Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


වරාය නගරය ගැන තීරණය ජාත්‍යාලයෙන් යුතුව ගනු  


2021-04-22 2844

වරාය නගර පනත ව්‍යවස්ථා විරෝධීයි 

 

රටට-ජනතාවට යහපතක් වන පනතක් ඉදිරිපත් කරනු 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

නීති විශාරදයින්ගේ මතයට සහ අධිකරණ තීන්දුවට ගරු කරමින් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ජාත්‍යාලයෙන් යුතුව බුද්ධිමත් ලෙස ක්‍රියා කිරීමට රජය වහාම ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.  

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මේ වන විට අවුලක් බවට පත් වී ඇත්තේ කිසිම සාකච්ඡාවකින් තොරව අසාමාන්‍ය කොන්දේසි ඇතුළත් කර ව්‍යවස්ථා විරෝධි ලෙස එම ව්‍යාපෘතියට අදාළ පනත ඉදිරිපත් කර ඇති නිසා බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා එම නිසා සාකච්ඡා මාර්ගයෙන් රටට යහපතක් වන ආකාරයට එම පනත යළි සකස් කර ඉදිරිපත් කිරීමට රජය වහාම ක්‍රියා කළ යුතු යැයි ද සඳහන් කළේය. 

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, ''ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස'' යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ ''ජානකී'' හෝටලයේ දී බදාදා (21) සංවිධානය කෙරුණු පුරවැසි සම්මන්ත්‍රණයට එක් වෙමිනි.

''ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස'' යන තේමාව යටතේ මෙහිදී, පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හිටපු සභාපති සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය රොහාන් සමරජීව සහ සුභාෂිනී අබේසිංහ යන මහත්ම මහත්මීන් ද විශේෂ දෙසුම් පැවැත්වූ අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේ ද කීය.   

ආර්ථිකය ශක්තිමත් රටක ජීවත් වන ජනතාවට හොඳ ජීවන තත්වයක් ලැබෙනවා. සෑම පුරවැසියෙකුටම අවශ්‍ය එවැනි රටක ජීවත් වීමටයි. 1948 නිදහස ලැබෙන විට ආර්ථික වශයෙන් අප ශක්තිමත් රටක්ව පැවැතුණා. අප ණය නොමැති ජාතියක්ව සිටියා. එමෙන්ම ආසියාවේ ආදර්ශමත්ම රටක් වුණා.
කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් සේම ස්වාධීන අධිකරණයක් සහ නීති පද්ධතියක් ක්‍රියාත්මක වූ වාසනාවන්ත දේශයක් වුණා. ස්වාභාවධර්මය අපට උරුම කර දී තිබෙන්නේ ඉතා බලගතු භූගෝලීය පිහිටීමකුයි.

එසේ නම් අප පිරිහුණේ ඇයි..? අපි ආපසු හැරී බලමු. අසාර්ථක හමුදා කුමන්ත්‍රණ දෙකක් සහ අර්බුදකාරී අවස්ථා කිහිපයක් රටේ ඇති වුණා. සමගි සම්පන්නව එක්සත්ව ජීවත් වූ රටකට ජාතීන් වශයෙන් බෙදෙන්න සිදු වුණා. ඒ තත්ත්වය අවසාන වුණේ ලෝකයට දරුණු ත්‍රස්තවාදයක් බිහි කරමිනුයි. අනෙක් අවාසනාවන්ත සිදු වීම් වුණේ රටක් ජාතියක් ලෙස අප ඇති කර ගත් ජාතිවාදී, ආගම්වාදී සහ දේශපාලන ගැටුම් බව කිව යුතුයි. මේ සියල්ල සීමාව ඉක්මවා ගියා. 

දේශපාලන වශයෙන් ගෙවුණු අවුරුදු 72 ඇතුළත දී රටක් ජාතියක් ලෙස අපට පොදු ජාතික ප්‍රතිපත්තිවල එකඟත්වයක් ඇති කර ගැනීමට නොහැකි වුණා. 
එම තත්ත්වය ඉතාමත්ම අවාසනාවන්තයි. බොහෝ රටවල් දියුණු වූයේ බුද්ධිමත් දේශපාලකයින් පටු දේශපාලනයෙන් බැහැරව රටට වැදගත් ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් පොදු එකඟතාවයන් ඇති කර ගත් නිසයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ අවස්ථාවට එක්ව සිටිනවා. එතුමා කියයි අපේ රටේ රාජ්‍ය අංශයේ මුදල් රුපියල් කෝටි ගණන් පිල්ලි ගැසූ ආකාරය. නිදහසින් පසුව මුදල් ට්‍රිලියන ගණනින් කොල්ල කා ඇති ආකාරය කවුරුත් දන්නවා. වර්තමානයේ මේ ගසා කෑම් කිහිප ගුණයකින් වැඩි වී තිබෙනවා. මහා බැංකු වංචාවට වඩා සීනි වංචාව විශාලයි. මෙහි සිටින සම්භාවනීය දේශකයින් වන මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය රොහාන් සමරජීව සහ සුභාෂිනී අබේසිංහ යන අය මේ කරුණු මැනවින් පැහැදිලි කරාවි.

මහා පරිමාණයේ ටෙන්ඩර්වලින් පුදුමාකාර විදියට වංචා සිදු වෙනවා. සමහර අවස්ථාවලදී ටෙන්ඩර් කොන්දේසි සෑදීමේ සිටම මෙම මහා වංචා සැළසුම් වෙනවා. මේ තත්ත්වයට පිළියමක් වශයෙන් ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ඇති කිරීමට අප 2015 සිට ක්‍රියා කළා. ලෝකයේ දියුණු රටවල පවතින ආකාරයට එම ජාතික ප්‍රසම්පාදන කොමිසම ක්‍රියාත්මක වුණා නම් මහා පරිමාණයේ කොල්ල කෑම් සිදු වන්නේ නැහැ.

නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් එම කොමිසම ඇති කිරීමට බාධා ඇති වුණා. බලවත් කොටස් ඊට විරුද්ධ වුණා. අවසානයේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම කොමිසම සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒ කළේ මහා ජාතික අපරාධයක් බව කිව යුතුයි.

මා කතා කරන්නේ දේශපාලකයෙකු ලෙස නොව කළමණාකරුවෙකු සහ රටට ආදරය කරන පුරවැසියෙකු වශයෙන් වන අතර මා දකින ආකාරයට අනාගත සැළසුම් සකසන විට පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානයට යොමු විය යුතුයි.

(01) ලෝකයේ සමහර රටවල් එකිනෙකාට විරුද්ධව වර්තමානයේ දී මිසයිල් සූදානම් කර ගෙන සිටින ආකාරය අනුව ලෝක සාමයට බාධාවක් ඇති වී යුධ ගිණි ඇවිලී යාමට හැකි නිසා අපේ ජනතාව කුස ගින්නේ නොතැබීම සඳහා රටේ ආහාර සුරක්ෂිතභාවය ඇති කළ යුතුයි. මේ තත්ත්වය හමුවේ හැකි උපරිමයෙන් ආහාර සුරක්ෂිතභාවය ඇති කර ගැනීම යෝග්‍ය වෙනවා. ලෝකයේ බොහෝ රටවල් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා.

(02) සංචාරක ව්‍යාපාරයන් සහ මැද පෙරදිග ඉපයීම්වලට වඩා අපනයනය දියුණු කර ගැනීම ඉතා වැදගත් වනවා. මීට පෙර පැවැති රජයන් කිහිපයක් මේ පිළිබඳව කතා කළත්, ඒ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. සමහර දියුණු වූ රටවල තේමාව වනුයේ, ''අපනයනය කරනු නැති නම් විනාශ වනු'' (Export or Perish) යන්නයි. මේ තේමාව අපටත් යෝග්‍යයි.

(03) අපේ රටේ භූ ගෝලීය පිහිටීම ඉතා වැදගත් වන අතර එම පිහිටීම ස්වාභාවධර්මය අපට ලබා දුන් දායාදයක් වන බව කිව යුතුයි.
ලෝකයේ බලගතු රටවල අවධානයට අප ලක් වන්නේ ඒ නිසයි. එම භූ ගෝලීය පිහිටීමෙන් අප ප්‍රයෝජන ගත යුතුයි. මේ දිනවල වරාය නගරය ගැන විශාල ආන්දෝලනයක් මේ රටේ ඇති වී තිබෙනවා. 

ලෝකයේ දියුණු වූ බොහෝ රටවල නිදහස් වෙළඳ කලාප සාර්ථකව පවත්වා ගෙන යනු ලබනවා.1978 යුගයේ දී මහා කොළඹ ආර්ථික කොමිසම ඇති කළා. බදු සහන ලබා දුන්නා. ''One Stop Shop'' හෙවත් එක් වහලක් යටින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්තිය ඇති කිරීමට පියවර ගත්තා. ආනයන අපනයන රේගුවේ දී සිදු කරනවා වෙනුවට කටුනායකදී සිදු වුණා.

ජනාධිපති ජේ.ආර් ජයවර්ධන රාජ්‍ය පෞද්ගලික අංශ සහයෝගීතා ''Public Private Partnership'' - (PPP) සංකල්පය ආසියාවේ පළවෙනි වරට ආරම්භ කළා. ඒ අනුව රජයට අයත් ලංකා සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලය කොරියානු ප්‍රසිද්ධ සමාගම් දෙකක් සමඟ සහයෝගයෙන් ආසියාවේ විශාලතම අපනයන පාවහන් කර්මාන්ත ශාලාව ආරම්භ කළා.

ආරම්භයේ දී විවිධ ගැටලු ඇති වුණත් ඉතා ඉක්මණින් එම ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වුණා. එම ව්‍යාපාරය අධ්‍යනය කිරීමට එකල මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මැතිතුමා සහ එම මැතිණිය පවා පැමිණියා. අනතුරුව චීනයේ අසහාය නායක මෙන්ග් සියෝ පින්ග් මහතා එතුමාගේ විශේෂ නියෝජිතයා ලෙස ෂැංහයි නගරාධිපති ජියාන් සමින්ග් මහතා සිංගප්පූරුවට සහ ශ්‍රී ලංකාවට එව්වා. අපගේ ක්‍රියාදාමය අධ්‍යනය කළා.
පසු කලක දී ජියාන් සමින්ග් මැතිතුමා චීනයේ ජනාධිපති වණා.

මම මේ කරුණු වගකීමෙන් යුතුව සඳහන් කරන්නේ එදා ඔවුන් දෙදෙනාම කටුනායක වෙළඳ කළාපයට සහ කර්මාන්ත ශාලාවට පැමිණි විට අප සමඟ සාකච්ඡා කළ නිසයි. ඔවුන්ගේ රටවල් දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික මොඩලයේ වැදගත් අංගත් ඔවුන් උපයෝගී කර ගත්තා. එම තත්ත්වය අපේ රටට ගෞරවයක් බව සිහිපත් කළ යුතුයි.

කොළඹ වරාය නගරය මේ වන විට අවුලක් බවට පත් වී ඇත්තේ කිසිම සාකච්ඡාවකින් තොරව අසාමාන්‍ය කොන්දේසි ඇතුළත් කර ව්‍යවස්ථා විරෝධි ලෙස එම ව්‍යාපෘතියට අදාළ පනත ඉදිරිපත් කර ඇති නිසා බව නීතිවේදීන් බහුතරයක් චෝදනා කර සිටිනවා. විපක්ෂයේ දේශපාලන නායකයින් සහ රටේ විද්වතුන් බොහෝ දෙනෙකුත් සඳහන් කර ඇත්තේ මෙහි සමහර යෝජනා  ව්‍යවස්ථා විරෝධී බවයි. මේ සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිරීක්ෂණ සහ ප්‍රවීණ නීතිවේදීන්ගේත් අදහස් නිසා මේ සැකය ඇති වී තිබෙනවා.

එසේ නම් රජය මේ මොහොතේ කළ යුත්තේ බුද්ධිමත්ව ක්‍රියා කරමින් නීති විශාරදයින්ගේ මතයට සහ අධිකරණයේ තීන්දුවට හිස නමා සාකච්ඡා මාර්ගයෙන් රටට යහපතක් වන ආකාරයට වරාය නගර පනත යළි සකස් කර ඉදිරිපත් කිරීම බව ඉතා සත්භාවයෙන් සහ ජාත්‍යාලයෙන් යුතුව අප තරයේ අවධාරණය කර සිටිනවා.

Advertiesment