Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


රට වෙනුවෙන් ජනපතිගෙන් කරූ කළ ඉල්ලීම මෙන්න 


2021-04-29 2576

දේශපාලන පළි ගැනීම් නවතා මිත්‍රත්වයේ හස්ථය දිගු කරන්න..!

 

රට එක්සත් නොකර COVID-19 වසංගතය ඇතුළු අභියෝග ජය ගනු බැහැ

 

ලෝකයේ විනාශ වූ රටවල් යළි ගොඩනැගුනේ එහෙමයි 

 

පාස්කු ප්‍රහාරය ඇතුළු අපරාධ සම්බන්ධ විමර්ශනවලට දේශපාලන ඇඟිලි ගැසීම් එපා

 

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාවය දිය යුතුයි   

 

 

COVID-19 වසංගතය ඇතුළු උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා දේශපාලන පළි ගැනීම් වහාම නවතා මිත්‍රත්වයේ හස්ථය දිගු කරමින් ජාති, ආගම් සහ දේශපාලන භේද නොතකා සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රටක් ජාතියක් ලෙස සියලු දෙනා එකට එක්සත් වූ විට ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකි යැයි ද, ඒ සඳහා රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා  නායකත්වය දිය යුතු අතර ලෝකයේ විනාශ වූ රටවල් යළි ගොඩනැගෙන්නේ ඒ අයුරින් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට අප රට මුහුණ දී ඇති බරපතළ අභියෝගය කිසිදු පාර්ශවයක් හෝ සුළු කොට තැකිය යුතු නොවේ. එහිදී  රජය සිය වගකීම නිවැරදිව හඳුනා ගනිමින් මහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ප්‍රමුඛතම අවධානයක් යොමු කළ යුතුව තිබේ. ජන ජීවිතයේ යහ පැවැත්ම සේම මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ රටේ ආර්ථිකයට එල්ල විය හැකි අභියෝගය පිළිබඳව ද එහිදී  ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුව ඇත.

මේ රටේ සෞඛ්‍ය බළධාරීන් සේම වසංගත රෝග විශේෂඥයන්ද අනතුරු අඟවා ඇති ආකාරයට මෙම වසංගත තත්ත්වය රට පුරා වේගයෙන් පැතිර යන ප්‍රවණතාවයක් පවතී. විශේෂයෙන්ම අපගේ අසල්වැසි මිත්‍ර රාජ්‍යයක් වන ඉන්දියාව අද වන විට මුහුණදී ඇති අවාසනාවන්ත තත්ත්වයද සැලකිල්ලට ගනිමින් අප රට අභ්‍යන්තරයේ එවැන්නක් නිර්මාණය නොවීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීම අදාළ බලධාරීන්ගේ ප්‍රථම වගකීම වී තිබේ.

එමෙන්ම මිලියන 21ක් පමණ වන අප රටේ ජනතාවට එහිදී යම් හෝ ආරක්ෂාවක් සහතික කිරීමට නම් එන්නත්කරණ ක්‍රියාවලිය සක්‍රීය කළ යුතු මොහොතකට අපි එළඹ සිටින්නෙමු. සෞඛ්‍ය බළධාරීන්ගේ වාර්තාවලට අනුව මේ වන විට රටක් ලෙස අප සතුව ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයකි. පළමු එන්නත් මාත්‍රාව ලබා දුන් ලක්ෂ 9කට ආසන්න පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ද ලබා දිය යුතුව ඇති මොහොතක දැනට අප සතුව පවත්නා එන්නත් මාත්‍රා ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඉතා පැහැදිලිය. 

ඒ අනුව රජය කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සපුරාලිය යුතුව තිබේ. එමෙන්ම රෝහල් පද්ධතිය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් ලබා දෙමින් මතු විය හැකි කුමන හෝ තත්ත්වයකට පවා සාර්ථකව මුහුණදීම උදෙසා සියලුම ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුව තිබේ. එම කටයුතු ඒ ආකාරයටම සිදු වනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. 

එමෙන්ම මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකට ජාතියක් ලෙස අප සාර්ථකව මුහුණ දීමට නම් ජාති, ආගම් සහ දේශපාලන වැනි සියලු ආකාරයේ භේද බැහැර කරමින් එකට අත්වැල් බැඳ ගැනීම සෑම පාර්ශවයකම වගකීමය. සමස්ත ජනතාවගේම පරම යුතුකමය. එහිදී එම ආදර්ශය පළමුව ලබා දෙමින් ඒ සඳහා ප්‍රවේශ විය යුත්තේ රටේ පාලක පක්ෂය සහ රාජ්‍ය නායකත්වයයි. ඒ අනුව දේශපාලනික වශයෙන් සිදු කරන්නා වූ සියලුම ආකාරයේ පළි ගැනීම් නවතා සියල්ලන් වෙතම මිත්‍රත්වයේ හස්ථය දිගු කිරීම ප්‍රථමයෙන්ම සිදු විය යුතුව තිබේ.

එහෙත් එවැනි පරිසරයක් නිර්මාණය කර ගත යුතුව තිබියදීත් රටේ සිදු වන ඇතැම් සිදු වීම් අපට දන්වන්නේ බලවත් සංවේගයකි. දින කිහිපයකින් ශල්‍ය කර්මයකට මුහුණ දෙනු පිණිස රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සහෝදරිය පසු ගියදා පොලීසියට කැඳවා ගනිමින් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමට බඳුන් කිරීම ඒ සඳහා දැක් විය හැකි එක් නිදසුනකි. එම ක්‍රියාව කිසිසේත්ම සදාචාර සම්පන්න ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය. එම ක්‍රියාව මිනිස් අයිතිවාසිකම් පැහැර ගැනීමකි.
 
එමෙන්ම රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රීවරයාට අදාළව කටයුතු සිදු වෙමින් පවතින ආකාරය සැලකිල්ලට ගැනීමේදී ද දැකිය හැකි වන්නේ එවැනිම වූ තත්ත්වයකි. ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදීම අත්අඩංගුවට ගෙන මුදා හැර තිබේ. එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබදව කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාව අනුවද ඔහුට එරෙහිව නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් වී ඇති ආකාරයක් දක්නට නොමැත. 

එවැනි පසුබිමක් මත ඔහුට එරෙහිව මේ මොහොතේ යම් චෝදනාවක් නැඟීමට සාධාරණ හේතු තිබේ නම් එම හේතු නොපමාව අධිකරණයක් හමුවට යොමු කරමින් සාධාරණ නඩු විභාගයකට අවස්ථාව සලසාදීමට ක්‍රියා කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. එමෙන්ම ඔහු අත්අඩංගොඩ ගැනීමේදී අදාළ අංශ හැසිරී ඇති සම්ප්‍රදාය විරෝධී ආකාරය සැලකිල්ලට ගැනීමේදී ද ඒ පිළිබදව කිසිසේත්ම සතුටු විය නොහැකිය. 

අලුයම 02.00 ට පමණ කතා නායකවරයා ද දැනුම්වත් නොකර මෙවන් ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ යුතුය. එම ක්‍රියාව පැහැදිලි ලෙසම පාර්ලිමේන්තුවට ද කරන ලද අපහාසයක් ලෙස සැලකිය හැකිය. කතානායකවරයාට ද එමඟින් බරපතළ අවමානයක් සිදු කර තිබේ. මෙවැනි අමනෝඥ ක්‍රියාවන් මඟින් සිදු වන්නේ ත්‍රස්තවාදයට එරෙහිව මේ රටේ ආරක්ෂක අංශ සහ යුක්තිය පසිඳලීමට මැදිහත් වන ආයතන ගන්නා යහපත් ක්‍රියාමාර්ගයන්ද හෑල්ලුවට ලක් වීමය. සැකයට බඳුන් වීමය. 

ඒ අනුව රටේ සියලුම පාර්ශවයන්ගෙන් අප ඉතාමත්ම වගකීමකින් යුතුව ඉල්ලා සිටින්නේ, පාස්කු ප්‍රහාරය ද  ඇතුළුව මේ රටේ සිදුවූ බරපතළ අපරාධවලට අදාළ වූ සිදු කරන්නා වූ විමර්ශන සහ අනෙකුත් සියලුම නෛතික ක්‍රියාමාර්ග සමඟ පටු දේශපාලන අරමුණු එක්කර නොගන්නා ලෙසය. එමෙන්ම රටේ ජන ජීවිතයේ සුරක්ෂිතභාවයද ඇතුළු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව ද විධිමත් අවධානයක් යොමු කරවමින් රටේත් ජනතාවගේත් යහපත උදෙසා අවශ්‍ය කටයුතු නොපමාව සිදු කරන ලෙසටය. අප එක්සත් වූ විට, සමගි සම්පන්න වූ විට ඕනෑම අභියෝගයකට අපට මුහුණ දිය හැක. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා නායකත්වය දිය යුතුය. විනාශ වූ රටවල් ගොඩනැගෙන්නේ ඒ අයුරිනි.

 
 

Advertiesment