Monday 7th of October 2024

English Tamil
Advertiesment


නව COVID ප්‍රභේද සහ අධි අවදානම් අවස්ථා


2021-05-06 14331

වෛරස වසංගතවල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වන්නේ කාලයත් සමග එහි ස්වරුපයේ සිදු වන වෙනස්වීම්. වෛරසවල එක ප්‍රෝටීනයක වෙනස්වීමකින් පවා එහි හැසිරීමෙහි සැලකිය යුතු වෙනසක් සිදු වෙන්න පුළුවන්. මෙවැනි වෙනස්වීම් නිසා වෛරසය බෝ වීමේ වේගය වැඩි විය හැකියි. ඒ වගේම වෛරස ආසාදනයෙන් ඇති වන රෝගයේ බරපතළකම වැඩි වෙන්නත් පුළුවන්. 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන COVID-19 වෛරස අතරෙහි ද, B-1-1-7 ඇතුළු විවිධ නව ප්‍රභේද හඳුනා ගෙන තියෙනවා. වෙනදාට වඩා රෝගය වේගයෙන් පැතිර යාමට වගේම වඩා බරපතළ රෝග ලක්ෂණ ඇති වීමට හේතුව මේ තත්ත්වය වෙන්න පුළුවන්. කාලයක් ලොව පුරා සිදු කරන ලද අධ්‍යයනවලට අනුව යම් ස්ථානයක කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. නව කොවිඩ් ප්‍රභේදවලටද මේ සාධක පොදුයි. ප්‍රභේදය කුමක් වුවත් ඔබට ආරක්ෂා වීමට කළ යුත්තේ එම අවදානම් සාධක සහිත ස්ථාන නිවැරදිව හඳුනා ගෙන එම ස්ථාන මඟ හැරිමයි. 
මේ කොවිඩ් අවදානම වැඩි කරන සාධක මොනවාද..?

(01) අධික සෙනගක් රැදෙන ස්ථානයක් වීම. - යම් ස්ථානයක ගැවසෙන සෙනග වැඩි වීමත් සමගම COVID ආසාදිත පුද්ගලයෙකු හිඳීමේ සම්භාවිතාව වැඩි වෙනවා. COVID පැතිරීමේ අවදානම අධික ලෙස වැඩි වෙනවා. 

(02) සෙනග එකිනෙකා සමීපයෙන් ගැවසෙන ස්ථාන වීම. - විශේෂයෙන්ම එකිනෙකා ආසන්නයේ සිටිමින් කතා බහෙහි යෙදෙන සහ අහාර පාන ලබා ගන්නා අවස්ථා. 

(03) හොඳින් වාතාශ්‍රය නොලැබෙන සංවෘත අවකාශයක් වීම. - සංවෘත අවකාශවල දී COVID වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය එළිමහන් අවකාශවලට සාපේක්ෂව පැහැදිලිවම වැඩි බවක් දක්නට ලැබෙනවා. නිතර කතාබහට ලක් නොවුණත් මෙම සංවෘත අවකාශ COVID ව්‍යාප්තියට බලපාන තවත් ඉතාමත්ම ප්‍රබල සාධකයක්. 

ඔබ සිටින ස්ථානයක ඉහත සාධක තුනෙන් එකක් හෝ පවතී නම් එහි COVID පැතිර යාමේ ප්‍රවණතාවය අනෙකුත් ස්ථානවලට සාපේක්ෂව වැඩියි. යම් ස්ථානයක මෙම සාධක එකකට වඩා පවතී නම්, එවන් ස්ථානවල COVID ව්‍යාප්තිය ඊටත් වඩා සීඝ්‍රයෙන් සිදු විය හැකියි. එනිසා මෙවැනි ස්ථාන හැකිතාක් දුරට මඟ හැරිය යුතුයි. යම් අත්‍යවශ්‍ය හේතුවකට එවැනි ස්ථානයකට යාමට සිදු වුව හොත්, එතැන ගත කරනා කාලය හැකිතාක් දුරට අවම කර ගැනීම මගින් අවදානම යම්තාක් දුරකට අඩු කර ගන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ අධි අවදානම් කාලයක, මේ සාධකවලින් එකක් හෝ ඇති ස්ථාන හැකිතාක් මඟ හැරිය යුතු වෙනවා. ඒ වගේම දෑත් නිතර පිරිසිදුව තබා ගැනීම සහ නියමිත ආකාරයෙන් මුව ආවරණ පැළදීම මඟින් COVID සම්ප්‍රේෂණ අවදානම බොහෝ දුරකට අඩු කර ගත හැකියි. 

COVID රෝගය රට පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින මේ අවස්ථාවේ ඔබ වගේම ඔබගේ ආදරණීයයන්ගේ ආරක්ෂාව උදෙසා ඉහත අවදානම් සාධක සහිත ස්ථාන හැකි සෑම විටම මඟ හැරීමට වග බලා ගන්න. ඒ වගේම ඔබගේ හිතවතුන්ගේ ආරක්ෂාව උදෙසා අවදානම් සාධක පිළිබඳව දැනුම හැකිතාක් බෙදා හරින්න.

 
 -Health Promotion Bureau-
Advertiesment