Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


හුදෙකලා සටන්වලින් ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරදවනු බැහැ


2021-04-25 3326

නිදහස-ස්වාධීනත්වය අගයන සියලු පුරවැසියන් පෙරට ආ යුතුයි 

 

කොරෝනා තුන් වැනි රැල්ලට හේතුව ආණ්ඩුවේ ඒකාධිපති බල වියරුවයි 

 

වසංගතය ගැන විද්වතුන් කළ පුරෝකථන ගණන් ගත්තේ නැහැ  

 

 

ආණ්ඩුවේ මර්දනයට මුහුණ දීම සඳහා සිය නිදහස සහ ස්වාධීනත්වය අගය කරන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් එකට එක්ව අත්වැල් බැඳ ගෙන එකමුතු විය යුතු අතර හුදෙකලා සටන්වලින් ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ නොහැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.  

ශ්‍රී ලංකාව දැන් නව කොවිඩ් රැල්ලකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව ඇත. මහා ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැනි වෘත්තීය සංවිධාන කිහිපයක් මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව සති ගණනාවක් තිස්සේ අපට අනතුරු ඇඟ වුවත් ඒවාට කන් දී අවශ්‍ය පියවර ගැනීම වෙනුවට, රජය ක්‍රියා කළේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර වූ තීරණාත්මක දින කිහිපයේ දී ස්වෛරීභාවයට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජන එල්ල කරන ව්‍යවස්ථාදායක උපක්‍රම නීති ගත කිරීමටයි. 

වරාය නගර පනත් කෙටුම්පත කඩිනමින් අනුමත කර ගැනීම සහ පාර්ලිමේන්තු යෝජනාවකින් අධිකරණය යටපත් කිරීමට දරන උත්සාහයන් කිසිසේත් දේශප්‍රේමී, විනය ගරුක හෝ වග කිව යුතු රජයක ක්‍රියාවන් නොවේ. වසංගතයට මුහුණ දීම වෙනුවට, අද වන විටත් පොලිසිය සහ අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සිය විචාරකයින් නිශ්ශබ්ද කිරීමට භාවිතා කළ හැකි ආයුද බවට පත් කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවී සිටීයි. 

ඔවුන්ගේ විවේචකයන් සමඟ සාකච්ඡා කිරීම හෝ ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම වෙනුවට රජය විරුද්ධ මතධාරීන් බිය කිරීමට හෝ සිර කිරීමට උත්සාහ කරමින් සිටියි.. අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොලිස් නිලධාරීන්, නීතිඥයින් සහ කවියන් රාජ්‍ය තන්ත්‍රය විවේචනය කිරීම, සිය රාජකාරිය අවංකව ඉටු කිරීම, සිය සේවාදායකයින් වෙනුවෙන් උසාවියේ පෙනී සිටීම සහ සිතුවිලි ජනිත කරන සාහිත්‍යය රචනා කිරීම හැර වෙනත් කිසිදු අපරාධයක් නොකොට සිර ගතව සිටියි. නිදහස් චින්තනය, විවාදය සහ අන්තර් ජාලයේ සාකච්ඡා කිරීම වාරණය කිරීම සඳහා නීති පැනවීමේ සැලසුම් ද රජය විසින් දැන් ප්‍රකාශයට පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු ගර්භයේ දී සිය කතා කිරීමේ වරප්‍රසාදය භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ගෙන යන පියවර ගැන අපි භීතියට හා කෝපයට පත් වෙමු. එවැනි හැසිරීමක් ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයකට නුසුදුසු ය. මෙම මධ්‍යස්ථවාදී නොවන ප්‍රතිපත්ති දිගටම පැවතුණ හොත්, ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව අතර තවදුරටත් හුදෙකලා වීමේ අවදානමක් ඇත. 

අප රටේ ස්වෛරීභාවයට සහ අපගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ඇති වන අවදානම් සදහා මෙසේ හුදෙකලා වෙමින් අපට මුහුණ දිය නොහැක. මෙම අභියෝග ජය ගත හැක්කේ සිය නිදහස සහ ස්වාධීනත්වය අගය කරන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් එකට එක්ව අත්වැල් බැඳ ගෙන එකමුතුව මෙම තර්ජනවලට මුහුණ දෙන්නේ නම් පමණි.
 
 

Advertiesment