Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


කාබනික කෘෂි අභියෝගය ජය ගන්න ජනපති සූදානම්


2021-04-30 2587

ගොවීන් අතරට යන්න ජනපති තීරණය කරයි 

 

"ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නේ නැහැ"

 

"රසායනික පොහොර මුළුමනින්ම බැහැර කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා"

 

"තව දුරටත් වස විස කන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ" 

 

"රසායනික පොහොර සහනයට වැය වන රු.බිලියන 50 ගොවීන්ට බෙදනවා"

 

 

 

ඉදිරියට තැබූ පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැති වීම සිය අරමුණට ළගා විමට බාධාවක් නොවන අතර කතා කර කර නොසිට ගොවියා දැනුම්වත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහි කිරීමට එක් වන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර සිටියේ, රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක භාවිතය සේම ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා (29) පැවැති විශේෂ සාකච්ඡාවේදී ය. 

වස විසෙන් තොර කාබනික කෘෂිකර්මයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම දැඩි තීරණය ගෙන තිබෙන්නේ, නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කරන අතර ඉදිරි දශකයේ දී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීම සඳහා එම කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කරන බවට සිය "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව රටට ජනතාවට දී තිබෙන පොරොන්දුවට අනුවය.

එම පොරොන්දුව යතාර්ථයක් බවට පත් කිරීම සඳහා වන අඩිතාලම යොදමින්, දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ-ආර්ථික රටාවක් අරමුණු කර ගත් විසි වැදෑරුම් අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වන විටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

රාසයනික පොහොර ආනයන සඳහා 2019 දී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන් 221ක් වැය කර ඇති අතර තෙල් මිල වැඩි වීම සමඟ එම වියදම ඩොලර් මිලියන 300-400 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති නමුත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන්නේ රසායනික පොහොර, වල් නාශක සහ පළිබෝධ නාශක සඳහා අති විශාල වියදමක් කළ ද කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ගුණාත්මක වර්ධනයක් සිදුව නොමැති බවය. 

රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක භාවිතයෙන් පස නිසරු වී, අස්වනු අඩු වී, ජෛව විවිධත්වය විනාශ වී ගංගා-ඇළ-දොළ ජලය දූෂණය වී ගුණාත්මක පානීය ජල සම්පාදනයට ප්‍රබල අභියෝගයක් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් පැතිර යන වකුගඩු සහ පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසක් වෙනුවෙන් වාර්ෂිකව විශාල මුදලක් වියදම් කිරීමට රජයට සිදුව තිබේ.

මේ හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමිවීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩු වීම රට මුහුණ දෙන විශාල අභියෝගක් බව පෙන්වා දෙන ජනාධිපතිපතිවරයා එමනිසා රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී කාබනික පොහොර භාවිතා කිරීමේ වැඩ සටහන ආරම්භයේදී ගැටලු ඇති විය හකි නමුත් තිරසර හරිත සමාජ-ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැතැයි ද අවධාරණය කර සිටියි.

මේ අතර රසායනික පොහොර භාවිතය අත හැරීමෙන් කෘෂි නිෂ්පාදනය අඩු වීමෙන් ගොවීන්ට අලාභයක් සිදු වන්නේ නම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50ක මුදලින් ගොවි ජනයාගේ එම අලාභය ගෙවීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. 

මෙම කාබනික කෘෂිකාර්මික විප්ලවය සඳහා විධිමත් පුහුණුවක්, නිසි අධ්‍යයනයක්, සේම රට සහ පරිසරය පිළිබඳව හැගීමක් සහිත පිරිසක් යොදා ගැනෙන අතර වැඩ සටහනට අකමැත්තක් දක්වන පිරිසට ආරම්භයේ දීම එමගින් ඉවත්වීමට බාධාවක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා රට වෙනුවෙන් මෙම අභියෝගය ජය ගැනීම සඳහා තමා පෞද්ගලිකවම ගොවි ජනතාව අතරට පැමිණෙන බව ද අවධාරණය කර සිටියි. 

 

Advertiesment