රජයේ ආයතන විසින් රැස් කර තබා ගන්නා දත්ත වටිනා පොදු දෙපොළක් වේ. නිසි ලෙස උපයෝගී කර ගත් විට, එවැනි දත්ත ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට වඩාත් යහපත් දායකත්වයක් ලබා දීම සඳහා පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට උපකාරී වේ. මෙම දත්ත ගොනු මහා ජන මුදල් වැය කර සම්පාදනය කරනු ලැබේ. එසේ කිරීමට හේතුව වන්නේ මහා ජන සුබසිද්ධිය සඳහා එවැනි දත්ත යෙද විය හැකි වීමයි. ආර්ථික සංවර්ධනයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මෙම දත්ත ගොනු උපයෝගී කර ගැනීම මගින් මහා ජන සුබසිද්ධිය සඳහා එම දත්ත බෙහෙවින් දායක කර ගත හැක.
මෙම විශ්ලේෂණය මගින් අප හෙළිදරව් කර සිටිනුයේ, රජයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම දත්තවලින් පුද්ගලිකව ලාභ ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ මහා ජන සුබසිද්ධියට එම දත්ත ගොනු යොදා ගැනීමට ඇති හැකියාව අඩපණ වී ඇති ආකාරයයි. අවාසනාවකට වගේ මෙවැනි ක්‍රියාවන්ට අනුබල දෙන මුදල් අමාත්‍යංශයේ ප්‍රතිපත්ති මගින් මෙම පටු පෞද්ගලික අවශ්‍යතා පෝෂණය වෙමින් තිබේ.
මහා ජන දත්ත පුද්ගලීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් මුදල් අමාත්‍යංශය විසින් සකස් කරන ලද ඊට අනුබල දෙන යෝජනා ක්‍රමයක සහය ලබා ගනියි. එම යෝජනා ක්‍රමය පිළිබඳ කරන ලද මෙම විශ්ලේෂණයෙන් පෙන්වා දෙන්නේ, එමගින් අයහපත් ප්‍රතිඵල ඇති කරවන නිසා එම යෝජනා නැවත සලකා බලා සංශෝධනය කිරීමට කටයුතු කිරීම අවශ්‍ය බවය.
ජනතා බදු මුදල් භාවිතා කර රජය ඇතැම් වත්කම් නිර්මාණය කර එම වත්කම් ජනතාවට නොමිලයේ ලබා දීම වැදගත් වන්නේ මන්ද යන්න පොදු භාණ්ඩ පිළිබඳ ආර්ථික න්‍යායෙන් පැහැදිලි වේ. වත්කමක් නිදහසේ හෝ නොමිලයේ ලබා ගත හැකි පොදු භාණ්ඩයක් ලෙස තීරණය කිරීමට යොදා ගන්නා ප්‍රධාන නිර්ණායකය වන්නේ එම වත්කම පරිශීලනය සඳහා ප්‍රතිවාදීන් ලෙස තරඟ කිරීමේ අවශ්‍යතාවක් නොමැති වීමේ තත්ත්වයයි. එනම්, එක් පුද්ගලයෙකු විසින් එම වත්කම භාවිතා කිරීම සහ එමගින් ප්‍රතිලාභ ලබා ගැනීම හේතුවෙන් තවත් පුද්ගලයෙකුට ඒ වත්කම ම භාවිතා කිරීමට සහ එමගින් ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති හැකියාව අහිමි නොකිරීමයි. වීදි ලාම්පු සහ පොදු උද්‍යානයන් ඒ සඳහා සරල උදාහරණ වන්නේය.
රජය විසින් සම්පාදනය කරන ලද "දත්ත ගොනු" පොදු භාණ්ඩයකි. එම දත්ත ගොනු පෞද්ගලික භාණ්ඩ වශයෙන් බෙදා හැරීමට උත්සාහ කිරීම වීදි ලාම්පු සඳහා රියදුරන්ගෙන් මුදල් අය කිරීමක් වැනිය. එවැනි ක්‍රමවේදයක් සමාජයීය හෝ ආර්ථිකමය වශයෙන් බලන කල අර්ථාන්විත ක්‍රියාවක් නොවේ. පොදු භාණ්ඩයක සමාජයීය සහ ආර්ථිකමය ප්‍රතිලාභ මනිනු ලබන්නේ එහි භාවිතය මත විනා එමගින් උපයන ආදායම අනුව නොවේ.
ඊට හේතුව භාවිතා කරන්නන් සංඛ්‍යාවට අනුරූපීව මුළු පිරිවැයෙහි වෙනසක් නොවීමයි. එසේත් නොමැති නම් තවත් අයෙකු එම පොදු භාණ්ඩය භාවිතා කිරීම නිසා දරන්නට සිදු වන පිරිවැය හෙවත් ආන්තික පිරිවැය ශුන්‍ය වීමයි. එබැවින් පොදු භාණ්ඩ ස්වරූපයෙන් ඇති භාණ්ඩ සඳහා වන ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වන තාක් දුරට නිෂ්පාදනය කිරීමේ මූලික ආර්ථික ප්‍රශස්තකරණ කොන්දේසිය සැපිරීම සඳහා ශුන්‍ය පිරිවැයකින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම අවශ්‍ය වේ. එනම්, උපරිම පාරිභෝගිකයින් සංඛ්‍යාවකට ඒ සඳහා නිදහසේ සහ පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සලසා දිය යුතුය.
සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ජාත්‍යන්තර වෙළඳාම, ජන ගහනය සහ සේවා නියුක්තිය පිළිබඳ සංඛ්‍යා ලේඛන මෙවැනි "පොදු භාණ්ඩ" ගණයට වැටෙන වත්කම්වලට උදාහරණ වේ. සැබෑ කරුණු මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම් කිරීමට ද, ආර්ථිකයේ ඵලදායී අංශවල සිටින අයට වඩාත් නිවැරදි තීරණ ගැනීමට ද, ආර්ථික-සමාජීය කරුණු පිළිබඳ මහා ජන පර්යේෂණ සඳහා පෙළඹ වීමට සහ රටේ සමස්ත සමාජ-ආර්ථික ප්‍රතිඵල වැඩි දියුණු කිරීමට ද එවැනි දත්ත සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වේ.
පොදු භාණ්ඩවලින් කෙරෙන කාර්යය දත්ත ගොනු හරහා ලබා ගැනීමට ඇති මාර්ගය වන්නේ එම දත්ත හැකි තරම් පහසුවෙන් සහ නිදහසේ ලබා ගත හැකි තත්ත්වයට පත් කිරීමයි. පොදු භාණ්ඩ පිළිබඳ ආර්ථික න්‍යාය පොදු දත්ත ගොනු සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අපොහොසත් වී තිබේ. මෙම විශ්ලේෂණය මගින් මෙම ගැටලුවේ බරපතළකම පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රේගුවේ (SLC) දත්ත බෙදා හැරීමේ ප්‍රතිපත්තිය සිද්ධි අධ්‍යයනයක් ලෙස යොදා ගනිමිනි.
ශ්‍රී ලංකාව පිළිබඳ අපනයන සහ ආනයන සංඛ්‍යා ලේඛන එකතු කර තබා ගන්නා මූලික ආයතනය වන්නේ ශ්‍රී ලංකා රේගුවයි. ශ්‍රී ලංකා රේගුවේ දත්ත බෙදා හැරීමේ ප්‍රතිපත්තිය මේ වන විට දත්ත පොදු භාණ්ඩ ලෙස දැකීමට පටහැනි ආකාරයෙන් සකස් වී ඇත. යාවත්කාලීන දත්ත සොයා ගැනීම හෝ ප්‍රවේශ වීම පහසු නොවන අතරම එම දත්ත නොමිලයේ ලබා නොදෙයි.
දත්ත පොදු භාණ්ඩ ලෙස සැලකීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගෝලීය තලයේ පසුගාමී රටක් බවට පත් වීමට ද හේතුවී තිබේ. ලෝකයේ බොහෝ රටවල් පමණක් නොව බොහෝ දකුණු ආසියානු රටවල් පවා සිය වෙළෙඳ දත්ත පොදු භාණ්ඩ ලෙස සලකා නොමිලයේ සහ පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීමේ ආර්ථික වැදගත්කම හඳුනා ගෙන ඉදිරියට ගොස් ඇති අතර ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පසුගාමී තැනකය. වෙළෙඳ දත්තවලින් ලබා ගත හැකි ශ්‍රී ලංකාවේ ආර්ථික සාර්ථකත්වයට ඉතා වැදගත් වන ප්‍රතිලාභ රැසක් පහත පළමු වගුවේ දක්වා තිබේ.
කලාපීය සහ ගෝලීය වශයෙන් දකින්නට ලැබෙන, නොමිලයේ අන්තර් ජාලය හරහා වෙළෙඳ දත්ත ලබා දීමේ ප්‍රවණතාවයට සාපේක්ෂව වෙළෙඳ දත්ත පිළිබඳ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රතිපත්තිය ඉතා පසුගාමීය. මෙම විශ්ලේෂණය මගින් අප හෙළිදරව් කර සිටින්නේ, වෙළෙඳ දත්ත සඳහා එවැනි ප්‍රවේශයක් ලබා දීමට ශ්‍රී ලංකා රේගුව දක්වන අකමැත්තට ප්‍රධාන හේතුව එම දත්ත අලෙවි කර පුද්ගලිකව ලාභ ලැබීමට අනුබල දෙන ක්‍රියාවලියක් ශ්‍රී ලංකා රේගුවේ පවතින බවයි. මෙම ක්‍රියාවලිය වෙළෙඳ දත්ත නොමිලයේ සහ පහසුවන් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීමට බාධාවක් වී ඇත.
වෙළෙඳ දත්ත ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෝලීය තලයේ පසුගාමී තැනක පසු වේ. වෙළෙඳ දත්ත පොදු දේපොළක් ලෙස පිළි ගත් සහ එම දත්ත පහසුවෙන් වගේම නොමිලයේ ලබා ගැනීමට සැලසීමෙන් ලැබෙන ප්‍රතිලාභ අවබෝධ කර ගත් කලාපීය සේම ලෝකයේ අනෙකුත් රටවල් යාවත්කාලීන කෙරුණු විශ්වාසදායක නිල වෙළෙඳ සංඛ්‍යා ලේඛන අන්තර් ජාලය හරහා ක්ෂණිකව නොමිලයේ ලබා ගත හැකි වෙබ් අඩවි පවා ස්ථාපිත කරමින් සිටියි.
වෙළඳ දත්තවලට මෙවැනි ප්‍රවේශයක් ලබා දීම සම්බන්ධයෙන් ගෝලීය තලයේ ශ්‍රී ලංකාවේ පසුගාමී බව ආකාර දෙකකින් පෙන්නුම් කරයි. පළමුව, වෙළඳ දත්ත අන්තර් ජාලය හරහා ලබා දෙන ජාත්‍යන්තර වෙබ් අඩවිවල ඇති ශ්‍රී ලංකාවේ දත්ත යල් පැන ගොස් තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවට වටිනා අපනයන සහ ආයෝජන අවස්ථා අහිමි වීමට හේතු විය හැකි බැවින් මෙම තත්ත්වය බරපතළ ගැටලුවක් වේ.
වෙළෙඳ දත්ත පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය වැනි ජාත්‍යන්තර ආයතන ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ "COMTRADE" සහ "ITC Trade Map" වැනි ගෝලීය දත්ත සමුදායන් මගින් ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක වෙළෙඳ දත්ත අන්තර් ජාලය හරහා නොමිලයේ සපයයි. මෙම දත්ත සමුදායන් මඟින් ලෝක වෙළෙඳ පොළේ සිය රටවල ව්‍යාපාරවලට ලැබෙන අවස්ථාවන් සහ අභියෝග තේරුම් ගැනීමට ඒ ඒ රටවල සිටින ප්‍රතිපත්ති සම්පාදකයන්ට, ව්‍යාපාරිකයින්ට සහ පර්යේෂකයන්ට අවස්ථාවක් ලබා දෙයි.
මෙම ජාත්‍යන්තර දත්ත සමුදායන් සහිත වෙබ් අඩවිවල ඇති ශ්‍රී ලංකාවේ වෙළෙඳ දත්ත යාවත්කාලීන කිරීමට රටක් ලෙස ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර "COMTRADE" දත්ත ගබඩාවේ ඇති ශ්‍රී ලංකාවේ වාර්ෂික වෙළෙඳ දත්ත වසර 2 කින් යල් පැන ගොස් තිබේ. ඊට සාපේක්ෂව, ලෝකයේ රටවල් 41 ක් (ඉන්දියාව සහ පකිස්ථානය වැනි අසල්වැසි රටවල්ද ඇතුළුව) 2020 දක්වා යාවත්කාලීන වූ වාර්ෂික වෙළෙඳ දත්ත මෙම වෙබ් අඩවිවලට ලබා දීමට කටයුතු කර ඇත. 2021 පෙබරවාරි මස වන විට ලෝකයේ රටවල් 54 ක් (ඉන්දියාව සහ පාකිස්තානය ද ඇතුළුව) අවම වශයෙන් 2020 ඔක්තෝබර් මාසය වන තෙක් සිය රටවල වෙළෙඳාම සම්බන්ධ මාසික දත්ත මෙම ජාත්‍යන්තර දත්ත ගබඩාවට ලබා දී ඇති නමුත් එහි ඇති ශ්‍රී ලංකාවේ වෙළෙඳාම පිළිබඳ මාසික දත්ත මාස 107 කින් යල් පැන ගොස් ඇත.
දෙවනුව, ජාත්‍යන්තර වෙළෙඳ වේදිකා ද යල් පැන ගොස් තිබෙන අතර ඇෆ්ගනිස්ථානය පවා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියි. තවමත් ජනතාවට ශ්‍රී ලංකා රේගුවෙන් වෙළෙඳ දත්තවල මෘදු පිටපතක් ලබා ගැනීමට භෞතිකව පරිශ්‍රයට පැමිණ මුදල් ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකා රේගුව අනුගමනය කළ මෙම පිළිවෙත නිසාවෙන්, 2019 අවසානය වන විට, වෙළෙඳ දත්ත අන්තර් ජාලය හරහා ලබා නොදුන් එකම දකුණු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබිණි.
මෙම පරතරය පියවා ගැනීම සඳහා 2020 දී අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඉදිරිපත් වීමත් සමඟ තත්ත්වය යහපත් අතට හැරී තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අන්තර් ජාලය හරහා වෙළෙඳ දත්ත ලබා ගැනීමට හැකියාව ඇති කිරීමට කටයුතු කිරීම වෙළෙඳ දත්ත සම්බන්ධයෙන් නිවැරදි දිසාවට තැබූ සාධනීය පියවරකි.
කෙසේ වෙතත්, සිය අන්තර් ජාල වේදිකාව හරහා කාලීන නිවැරදි දත්ත ලබා දීමට අපනයන සංවර්ධන මණ්ඩලයට සිදුව තිබෙන්නේ ද ශ්‍රී ලංකා රේගුව මත රඳා පවතිමිනි. එසේම, අපනයන සංවර්ධන මණ්ඩලය මාසික වෙළෙඳ දත්ත ලබා දෙන්නේ නැත. දකුණු ආසියාවේ අනෙකුත් රටවල අන්තර් ජාල දත්ත ගබඩා හරහා දත්ත ලබා ගැනීමේ පහසුව සමඟ සංසන්දනයේදී, අපනනය සංවර්ධන මණ්ඩලයේ දත්ත ගබඩාව මඳක් පසු පසින් සිටියි. දත්තවලට ප්‍රවේශ වීම සඳහා පරිශීලකයින්ට තවමත් දත්ත ලබා ගැනීම සඳහා වාර්ෂිකව ලියාපදිංචි වීම අවශ්‍ය වන අතර, ඒ සඳහා ගාස්තුවක් ගෙවීමටද සිදු වේ.
වෙළඳ දත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අසාර්ථකත්වයටත් ජාත්‍යන්තර තලයේ පසුගාමිත්වයටත් ප්‍රධාන හේතුවක් වන්නේ, රාජ්‍ය නිලධාරීන්ට ලබා දී ඇති වැරදි අනුබල දීම්ය. වර්තමානයේ රජය දත්ත සැඟ වීමට සහ මිල අධික කිරීමට රාජ්‍ය නිලධාරීන්ට අනුබල දෙයි. අනෙකුත් රටවල් අන්තර් ජාලය හරහා නොමිලයේ දත්ත ලබා දීමට සිය රාජ්‍ය නිලධාරීන්ට අනුබල දෙන ලෝකයක, ශ්‍රී ලංකා රජය සිය රාජ්‍ය නිලධාරීන්ට අනුබල දී ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කිරීමටය.
රජය හඳුන්වාදී ඇති ක්‍රමවේදය මගින් මහා ජන මුදලින් සැකසු පොදු දත්ත අලෙවි කිරීම, පෞද්ගලික ආදායම් මාර්ගයක් බවට පත් කර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට අනුබල දී ඇත. 2004 නොවැම්බර් 16 දින මුදල් අමාත්‍යංශය (MOF) විසින් නිකුත් කරන ලද ලිපියක් මගින් ශ්‍රී ලංකා රේගුවට වෙළෙඳ දත්ත විකිණීමට සහ ලැබෙන ආදායම පහත පරිදි බෙදීමට අවසර ලබා දී තිබේ. ඒ අනුව එම දත්ත විකුණා ලැබෙන ආදායමෙන් 40% ක් මුදල් අමාත්‍යංශයේ ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු අතර, ඉතිරි 60% දත්ත සම්පාදනය කිරීමේ නිලධාරීන් අතර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අභිමතය පරිදි බෙදා හැරීමට කටයුතු කෙරේ.
මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ පොදු වත්කමක් විකිණීමෙන් පුද්ගලිකව මුදල් ඉපයීමට රජයේ නිලධාරීන්ට පැහැදිලි අවසරයක් ලබා දී ඇති බව වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, මහා ජන අරමුදල් භාවිතයෙන් ජනනය කරන දත්ත නොමිලයේ ලබා ගැනීමට හැකි වීම හරහා මහා ජනයාට සහ රටට අත්පත් කර ගත හැකි ප්‍රතිලාභය අහිමි වී තිබේ.
ගාස්තු අය කොට දත්ත සැපයීම සාධාරණිකරණය කිරීමට පදනම් වන එක කාරණයක් වන්නේ රජයේ දෙපාර්තමේන්තු භාණ්ඩාගාරය මත ඇති රැඳියාව අඩු කිරීමයි. එහෙත් දත්ත සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවේශයක් අනුගමනය කිරීමට ගත් තීරණය, දත්තවල ආර්ථික වටිනාකම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව ගන්නා ලද නරක තීරණයකි.
රජයන්ගේ මුලික අරමුණුවලින් එකක් වන්නේ ප්‍රගතිශීලී බදුකරණය මගින් ආදායම් උත්පාදනය කර, එම බදු මුදල් යොදවා ගාස්තු රහිතව පරිශීලනය කළ හැකි පොදු භාණ්ඩ ජනතාවට සැපයීමයි. එහෙත් රජයන් තමාට ආදායම් ඉපයීමට ඇති මාර්ග සීමිත වන විට පොදු දේපොළ නොඑසේ නම් පොදු භාණ්ඩ නොමිලයේ පරිශීලනය කිරීමට ඉඩ දීම මහා ජන සුබසිද්ධියට හේතු වන අවස්ථාවලදී පවා ඒවා පරිශීලනයට ගාස්තු අය කිරීමට පෙළඹීමට ඉඩ ඇත. එවන් පොදු භාණ්ඩවලට උදාහරණ ලෙස වීදි ලාම්පු සහ උද්‍යාන දැක් විය හැක. මෙසේ ක්‍රියා කිරීම රටක ආර්ථික සාර්ථකත්වයේ ප්‍රවර්ධනයට වඩා එම ආර්ථික සාර්ථකත්වය අඩපණ කිරීමට හේතු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන ආර්ථික අසාර්ථකත්වය බදු ආදායම අඩු කර වන අතර එම තත්ත්වය රජය මුහුණ දී ඇති ආදායම් ගැටලුව තවත් උග්‍ර කිරීමට හේතු වේ.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබා ගත් තොරතුරු අනුව පැහැදිලි වන්නේ, රජයේ ආදායම් ඉපයීමේ අරමුණට දායක වීමටද වත්මන් ක්‍රියාවලිය අසමත් වී ඇති බවයි. "Verité Research" ආයතනය විසින් ගොනු කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් සපයන ලද තොරතුරුවලින් හෙළි වූයේ, 2017 දී ශ්‍රී ලංකා රේගුව වෙළෙඳ දත්ත විකිණීමෙන් රුපියල් මිලියන 8.6 ක් උපයා ඇති බවයි. මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ලිපියට අනුව එම මුදලින් රුපියල් මිලියන 5.16 ක් දත්ත එකතු කරන ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ට ලැබිය යුතුය. (පහත පළමු වන රූප සටහන බලන්න) මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ දත්ත ලබා ගැනීමට ඇති හැකියාව සීමා කිරීම හරහා ආර්ථිකයට අහිත කර බලපෑමක් ඇති කරන ක්‍රියා මාර්ගයකට අනුබල දීමෙන් රජය උපයා ඇත්තේ රුපියල් මිලියන 3.5 ක් පමණක් බවයි. එම මුදල ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන බදු මගින් එකතු කරන ලද මුළු ආදායමෙන් 0.0004% ක ප්‍රමාණයක් පමණි.
මෙවැනි අනුබල දීමකින් රජය බලාපොරොත්තු වූයේ, සාමාන්‍යයෙන් අලස රාජ්‍ය නිලධාරීන් දත්ත සැපයීමට සහ දත්ත පරිශීලනය කරන්නන්ට වඩාත් හොඳ සේවයක් ලබා දීමට උනන්දු කරවීම නම්, එම බලාපොරොත්තුවද ඉටු වී නැත. දත්ත නොමිලයේ සහ පහසුවෙන් ලබා නොදීමට අමතරව, ගාස්තු අය කර සේවා ලබා දෙන අවස්ථාවලදී රාජ්‍ය ආයතනයක් විසින් පාරිභෝගිකයන්ට ලබා දිය යුතු මුලික තොරතුරු පවා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා රේගුව අපොහොසත් වී ඇත. එනම්, ලබා ගත හැකි දත්ත වර්ග, දත්ත ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු, දත්ත ලබා දීමට ගත වන කාලය සහ එම ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා සම්බන්ධ විය යුතු දුරකථන අංක වැනි තොරතුරු ද ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර නැත. සිය වෙබ් අඩවියේ ද සඳහන් කර නොමැත.
Lanka Newsweek © 2024