Friday 14th of May 2021

English Tamil
Advertiesment


රටට වෙළෙඳ ප්‍රතිපත්තියක් නැහැ 


2021-04-22 1443

ආර්ථිකයේ අභ්‍යන්තර ඛේදවාචකයේ තරම මෙන්න

 

අය-වැය යෝජනාවලියෙන් ක්‍රියාත්මක වන්නේ 10%-12%ක් විතරයි  

 

රේගු බලධාරීන් දත්ත විකුණා සල්ලි ගෙදර රැගෙන යනවා 

 

ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික මාසික වෙළෙඳ දත්ත මාස 107ක් පරණයි

 

ප්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ සැබෑ දත්ත සහ තොරතුරු මත පදනම්වයි 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

අය-වැය යෝජනා ක්‍රියාත්මක වුණා ද, නැද්ද යන්න පිළිබඳව දැන ගැනීම සඳහාවත් මහා ජනතාවට හැකියාවක් සහ අයිතියක් නොමැති තත්ත්වය හමුවේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්නේ කෙසේදැයි ආර්ථික විශේඥ සහ "Verité" සමීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ සුභාෂිනී අබේසිංහ මහත්මිය ප්‍රශ්න කර සිටින්නීය.  
 
අය-වැය යෝජනාවල ඇති රුපියල් බිලියනයට වඩා වැඩි යෝජනාවලින් ක්‍රියාත්මක වන්නේ 10%ත් 12%ත් අතර ප්‍රමාණයක් පමණක් යැයි පෙන්වා දුන්  සුභාෂිනී අබේසිංහ මහත්මිය ශ්‍රී ලංකාවට වෙළෙඳ ප්‍රතිපත්තියක් නොමැති බව ද සඳහන් කළාය.

ආර්ථික විශේඥ සුභාෂිනී අබේසිංහ මහත්මිය මේ අදහස් පළ කළේ, ''ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බදාදා (21) සංවිධානය කෙරුණු පුරවැසි සම්මන්ත්‍රණයට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේ ද පැවසුවාය.  

21 වැනි ශත වර්ෂය ආරම්භ වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට විසි ගණනක ප්‍රතිශතයක්ව පැවැති අපේ රටේ අපනයනය මේ වන විට 14% දක්වා අඩු වී තිබෙනවා. මේ ප්‍රශ්නය සඳහා තිබෙන විසඳුම කුමක්ද..? මේ සඳහා තිබෙන සමහර විසඳුම් දේශපාලන වශයෙන් ඉතාම අභියෝගාත්මකයි. එවැනි විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන නායකයින්ට හොඳ දේශපාලන අභිමතාර්ථයක් තිබිය යුතුයි. එවැනි දේශපාලන අභිමතාර්ථ තිබෙන තමා ගැන සහ තමාගේ ඊළඟ ජන වරම ගැන නොසිතා රට ජනතාව ගැන සිතන දේශපාලන නායකයින් සොයා ගැනීම ඉතාම පහසුයි.

රටක් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවිය හැක්කේ ඊට අදාළව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙන් සහ එම ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මගින් බව කිව යුතුයි. එවැනි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ සහ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරයේ විශාල දුරවලතා රැසක් රටක් ලෙස ශ්‍රී ලංකාවේ තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සහ ආර්ථික ඉලක්ක ලබා දීමට රටක් ලෙස අප ඉතා දක්ෂයි. කෙසේ නමුත් සිය ආර්ථික ප්‍රකාශය ඔස්සේ යෝජනා කරන ආර්ථික ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකාවේ කිසිම රජයක් සමත් වී නැහැ.

රටේ ඒකපුද්ගල ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 5000 හෝ 10,000 දක්වා වැඩි කරන බවට ද, ආර්ථික වර්ධන වේගය 6%ක්, 8%ක් හෝ 10% දක්වා වැඩි කරන බවට ද, අය-වැය පරතරය 5% ට අඩු කරන බවට සහ රටේ විදේශීය ණය ප්‍රමාණය 60% ට අඩු කරන බවට ඇතුළු ආර්ථික ඉලක්ක ගණනාවක් ලබා දීමට සෑම රජයක්ම කටයුතු කරනවා.

සිය අය-වැය යෝජනාවලිය යටතේ සෑම රජයක්ම සෑම වර්ෂයක් අවසානයේදීම මෙම ආර්ථික ඉලක්ක ලබා දුන්නත් ඒ කිසිම රජයක් ඒ ඉලක්ක ජය ගැනීමට මේ දක්වාම සමත් වී නැහැ. ඊට හේතු විමසා බැලීම ඉතා වැදගත් බව කිව යුතුයි. අය-වැය යෝජනාවලිය කියන්නේ යම් රජයක ආර්ථික ප්‍රතිපත්තියට වාර්ෂිකව මුදල් වෙන් කෙරෙන මුල්‍ය ප්‍රකාශනයයි.

ඒ අනුව මෙම වාර්ෂික අය-වැය යෝජනාවලියෙන් කරන යෝජනා, අදාළ රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යෝජිත ආර්ථික ඉලක්ක වෙත ළඟා වීම සඳහා අතිශය වැදගත් වනවා. කෙසේ නමුත් මේ කියන අය-වැය යෝජනා සහ ඒ ඒ රජයන්වල ආර්ථික ප්‍රතිපත්ති අතර සම්බන්ධයක් තිබෙනවා ද යන ප්‍රශ්නය මතු වනවා. ඇත්ත වශයෙන්ම ඒ අය-වැය යෝජනා සහ ආර්ථික ප්‍රතිපත්ති අතර කිසිම සම්බන්ධයක් ඇත්තේ නැහැ.

ඒ ඒ රජයන් සිය අය-වැය යෝජනාවලිය මගින් වාර්ෂික රටට-ජනතාවට ලබා දෙන මේ පොරොන්දු කෙතරම් දුරට ඉටු වනවා ද, නැද්ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු වනවා. මහා ජන මුදල් වැය කර පාර්ලිමේන්තුවක් ඉදිරියේ සෑම වර්ෂයකම අවසානයේ දී රටේ මුදල් අමාත්‍යවරයා මෙම අය-වැය යෝජනාවලිය රටට ඉදිරිපත් කරනවා. එම යෝජනාවලිය මගින් කියා සිටින්නේ මහා ජනතාගේ සුභ සිද්ධිය සඳහා එම ජනයාගෙන්ම අය කර ගන්නා බදු මුදල් වියදම් කරන්නේ කෙසේද කියායි.

ඒ අනුව එම අය-වැය යෝජනා පාර්ලිමේන්තුවේ දී අනුමත වුණාට පසුව ඊට වගකීමක් තිබිය යුතුයි. කෙසේ නමුත් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුතු අය-වැය යෝජනා අතරින් ක්‍රියාත්මක වන්නේ 10%ත් 12%ත් අතර ප්‍රමාණයක් පමණක් බව ඔබ දන්නවා ද..? මේ තත්ත්වය  රටේත් ජනතාවගේත් අවාසනාවක් බව කිව යුතුයි.

ඉතාම අවාසනාවන්ත සහ කණගාටුදායක තත්ත්වය වන්නේ අය-වැය යෝජනාවක් ක්‍රියාත්මක වුණා ද, නැද්ද යන්න පිළිබඳව දැන ගැනීම සඳහා මහා ජනතාවට හැකියාවක් ඇත්තේ නැහැ. ඊට හේතු වී ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පවා මේ තොරතුරු ඉල්ලුවත් අදාළ රාජ්‍ය ආයතන මහා ජනතාව වෙත එම තොරතුරු ලබා නොදීමයි.

මහා ජනතාවගේ බදු මුදල් වියදම් කර, මහා ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන ආකාරයට අදාළව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ අය-වැය යෝජනාවලිය සම්බන්ධයෙන් මහා ජනතාවට තොරතුරු ලබා දීම මහා ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන මහා ජන ආයතන ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද..? 

රටේ අය-වැය යෝජනා සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන වාතාවරණය සහ ඒ සම්බන්ධ වග කිව යුත්තන් කිසිම වගකීමක්-වගවීමක් නොමැතිව ක්‍රියා කරන තත්ත්වය හමුවේ, ආර්ථික ප්‍රතිපත්ති ගැන අප කෙතරම් කතා කළත් රට සංවර්ධනය කිරීම ඉතා අභියෝගාත්මක බව කිව යුතුයි.

මේ අතර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් රටේ මේ වන විට විශාල සංවාදයක් ඇති වී තිබෙන අතර එම සංවාදය අභ්‍යන්තරයේ තිබෙන ලොකුම විවේචනය වන්නේ මේ වෙළෙඳ ගිවිසුම් ගැන මනා අධ්‍යනයක් සිදු නොකෙරෙන බවයි. මෙම වෙළෙඳ ගිවිසුම්වලින් අපේ රටට ලැබෙන වාසි-අවාසි කවරේද කියා කිසිම අධ්‍යනයක් කෙරෙන්නේ නැහැ. ඒ වගේම විශේෂතම කාරණය වන්නේ අපේ රටට වෙළෙඳ ප්‍රතිපත්තියක් නොමැති වීමයි.

ඒ ඒ වෙළඳ ගිවිසුම්වල වාසි-අවාසි ගැන සලකා බලමින් විධිමත් වෙළෙඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට නම්, රටක් ලෙස අප ආයෝජනය කළ යුත්තේ කිනම් ක්ෂේත්‍ර සඳහා ද,  අපනයනය කළ යුත්තේ කිනම් භාණ්ඩ සහ සේවාවන් ද, ඒ කිනම් රටවල්වලට ද සහ අපට තරඟකාරීත්වයක් තිබෙන්නේ කිනම් ස්ථානවල ද යන්න පිළිබඳ තොරතුරු අපට අවශ්‍ය වනවා.

මේ රටේ වෙළෙඳ ප්‍රතිපත්ති සකස් කෙරෙන්නේ කෙසේද..? සුළු පිරිසක් කාමරයකට රැස් වනවා. එකිනෙකාගේ අදහස් සහ යෝජනා විමසනවා. ඒ අදහස් සහ යෝජනාවලට අනුව ප්‍රතිපත්තිය සකස් කරනවා. මේ අදහස් සහ යෝජනා ලබා දෙන අයට විදේශ වෙළෙඳාම ප්‍රාමාණික දැනුමක් තිබෙනවා ද..? ඒ ගැන නිසි අවබෝධයක් තිබෙනවා ද..? ඒ පිළිබඳ දත්ත ඒ අය සතුව තිබෙනවා ද..?

විධිමත් වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ දී හෝ විදේශ වෙළඳ ගිවිසුමකට අත්සන් තබා එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ දී ඒ පිළිබඳව පූර්ව කරුණු විශ්ලේෂණය කර එහි වාසි-අවාසි ගැන තක්සේරුවක් ලබා ගැනීම සඳහා අපට දත්ත අවශ්‍ය වනවා. ඒ කයන්නේ ආනයන-අපනයන දත්ත. ශ්‍රී ලංකාව ආනයනය කළේ සහ අපනයනය කළේ මොනවා ද යන්න පිළිබඳ තොරතුරු. 

ඔබ සිතන්නේ මේ දත්ත ලබා ගැනීම පහසුයි කියා ද..? මේ දත්ත එකතු කරන්නේ ශ්‍රී ලංකා රේගුවයි. ශ්‍රී ලංකාව හැර ලෝකයේ සෑම රටක්ම මේ දත්ත අන්තර් ජාලය හරහා සිය පුරවැසියන්ට ලබා දෙන්නේ නොමිලයේයි. නමුත් අපේ රටේ රේගුව මේ දත්ත සඳහා අය කරනවා. ඒ කියන්නේ විකුණනවා. මේ දත්ත සඳහා කොපමණ මුදලක් අය කරනවා ද, ඒ සඳහා කතා කළ යුත්තේ කවුරුන්ට ද යන්න පිළිබඳව දැන ගැනීමට මාර්ගයක් ඇත්තෙත් නැහැ. 

කෙසේ නමුත් යම්කිසි රාජ්‍ය ආයතනයක් සිය දත්ත ලබා දීම සඳහා ගාස්තු අය කරනවා නම් ඒ ගාස්තු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කළ යුතු බව තොරතුරු දැන ගැනීමේ පනතේ පැහැදිළිව සඳහන් වනවා. නමුත් ශ්‍රී ලංකා රේගුව එවැන්නක් ප්‍රකාශයට පත් කර නැහැ. එම දත්ත ලබා ගැනීම සඳහා කතා කළ යුත්තේ කිනම් අයෙකුට ද කියා ඒ අයගේ වෙබ් අඩවියට ගොස් සොයා ගැනීමට හැකියාවක් ඇත්තේ ද නැහැ.

අනතර් ජාතික වෙළෙඳාම ගැන මනා අධ්‍යනයක් කිරීමට නම් ඒ සඳහා ශ්‍රී ලංකාවේ දත්ත පමණක් විශ්ලේෂණය කිරීම ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ලෝකයේ ආනයන-අපනයන සහ අපත් සමග තරඟ කරන අනෙකුත් තරඟකරුවන් ගැන අපට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන එකට එක්ව ගොඩනගා ඇති ජාත්‍යන්තර වෙළෙඳ දත්ත ගබඩාවෙන් (UN Comtrade Database) අපට ඒ අවබෝධය ලබා ගත හැකියි.

රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ ඕනෑම රටක් සමග විදේශ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරනවා නම් ඒ රටට අප අපනයනය කරන භාණ්ඩ ඒ රට තවත් රටකින් ආනයනය කරනවා ද, අපත් එක්ක තරඟ කරන ඒ අයට ඒ රටේ තිබෙන තරඟකාරීත්වයේ ස්වභාවය කෙබඳු ද සහ ඒ රට අපේ තරඟකරුවාට ලබා දී තිබෙන බදු සහන ඇතුළු පහසුකම් මොනවාද යන්න පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි.

එමනිසා මේ දත්ත ගබඩාවල දත්ත ගොනු ඉතා වැදගත් වන නමුත් ශ්‍රී ලංකාවේ මාසික දත්ත, ජාත්‍යන්තර වෙළෙඳ දත්ත ගබඩාවේ (UN Comtrade Database) 2017න් පසුව යාවත් කාලීන වී නැහැ. ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික මාසික වෙළෙඳ දත්ත මාස 107ක් පරණයි. එනමුත් ඉන්දියාවේ සහ පාකිස්ථානයේ අන්තර් ජාතික මාසික වෙළෙඳ දත්ත 2020 ඔක්තෝබර් දක්වා යාවත් කාලීන වී තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව මෙසේ ක්‍රියා කරන්නේ ඇයි..? ලෝකයේ සෑම රටකම මහා ජන ආයතන මහා ජන මුදල් වියදම් කරමින් අති විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරනවා. මේ දත්ත පොදු දේපොළක් කියා ලෝකයේ සෑම රටක්ම පිළි ගෙන තිබෙනවා. එම දත්ත පොදු දේපොළක් නම් එම දේපොළ භුක්ති විඳීමේ අයිතිය මහා ජනතාවට තිබිය යුතයි.

කෙසේ නමුත් මහා ජන මුදල් වියදම් කරමින් රැස් කළ අතිශය වැදගත් දත්ත විකුණා ඒ ලැබෙන මුදලින් 40%ක් ඒකාබද්ධ අරමුදලට දී ඉතිරි 60% ගෙදර ගෙන යාමට මුදල් අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකා රේගු බලධාරීන්ට බලය පවරා දී තිබෙනවා. මේ අනුව මේ දත්ත විකිණීමෙන් රේගු බලධාරීන් 2017 දී පමණක් රුපියල් ලක්ෂ 80ක් උපයා ගෙන තිබෙනවා. ඒ කයන්නේ දත්ත සහ තොරතුරු රැස් කරන නිලධාරීන් රුපියල් ලක්ෂ 32ක් ඒකාබද්ධ අරමුදලට දී රුපියල් ලක්ෂ 48ක් ගෙදර ගෙන ගොස් තිබෙනවා.

මේ දත්ත අදාළ පර්යේෂකයන් ඇතුළු ඒ ඒ පාර්ශව සඳහා නිදහසේ ලබා ගැනීමට ඇති හැකියාව වර්ධනය කිරීමට ලෝකයේ  අනෙකුත් සෑම රටකම රජයන් ක්‍රියා කරද්දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ ඊට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධවයි. මේ තත්ත්වය හමුවේ අප විවිධ වෙළෙඳ ගිවිසුම් සහ ප්‍රතිපත්ති ගැන කතා කළත් ඒ ගැන විධිමත් විශ්ලේෂණයක් කිරීමට අවශ්‍ය දත්ත ඉතා අපහසුයි. ප්‍රතිපත්ති සම්පාදනය කරද්දී ඒ ගැන සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීම අතිශය වැදගත් වගේම එහිදී ඒ ඒ දත්ත විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් වන බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ ආනයන බදු ඉතා ඉහළයි. ඒ නිසා බදු සහන ඉතා වටිනවා. තීරු බදු නිදහස් කරන භාණ්ඩ ලැයිස්තුවක් සෑම අය-වැය යෝජනාවලියකින්ම පසුව මුදල් අමාත්‍යංශයෙන් නිකුත් කෙරෙන බව අප දන්නවා. කෙසේ නමුත් මේ බදු සහන යටතේ ආනයනය කරන භාණ්ඩ සහ සේවා පිළිබඳ තොරතුරු ද ශ්‍රී ලංකා රේගුව ලබා දෙන්නේ නැහැ.

යම් කිසි ප්‍රතිපත්තියක්, කොන්දේසියක් හෝ වැඩ සටහනක් ඉදිරිපත් කළාට පසුව එමගින් අපේක්ෂිත අරමුණු ඉටු වුණා ද, එම ඉලක්ක වෙත ළඟා වුණා ද සහ එමගින් සාර්ථක ප්‍රතිඵල අත් වුණා ද යන්න පිළිබඳව ඇගයීමක් කිරීම ඉතාම වැදගත් වනවා. ඇත්ත වශයෙන්ම රටක් ලෙස ශ්‍රී ලංකාවේ එවැනි ඇගයීමක් කෙරෙන්නේ නැහැ. ශ්‍රී ලංකා රේගුව මේ දත්ත ලබා දෙන්නේ නම් ඒ ඒ ප්‍රතිපත්තිමය තීරණ මගින් අපේක්ෂිත අරමුණු ඉටු වුණා ද, නැද්ද යන්න පිළිබඳව ඇගයීමක් කිරීමට හැකියාව තිබෙනවා.

රටක් බදු සහන යෝජනාවලියක් ක්‍රියාත්මක කරන්නේ යම් කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙනුයි. නමුත් මෙම තත්ත්වය යටතේ එම බදු සහන කවුරුන් හෝ පාවිච්චි කළා ද සහ එමගින් ප්‍රයෝජනයක් ලැබුණා ද කියා අප කවුරුත් දන්නේ නැහැ. එම නිසා මහා ජන ආයතන සතු දත්ත අන්තර් ජාලය හරහා ප්‍රතිපත්තියක් ලෙස නොමිලයේ ලබා දීමට රජය සහ මහා ජන ආයතන ක්‍රියා කළ යුතුයි. 

මේ අනුව රටක ප්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ සැබෑ දත්ත සහ තොරතුරු විශ්ලේෂණය මත පදනම්ව බව කිව යුතුයි. එමෙන්ම එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනවා ද, ඒ සඳහා ක්‍රියාකාරී සැලසුම් තිබෙනවා ද යන්න පිළිබඳව සොයා බැලිය යුතුයි. ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුමක් තිබිය යුතුයි. යම් ප්‍රතිපත්තියකට නිසි ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට නම් එමගින් යෝජිත ක්‍රියාකාරකම් සඳහා කාල රාමුවක් සහ අරමුදල් අවශ්‍ය වනවා. එමෙන්ම ඒ සඳහා විධිමත් අධීක්ෂණයක් අවශ්‍යයි.

මහා ජන ආයතන පාර්ලිමේන්තුව වෙත සිය කාර්ය සාධන වාර්තා ලබා දෙනවා. ඒ කාර්ය සාධන වාර්තාවල තිබෙන්නේ මොනවා ද..? ඒ සියල්ල හුදු ක්‍රියාකාරකම් පදනම් කර ගත් වාර්තා විනා ප්‍රතිඵල මුල් කර ගත් වාර්තා නොවෙයි. මේ තත්ත්වය විශාල ගැටලුවක් බව කිව යුතුයි. එමනිසා මේ රටේ තිබෙන ප්‍රශ්න විසඳා ගෙන ආර්ථික වශයෙන් රට දියුණු කිරීමට නම් ප්‍රතිපත්ති සම්පාදනයට සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළව තිබෙන මෙම බරපතළ දෝෂ නිවැරදි කර ගෙන ඉදිරියට යාම අත්‍යවශ්‍යයි.     

Advertiesment