Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මිනිස් ජාවාරම මාට්ටු 


2021-04-27 3847

රට ඒජන්සි සංගමය (ALFEA) බියුරෝ ලොක්කන්ගේ රෙදි ගළවයි

 

ශ්‍රී ලංකාව ලොව මිනිස් ජාවාරමේ ප්‍රධාන තෝතැන්නක් වෙලා 

 

මෙරට කාන්තාවන් නීති විරෝධි ලෙස විදෙස් රටවල ගෘහ සේවයට විකුණන ජාවාරම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසකගේ සබඳතාව මත සිදු වන්නක් බව බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයේ (ALFEA) සභාපති  ෆයිරූස් මරික්කාර් මහතා පවසයි.

ෆයිරූස් මරික්කාර් මහතා මේ බව පැවැසුවේ, "එයාර් පොර්ට් ක්ලියරින්" මගඩියේ ඇත්ත හෙළි කරමින් සහ ALFEA සභාපතිට පහරදීමට එරෙහි වෙමින් කොළඹ දී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී එම සංගමය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ලොව මිනිස් ජාවාරම් කරන රටවල් අතර ප්‍රධාන තැනක් උසුලන රටක් ලෙස නම් දරා ඇත්තේ මෙම ජාවාරම්කරුවන් නිසා බවය.

බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට සහ 1988 මාර්තු 31 වැනි දිනැති අති විශේෂ ගැසට් නියෝග මත පිහිටු වන ලද ආයතනයකි.

2021.04.16 වැනි සිකුරාදා කොළඹ, මරදාන ප්‍රදේශයේ දී එම සංගමයේ සභාපති ෆයිරූස් මරික්කාර් මහතාට මැර කණ්ඩායමක් විසින් පහර දී ඇති බවත්, මේ සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇති බවත් ALFEA සංගමය පවසයි. 

විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය පෙන්වා දෙන්නේ මෙම පහරදීමට ප්‍රධානම හේතුව වන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරට කාන්තාවන් මැද පෙරදිග රටවලට ගෘහ සේවයට පිටත් කර යැවීමේ මාෆියාව නැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම කළ මැදිහත්වීම බලපා ඇති බවයි.

වයස අවුරුදු 23 සම්පූර්ණ නොවුණු, වයස අවුරුදු 5ට අඩු කුඩා දරුවන් සිටින, නිසි පුහුණුවක් නොමැති කාන්තාවන් සංචාරක විසා මගින් නීති විරෝධී ආකාරයට එක්සත් එමීර් රාජ්‍ය ඇතුළු රටවලට පිටත් කර යවන ජාවාරම පිළිබඳ හෙළි කිරීමට ALFEA නියෝජිතවරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයට ගොස් පසුගිය දිනක කළ වැටලීමක් හේතුවෙන් මෙම පහරදීම සිදු කොට ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මෙරට කාන්තාවන් නීත්‍යනුකූල නොවන අයුරින් විදෙස් රටවල ගෘහ සේවයට විකුණා මුදල් උපයන ජාවාරම මේ වන විට ආකාර දෙකකින් රට අභ්‍යන්තරයේ සිදු වෙමින් පවතින බව ALFEA සභාපතිවරයා අවධාරණය කර සිටියි.

එහි එක් ආකාරයක් වන්නේ සංචාරක වීසා මාර්ගයෙන් මෙරටින් ගෙන ගොස් විදෙස් රටවල ගෘහ සේවයේ යෙදවීම වන අතර, විශේෂයෙන් ම මෙලෙස සංචාරක (Visit Visa) වීසා මත ගෘහ සේවයට යන රටවල් අතර මැද පෙරදිග රටවල් ප්‍රධාන තැනක් ගන්නා බව ද, ඒ අතරින් වැඩිම පිරිසක් පිටත්ව යන්නේ ඩුබායි රාජ්‍යයට බව ද එම සංගමය පෙන්වා දෙයි. 

මෙලෙස හොර පාරෙන් විදෙස් ගත වන එක් කාන්තාවක් වෙනුවෙන් අදාළ ජාවාරම්කරුවෝ රුපියල් එක් ලක්ෂ විසි දහසකට වඩා අධික මුදලක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශ නිලධාරීන් ඇතුළු ගුවන් තොටුපොළ පරිශ්‍ර නිලධාරීන් වෙනුවෙන් අල්ලස් ලෙස ලබා දෙන බව එම සංගමයේ සභාපතිවරයා අවධාරණය කර සිටියි.

මෙහි ඊළඟ ක්‍රමය වන්නේ Re Entry ක්‍රමවේදය බව පෙන්වා දෙන ALFEA සභාපතිවරයා, මෙහි දී සිදු වන්නේ රජයේ නීති රෙගුලාසිවලින් රිංගා යෑමට හැකි පරිදි අලුතින් ලබා ගන්නා විදෙස් ගමන් බලපත්‍රයක් ව්‍යාජ මුද්‍රා කිහිපයක් යොදා ගනිමින් සකසා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කර විදෙස්ගත කිරීම බව පවසයි. 

මෙම ව්‍යාජ ගමන් බල පත්‍ර සැකසීමේ දී මෙරට රාජ්‍ය ආයතනවල රබර් මුද්‍රා පමණක් නොව විදෙස් රටවල මුද්‍රා පවා ව්‍යාජ ලෙස සැකසීම ඉතා බරපතළ ගැටලුවක් වන බවත්, එලෙස සකසන මුද්‍රා අතර ආගමන විගමන මුද්‍රා සහ වීසා නිකුත් කිරීමේ මුද්‍රා ද ඇතුළත් වන බවත් ෆයිරූස් මරික්කාර් මහතා හෙළි කර සිටියි.

යම් හෙයකින් මෙම කූඨ ජාවාරම පිළිබඳ අදාළ විදෙස් රටවලට හෙළිදරව් වුව හොත් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය පළුදු වනවා සේම එකී රටවලට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ද නවතා දමනු ඇති බවට ද හෙතෙම අනතුරු අඟවයි. මෙලෙස කූඨ ලේඛන සකසා කාන්තාවන් විදෙස් රටවලට අලෙවි කරන ජාවාරම පිටු පස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් පිරිසක් සිටින බව මෙහි දී ALFEA සභාපති ෆයිරූස් මරික්කාර් මහතා චෝදනා කර සිටියි.   

එමෙන්ම මෙම ජාවාරමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන්නේ කුරුණෑගල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වයඹ කාර්යාලය බවට ද, එහි නිලධාරීන් පිරිසක් මේ සඳහා සෘජුවම මැදිහත්ව කටයුතු කරන බවට චෝදනා කළ ෆයිරූස් මරික්කාර් මහතා පෙන්වා දුන්නේ මෑතක දී පුවත්පත් වාර්තාවකින් ද ඒ පිළිබඳ හෙළි කර තිබුණු බවයි. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් දිනකට ලක්ෂ 50කට වැඩි ආදායමක් මෙලෙස උපයන බව එම පුවත්පතේ සඳහන්ව තිබුණු බව පෙන්වා දෙන ALFEA සභාපතිවරයා මෙම ජාවාරමට අදාළ සියලු තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට සහ විෂය භාර අමාත්‍යවරුන්ට ද සිය සංගමය විසින් සාක්ෂි සහිතව ලබා දී ඇතත් මේ වන තෙක් මෙම මාෆියාව නැවැත්වීමට ඔවුන් පියවර ගෙන නොමැති බැවින් අමාත්‍යවරුන්ටත් එම මුදල්වලින් යම් කොටසක් යනවාදැයි සැකයක් මතුවන බව ද කියා සිටියි. 

කෙසේ වෙතත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක බලය ලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය වශයෙන් මෙම ජාවාරම නවතා දැමීමට මුල් වී කටයුතු කරන ඕනෑම අයකුට එහි සියලු තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට සිය සංගමය සූදානම් බවද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කර සිටියි. 

Advertiesment