Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


අලුත් අවුරුද්ද අරුත් බර වන්නේ පරිසරය රැකුණොත් පමණයි 


2021-04-14 3702

සිංහල-හින්දු අලුත් අවුරුද්දේ සූර්ය වන්දනාවේ අරමුණ වන්නේ සොබා දහම කෙරෙහි කෘතවේදිත්වය දක්වමින් ඒ ඔස්සේ සමෘද්ධිමත් දිවියක් ප්‍රාර්ථනා කිරීම වන නිසා අලුත් අවුරුද්ද සැබෑ අරුත් බර ලෙස සැමරිය හැක්කේ පරිසරය ආරක්ෂා කර ගැනීම උදෙසා ඇපකැප වී ක්‍රියා කිරීමෙන් පමණක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

උදා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සකල ලක් වැසි ජනයා වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

සමස්ත පෘථිවි ගෝලයෙහි ජීවයේ පදනම වන සූර්යයා මූලික කර ගත් පුද පිළිවෙත් සංකේතවත් කරනුයේ සොබා දහම කෙරෙහි දුරාතීතයේ සිටම මිනිසා දැක්වූ ගෞරවනීය කෘතවේදීත්වයයි.

සොබා දහම- පරිසරය සමඟ සාධාරණ ගනුදෙනුවක නිරත වෙමින් තිබෙන සම්පත් අනාගත පරපුරට ඉතිරි කරමින් සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම උදෙසා නව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ගෙවුණු දශකය පුරා ලෝක  ප්‍රජාව උත්සාහ කළහ.  

වසර දහස් ගණනක් පුරා සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අප වෙත ලබා දුන් මඟ පෙන්වීම තුළ ඇත්තේ තිරසර සංවර්ධනයේ පාඩම හැර අනෙකක් නොවන බව පැහැදිලිය. අප සොබා දහම නැමති පද්ධතියේ එක් කොටසක් පමණක් බව තේරුම් ගනිමින් අන් කොටස් සහිත පරිසරය සමඟ සාධාරණ සම බර ගනුදෙනුවක නිරත වීම, අනාගත පරපුරේ යහපත උදෙසා අරපිරිමැස්මෙන් සම්පත් පරිභෝජනය කිරීම, සියලු සංස්කෘතින් අතර ඇති හර පද්ධතීන්ට ගරු කිරීම සහ සුරක්ෂාව සැපයීම ආදී තිරසර සංවර්ධන අංග සිංහල හින්දු අලුත් අවුරුදු හර පද්ධතියේ ගැබ්ව ඇති බව පෙනේ.

මෙම වැදගත් සාරධර්ම රාමුවෙහි සිය ජීවිකාව පවත්වා ගෙන ගිය අපගේ පෙර පරම්පරාව පිරිසිදු වතුර පොදක හුස්ම පොදක අයිතිය අපට ඉතිරි කළහ. එහෙත් අපේ දූ දරුවන්ට පිරිසිදු හුස්ම පොදක පිරිසිදු වතුර පොදක අයිතිය මහත් අභියෝගයක් බවට පත්ව තිබේ. වසන්ත සමයෙහි මග දෙපස වන රොදෙන් නෙලා ගත් අඹ දඹ කරඹ හිඹුටු කජු පුහුලන් පිළිබඳ රසවත් අතීත කතාව හෙට රට බාර ගන්නා පරපුරට කිසිදා ජීවන අත්දැකීමක් ලෙස හමු නොවනු ඇත.

ගහට කොළට සතා සීපාවාට අභය දුන් වන කුස සිඳී යද්දි පිරිසිදු වාතාශ්‍රය මිලට ගැනීමට සිදු වන සමයක අමිහිරි අත්දැකීම අබියසටම අප දූ දරුවන් පැමිණ සිටියි. සිංහල හින්දු අලුත් අවුරුද්දේ සූර්ය වන්දනාවේ අරමුණ සොබා දහම කෙරෙහි කෘතවේදිත්වය දැක්වීම සහ ඒ ඔස්සේ සමෘද්ධිමත් දිවියක් ප්‍රාර්ථනා කිරීම නම් පරිසරය ආරක්ෂා කිරීම උදෙසා කැප වීම ප්‍රමුඛ කාර්යය වනු ඇත. එය සැබෑ අරුත් බර අවුරුදු සැමරුමක් වනු ඇති බව සිහිපත් කරමින් සකල ලක්වැසි ජනතාවට ඉසුරුමත් සිංහල හින්දු අලුත් අවුරුද්දකට ආසිරි පතමි. 

Advertiesment