Monday 7th of October 2024

English Tamil
Advertiesment


රටම මීතොටමුල්ලක් වන ලකුණු..?


2021-04-30 14332

රසායනික පොහොර අත හැර කාබනික පොහොර වෙත යාමේ ප්‍රතිඵලයක්..!

 

අවුරුද්දකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 630ක් ඕනෑ 

 

රටේ විශාල දුර්ගන්දයක් ඇති වේවි 

 

මැසි-මදුරු ගහනය වැඩි වේවි

 

මීතොටුමුල්ලේ අතිවූ මහා පිපිරීම් කාබනික පොහොර කඳුවලින් ද ඇති වේවි 

 

අස්වනු අඩු වේවි 

 

ජාතික කෘෂිකර්මය විනාශ වීම වළක්වනු බැහැ  

 

රසායන පොහොර අත හැරීමේ ප්‍රතිඵල මෙන්න..! 

 

 
(වික්ටර් අයිවන්)

 

ශ්‍රී ලංකාවට වැළදී ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් ඉබේ හොඳ වන රෝගයක් නොව සංකීර්ණ සැත්කමකින් පමණක් සුව කර ගත හැකි රෝගයකි. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ ක්‍රියාකාරිත්වය මුළුමනින් බිඳ වැටී තිබෙන අතර අනෙකුත් සියලු ආයතනවල ක්‍රියාකාරිත්වය තිබෙන්නේද බිඳ වැටුණ තත්ත්වයකය. සමාජ ක්‍රමයේ ඒකාග්‍රතාව තිබෙන්නේද කැබලි වූ තත්ත්වයකය. රටේ ආර්ථිකය තිබෙන්නේද බංකොලොත් භාවයට පත් වන්නට ආසන්න තත්ත්වයකය. 

සාමන්‍යයෙන් රාජ්‍යක් මෙවැනි තත්ත්වයකට පත් වූ විට සාමාන්‍යයෙන් සිදු වන්නේ දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කර ගනිමින් රාජ්‍යය සහ සමාජ-දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කර ගැනීමට හේතු වන ව්‍යූහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කිරීමය. එහෙත් ඒ සදහා වන කිසිදු සංවාදයක් තවමත් ආරම්භ වී නැත.

කෝවිඩ් වසංගත තත්ත්වයද රටේ අර්බුදය ජය ගැනීමට තිබෙන හැකියාව සීමා කරන සාධකයක් ලෙස ක්‍රියා කරමින් පවතී. වසංගතයේ ව්‍යාප්තිය  පාලනය කිරීමට යොදා ගැනුණු ප්‍රතිපත්තිවල ලොකු අසාර්ථක භාවයක් තිබියදීත් ශ්‍රී ලංකාවට බරපතළ හානි ඇති නොවන තත්ත්වයක් ඇති නොවූයේ BCG එන්න්ත නිසාය. එම එන්නත ලබාදී තිබෙන රටවල් අතරින් 100%ක ආවරණයයක් ලබා දී තිබෙන එකම රට වන්නේ ශ්‍රී ලංකාවය. මෙම ක්‍රියාදාමය 1949 සිට පත්වා ගෙන එන සුව පුරුද්දක් වන අතර එම පුරුද්ද නොවන්නට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙවන්නට සිදු වන වන්දිය ඉතා විශාල වන්නට ඉඩ තිබුණි.

 
ජනාධිපතිගේ සිහිනය

 

කෘෂි රසායන පොහොර සහ පළිබෝද නාශක ආනයනය මුළුමනින් නතර කිරීමට ගෙන තිබෙන තීන්දුව පොදුවේ ග්‍රාමීය සහ වාණිජ කෘෂිකර්මය කෙරෙහි විනාශකාරි ලෙස බලපානු ඇති අතර එම තීරණය ගම්බද ගොවි ජනතාව කෙරෙහි සේම වතුකරයේ වතු කම්කරුවන් කෙරෙහි ඇති කරන්නට නියමිත බලපෑම ඉතාමත් විනාශකාරීය. එමෙන්ම එම තීරණය රටේ ඇතිවී තිබෙන ආර්ථික ඇද වැටීම පරිපූරණ කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇත.

ජනාධිපති කියන්නේ රසායන පොහොර වෙනුවට කාබනික පොහොර සමාගම් ලවා නිපදවා සහනාධාර පදනමක් මත ගොවීන්ට ලබා දෙන ක්‍රමයක් ඇති කරන අතර අස්වැන්න අඩු වීමක් සිදුවේ නම් ඒ වෙනුවෙන් වන්දි ද ගෙවන ක්‍රමයක් ඇති කරන බවය. පළිබෝද නාශක සහ රසායන පොහොර පිළිබදව ජනාධිපතිවරයා කල්පනා කරන ආකාරය සහ රටේ පවත්නා ජනප්‍රිය මතය නිවැරදි මතය ලෙස සැලකිය නොහැකිය. 

රසායන පොහොර සහ පළිබෝද නාශක ජෛව විවිධත්වයයට හානි පමුණුවා තිබෙන බව සේම ජලයට සහ ආහාරවලට රසායන ද්‍රව්‍ය එකතු වීම මගින් සෞඛ්‍ය ගැටලු ඇති කර තිබෙන බව සත්‍යයකි. එහෙත් එවැනි අහිතකර ප්‍රතිඵල තිබියදීත් මුළුමනින් රසායන පොහොරවලින් සහ පළිබෝද නාශකවලින් ඉවත් වී කාබනික පොහොර සහ සාම්ප්‍රදායික පළිබෝද නාශක ක්‍රමවලින් ඒ අඩුව සපුරා ගැනීමේ හැකියාවක් නැත.

 
රසායන පොහොර අවශ්‍ය වූයේ ඇයි..?

 

වගා නොකළ නිර්මල පසක් ඇති භූමියක් පොහොර නැතිව වගා කළ හැකිය. වගා කරන්නට ඕනෑ තරම් ඉඩම් තිබුණ කාලවල තෝරා ගත් ඉඩමක් කෙටි කලයක් වගා කොට එම ඉඩම අත්හැර අලුත් ඉඩමක් වගා කරන  ක්‍රමයක් මගින් පසේ සශ්‍රීක භාවය ආශ්‍රයෙන් පැන නගින ගැටලු විසඳා ගත්තේය. ජන ගහනයේ ඇතිවූ ශීඝ්‍ර වර්ධනයත් සමග පරණ ගොවි තැන් සම්ප්‍රදායෙන් ඉවත් වී වගා කරන ඉඩම දිගින් දිගට වගා කළ යුතු නව සම්ප්‍රදායකට මාරු වීමට සිදු විය. ඒ හේතුවෙන් පස නිසරු වී ඵලදාව අඩු විය. ඒ නිසා ඒ ප්‍රශ්නවලට විසදුම් සොයන තැනකට යන්නට සිදු විය. හරිත විප්ලවය ඇති වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. රසායන පොහොර, පළිබෝද නාශක සහ වැඩි දියුණු කළ බීජ එම විප්ලවය ඇති කළ ප්‍රතිඵල ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන අවස්ථාව වන විට කුඹුරු කරමින් සිටියේ රසායන පොහොර හෝ පළිබෝද නාශක නැතිවය. පොහොර වශයෙන් යොදා ගත්තා නම් යොදා ගත්තේ කලාතුරකින් ගෙරි කටු පොහොර පමණය. කුඹුරු අක්කරයක අස්වැන්න තිබුණේ බුසල් 35 ක් හෙවත් කිලෝ 717 ක මට්ටමකය. එකල ශ්‍රී ලංකාව නිෂ්පාදනය කළේ රටේ සහල් අවශ්‍යතාවෙන් 40%ක් පමණය. ඒ කාලයේදී ආනයන වියදමෙන් 30%ක්ම වැය කළේ සහල් සහ තිරිඟු පිටි ආනයනය සදහාය.

 
වී ගොවිතැනේ දියුණුව

 

මේ තත්ත්වයේ යහපත් වෙනසක් ඇති කර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යොදා ගත්තේ හරිත විප්ලවය හදුන්වා දී තිබූ ක්‍රමවේදයන්ය. පාරම්පරික වී ප්‍රභේද වෙනුවට රෝගවලට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබා දෙන නව ප්‍රභේද හදුන්වා දෙන ලදී. රසායන පොහොර සහ  පළිබෝද නාශක යොදා ගැනීමට අනුබල දෙන ලදී. එමගින් ඇති කරන ලද ප්‍රතිඵල ඉතාමත් විප්ලවකාරී විය. 

එදා 1952 වන විටත් මිලියන 8 ක් පමණවූ ජන ගනයට අවශ්‍ය සහල්වලින් නිපදවිය හැකි වූයේ සියයට 40 ක් පමණය. ඉන් අවුරුදු 60 කට පසුව මිලියන 20 ක ජන ගහනයකට ප්‍රමාණවත් සහල් මෙට්ට්‍රික් ටොන් මිලියන 4.3 ක් නිපදවීමට සමත් විය. එම කාලයේ දී අක්කරයකට ලැබෙන අස්වැන්න 712%කින් වර්ධනය කර ගැනීමට හැකිවී තිබේ.

රට ලබා ගත් එම දියුණුව අතර නරක අතුරු ප්‍රතිඵල ද තිබුණි. එහෙත් එම නරක අතුරු ප්‍රතිඵලවලින් වැඩි හරියක් රසායනික පොහොරවල හෝ පළිබෝද නාශකවල වරදක් නිසා සිදු වූවකට වඩා එම විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පවත්වා ගෙන ගිය කළමනාකරණයේ තිබුණ බරපතළ දෝෂ නිසා ඇතුවූ තත්ත්වයක් ලෙස සැලකි හැකිය .කෘෂි රසායන සම්බන්ධයෙන් සමහර රටවල් අනුගමනය කරන යහපත් වත්පිළිවෙත් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී නම් නරක අතුරු ප්‍රතිඵලවලින් සිදු වන හානිය අවම කර ගන්නට හැකි වන්නට ඉඩ තිබිණි.

 
කාබනික පොහොරවල යථාර්ථය 

 

අප අවට තිබෙන හැම දෙයක්ම රසායනික බව අමතක නොකළ යුතුය. කාබනික පොහොර ද රසායනිකය. කාබනික පොහොරවලද බැර ලෝහ තිබෙන්නේය. රසායනික පොහොරවලට තිබෙන හොද විකල්පයක් ලෙස කාබනික පොහොර සැලකෙන්නේ නැත. කාබනික පොහොර රසායනික පොහොර තරම් ඵලදායි නොවනවා සේම රසායන පොහොර කිලෝවක් සඳහා අවශ්‍ය වන කාබනික පොහොර අනුපාතිකය කිලෝ 50 ක් තරම් විශාලය. 

කාබනික වගාවට ලොකු හඬක් ඇතත් තවමත් කාබනික ගොවිතැන් ක්‍රම ක්‍රියාත්මක වන්නේ ලෝකයේ මුළු වගා බිම්වලින් 1.5%ක පමණය. ශ්‍රී ලංකාව වසරකට ආනයනය කළ රසායන පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 1,260,053 කි. ඉන් මෙට්ට්‍රික් ටොන් 383,000 ක් වී ගොවිතැන සඳහාය. ඉතිරි මෙට්ට්‍රික් ටොන් 877,053 අනෙකුත් වගාවන් සඳහාය. 

මේ ප්‍රමාණයකට ගැළපෙන තරමට කාබනික් පොහොර නිපදවන්නේ නම් වසරකට නනිපද විය යුතු කාබනික පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 630කි. ඒ සා විශාල ප්‍රමාණයක් කාබනික පොහොර නිපදවන්නට දරන උත්සහාය හේතුවෙන් රටේ ජීවත් වන්න්ට බැරි තරමේ දුර්ගන්දයක්ද, අති විශාල මැසි මදුරු ප්‍රශ්නයක්ද ඇති කිරීමට හේතු වනු  ඇත. ඒ මගින් නිපදවන මීතේන් නිසා කොලොන්නාව, මීතොටුමුල්ලේ කුණු කඳු ආශ්‍රයෙන්  අතිවූ මහා පිපිරීම් කාබනික පොහොර කඳු ආශ්‍රයෙන් ද ඇති විය හැකිය. මේ අනුව රසායන පොහොර භාවිතය මුළුමනින් අත හැරීමේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට අති විශාල විනාශයක් ඇති කරනු නොවැළක්විය හැකිය.

 

Advertiesment