Saturday 19th of June 2021

English Tamil
Advertiesment


සජිත් එක්ක එජාපය කැඩුවේ ජාතික ලැයිස්තු කාරයෝ


2021-05-02 6654

ඒ මහා මැතිවරණයෙන් පරදින බව දන්නා නිසයි 

 

උල්පන්දම් දුන්නේ ජලනි ප්‍රේමදාස-ලක්ෂ්මන් ෆොන්සේකා 

 

එජාපය කඩන්නම ඕනෑ කිව්වේ හරීන්-රංජිත්-ඉරාන් 

 

සජිත්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දී ලා-තනි වෙලා 

 

මේ දවස්වල ප්‍රසිද්ධියේ මොර ගාන්නේ ඒ වේදනාවටයි 

 

සජබයේ ප්‍රබලයෙක් සියල්ල හෙළි කරයි  

 

 

එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගොස් සමගි ජන බලවේගය ගොඩනඟා ඒ යටතේ මහා මැතිවරණයට තරඟ කළ යුතු බවට වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත තරයේ බල කර සිටියේ, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට මාන බලමින් සිටී පිරිසක් බව සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් "lankanesweek' සමඟ විශේෂ හෙළිදරව්වක් කරමින් පැවැසීය.

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු ලෙස සිටී සමගි ජන බලවේගයේ මෙම ප්‍රබලයා මේ වන විට සිටින්නේ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ 43 වැනි සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මහතා සමඟ වන අතර සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලමින් "lankanesweek" වෙත ඔහු කළ ප්‍රකාශය මෙසේය.

"සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය පැරදුණා. ඒ රැල්ලට මහා මැතිවරණය කොහොමත් පරදින බව කවුරුත් දැන ගෙන හිටියා. එමනිසා පරදින මහා මැතිවරණයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කඩන්න බොහෝ දෙනෙකුට උවමනාවක් තිබුණේ නැහැ. බොහෝ අයගේ ස්ථාවරය වුණේ එක්සත් ජාතික පක්ෂ නොකඩා එකට එක්ව තරඟ කළොත් මන්ත්‍රී ආසන 80ක් විතර ගන්න පුළුවන් කියායි. එහෙම වුණොත් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ලෙස ක්‍රියා කළ හැකි අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ සටනක් දී පක්ෂයේ බලය ද අල්ලා ගැනීමට හැකි බව ඒ අයගේ ස්ථාවරය වුණා.

කෙසේ නමුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුට යන්න බලා ගෙන හිටිය රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, ඉමිටියාස් බකීර් මාකර්, තිස්ස අත්තනායක සහ ඩයනා ගමගේ ඇතුළු පිරිස සජිත් ප්‍රේමදාස මහතාට තරයේ බල කර සිටියේ එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගොස් සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නියත ලෙසම තරඟ කළ යුතු බවටයි.

මහා මැතිවරණයට තරඟ කර තම තාමගේ දිස්ත්‍රික් ජය ගැනීමෙන් පාර්ලිමේන්තුවට එන්න නොහැකි බව මේ හොඳින්ම දැන ගෙන හිටියා. මේ අයට ඒ අයගේ දිස්ත්‍රික්වල ලොකු ජනතා විරෝධයක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් මහා මැතිවරණයට ඉල්ලුවොත් ජාතික ලැයිස්තුව නොලැබෙන අතර නියත ලෙසම තරඟ කිරීමට සිදු වන බව මේ කණ්ඩායම තේරුම් ගෙන සිටියා.

ඒ නිසයි එක්සත් ජාතික පක්ෂය කැඩුවේ. ඒ කියන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නයි. මේ අය මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂය කැඩුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ සහ ඔහුගේ අතිශය සමීපතම සගයෙකු වන ලකෂ්මන් ෆොන්සේකා මහතාගේ පූර්ණ සහයෝගය, අනුග්‍රහය සහ ආශීර්වාදය ඇතිවයි.

දවසක් කොළඹ "Royal Park" හී පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ දී විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වුණා. ඊට සජිත් ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, ලක්ෂ්මන් ෆොන්සේකා, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න සහ රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු ප්‍රබලයින් පිරිසක් එක්ව සිටියා. එහිදී හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න සහ රංජිත් මද්දුම බණ්ඩාර තරයේ කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගොස් සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට ඉල්ලනවා හැරෙන්න කිසිම විකල්පයක් නොමැති බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස සහ ඔහුගේ ප්‍රාණ සමාන මිත්‍රයා වන ලක්ෂ්මන් ෆොන්සේකා එම තීරණය අනුමත කළ අතර ඊට තදබල ලෙස අනුබල දුන්නා. සජිත් ප්‍රේමදාස මහතාව ප්‍රධාන පෙළේ ජාතික දේශපාලන පක්ෂයක නායකයා සහ විපක්ෂ නායකයා කර ගැනීමට ජලනි ප්‍රේමදාසට ඉතා තදබල උවමනාවක් තිබුණා.

එක්සත් ජාතික පක්ෂය කඩා විනාශ කිරීමේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයට සජිත් ප්‍රේමදාස මේ වන විට මුහුණ දෙමින් සිටිනවා. මේ වන විට ඔහු සමඟ සිටින්නේ රංජිත් මද්දුම බණ්ඩාර, සරත් ෆොන්සේකා සහ තලතා අතුකෝරාල ඇතුළු කිහිප දෙනෙකු පමණක් බව කිව්වොත් නිවැරදියි. ඇත්තටම සජිත් ප්‍රේමදාස තනි වෙලා. ඔහු මේ දිනවල ප්‍රසිද්ධියේ මොර දෙන්නේ ඒ වේදනාවෙන් බව කවුරුත් දන්නවා.

සජිත් ප්‍රේමදාස එක්ක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය කැඩූ හරීන් ප්‍රනාන්දු සහ ඉරාන් වික්‍රමරත්න ඔහු එක්ක නැහැ. කබීර් හෂීම්, තිස්ස අත්තනායක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා කලකිරිලා. මුජිබර් රහුමාන්, තුෂාර ඉඳුනිල්, චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ ඇතුළු තරුණ මන්ත්‍රීවරුන්ගේ තත්ත්වයත් අතිශයින්ම දරුණුයි.

මේ අය ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක...ඊට හොඳම උදාහරණය හරීන් ප්‍රනාන්දුයි. තව පිරිසක් පාඨලී චම්පික රණවක එක්ක සිටිනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ නායකයෙකු නොවෙයි කියා මේ සියලු දෙනා මේ වන විට තේරුම් ගෙන අවසානයි. ඔහු සියල්ල බදා ගන්නවා. කිසිවෙකුට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔහුගේ දේශපාලන ඉරණම ඉතාම ඛේදනීයයි. සමගි ජන බලවේගයයි විපක්ෂ නායක කාර්යාලයයි මෙහෙය වන්නේ ජලනි ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකා. ඒක නම් කවුරුත් දන්නවා නේ..."  

Advertiesment