Saturday 19th of June 2021

English Tamil
Advertiesment


මර්දනයට එරෙහිව ජනමාධ්‍යවේදීන් පෙරට ආ යුතුයි


2021-05-06 7138

සමහර ජනමාධ්‍ය ආයතනවල හැසිරීම අතිශය පිළිකුල් 

 

ආණ්ඩුව නිදහස් ජනමාධ්‍ය ඉවසන්නේ නැහැ 

 

සාපරාධී අපහස නීතිය යළි බලාත්මක කරන ලකුණු 

 

රට ගෙන යන්නේ මහා අනතුරකට-ඊට ඉඩ නොතැබීම ඔබේ වගකීමක් 

 

 

මර්දනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සියලු ජනමාධ්‍ය ආයතන, ජනමාධ්‍යවේදීන්, විද්වත් වෘත්තිකයින් සහ සිවිල් සමාජ සංවිධාන ද ඇතුළුව මහා ජනතාව රට වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙරමුණ ගත යුතු කාලය එළැඹ ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

2021 ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ලිහිණියකුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 
 
භාෂණයේ නිදහසට සීමා පමුණුවමින් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම සඳහා මෑත කාලයේ දී ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග සහ රජය ඒ කෙරෙහි දක්වමින් සිටින නැඹුරුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සේම ජනතාවගේ නිදහසට බරපතළ අනතුරුදායක පරිසරයක් නිර්මාණය කරමින් පවතියි.
 
මේ රටේ ප්‍රජාතන්තවාදයේ පැවැත්ම සහ ජනතාවගේ නිදහස ද ඇතුළු සමාජ අයිතිවාසිකම් පිළිබදව ඉමහත් ගරුත්වයක් දක්වන සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රටේ ජනතාවගෙන් සහ සිවිල් සමාජ සංවිධානවලින් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ එකී අයහපත් ප්‍රවණතාවය පරාජය කිරීම සඳහා පෙරමුණ ගන්නා ලෙසයි.
 
සිය වෘත්තියෙහි නියැලීම නිසාම ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳව පසුගිය කාළයේ වාර්තා වූ අතර නිදහසේ අදහස් පළ කිරීම නිසා මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයන් ගණනාවකට වගේම සාමාන්‍ය ජනතාවටද විවිධාකාර පීඩාවන් එල්ල වූ අවස්ථාවන් පිළිබඳව වාර්තා පළ විය. එමෙන්ම පවතින රජය විවේචනය කිරීම නිසා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා විවිධ පීඩාවන්ට මුහුණ දීමට සිදුවී තිබීමේ තත්ත්වයෙන් රටක් ලෙස ශ්‍රී ලංකාවේ භාෂණයේ නිදහසට අත්ව ඇති ඛේදනීය ඉරණම තේරුම් ගත හැකිය.
 
ඊට අමතරව මේ රටේ නිදහස් ජනමාධ්‍යයන් හි පැවැත්ම බරපතළ ලෙස සීමා කිරීමට රජය විවිධ උත්සාහයන්හි නිරත වන ආකාරයක් ද දැක ගත හැකිය. පුවත්පත් මණ්ඩල පනත තව දුරටත් සක්‍රීය කිරීමට ගන්නා උත්සාහය, සාපරාධී අපහාස නීතිය නැවත බලාත්මක කළ යුතුව ඇති බවට රජයේ පාර්ශවවලින් පළ වන අදහස් ද, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්හට විවිධ හිරිහැර පමුණුවමින් ඒවායේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා නව නීති සහ අණපනත් සැකසීමට රජය ගනිමින් සිටින ක්‍රියාමාර්ගයන් ද ඒ සඳහා වන නිදසුන්ය. එමෙන්ම ඇතැම් ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ ඉහළම ප්‍රධානින් සිදු කර ඇති ප්‍රකාශයන් මගින් ද පැහැදිලි වන්නේ නිදහස් මාධ්‍ය කෙරෙහි ඔවුන් අතර පවත්නා දැඩි අකමැත්තයි.
 
ශ්‍රී ලංකාවේ අප ලබා ඇති අතීත අත්දැකීම් අනුව මේ ආකාරයේ පරිසරයක් නිර්මාණය වූ සෑම අවස්ථාවකදීම එම වාතාවරණය අවසන්ව ඇත්තේ රටේ ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් සිදු වූ දැවැන්ත ඛේදවාචකයන්ගෙනි. එබැවින් එවැනි තත්ත්වයක් යළි රටේ ඇති නොවීමට වග බලා ගැනීම ද සියලු පාර්ශවයන්ගේ වගකීමකි.
 
මෙම වාතාවරණය සහ පසුබිම මත රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් උදෙසා සියලු ජනමාධ්‍යය කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුව ඇති නමුදු අද වන විට අප රටේ ඇතැම් ජනමාධ්‍ය අනුගමනය කරමින් සිටින වෘත්තීමය නොවන පිළිවෙත පිළිබඳවද අපට ඇත්තේ බලවත් සංවේගයකි.
 
එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සියලු ජනමාධ්‍ය ආයතනවලින් සහ ජනමාධ්‍යවේදීන්ගෙන් ද, මේ රටේ විද්වත් වෘත්තික ප්‍රජාවගෙන් ද, සිවිල් සමාජ සංවිධානද ඇතුළු මහා ජනතාවගෙන්ද මහත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ අද වන විට අප රට ගමන් කරමින් සිටින මෙම අනතුරුදායක තත්ත්වයෙන් මුදා ගැනීම උදෙසා කොන්දේසි විරහිතව පෙරමුණගන්නා ලෙසය. ජනමාධ්‍ය නිදහසද ඇතුළු ජනතාවගේ භාෂණයේ අයිතිය තහවුරු කර ගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සක්‍රීය වන ලෙසය.

 
 

Advertiesment