Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


ආණ්ඩුව පෙරළන්න දැල එළලත් ඉවරයි 


2021-04-27 3329

නිසි වෙලාවට දැල අදිනවා 

 

දේශපාලන පළි ගැනීම් කොමිෂන් විවාදය ඇමතිවරුන් පවා මඟ හැරියා 

 

ඇමතිවරුන් කලකිරිලා 

 

අලුත් ගෑස්‌ සිලින්ඩරයෙන් රු. 296ක් ජනතාවට පාඩුයි 

 

ජනතා විරෝධී වත්මන් ආණ්ඩුව පෙරළා නව ජනතා වාදී ආණ්ඩුවක් බිහි කිරීම සඳහා සමගි ජන බලවේගය මේ වන විටත් දැල එළා හමාර යැයි ද, අවශ්‍ය වේලාවට දැල ඇද ආණ්ඩුව පෙරළා දමන්නේ යැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. 

මහනුවර දිස්ත්‍රික්කයේ, යටිනුවර ආසනයේ, සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලය කඩුගන්නාව නගරයේදි විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් මේ බව කියා සිටී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. 

මිත්‍රවරුනි...අද රජයට බැරි වෙලා තියෙනවා ආර්ථිකය පාලනය කරන්න. හැම ප්‍රශ්නයකටම කොවිඩ් ඉස්සරහට දානවා. නමුත් ඉන්දියාව සහ එංගලන්තය වගේ රටවල කොවිඩ් තිබුණට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරලා තිබෙනවා. ඒ්ක තමයි අපේ රටේ සහ ලෝකයේ අනෙකුත් රටවල වෙනස. ඇයි අපේ රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගියේ. ඒ මොකද ආණ්ඩුවට සල්ලි නැහැ. ඒ නිසා ජනතාවට බදු ගහනවා ඇරෙන්න ආණ්ඩුවට විකල්පයක් නැහැ. ජනතාවගේ බදු මුදල් ඇරෙන්න රජයට මුදල් නැහැ. 

ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුව රටේ පාලනය අත හැරලා තියෙන්නනේ. කිසිම පාලනයක් නැහැ. ආණ්ඩුවේ බලතල අති බහුතරයක් රාජපක්ෂ පවුල විසින් බෙදා ගෙන. ඇමතිවරුන්ට කරන්න දෙයක් නැහැ. රජපක්ෂ පවුල සියලු සංස්ථා සහ සියලු දෙපාර්තමේන්තු ඇතුළු ආයතන ඒ් අයගේ යටතට ගෙන ඉවරයි. ඇමතිවරුන්ට කරන්න කිසිවක් නැහැ. ඇමතිවරුන් කොච්චර අසහනයෙන්ද ඉන්නේ කියනවා නම් පසුගිය බ්‍රහස්පතින්දා තිබුණ දේශපාලන පළි ගැනිම් පිළිබද විවාදයට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් කවුරුත් සහභාගි වුණේ නැහැ. කොච්චර උරන වෙලාද කියනවා නම් දවස් දෙකේම එක කැබිනට් ඇමතිවරයෙක්වත් කට ඇරියේ නැහැ. ආණ්ඩුවේ තත්ත්වය ඒ සිද්ධියෙන්ම පේනවා.

ආණ්ඩුව නව නීතියක් ගෙනල්ලා තියෙනවා. ඉදිරියේදි ආණ්ඩුව විසින් විශාල ව්‍යාපෘති ආරම්භ කරන කොට කැබිනට් මණ්ඩලයේ අවසර ගන්නේ නැහැ. කෙලින්ම ජනාධිපතිතුමා ලේකම්වරයා හරහා ඒ් අවශ්‍ය ලියකියවිලි අත්සන් කරනවා. මේ ඔක්කෝම නීතියෙන් පිට වැඩ. මිත්‍රවරුනි තමුන්නාන්සේලාට අදහාගන්න බැරි පිරිසක් මේ ආණ්ඩුව අභ්‍යන්තරයේ අසහනයෙන් ඉන්නවා. ඉදිරියේදි  බලා ගන්න පුළුවන් මේ ආණ්ඩුවේ තත්ත්වය මොකක්ද කියලා. 

ඒ් වගේම ගෑස් මිල. ගැස් සිලින්ඩරයක බර කිලෝ 3.3 ක් අඩු කරලා තියෙනවා. හරි නම් අඩු කරපු බර අනුව රුපියල් 394 ට පමණ ආසන්න මුදලක් මිල අඩු වෙන්න ඕනෑ. නමුත් මිල අඩු කරලා තියෙන්නේ රුපියල් 100 කට ආසන්න මුදලකින් විතරයි. ජනතාවට රුපියල් 296 ක පමණ මුදලක පාඩුවක් මේ හරහා සිදු කරලා තිබෙනවා. මේ තමයි වත්මන් ආණ්ඩුවේ තත්ත්වය. ඒ් වගේම ගොවින්ට රසායනික පොහොර දෙන්නේ නැහැ කියනවා. මොකක්ද හේතුව..? ආණ්ඩුවට සල්ලි නැහැ පොහොර ගෙන්වන්න. ආණ්ඩුවට සල්ලි නැති වුණාම තමයි දේශිය ආර්ථිකය, දේශීය නිෂ්පාදනය, දේශිය වගාව මතක් වෙන්නේ. පොහොරත් එහෙමයි. පොහොර ප්‍රශ්නය මැතිවරණ ව්‍යාපාරයට ගෙනාවේ මේ අය. වත්මන් රජය පොහොර නොමිලයේ දෙනවා කිව්වා. පොහොර ප්‍රශ්නය ගොවි ජනතාවට පෙන්වලා ගොවි ජනතතාවගේ ඡන්දය ගත්තේ වත්මන් රජයයි.

මිත්‍රවරුනි, සමගි ජන බලවේගයෙන් වත්මන් ආණ්ඩුව පෙරළන්න දැළ එළලා හමාරයි. නමුත් දැල අදින්නේ අවශ්‍ය වෙලාවටයි. අපි දැල දැන්ම අදින්නේ නැහැ. මේ ආණ්ඩුව රට දාලා යන කල්ම අපි දැල අදින්නේ නැහැ. ඒ් වගේම මම කියන්න කැමතියි ආණ්ඩුව හදන්නේ කොට්ඨාශ ක්‍රමයක් ගේන්න. ඒ්ක සාර්ථක වෙයිද නැද්ද කියලා මට  කියන්න බැහැ. නමුත් ආණුඩුව පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණයට කොට්ඨාශ ක්‍රමයක් ගේන්නයි හදන්නේ. කොට්ඨාශ ක්‍රමය එක අතකින් හොදයි. මොකද  මනාප යුද්ධය නැති නිසා. නමුත් මගේ දැනුමේ හැටියට ඉදිරියේදි ඒන්නේ ප්‍රාදේශිය සභා මැතිවරණය. 

මහනුවර දිස්ත්‍රික්කය දිහා බැලුවාම අපේ රජය කාලයේ කරපු වැඩවලින් වත්මන් රජය දශමයකවත් දෙයක් කරලා නැහැ. උඩරට උරුමය ඇමති කාලයේ මම මිලියන 1000 ක මුදලක් මහනුවර දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර සදහා  ලබා දුන්නා. ඒ් වගේම අපේ සහෝදර මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මීට පෙර අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් තබා ගත්තා. පසුව සාක්ෂි නැ කියලා නිදහස් කෙරුවා. නමුත් දැන් නැවත අත්අඩංගුවට අර ගෙන. ඇත්ත වශයෙන්ම එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. වැරැද්දක් කළා නම් නඩු පවරන්න පුළුවන්. ඇයි රිමාන්ඩ් කරලා හිරිහැර කරන්නේ..? එතුමා මේ රට දාලා යන්නේ නැහැ. පාන්දර 1.30 ට පමණ ගිහින් අත්අඩංගුවට අර ගෙන දැන් ආයෙත් සාක්ෂි තියෙනවා කියලා කියනවා. සාක්ෂි හදලද දන්නෙත් නැහැ. අපි ඉල්ලීමක් කරනවා එතුමාට ඇපයක් ලබා දෙන්න කියලා. වැරැද්දක් කරලා තියෙනවා නම් උසාවියට ඉදිරිපත් කරන්න. නමුත් රිමාන්ඩ් කරලා වද දෙමින් හිරි හැර කිරිම ඇත්ත වශයෙන්ම අපි හෙළා දකිනවා.

මිත්‍රවරුනි, අපේ යටිනුවර ප්‍රධාන සංවිධායක ගැමුණු අබේසුන්දරගේ පවුල ගැන වචන කිහිපයක් කතා කරන්න කැමතියි. මේ ප්‍රදේශයේ සිංහල රජ කාලයේ ඉදන් ඉන්න පවුලක්. කන්ද උඩරට ඉතිහාසය කතා කරන කොට මිත්‍රවරුනි අවුරුදු 300 ක් කන්ද උඩරට රාජධානිය අපි ආරක්ෂා කෙරුවා. 1505 සිට 1815 දක්වා අවුරුදු 300 ක්. ඉංග්‍රීසීන් ඕලන්දකාරයින්, බ්‍රිතාන්‍ය ජාතිකයින් මේ කන්ද උඩරට අල්ල ගන්න හැදුවට බැරි වුණා. එහෙම බැරි වුණේ ඇයි..? මේ අබේසුන්දර පරපුර වැනි පරපුරේ අය නිසා. බලන ප්‍රදේශයේල බලන කොටුව මුල් කර ගෙන අවුරුදු 300 ක් යුරෝපීය ජාතීන් පරාජය කෙරුවේ අබේසුන්දර පරපුරේ අය කියන එක මම කියන්න කැමතියි. අද බෝහෝ දෙනෙක් දන්නේ ඉතා කෙටි ඉතිහාසයක්.

සමගි ජන බලවේගය යටිනුවර ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමේ මෙම අවස්ථාව සදහා හිටපු ආමාත්‍ය ලකී ජයවර්ධන සහ යටිනුවර සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ගැමුණු අබේසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

 

 


 

Advertiesment