Thursday 25th of April 2024

English Tamil
Advertiesment


ප්‍රභූ රථවලට Horn ගැසූ තරුණයා වෙනුවෙන් එජාපය පෙරට 


2021-04-30 8050

අත්අඩංගුවට ගැනීම හෙළා දකියි

 

සිද්ධියෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව කෙරෙහි පවතින මහා ජන විරෝධයයි

 

මේ මහා ජන විරෝධය අගමැතිත් දන්නවා 

 

2019 කළ ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලියි

 

ආණ්ඩුවට මහා ජන විරෝධය ඉවසන්න බැහැ    

 

 

ප්‍රභූ රථ පෙළට එරෙහිව තරුණයෙකු ඇතුළු පිරිසක් සිය රථ වාහනවල නලා ශබ්ද කිරීමේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2019 දී පෙන්වා දුන් අකාරයටම රජය කෙරෙහි පවතින උග්‍ර මහා ජන විරෝධය යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සිය මෝටර් රථ නලා ශබ්ද කිරීමට ජනතාව දිරි ගන්වමින් මහා ජන විරෝධය කුළුගැන්වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින අතර එමහින් පැහැදිලි වන්නේ වත්මන් රජයට මහා ජන විරෝධය ඉවසා සිටීමට නොහැකි බව යැයි ද එම නිවේදනයේ සඳහන් වේ. 

එක්සත් ජාතික  පක්ෂය නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

මෑතකදී ප්‍රභූවරයකුගේ රථ වාහන පෙළකට විරෝධය පළ කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ  එක්සත් ජාතික පක්ෂය දැඩි කණස්සල්ලට පත්ව සිටියි. ජනමාධ්‍ය වාර්තාවලට අනුව මෙම මහා ජන උද්ඝෝෂණය සංවිධානය කිරීම සඳහා වග කිව යුතු අය ලෙස මෙම පුද්ගලයා පොලිසිය විසින් හඳුනා ගෙන තිබේ. 

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව වහාම කරුණු පැහැදිලි කරන්නැයි එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි. සමාජ මාධ්‍යවල සංස්රණය වී ඇති වීඩියෝ පටයකට පොලීසිය ප්‍රතිචාර දක්වා ඇති අතර ඔහු පසු කර යන ප්‍රභූ රථ පෙළකට මෝටර් රථ රියදුරන් නලා ශබ්ද කරන අයුරු දැක්වේ.

විදේශීය සම්භාවනීය අමුත්තන් රැගෙන යාමේ ආරක්ෂක කටයුතු අඩාල කළ නොහැකි බව වටහා ගෙන සිටියද ප්‍රභූවරයාට හෝ සෙසු පුරවැසියන්ට කිසිදු තර්ජනයක් නොවූ බව පෙනේ. ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන චෝදනා යටතේද යන්න පිළිබඳව සහ මෙම ක්‍රියාවන් මගින් ප්‍රභූවරයාට කිසියම් තර්ජනයක් එල්ල වී තිබේද නැද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් කරුණු තහවුරු කළ යුතුය. 

එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ සිහිපත් කර සිටිනුයේ, ප්‍රභූ වාහන ගමන් සඳහා මාර්ග වසා දැමීමට එරෙහිව මහා ජනයා දක්වන අප්‍රසාදය සහ ඊට එරෙහිව නොකඩවා නලා හඩ නඟමින් සිදු කරන ක්‍රියාකාරකම්  රජයේ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරයක් වන බවට 2019 මැයි මාසයේදී වත්මන්  අග්‍රාමාත්‍යවරයා  කළ ප්‍රකාශයයි.

එම අවස්ථාවේදී එවකට එක්සත් ජාතික පක්ෂ  නායකත්වයෙන් යුත් රජය මහා ජන කෝපය මැඩ පැවැත්වීම සඳහා කිසිදු ආකාරයක නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. මෙම අත්අඩංගුවට ගැනීම මගින් පෙන්නුම් කරන්නේ මෙම රජයේ අනාරක්‍ෂිත බව සහ ඕනෑම ආකාරයක මහා ජන විරෝධයක් ඉවසා සිටීමට නොහැකි තත්ත්වයයි. කතා කිරීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. 

 

Advertiesment