Saturday 19th of June 2021

English Tamil
Advertiesment


ආණ්ඩුව තෝරා ගන්නේ ආර්ථිකය ද මිනිස් ජීවිත ද..?


2021-05-07 6765

රට lockdown කළොත් ආර්ථිකය විනාශයි-නොකළොත් මිනිස් ජීවිත විනාශයි

 

රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ මස් පිඬුවලින් නොව ඔළුවෙනුයි 

 

ඉන්දියාව එක්ක තරහ නොවුණා නම් COVID-19 එන්නත ගන්න තිබුණා 

 

"අපේ රටේ බින්න බහින්න චීනයට ඉඩ දුන්නේ ඇයි"

 

ඉන්දියාව තරහ වුණේ ඒ නිසයි 

 

රට කරවන හැටි ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවට උගන්වයි   


"රට lockdown කළොත් ආර්ථිකය විනාශයි. එසේ නොකළොත් මිනිස් ජීවිත විනාශයි. ආණ්ඩුව තෝරා ගන්නේ ආර්ථිකය ද, නැති නම් මිනිස් ජීවිත ද" විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය. 

ඉන්දියාව එක්ක තරහා නොවී හොඳින් සිටියා නම් COVID-19 එන්නත ශ්‍රී ලංකාවට ලබා ගන්න තිබුණා යැයි ද, මේ ප්‍රශ්න විසඳිය හැක්කේ මස් පිඬුවලින් නොව ඔළුවෙන් යැයි ද ඔහු අවධාරණය කර සිටියේය.

පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සඳහා එක් වෙමින් මේ කරුණු අවධාරණය කර සිටී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. 

"බන්දුල ගුණවර්ධන මහතා අද කතාවේදි විපක්‍ෂයේ සහයෝගය ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව අපේ මන්ති‍්‍රවරුන්ට සලකන දිහා බැලුවාම අපට ජනතාවගෙනුත් ප්‍රශ්න තිබෙනවා. ඇත්ත වශයෙන්ම අද රිෂාඞ් බදුර්දීන් මන්ති‍්‍රතුමා හරියට විදුලි කොටන කොට එළියට දාන යකඩය වගේ වෙලා. රටේ ප්‍රශ්න ඇති වෙන කොට පාස්කු ප‍්‍රහාරයේ මහා මොළකරු සොයා ගන්න බැරි වෙන කොට රිෂාඞ් බදුර්දීන් මන්ති‍්‍රතුමා ඉස්සරහට දානවා. එතකොට හැමෝම කතා කරන්නේ ඔහු ගැන. 

ආණ්ඩුව මෙහෙම දේවල් කරන කොට අපේ සහයෝගය දෙන්නේ කොහොමද..?. අනෙක් කාරණය තමයි ආණ්ඩුව අපෙන් සහයෝගය ඉල්ලන්නේ ආණ්ඩුව හිර වුණාම. ඡන්දයෙන් පස්සේ අපේ සහයෝගය ඉල්ලුවා..? එදා අත්නොමතික විදියට 20 වෙනි සංශෝධනය ගෙනාවා. අපේන් වචනයක් ඇහැව්වාද..? 

යහ පාලන ආණ්ඩුව බලයට එන කොට අපට මන්ත්‍රීවරුන් 45 යි හිටියේ. නමුත් එදා විපක්‍ෂයේ සහයෝගය අර ගෙන 19 වෙනි සංශෝධනය සම්මත කර ගත්තා. නමුත් වත්මන් රජය බලයට පත් වූ දා සිටම හිතුවක්කාර විදියටයි වැඩ කළේ. ව්‍යවස්ථාව හදන්න තෙරිම් කාරක සභාවක් පත් කළේ නෑ. ආණ්ඩුවේ නායකයින්ගේ පෞද්ගලික නිතිඥ මහත්වරුන් යොදවා ව්‍යවස්ථා හදනවා. මේ වැඩ හරිද..? මම බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට කියනවා විපක්‍ෂයේ අපේ සහයෝගය අවශ්‍ය නම් පාර්ලිමේන්තුව ඇතුළේ තෙරිම් කාරක සභාවක් පත් කරලා අපෙන් හරි විදියට සහයෝගය ඉල්ලන්න කියලා. නැතුව අපි මේ දේශපාලන තින්දුවලට සහයෝගය දෙන්න සුදානම් නෑ.

අපේ නායකතුමා තමයි පාර්ලිමේන්තුවේ ඉස්සර වෙලාම කොවිඞ් ගැන කතා කළේ. ඒ ජනවාරි 04 වැනිදා සහ පෙබරවාරි 05 වැනිදා. නමුත් එදා එතුමාට හිනා වුණා. ජනවාරි මාසයේ ගුවන් තොටුපොළවල් වහපු රටවල් අද බේරිලා තිබෙනවා. නවසිලන්තය සහතායිවානය වගේ රටවල්. නමුත් මැතිවරණය තියන්න ඕනි නිසා නාම යෝජනා කැඳ වන තුරු අපේ රට ඇර ගෙන හිටියා. ගරු ජනාධිපතිතුමා එදා ප්‍රශ්න කළේ කොවිඞ් රොගින් 27 ක් තියා ගෙන ගුවන් තොටුපොළ වහන්න පුළුවන්ද කියලයි. ඒක හරිද..? 

මේ ඔක්කොම දේශපාලන තින්දු. එම නිසා අපි කියන්නේ සෞඛ්‍ය වෘත්තිමය තින්දුවලට අපි සහයෝගය දෙනවා. නමුත් දේශපාලන තින්දුවලට අපි සහයෝගය දෙන්නේ නෑ. පිළියන්දලට මොකද වුණේ..? සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කිව්වා පිළියන්දල වහන්න කියලා. නමුත් කවුදෝ විවෘත කරලා. මේවා දේශපාලන තින්දු. 

ගරු අගමැතිතුමනි.., මහනුවර බෝගම්බර වහලා තිබ්බේ. බෝගම්බර දියුණු කරන්න අපි සැළසුම් හදලා තිබ්බේ. නමුත් අපි දන්නෙත් නෑ රට වටෙන්ම කොවිඞ් රෝගීන් 500 ක් එතනට ගෙනාවා. එතකොට මහයියාව ප‍්‍රදේශයේ කම්කරුවන් යනවා බෝගම්බර සුද්ද පවිත‍්‍ර කරන්න. ඒ හරහා මුළු නගරයටම කොවිඞ් රෝගය බෝ වුණා. ඒ වගේම උඩුදුම්බර, බඹරබැද්ද කියන ග‍්‍රාමය දුෂ්කර ගම්මානයක්. ඒ ගමේ කොවිඞ් රෝගින් 150 ක් ඉන්නවා. පවුල් 400යි ඉන්නෙ. බලන්න මේ තත්ත්වය... අපි අපේ සහයෝගය දෙන්න සුදානම්. නමුත් වැඩ පිළිවෙළක් තියෙන්න ඕන. මේ අපේ රට. අපිත් කැමතියි සහයෝගය දෙන්න. අපේ දරුවොත් ජිවත් වෙන්නේ මේ රටේ.. නැතිව අපේ දරුවෝ ඇමරිකාවේ පුරවැසිකම් අර ගෙන නෑ. ගරු අගමැතිතුමනි.., ඔබතුමාලා මොකටද අපෙන් සහයෝගය ඉල්ලන්නේ..? එන්නත ගේනවා කිව්වා. ඒත් ගේන්න බැරි වුණා. රජය අපිට කියන්න මොකටද අපේ සහයෝගය අවශ්‍ය කියලා.

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ලොක් ඩවුන් ඒක ගැන කතා කළා. අපි රට ලොක් ඩවුන් කරන්නම ඕනෑ කියන්නේ නෑ. නමුත් ඒ අදහස අපේ ඔළුවේ තියා ගන්න ඕනෑ. ඒක ප‍්‍රතික්‍ෂේප කරන්න බෑ. රට ලොක් ඩවුන් කෙරුවොත් ආර්ථික ව්‍යසනයක් ඇති වෙනවා කියන තර්කය මම පිළි ගන්නවා. එහෙම නැති නම්  සෞඛ්‍ය ව්‍යසනයක් ඇති වෙනවා. මොකක්ද අපි තොර ගන්නේ. ආර්ථික ව්‍යසනයද..? සෞඛ්‍ය ව්‍යසනයද..?

ගරු අග‍්‍රාමාත්‍යතුමා මෙතන ඉන්නවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි එන්නත කෝ..? ගරු කතා නායකතුමනි.., පවිත‍්‍රා වන්නිආරච්චි ඇමතිතුමිය කියනවා එන්නත් ගෙන්විම පටන් ගන්නවා කියලා. දැන් අවුරුදු එක හාමාරක් වෙනවා. මෙතුමිය මෙච්චර කල් මොකද කළේ..? අන්න ඒ නිසයි අපි කියන්නේ වෘත්තීමය තින්දුවලට අපි සහයෝගය දෙන්න සූදානම් නමුත් දේශපාලන තින්දුවලට අපි සහයෝගය ලබා දෙන්නේ නැහැ කියලා. ඊශ‍්‍රායල් රටේ ජනතාවට කොවිඞ් එන්නත දෙගුණයක් ගෙවලා වෙන්කර ගත්තා. අද ඒ රටේ හැම පුරවැසියෙකුටම එන්නත් කරණය කරලා තියෙනවා. නමුත් අපේ රජය තාම එන්නත ඇණවුම් කරලාවත් නෑ. මම අභියෝග කරනවා පෙන්වන්න කොහෙන්ද ඇණවුම් කරලා තියෙන්නේ කියලා.

අද වන විට මහනුවර නගරයේ අහඹු පරික්‍ෂණ නවත්තලා. පේරාදෙණිය සහ මහනුවර රෝහල්වල ඔක්සිජන් තියෙනවා. නමුත් ඒවාට අදාළ උපකරණ නෑ. පාර්ලිමේන්තුවේ ආසන 148 ක් ගත්තු ආණ්ඩුව හිතුවා හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. විපක්‍ෂය අවශ්‍ය නැහැ කියලා හිතුවා. නමුත් හිර වුණාමයි අපෙන් සහයෝගය ඉල්ලන්නේ.

දේශපාලන පළි ගැනීම් කොමිටු පත් කෙරුවා. අපේ පක්‍ෂ නායකයන්ගේ ප‍්‍රජා අයිතිය නැති කරන්න කුරුමානම් ඇල්ලුවා. මේ වගේ වැඩ මේ රජය කරන ගමන් අපෙන් සහයෝගය ඉල්ලනවා. එතකොට කාර්ය සාධක මණ්ඩලයක් පත් කෙරුවා. ඒකේ වෘත්තිකයන්ව කොන් කරලා. සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය මාස 03 ක් තිස්සේ ලොක් ඩවුන් එකක් ගැන කතා කරනවා. එහෙම නැති නම් පළාත් වශයෙන් හරි ලොක් ඩවුන් කිරිමක් පිළිබඳව කතා කරනවා. මම කියන්නේ රටම ලොක් ඩවුන් කරන්න බැරි නම් පළාත් වශයෙන් හරි රෝගය පැතිරීම වළක්වන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ආණ්ඩුව ඇත්තටම "Fail". ආණ්ඩුව මේ අසමත්කම පිළි ගන්න ඕනෑ. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා පවා පිළි ගෙන තියෙනවා එතුමා අසාර්ථක වුණා කියලා. ඉන්දියාවේ එන්නත හැදුවත් එන්නත ඉක්මනින් ජනතාවට දෙන්න එතුමාට බැරි වුණා.

අනෙක් කාරණය තමයි අපි අසල්වැසි ඉන්දියාවත් එක්ක ප්‍රශ්න ඇති කර ගත්තා. කොච්චර නෑ කිව්වත් ඉන්දියාවත් එක්ක ප්‍රශ්න තියෙනවා. ඩි.එස්. සේනානායක මැතිතුමාගේ කාලයේ ඉඳලා අපේ රටේ නායකයෝ හිටියා. නමුත් එකම නායකයෙකුවත් ලෝකයේ සුපිරි බලවතුන්ට අපේ රටේ බින්න බහින්න දුන්නේ නෑ. නමුත් අද අපි ඒකට ඉඩ දිලා තියෙනවා. කලාපීය බලවතා ඉන්දියාව. චිනයට අපේ රටෙ බින්න බහින්න දුන්නම ඉන්දියාව අපි එක්ක අමනාප වෙන්නේ නැද්ද..? ඇයි චීනයට ඉඩ දුන්නේ ශ්‍රී ලංකාවේ බින්න බහින්න..? අපි ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණොත් වරාය නගරය චීනයට සින්න වෙනවා. එතකොට ඉන්දියාව අපිත් එක්ක අමනාප වෙන්නේ නැද්ද..? ඉන්දියාවට පාකිස්ථානය, චීනය සහ නේපාලය වගේ රටවල් එක්ක ප්‍රශ්න තියෙනවා. නමුත් දකුණෙන් ඉන්න අපෙන් පමණයි ඉන්දියාවට ප්‍රශ්නයක් තිබ්බේ නැත්තේ. දැන් අපි ඒක ඇති කෙරුවා. අපි ඉන්දියාව සමග හොදින් හිටියා නම් එන්නත ලබා ගන්න තිබුණා. 

අගමැතිතුමාට අපි කියන්න කැමතියි විධිමත් සහ නිවැරදි ක‍්‍රමවේදයකට අපේ සහයොගය ඉල්ලන්න. නමුත් අපිව බය කරලා, දේශපාලන පළි ගැනිම් කරලා, කොමිෂන් පත් කරලා ඒ සහය ගන්න බැහැ. ගරු කතා නායකතුමනි.., කොවිඞ් කාර්ය සාධක බලකාය දෙස බලන්න. දොස්තරවරු කොන් කරලා. දොස්තරවරු මුල්ලක ඉදන් වැඩ කරන්නේ කොහොමද..? මේ ප‍්‍රශ්නවලට ඔළුවෙන් උත්තර දෙන්න ඕනේ..? මස් පිඩුවලින් උත්තර දෙන්න බෑ."

Advertiesment