Friday 14th of May 2021

English Tamil
Advertiesment


පාස්කු ත්‍රස්තයින් නිදැල්ලේ සිටින තුරු රටම අනතුරේ 


2021-04-09 5848

ජාතික ආරක්ෂාවට තර්ජනයක් 

 

පාස්කුවේ අලුත්ම මහා මොළකරු අදිසි හස්ථයක නිර්මාණයක් 

 

මිනිස් ජීවිත විශාල අනතුරක 

 

මරා ගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් තවමත් නිදැල්ලේ සිටින තත්ත්වය හමුවේ රටක් ලෙස ශ්‍රී ලංකාව පවතින්නේ ඉතාමත් අනතුරුදායක තත්ත්වයක යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.  නම්ල අපේ රට ඉතාමත් අනතුරකයි තියෙන්නේග

මරා ගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්ථාව පිළිබද විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුවේ දී මේ බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, එහිදී මෙසේද කීය.

පාස්කු කොමිසමට තින්දුවක් දෙන්න පුළුවන් ඉදිරිපත් කරන කරුණු හා සාක්‍ෂි අනුවයි. වාර්ථාව කියෙව්වාම ඉතා පැහැදිලියි මේ තින්දුවට වඩා තින්දුවක් ලබාදිමට නොහැකි බව. ඒ මොකද සාක්‍ෂි ඉදිරිපත් කිරිමේ වගකිම තියෙන්නේ බුද්ධි අංශවලට, සී.අයි.ඩී එකට සහ  පොලිසියටයි. මේ වාර්ථාව කියවන කොට වෙලාවකට හිතෙනවා මේ සිද්ධියේ මහ මොළකරු අල්ලන්න අවශ්‍ය සාක්‍ෂි ඉදිරිපත් වුණා ද කියලා. 

මොකද මේ සිද්ධිය වූ දවසේ ඉඳලා හැමෝම කිව්වේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් තියෙනවා කියලා. මේ පිටු පස මහ මොළකරුවෙක් ඉන්නවා කිව්වා. නමුත් කොමිෂන් එකෙන් එහෙම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. අතපසුවිම්වලට යම් යම් නිර්දේශ කරලා තියෙනවා. නමුත් හැමෝම ඇහුවේ කවුද මහ මොළකරු කියලයි. කොමිෂන් වාර්ථාවෙන් එහෙම මහමොළකරුවෙක් ඉස්මතුවෙන්නේ නෑහැ. මහ මොළකරුවෙක් අල්ල ගන්න සාක්ෂි ඉදිරිපත් කරලත් නෑහැ. 

නමුත් සිද්ධිය වෙලා අවුරුදු දෙකකට පස්සේ හදිසියේම මහ මොළකරුවෙක් නම් කරලා තිබෙනවා. ඒ සම්බන්ධ සාක්‍ෂි තිබුණා නම් ඇයි කොමිසමට ඉදිරිපත් නොකෙරුවේ. මොකද නවුෆර් මව්ලවි කියන පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ 2019 අපේ‍්‍රල් 24 වැනිදායි. කොමිසම අවුරුදු එක හමාරක් විතර සාක්‍ෂි කැදෙව්වා. නමුත් මේ නවුෆර් මව්ලවිව කොමිසමට ඉදිරිපත් කරලත් නැහැ. කොහොමද එහෙම නම් මොහු මහ මොළකරු කිව්වේ..?

ඒ අනුව මේ මහා මොලකරුවා කිසියම් අදිසි හස්ථයක නිර්මාණයක්ද යන්න පිළිබඳව විශාල සැකයක් මතු වෙනවා. මොකද පසුගිය සති දෙක තුනක සිට  කාදිනල්තුමාගෙන් සහ ස්වාධින මතධාරින්ගෙන් ඇතුළු රටේ හැම පැත්තෙන්ම බලපෑම් ආවේ මහ මොළකරු කෝ කියලයි. එවාට උත්තරයක් නැති නිසාද මේ නවුෆර් මව්ලවි කියන පුද්ගලයා නිර්මාණය කළේ කියලා විශාල සැකයක් ඇති වෙනවා. මොකද ඔහුව පාස්කු කොමිසමට ඉදිරිපත් කෙරුවේ නැහැ. ඇයි ඔහුව ඉදිරිපත් නොකළේ..? හදිසියේම ඔහු මහ මොළකරු වුණේ කෙසේද..? 

අපිට විශාල සැකයක් ඇති වෙනවා මේ දිහා බැලුවාම. රජයට තියෙන පීඩනයෙන් මිදෙන්න රජය මේ මහමොළකරුව නිර්මාණය කරලා තියෙනවා කියන සැකය මතු වෙනවා. මොකද අවුරුදු දෙකක් තිස්සේ ඔහු අත්අඩංගුවේ ඉන්නවා. ඇයි ඔහුව පාස්කු කොමිසමට ඉදිරිපත් නොකළේ..? ඇයි ඔහුගෙන් ප්‍රශ්න කරන්න රහස් පොලීසියට ඉඩ නුදුන්නේ..? 

ඇත්ත වශයෙන්ම එම වාර්ථාව කියෙව්වට පස්සේ තේරෙනවා CIDය බුද්ධි අංශ සහ පොලිසිය කොමිසමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරලා නෑ.  සහරාන්ට පඩි ගෙව්වේ 2009 න් පස්සේ. සරත් ෆොන්සේකා මැතිතුමා ඒ ගැන කිව්වා. 2009 – 2015 අතර තමයි සහරාන්ට පඩි ගෙව්වේ. සහරාන්ට පඩි දුන්න සාක්ෂිවත් කොමිසමට ඉදිරිපත් කරලා නෑ. ඉදිරිපත් කෙරුවා නම් ඒ හරහා විශාල පිරිසක් අල්ලා ගන්න තිබුණා. නමුත් කොමිසමෙන් මේ ගැන හැංගුවා. එතකොට සාරා ඉන්දියාවට පැනලා ගියා කියලා පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ ගැනත් කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරලා නැහැ. සාරාව ඉන්දියාවෙන් ඉල්ලලාවත් නෑ. ඒ ඇයි..? 

අනික නාලක සිල්වා සහරාන් පස්සෙ පැන්නුවා. හිටපු හැටියේ නාමල් කුමාර කියලා කෙනෙක් පැමිණිල්ලක් කෙරුවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා හා ගෝඨාභය මැතිතුමා මරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. පස්සේ නාලක සිල්වා සේවයෙන් ඉවත් කෙරුවා. පරික්ෂණ එහෙමම නතර වුණා. මේ කිසි දෙයක් කොමිසමට ඉදිරිපත් කරලා නෑ. 

මම රජයට කියනවා රජය අවශ්‍ය සාක්ෂි කොමිසමට ඉදිරිපත් කළේ නැහැ.  අද රටේ මතයක් තියෙනවා මේ සිද්ධියට අපේ බුද්ධි අංශ සම්බන්ධයි කියලා. මොකද සිද්ධිය වෙලා පැය 24 ක් යන්නත් පෙර මේ ඔක්කොම අත්අඩංගුවට ගන්තා. බුද්ධි අංශ දැන ගෙන හිටියා මේ වගේ අය ඉන්නවා කියලා. බුද්ධි අංශ නිලධාරින් දෙහිවලදි එක් බෝම්බකරුවෙක් හමු වුණා කියලත් සාක්ෂි තියෙනවා. 

ඇත්ත වශයෙන්ම මේ ප්‍රහාරය එල්ල කළ අය තාම නිදැල්ලේ ඉන්නවා නම් අපේ රට ඉතාම අනතුරකයි තියෙන්නේ. ජී.එල් පීරිස් මැතිතුමා කිව්වා එල්ටීටීඊ එකටවත් කරන්න බැරි ප්‍රහාරයක් මේ අය කෙරුවා කියලා. නමුත් අපිට මහා මොළකරුව අල්ලා ගන්න බෑ. ඒ කියන්නේ රට තාම අනතුරේ. කාදිනල්තුමා කිව්වා අපේ රටේ සාධාරණයක් ඉෂ්ඨ වෙන්නේ නැති නම් ජාත්‍යන්තරයට යනවා කියලා. ශ්‍රී ලංකාවේ ඕක හැමදාම වුණා. එදා 1989 මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මානව හිමිකම් ගැන කියන්න අපිට පාර පෙන්නුවේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය කියලා එකක් තියෙනවා කියලා. ජාත්‍යන්තරයෙන් එන ප්‍රශ්නවලට ආණ්ඩුවත් විපක්ෂයත් එක මතයක ඉන්න ඕනේ. එසේ නොවුණොත් රටක් වශයෙන් අපට අනාගතයක් නෑ.


 

Advertiesment