්ධනය කිරීමත් මූලික නිදහසේ සහ නීතියේ පාලනය තහවුරු කිරීමත් කළ යුතුය. දිගු කාලීනව වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් ගැළවීම සඳහා අවශ්‍ය මුල්‍ය සම්පාදනය සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති ගැළපීම ආදිය කළ යුතුය. රටෙහි ජනතාවගේ අවාසනාවකට වගේ දැනට මෙරට රජය අනුගමනය කරන වසංගතය පාලනය කිරීමේ ක‍්‍රමවේදයේ මෙවැනි කිසිදු සූදානමක් දැක ගත නොහැකිය.
වසංගතය හමුවේ රටෙහි ආර්ථික කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍යය පරිදි රජය, සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත පාලනය සඳහා බලය පැවරූ ආයතන කළේ වසංගතයේ සත්‍ය තත්ත්වය වසං කරමින් සුව වීමේ අනුපාතය සහ අඩු මරණ අනුපාතය හුවා දක්වමින් කටයුතු කිරීමය. රෝගය පැතිරීම හඳුනා ගැනීමට අවශ්‍ය පරිදි පරීක්ෂාවන් සිදු කිරීමට රජය මැළි විය. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පරිදි ජනතාව මෙහෙය වීමට රජයට අවශ්‍යය නොවුණි. ප‍්‍රවාහන පද්ධතිය වෛරසයෙන් නිදහස් බව තහවුරු කරන ක‍්‍රමවේදයක් පවත්වා ගෙන යාමට රජය අපොහොසත් විය. වැඩ බිම්වල සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන වැඩසටහන් හඳුන්වා දීමට සහ ඒවා දිගින් දිගටම පවත්වා ගෙන යාමට රජයට උනන්දුවක් නොවුණි. යහපත් සෞඛ්‍යය පුරුදු දිගින් දිගටම අනුගමනය කිරීම සඳහා ජනතාව යොමු කිරීමට රජය අපොහොසත් විය. සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය අතිරේක ඖෂධ වර්ග, ආරක්ෂණ උපකරණ, උපාංග, රෝහල්වලට අවශ්‍ය අතිරේක ඇඳන් සංඛ්‍යාව සහ එන්නත් මාත‍්‍රාවන් ආදිය ප‍්‍රමාණවත් පරිදි සම්පාදනය කර ගැනීමට සෞඛ්‍යය අමාත්‍යාංශයට අවශ්‍යය අතිරේක ප‍්‍රතිපාදන වෙන් කර දීමට රජය අසමත් විය.
මේ අනුව ප‍්‍රමාණවත් පරිදි ආරක්ෂාකාරි වීමේ සහ වසංගතය පාලනය කිරීමේ ක‍්‍රියාමාර්ග නොගන්නා වටපිටාවක ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම අතිශයින්ම අවධානම්කාරීය. ඊට හේතුව වන්නේ එවැනි පරිසරයක දී වසංගතය පැතිරීමේ ඉඩකඩ ඉහළ නිසාත් කෙනෙකු වසංගතයට ගොදුරු වීමේ හැකියාවත් ඒ මඟින් ඉහළ නැංවෙන නිසාත්ය. රජය සහ සෞඛ්‍යය බලධාරීන් එම තත්ත්වය පිළි ගැනීමට මැළි වුවද වසංගතයේ දෙවැනි රැල්ල සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වූ අතර ඒ හේතුවෙන් වැඩි වැඩියෙන් ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නට විය. නමුත් මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු මාස වන විට රජය බොහෝ දුරට වසංගතය අමතක කර දමා තිබුණු අතර රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ කිරීමේ සහ වසංගතයේ පැතිරීම විමර්ශනය කරන ක‍්‍රියාවලිය ද බාල කර තිබුණි. එමෙන් ම එන්නත්කරණ වැඩ පිළිවෙළ පිළිබදව තිබුණු උනන්දුව අවම කර තිබෙන අතර ප‍්‍රමාණවත් පරිදි එන්නත් තොග මිළදී ගැනීම සඳහා රජය සාධනීය වැඩ කොටසක් සිදු කළේ නැත.
විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී කොරෝනා මර්දන වැඩ පිළිවෙළ අඛණ්ඩව පවත්වා ගෙන යාමට රජය දැක්වු ඈළි මෑළිකම හරහා කොරෝනා වසංගතයේ තවත් විශාල රැල්ලක් නිර්මාණය වීමට හැකි බව විවිධ පිරිස් අදහස් පළ කර තිබුණි. විශේෂයෙන්ම වේගයෙන් ව්‍යාප්ත විය හැකි සහ අතිශයින් මාරාන්තික නව ප‍්‍රභේදයන් රට අභ්‍යන්තරයේ පවතින බව සෞඛ්‍ය පර්යේෂණ ඒකක අනතුරු හඟවා තිබුණි.
ඒ මත පදනම්ව සෞඛ්‍යය විශේෂඥයන්, වෘත්තිකයන්, විද්වතුන්, සිවිල් සේවකයන් සහ දේශපාලනඥයන් ආදි නොයෙක් පිරිස් අඩුම තරමේ ජනතාව එක් රැස් වීම වළක් වන ක‍්‍රමවේදයක් අවුරුදු සමයේ දී ක‍්‍රියාත්මක කරන ලෙසට කළ ඉල්ලීම රජය සැළකිල්ලට නොගත්තා පමණක් නොව රටේ වෛරසය නැවත ඉස්මතු විය හැකි බව පිළිබද මතය හෑල්ලුවට ලක් කළේය.
මේ අනුව 2021 මාර්තු මාසය අවසානය වන විට සහ අපේ‍්‍රල් මාසය වන විට රටේ කොරෝනා මර්දන වැඩ පිළිවෙළ දුර්වල වූ අතර ජනතාව සාප්පුවල සහ කඩ කාමරවල පොදි කන්නට වූහ. කොරෝනා වසංගතයක් කවදාවත් නොතිබුණූ ආකාරයට ජනතාව උත්සවය සමරන්නට වූහ. නමුත් අලුත් අවුරුද්දේ රසවත් බව වැඩි කල් නොතිබුණි. උතුරා ගිය ආසාදිතයන්, මරණ සංඛ්‍යාවන් සහ මාරාන්තික වෛරස ප‍්‍රභේද සමඟින් රජය හිටි හැටියේ අවදි විය.
දිනකට සිදු කෙරෙන 23,000-24,000ක් පමණ වන පරීක්ෂාවන්ගෙන් නව ආසාදිතයන් 1800කට වැඩි පිරිසක් හඳුනා ගැනීම මෑත දින කිහිපයේ දී දැකිය හැකි විය. එම තත්ත්වය නොබෝ දිනකින් 2000 සීමාව ඉක්මවා යනු ඇත. එම තත්ත්වයෙන් පෙන්නුම් කරන්නේ පරීක්ෂා කරන අයගෙන් 8%කට ආසන්න පිරිසකට වෛරසය වැළදී ඇති බවයි. ඒ අනුව රටෙහි සමස්ත ජන ගහනයට සාපේක්ෂව ගත් විට මිලියන දෙකකට ආසන්න ආසාදිතයන් පිරිසක් මේ වන විය රටේ සිටිය හැකිය.
මෙම තත්ත්වය සමඟ දැන් නැවතත් පාසල්, පෙරපාසල්, භාහිර පංති සහ විශ්ව විද්‍යාල ආදි සියලුම අධ්‍යාපන ආයතන වසා දමා දරුවන්ගේ අධ්‍යාපන අයිතියට අකුල් හෙළා ඇත. කොරෝනාවට ජීවිත බිලි දී හෝ ආර්ථිකය රැක ගැනීම යහපත් බව සිතමින් දැරූ උත්සාහය බිඳ වැටී ඇත. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශ යන මේ සියල්ල අද ආංශික වශයෙන් වසා දමා ඇත. එසේත් නොමැති නම්අ වම ක‍්‍රියාකාරිත්වයකට පත්ව ඇත. ඒ අනුව පෙනී යන්නේ කොරෝනා වසංගතය හමුවේ මරණ බිය පිටු දැක ජීවිත ආරක්ෂා කිරීමට හෝ මරණ බිය මැද ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට හෝ යන දෙකෙන් එකක්වත් සාර්ථක කර ගැනීමට රජය සමත්ව නැති බවයි. එනම් වසංගතය පාලනය කිරීමේ සෑම අංශයකින්ම රජය අසමත් වී ඇති බවයි.
පිළි ගත් නියමයන්ට බැහැරව කොරෝනා වැනි සෞඛ්‍යය වසංගතයක් මර්දනය කිරීම සඳහා හොඳම මෙවලම යුදමය ශක්තිය යනුවෙන් තිරණය කළ රටවල් අතුරෙන් ශ‍්‍රී ලංකාව ද එකකි. මේ බව වසංගත මර්දන වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කරන ආකාරයෙන් පැහැදිලි වේ. කෙනෙකු තේරුම් ගත යුතු මූලික කරුණක් වන්නේ සෞඛ්‍යය වසංගතයක් පාලනය කිරීම යනු හමුදාමය ක‍්‍රියාන්විතයක් නොවන බවය.
එම ක්‍රියාවලිය වගකීම් සහගත හැසිරීම්, චාර්යාවන් පාලනය, ආකල්ප පාලනය, පවුල් වගකීම දැරීම, සමාජමය වගකිම් ඉටු කිරීම, සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, අනෙකාට ගරු කිරීම, සමානත්වය සහ මානුෂීයත්වය තහවුරු කිරීම වැනි ප‍්‍රජාතන්ත‍්‍රික වටපිටාවක ගොඩනැංවිය හැකි පුද්ගලික සහ සමාජමය මානයන්ගෙන් යුතු සමාජ ක‍්‍රියාන්විතයකි.
නීත්‍යානුකූල චර්යාවන්, පුරුදු සහ ආකල්ප, පවුල් සහ සමාජ වගකීම්, ජනතාවගේ සිවිල් අයිතිවාසිකම්, ආදිය වෙනස් කිරීම සඳහා බලය යෙදවීමට යාමේ දී සිදු වන්නේ එම ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාවන්ට එරෙහිව ජනතා නැගිටීම් ඇති වීමය. එවැනි තත්ත්වයක් සුදුවැල්ලේදී ඇති විය. නාගරික මහල් නිවාස සංකීර්ණවල සිදු විය. වෙනත් ඕනෑම ස්ථානයක සිදු විය හැකිය. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදි නොවන තීරණ ගැනීමේ රාමුවක සත්‍ය තත්ත්වය පිළිබද සාකච්ඡාවකට ඇති ඉඩකඩ සීමිත වන අතර ජනතාව සේම නිලධාරීන් ද එවැනි වටපිටාවක නිහඬ විය හැකිය.
වසංගතය මැඬළීමේ ක‍්‍රියාවලියේදී සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ ඉදිරියට ගෙන යාමට නොහැකි වූවා යැයි සෞඛ්‍ය රාජ්‍ය ඇමතිවරිය ප‍්‍රකාශ කරන්නේ මෙවැනි තත්ත්වයක් නිසා වන්නට පුළුවන. මේ වන විට දේශපාලන මැදිහත්වීම සහ නිලධාරීන්ගේ මැදිහත්වීම මත සෞඛ්‍ය උපාය මාර්ග අඩාළ කිරීම හෝ ඉවත දැමීම දැකිය හැකිය.
රජය විවාහ මංගල උත්සව 2021 මැයි හතරවෙනිදා සිට තහනම් කරමින් අපේ‍්‍රල් 30 වෙනිදා නිකුත් කළ ප‍්‍රකාශයේ සැක සහිත බවක් තිබෙන්නට පුළුවන. විවාහ මංගල උත්සව පැවැත්වීම අතිශයින්ම භයානක නම් සිදු කළ යුතුව තිබුණේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි 2021 මැයි 01 දා සිට එම උත්සව නැවැත්වීමය. නමුත් ඇතැම් ප‍්‍රධානීන්ගේ පවුල්වලට සම්බන්ධ විවාහ උත්සව සිදු කිරීමට ඉඩ හැර 2021 මැයි 04 වෙනිදා සිට මංගල උත්සව තහනම් කළේ නම් එම පියවර ද ගැටලුකරීය.
එමෙන්ම පිළියන්දල ප‍්‍රදේශය පූර්ණ වසා දැමීමකට අදාළ සෞඛ්‍යය නිලධාරිණිය නිර්දේශ කළ ද දේශපාලකයෙකුගේ මැදිහත්වීම හරහා ඇතැම් ප‍්‍රදේශ වසා දැමීමට ගත් තීරණය පසුව ඉවත් කිරීම තවත් උදාහරණයක්ය. මේ ආකාරයෙන් දේශපාලකයන් සහ නිලධාරීන් සිය පවුල්වල අයගේ සහ හිතවතුන්ගේ ලාභ අපේක්ෂාව වෙනුවෙන් කොරෝනා මර්දන වැඩ පිළිවෙළ දඩමීමා කර ගන්නේ නම් අපගේ පාලනයෙන් වසංගතය තව තවත් ගිළිහෙනු ඇත.
එමෙන්ම කල්යත්ම කොරෝනා මර්දන ව්‍යාපාරයෙන් දක්ෂ සහ හැකියාවන්ගෙන් යුතු අවංකවම සිය රාජකාරිය ඉටු කළ නිලධාරීන් ඉවත් කිරීමක් හෝ නිහඬ කිරීමක් දැක ගත හැකිය. ඒ වෙනුවට බොරුව වපුරා ජනතාව මුළා කළ හැකි වඩාත් අකාර්යක්ෂම සහ හැකියාවක් නොමැති අය සෞඛ්‍යය බලධාරීන් වශයෙන් පත් කොට ඇත. මොවුන් බොහෝ දුරට දේශපාලකයන්ගේ ප‍්‍රකාශකයන් බවට පත් වෙමින් සත්‍ය තත්ත්වය වසං කිරීමට උත්සාහ කරයි. වසංගතයෙහි සමාජමය ව්‍යාප්තිය අද වන තුරුත් හඳුනා ගැනීමට ඔවුන් අසමත් වි ඇත. මෙම නිලධාරීන්ගේ අදුරදර්ශී සහ වගකීම් විරහිත ක‍්‍රියාකලාපය හේතුවෙන් අද වන විට වසංගතය ජාතික ආපදාවක් බවට පත්ව ඇත.
ඒ වගේම වසංගතය පාලනය කිරීමේ විද්‍යාත්මක ක‍්‍රමවේද අනුගමනය කරනවා වෙනුවට මිත්‍යාව වැළද ගත් රටක් විදිහටද ශ‍්‍රී ලංකාව හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම පාලකයන්ගේ ඉහළම සිට පහළට යන තුරු විද්‍යාත්මකව තහවුරු නොකළ පැණි වර්ග රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ප‍්‍රවර්ධනය කිරීම, කල ගෙඩි මුට්ටි රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව ගංගාවන්ට අත හැරීම ආදියට ප‍්‍රමුඛත්වය ලැබුණු අතර එන්නත්කරණය සහ යහපත් සෞඛ්‍ය පුරුදු ද්වීතීක වැදගත්කමක් ඇති දේ බව ජනතාවට ඒත්තු ගැන්වීමට සැලැස් විය.
රජය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් බැහැරව ආර්ථිකය ආරක්ෂා කර ගැනීම ප‍්‍රමුඛ අරමුණ වශයෙන් පිළි ගත් අවස්ථාවෙහි සිට රටේ කොරෝනා මර්දන වැඩ පිළිවෙළ නව දිශානතියකට යොමු විය. වසංගත අවස්ථාවක ආදායම් මාර්ග සුරක්ෂිත කොට ආර්ථිකය ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළ සඳහා ක‍්‍රමවත් සූදානම් වීමක් අවශ්‍යයි.විශේෂයෙන්ම රට ආර්ථික කටයුතු සඳහා නැවත විවෘත කිරීමට ප‍්‍රථමව මෙම කොන්දේසි සම්පුර්ණ කර ගත යුතුය.
ඒ අනුව රටේ ආර්ථිකය විවෘත කිරීමට නම්, (අ) රෝගය හඳුනා ගැනීම සඳහා ප‍්‍රමාණවත් පරීක්ෂාවන් සිදු වන බවට රජය වග බලා ගත යුතුය; (ආ) සියලුම ප‍්‍රවාහන මාධ්‍යයවල සහ වැඩ බිම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කර ගැනීම සඳහා සුදුසු වැ ඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුය; (ඇ) රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිරන්තර තක්සේරු කරණයක් සහ විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වාදිය යුතුය; (ඈ) වෛරසයේ නව ප‍්‍රභේද, ඒවායේ ගතික ස්වභාවය සහ හානිකර බව පිළිබඳ නිරන්තර පර්යේෂණයන් කළ යුතුය; (ඉ) ජනතාවගෙන් අති බහුතරය ආවරණය වන පරිදි හැකිතාක් ඉක්මනින් එන්නත්කරණ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කළ යුතුය.
මෙම ප‍්‍රධාන කොන්දේසි සම්පූර්ණ කරමින් ප‍්‍රමාණවත් තරමින් පූර්ව ආරක්ෂණ ක‍්‍රියාමාර්ග අනුගමනය නොකරන තාක් කල් ආර්ථිකය බේරා ගැනීමේ උත්සාහය නිශ්ඵල ප‍්‍රතිඵල ජනනය කරනු ඇත. ඊට හේතුව වන්නේ එවැනි අනාරක්ෂිත වටපිටාවක වසංගතය පාලනය කර ගත නොහැකි ආකාරයට ව්‍යාප්ත විය හැකි බැවිනි. එමෙන්ම වසංගතයේ උපරිම අවස්ථාවක ප‍්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම අනුගමනය නොකරමින් විවෘත කරන ආර්ථික කටයුතු මඟින් පූර්ණ ප‍්‍රතිඵලදායි බව අපේක්ෂා කළ නොහැක.
ප‍්‍රමාණවත් සෞඛ්‍යය ආරක්ෂක උපාය මාර්ග සහ ක‍්‍රියාමාර්ග නොමැතිව රට ආර්ථික කටයුතු සඳහා විවෘත කිරීම, නිසි ක‍්‍රමවේදයක් සහ පාලනයකින් තොරව වසංගතය උපරිම වශයෙන් පැතිර තිබුණු රටවලින් සංචාරකයන් රැගෙන ඒම වගේම ඔවුන්ට රට අභ්‍යන්තරයේ නිදහසේ හැසිරීමට ඉඩ ලබාදීම, වසංගතය හඳුනා ගැනීමේ පරීක්ෂණ ක‍්‍රමවේදය අඩාළ කිරීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු අමතක කර දැමීමට ඉඩ හැරීම, කිසිදු පාලනයකින් සේම වග විභාගයකින් තොරව ජනතාවට සාප්පු සවාරි සහ විනෝදාස්වාද කටයුතුවල නිරත වීමට ඉඩ හැරීම, කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව හැඟ වෙන ආකාරයේ අසත්‍ය තොරතුරු ජනතාව අතර බෙදා හැරීම ආදි හේතු නිසා මේ වන විට රටේ අතිශය භයානක අනතුරක සේයාවන් නිර්මාණය වි ඇත. අඩුම තරමින් මේ මොහොතේ සිට හෝ නියමිත ක‍්‍රමවේදයක් යටතේ වසංගතය මැඬළන වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වුව හොත් අද ඉන්දියාවේ සිදු වන ආකාරයට පාරවල් දිගට මිනිසුන් මිය යාමේ තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ද නිර්මාණය විය හැකිය.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර වසංගතයෙන් මිදීමට නම් රජය පහත දැක්වෙන ආකාරයට මෙම වසංගතය මැඬ පවත්වන ක‍්‍රමවේදය නැවත සකස් කර ගැනීම අවශ්‍ය වන්නේය: (අ) සෞඛ්‍යය යාන්ත‍්‍රණය සහ කොරෝනා මර්දන වැඩ පිළිවෙළ මෙහෙයවීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා සුදුසු, අවංක, ඒ සඳහා කැපවීමක් පෙන්නුම් කරන දේශපාලනමය වශයෙන් අපක්ෂපාත සෞඛ්‍යය විශේෂඥයන් සමන්විත කමිටුවක් පත්කිරීම සහ එම කමිටුව මඟින් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම; (ආ) ප‍්‍රමාණවත් පරිදි රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂා සිදු කිරීමටත් අවශ්‍ය සෞඛ්‍යය උපකරණ සහ ආම්පන්න මිල දී ගැනීමටත් පහසුකම් ස්ථාපනය කිරීමටත් පර්යේෂණ කිරීමටත් ප‍්‍රමාණවත් අතිරේක ප‍්‍රතිපාදන සෞඛ්‍යය අමාත්‍යාංශය වෙත ලබාදීම; (ඇ) රටෙහි ජන ගහනයෙන් අවම තරමින් 80%ක් ආවරණය කළ හැකි ආකාරයට ප‍්‍රමාණවත් ලෝක සෞඛ්‍යය සංවිධානය සහ වෙනත් බලයලත් ආයතන නිර්දේශ කළ එන්නත් මාත‍්‍රා මිල දී ගැනීම හෝ ආධාර වශයෙන් ලබා ගැනීම; (ඈ) මිත්‍යා අදහස් පසුපස නොයා ජනතාව දැනුවත් කරමින් වසංගතය මර්දනය කිරීමේ විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට පමණක් යොමු වීම; (ඉ) රජයේ අනවශ්‍යය සංදර්ශන සහ ශෝභන වියදම් අඩු කොට වසංගතය හමුවේ ආදායම් මාර්ග සහ රැකියා අවස්ථා අහිමි වූවන්ට ප‍්‍රමාණවත් සහන සහ ආධාර ලබාදීම; (ඊ) වෙනත් රටවල සිට පැමිණෙන සංචාරකයන් සහ වෙනත් පුද්ගලයන් වසංගතය මර්දනය කිරීමේ නිසි ක‍්‍රමවේදයන්ට යටත්ව පමණක් රටට පැමිණීමට ඇති ඉඩකඩ ස්ථාපිත කිරීම; (උ) පුද්ගල හෝ පුද්ගල කණ්ඩායම් සාධක මත නොව අවශ්‍යතාව මත පමණක් සංචරණ සහ වෙනත් සීමාවන් පැනවීමේ සහ ඉවත් කිරීමේ වැඩ සටහනක් ස්ථාපිත කිරීම ආදිය මේ සඳහා රජය අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග වන්නේය. කෙසේ වුවත් දැනට පවතින තත්ත්වය අනුව රජය මෙම එකදු ක‍්‍රියාමාර්ගයක් හෝ යහපත් ආකාරයෙන් ඉටු කිරීමට අසමත් වී ඇති බැවින් දරුණු වසංගත ආපදාවකට මුහුණදීමේ වැඩි අවධානමක් රටේ නිර්මාණය වෙමින් පවති.
Lanka Newsweek © 2024