Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


ලොකු වැඩ කළ පුංචි මිනිසා-ආර් ප්‍රේමදාස 


2021-04-27 15508

රණසිංහ ප්‍රේමදාස කළ සමාජ-ආර්ථික-දේශපාලන පෙරළියේ තරම 

 

ආර් ප්‍රේමදාස වටින්නේ එදාට-අදට වඩා හෙටටය

 

රටේ නායකයා මැරුණාම රතිඤ්ඤා ගැසීමෙන් හෙළි වන සමාජ කුරිරුකම

 

සමාජ කුරිරුකමට එරෙහි වූ රණසිංහ ප්‍රේමදාසට සමාජය කුරිරු වූ හැටි  

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

2021 මැයි මස පළමු වැනිදාට යෙදී තිබෙන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් මෙම විශේෂ ලිපිය මෙසේ පළ කෙරේ.    

 

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සුවිශේෂී දැක්මක් තිබුණු සහ එම දැක්මට අනුව රටත් සමාජ ක්‍රමයත් ගොඩනැගීමට අප්‍රතිහත ධෛර්යයකින් ක්‍රියා කළ විරළ ගණයේ ජන නායකයෙකි. ඔහුගේ අනපේක්ෂිත වියෝව අප රටේ අභාග්‍ය සම්පන්න කාලයක සහ දූෂිත දේශපාලන ක්‍රමයක ආරම්භය සනිටුහන් කළේය. 

රණසිංහ ප්‍ර්මෙදාස ජනාධිපතිවරයා සාමාන්‍ය ජනතාව අතරින් සමාජ සේවය ආරම්භ කළ කෙනෙකු හැටියට ජන හඬ, ජන හද සහ ජන දුක යන සියල්ල හොඳින් හැඳින ගෙන සිටියේය. සිය තරුණ කාලයේ පටන් ඔහුගේ සිත අභ්‍යන්තරයේ පැන නැගුණු මහත් ගැටලුවක් විය. එනම් විසම සමාජ ක්‍රමයක් නිසා පොදු ජනතාව පීඩාවට ලක් වී සිටීමයි. එහිලා ඔහු විසම සමාජ ක්‍රමයක පැතිකඩ විමර්ශනය කිරීමට පෙළඹුණේය. 

සමාජ ක්‍රමය විසම වූයේ කෙසේද..? සමාජ විෂමතාව දුරලිය හැක්කේ කෙසේද..? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්ද..? එම ක්‍රමවේදය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද..? සමාජ සමානාත්මතාව පිරි සමාජ ක්‍රමය කෙතරම් සුන්දරද..? මෙවැනි තර්ක ඔස්සේ ඔහු සමාජ ක්‍රමය පිළිබඳ නිශ්චිත වැටහීමක් ලබා ගත්තේය. ඉන් පසු ඔහු සිය ගමන් මඟ තෝරා ගත්තේය. එම ගමන් මඟ සමාජ සේවය යි. නිහතමානී ලෙස කොළඹ නගර සභාවෙන් ආරම්භ කළ සමාජ සේවය නිහතමානී ජනාධිපතිවරයෙකු ලෙස අවසන් කළ ඔහු, " මීට ඔබේ යටහත් සේවක - ආර්. ප්‍රේමදාස" යනුවෙන් ලිපි අත්සන් කිරීම පුරුද්දක් කොට ගෙන සිටි එකම ජනාධිපතිවරයා විය.

සමාජ ක්‍රමය වෙනස් කිරීමට නම් පුද්ගල බද්ධ වෙනස්කම් සිදු කළ යුතු බව ඔහු විශ්වාස කළේය. පුද්ගලයාගේ සිතුවිලි යහපත් විය යුතුය. පුද්ගල චර්යා යහපත් විය යුතුය. ඒ අනුව ආගම දහම ජීවනයේ මාර්ගෝපදේශකයා විය යුතුය. සංස්කෘතික හැදියාව නොකෙලෙසිය යුතුය. ගුරු-දෙගුරුන්ට, වැඩිහිටියන්ට සහ පුජක පක්ෂයට ගරු කිරීමට පුරුදු විය යුතුය. සාහිත්‍ය සහ කලාව ජීවිතයේ කොටසක් කර ගත යුතුය. දැහැමි මාර්ගවලින් ආදායම් ඉපයිය යුතුය. ඒ සඳහා ධෛර්ය වැඩිය යුතුය. අනුන්ට අතපා ජීවත් වීමෙන් මිදිය යුතුය. ස්වෝත්සාහයෙන් වැඩ කළ යුතුය. සෑම පුද්ගලයෙකුටම සමානව සැලකීමට පුරුදු විය යුතුය. සෑම පුද්ගලයෙකුම සතු අයිතියට ගරු කළ යුතුය. ජීවිතයත්, ගෙදර දොරත්, පරිසරයත් ලස්සනට තබා ගත යුතුය. ලස්සනට සහ පිරිසිදුවට ඇඳ පැළඳ සිටිය යුතුය. ගෙදර දොරේත් වැඩපොලේත් පිළිවෙළ පවත්වා ගත යුතුය. හොර බොරු වංචා යනාදියෙන් වැළකිය යුතුය. 

මෙම පුද්ගල ගුණාංග දියුණු කිරීමෙන් සමාජ ක්‍රමය දියුණු කළ හැකි බවත් සුන්දර රටක් නිර්මාණය කළ හැකි බවත් රණසිංහ ප්‍රේමදාස තරයේ විශ්වාස කළේය. ඒ සඳහා ඔහු ප්‍රථමයෙන්ම සිදු කළේ ඔහුගේ චරිතය ආදර්ශවත් ලෙස හැඩ ගස්වා ගැනීමයි. "මාව ඝාතනය කළාට කමක් නෑ. ඒත් මා කුඩා කල පටන් හදා ගත් මගේ චරිතය ඝාතනය කරන්න එපා..." යනුවෙන් මඩ මාධ්‍ය කරුවන්ගෙනුත් මජර දේශපාලඥයන්ගෙනුත් ඔහු ඉල්ලා සිටියේ එබැවිනි. 

සුචරිතවත් සමාජයක් නිර්මාණය කිරීම පිණිස ඔහු සුචරිත ව්‍යාපාරය ආරම්භ කළේය. එමගින් යහපත් ජීවන ධර්මතා සමාජයේ  පෝෂණය කිරීමට මහන්සි ගත්තේය. එම ව්‍යායාමයම ඔහු දේශපාලනය කෙරෙහි යොමු කළේය. රණසිංහ ප්‍රේමදාස සිය සමාජ චින්තනය කවිය මගින් ව්‍යක්තව ඉදිරිපත් කළේය. රට ජාතිය, ආගම දහම සහ මිනිසුන් ගැන ඔහු කවි ලීවේය. දේශානුරාගී කවි සහ ගීත රචනා කළේය. සමාජ ප්‍රශ්න විවරණය කරන නවකතා ලීවේය. චිත්‍රපට තිර පිටපත් ලීවේය. කලාකරුවන් මිතුරන් ලෙස ඇසුරු කළේය. ඔවුන්ට අතහිත දුන්නේය. යාචකයන්ගේ හැකියාවන් හැඳින ගෙන එම හැකියාවන් සමාජයට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දුන්නේය. ධනවතා ද දුගියා ද එකම මිනිසුන් කොට්ඨාශයක් ලෙස ඔහු දැක්කේය. මේ සියල්ල ඔස්සේ ඔහු පන්ති මානසිකත්වයෙන් ලෙඩවූ ජන මනස නිරෝගිමත් කිරීමටත් ප්‍රබෝධවත් කිරීමටත් මහන්සි ගත්තේය. 

"පෙරදිග අහසේ පෙරමුණ අර ගෙන - සිතිවිලි නව හිරු කිරණ නැගේ" - "දාගැබ් මහා වැව් බැන්දේ නුබයි පුතේ" - "සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ -උදා ඉරක් පායයි" - "උත්සාහය උක් දණ්ඩක් වැන්නේ වැළදූ පසුවයි මිහිර දැනෙන්නේ" යන ගීත රණසිංහ ප්‍රේමදාස අතින් ලියැ වුණේ ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ වූ අවංක සහ අව්‍යාජ අපේක්ෂාවන් පිළිබිඹු කරමිනි.  

ආචීර්ණ කල්පික ක්‍රම සහ ආකල්ප නිසා සමාජ සහ ආදායම් විෂමතාව හට ගන්නා බව තේරුම් ගත් ඔහු ඒ සඳහා පිළියම් සෙවීය. ඔහුගේ පිළියම් ජාත්‍යන්තර න්‍යායන්ගෙන් උකහා ගත් ඒවා නොවීය. ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ ජනිත වූ සරල සංකල්ප ඔස්සේ සමාජ පෙරළියක් කිරීමට ඔහුට පුරුද්දක් සේම හැකියාවක් ද විය. ඒ සඳහා දක්ෂ සහ යෝග්‍ය පිරිස් සොයා ගැනීමට ඔහුට අනුපමේය ඉවක් තිබුණි. 

නිවාස හිඟය පිටු දැකීමට ඔහු උදාගම් ව්‍යාපාරය ආරම්භ කළේය. නිවාස වැඩි දියුණු කර ගැනීමට ණය ක්‍රමයක් ආරම්භ කළේය. නිවාස සංවර්ධනය සඳහා සෙවන ලොතරැයිය සහ නිවාස බැංකුව ආරම්භ කළේය. එදා තිබුණු පොල් අතු පැල්පත් සියල්ල කඩිනම්ව පියකරු නිවාස බවට හැරුණේය. නිවාස සහ ඉදිකිරීම් දියුණු වත්ම ඒ හා බැඳුණු දේශීය කර්මාන්ත රැසක් ද, ඉදිකිරීම් තාක්ෂණය ද වැඩිදියුණු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද රණසිංහ ප්‍රේමදාසගේ නිවාස සංවර්ධන වැඩසටහන මහ ඉහළින් පිළි ගෙන ඊට ලොව හොඳම ජනාවාස වැඩසටහනට ලැබෙන සම්මානය ද පිළි ගැන්වූවේය. 

ආදායම් විෂමතාව දුරු කිරීම පිණිස උදාගම් ව්‍යාපාරය ආරම්භ කළ ඔහු, ඒ ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධනය ඉලක්ක කළේය. ප්‍රාදේශීය සංවර්ධනය බලහත්කාරයෙන් කළ නොහැක්කක් බව සංවර්ධන විශේෂඥයන්ගේ මතය වුවත් රණසිංහ ප්‍රේමදාස සිය ප්‍රාදේශීය සංවර්ධන සංකල්පය සමග පෙරට ගියේ ඔහුගේ චින්තනය පිළිබඳ ඔහුට තිබූ විශ්වාසය සහ අධිෂ්ඨානය එකී න්‍යායන්ට වඩා බලවත් වූ නිසාය. තෝරා ගත් පසුගාමී ප්‍රදේශයක මංමාවත් වැඩි දියුණු කොට කර්මාන්ත ශාලා කිහිපයක් සහ රජයේ කාර්යාල කිහිපයක් එකවර ආරම්භ කොට එම ප්‍රදේශයේ රැකියා දහස් ගණනක් ජනිත කිරීම සිය ඉලක්කය විය. ඒ ඔස්සේ ඔහු එම ප්‍රදේශ වාසීන්ට මාසිකව රුපියල් මිලියන ගණනක නව ආදායමක් ඉපයීමට සැලැස්වීය. ඒ කෙරෙන් හට ගත් නව ඉල්ලුම ඔස්සේ එම තදාසන්න ප්‍රදේශවල වෙළදාම දියුණු කොට තිරසාර ප්‍රාදේශීය සංවර්ධනයක් සාක්ෂාත් කළේය. නව ආදායම් ඔස්සේ එම ප්‍රදේශ ඊළඟට නිෂ්පාදන, වෙළෙඳ සහ පාරිභෝජන කලාප බවට පත් විය. දඹුල්ල, කැකිරාව, මිහින්තලේ සහ මහියංගනේ ඇතුළු ප්‍රදේශ රැසක් නව නගර බවට කෙමෙන් පත් වූයේ තිරසාර ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ යථාර්ථවත් රණසිංහ ප්‍රේමදාස දර්ශනය නිසාය.

සමාජ විෂමතාව නිසා රාජ්‍ය පරිපාලන සේවාවන් ලබා ගැනීමේ දුෂ්රතාවට පත්ව දිසාපති කාර්යාල ක්‍රමය ඔස්සේ සාමාන්‍ය ජනතාව පීඩා විඳින බව වටහා ගත් ඔහු ජනයා ඉන් මුදා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රමය හඳුන්වා දුන්නේය. එක දිස්ත්‍රික්කයකට එවැනි ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපය බැගින් හඳුන්වා දී රාජ්‍ය පරිපාලනය මහා ජනයා සමීපයට ගෙන ගියේය. 

ඒ ඒ ප්‍රදේශවල ජනයාට පහසුවෙන් සේවා ලබා ගැනීමට එමගින් අවස්ථාව සලසා දී ඔවුන් එතෙක් විඳි පීඩාවලින් මුදා ගත්තේය. එපමණකින් නොනැවතී රාජ්‍ය පාලනය ද ගමට ගෙන යාමේ පියවර තැබුවේය. ඒ අනුව ප්‍රාදේශීය සභා ක්‍රමය පිහිටුවා දේශපාලන බල අධිකාරිය ගමට ගෙන ගොස් එමගින් ප්‍රාදේශීය පාලනය පහසු කළේය. ඔහුගේ ඊළඟ අපේක්ෂාව වූයේ ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවා ගමේ ගැටලු කඩිනමින් විසඳා ගැනීමට ප්‍රවේශයක් ලබා දීමය. ආදායම්, පරිපාලන සහ දේශපාලන විෂමතා දුරලීමට ඔහු ගත් පියවර නිසා අද දකින ප්‍රාදේශීය සංවර්ධනයටත් සමාජ සමානාත්මතාවටත් මග පෑදුණේය.

කාර්යාලයේ සහ වැඩ පොළේ කාර්යක්ෂමතාවය සේම සඵලදායිතාවය සංවර්ධනය කිරීම ඔහුගේ මූලික ඉලක්කයක් විය. කාර්යක්ෂමව වැඩ කිරීමෙන් දිනකට විශාල වැඩ කොටසක් ඉටු කර ගත හැකි බැවින් සේවා ලාභීන් රස්තියාදු නොකොට ඔවුන් තෘප්තිමත් වන පරිදි සේවා සැලසීමට හැකි වන බව ඔහු විශ්වාස කළේය. තවද සඵලදායි ලෙස වැඩ කිරීමෙන් රජයේ ව්‍යාපෘතිවලින් මහා ජනයාට මහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. කාර්යක්ෂමතාව සහ සඵලදායිත්වය ඔස්සේ නාස්තිය පිටු දැකීමට හැකි වන බව ඔහු දැන සිටියේය. එමෙන්ම රාජ්‍ය සේවයේ වංචාව, දූෂණය, කුරිරුකම, නිලධාරිවාදය, අසාධාරණය සහ පක්ෂපාතිත්වය යන අනර්ථයන් පිටු දැකීමට ඔහු ඍජුව මැදිහත් විය. රාජ්‍ය සේවයේ ඉහළම කාර්යක්ෂමතා මට්ටමක් පවත්වා ගැනීමට ඔහු සමත් විය. ඉන් නොනැවතී ජනපති ජංගම සේවය ඔස්සේ ද මහා ජන පීඩාවන් දුරලීමට ඔහු මැදිහත් විය. ඔහුගේ දේශපාලනයේ වූ එකම අපේක්ෂාව වූයේ පරාර්ථයයි. 

සමාජ විෂමතා නිසා හට ගෙන තිබුණු ඇති-නැති පරතරය සහ දුගී දුප්පත්කම පිටු දැකීමට ඔහු තරම් වෙහෙසුණු කෙනෙකු නැත. අධ්‍යාපනය, කුලය, ගෝත්‍රය, ජාතිය, ජන්මය යනාදිය විසින් නිර්මාණය කර තිබුණු අසාධාරණකම් ප්‍රහීන කොට ඇති-හැකි සමාජයක් සහ සමානාත්මතා සමාජයක් ගොඩනැගීම පිණිස ඔහු ඔහුටම ආවේනික සංකල්ප රැසක් පෙරදැරිව ක්‍රියා කළේය. 

දිළිඳු පවුල්වල උගත් තරුණ තරුණියන්ට ගුරුපත්වීම් ලබා දෙමින් ද, රජයේ රැකියා ලබා දීමේ දී දේශපාලන බලපෑම ඉවත් කිරීම සඳහා විභාග ක්‍රමයක් හඳුන්වා දෙමින් ද, ඒ ඔස්සේ සුදුස්සාට සුදුසු තැන ලබා දීමට කටයුතු කරමින් සහ ගැමියන් ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය කෙරෙහි දිරි ගැන්වීම ඔස්සේ පවුලේ ආදායම් වර්ධනය කර ගැනීමේ මාර්ග විවර කරමින් අනුන්ට අත නොපා ජීවත් වීමේ ස්වෛරී පුද්ගල අගයන් මහා ජන සිත් සතන් හී පෝෂණය කිරීමට රණසිංහ ප්‍රේමදාස තරම් කැපවුණු රාජ්‍ය පාලකයෙකු නැත. ජන සවිය වැඩ සටහන නිර්මාණය කරමින් ඔහු එම වැඩ පිළිවෙළ සුබ සාධන ව්‍යාපෘතියකින් ඔබ්බට ගෙන ගියේය. එහිලා ද දක්නට ලැබුණේ සුබ සාධනයට වඩා වැඩි යමක් ඔස්සේ තිරසාර ලෙස ජනතාව ආර්ථික සහ ආකල්පමය වශයෙන් ශක්තිමත් කොට ඇති-නැති පරතරය දුරලීමයි. 

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට රජ මැදුරට වඩා දුගී පැල්පත සැපතක් විය. දරිද්‍රයන්ගේ පැල්පත්වලට ගොස් ඔවුන්ගේ දුකසැප විමසීම ඔහු අවංකවම කළ කටයුත්තක් විය. ඒ ඔස්සේ ඔහු පෙන්වූ නිහතමානිකම සමාජයේ මාන්නය බිඳ දැමීමටත් සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීමටත් ඔහු යොදා ගත්තේය. ඔහු රජ බොජුන් වැළඳුවේ නැත. රජ සැප වින්දේ ද නැත. සරළ සහ චාම් දිවි පෙවෙත රණසිංහ ප්‍රේමදාස අගය කළේය. ඔහුගේ දේශපාලනයේ අවස්ථාවාදය, වංචාව, දුෂණය සහ දුරාචාරය නොවීය. ඔහු අවංක විය. සරල විය. එඩිතර විය. නොපසුබට විය. ජනතා වාදී විය. පොඩි මිනිසාගේ පැත්ත ගත්තේය. මේ නිසාම ඔහුට දේශපාලන සතුරන් බහුල විය. සතුරු කුමන්ත්‍රණ ද බහුල විය. එහෙත් ඔහුට ඒකායන ප්‍රාර්ථනාවක් විය. ඒ ඇති-නැති පරතරය පිටු දැක සාධාරණ සහ සමානාත්මතා සමාජ ක්‍රමයක් ගොඩනැගීමයි. ඒ සඳහා ඔහු දිවා රෑ වෙහෙස නොබලා වැඩ කළේය. එමගින් ඔහු සමාජ පෙරළියක් කිරීමට සමත් විය. 

රණසිංහ ප්‍රේමදාස කළ ඒ මහත් සමාජ පෙරළියේ භෞතික ස්වරූපය පමණක් ඔහුගේ ඇවෑමෙන් ඉතිරි විය. අධ්‍යාත්මික ස්වරූපය මිනිසුන්ගෙන් ගිළිහී ගියේය. සොඳුරු මිනිසුන් බිහි කිරීමේ ආර් ප්‍රේමදාසගේ සුන්දර සිහිනය යතාර්ථයක් නොවීය. ඔහු සමාජ කුරිරුකමට එරෙහි විය. එහෙත් සමාජය ඔහුට කුරිරු විය. ඒ සමාජ කුරිරුකම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවය සැල වූ මොහොතේ රතිඤ්ඤා දැල්වීමෙන් ප්‍රදර්ශනය කරනු ලැබීය. අද අප ජීවත් වන්නේ රණසිංහ ප්‍රේමදාසයන් පැතූ සොඳුරු සමාජයේ නොව අවස්ථාවාදීන් හැදූ දූෂිත කුරිරු සමාජයේය. රණසිංහ ප්‍රේමදාසගේ වටිනාකම සමාජයට තේරුම් ගියේ ඔහු මිය ගියාට පසුවය. මේ ලෝකයේ රණසිංහ ප්‍රේමදාසලා  වැනි ශ්‍රේෂ්ඨ ජනතා සේවකයන් විරළය. ඔහු වටින්නේ එදාට වඩා අදටය. අදට වඩා හෙටට ය. 

 

Advertiesment