Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


රට ගිනි තැබීමට හෝ ලේ විලක් කිරීමට ඉඩ දෙනු බැහැ 


2021-04-08 4436

සැබෑ දේශප්‍රේමීන් පෙරට ආ යුතුයි 

 

කොරෝනා දෙවැනි එන්නත ගැන ආණ්ඩුවට සැලසුමක් තිබේද..?

 

අදාළ එන්නත නිපදවන සමාගම එම එන්නත නොදුන්නොත් කරන්නේ කුමක්ද..?

 

රටේ සියලු ආයතන එක පුද්ගලයෙකුගේ රූකඩ බවට පත් වෙලා 

 

20න් ප්‍රශ්න විසඳුනා ද, නැති ප්‍රශ්න ඇති වුණා ද..?

 

20 නිර්මාතෘට ජනතා ශාපයෙන් ගැල වෙනු බැහැ

 

පාලකයෝ පරිසර නාශකයෝ වෙලා 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

ජාතිය, ආගම හෝ දේශපාලනය දඩමීමා කර ගෙන සිය පටු අරමුණු වෙනුවෙන් රට යළිත් වතාවක් ගිණි ගොඩක් හෝ ලේ විලක් බවට පත් කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

රටට යළි එවැනි ඉරණමක් අත් වීමට ඉඩ දී බලා සිටීමට රටට ආදරය කරන කිසිවෙකුටවත් නොහැකි බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා රටේ උද්ගත වී ඇති අර්බුදයට එරෙහිව සැබෑ දේශප්‍රේමීන් වහාම එකට එක් විය යුතු කාලය එළැඹ ඇතැයි ද කියා සිටියේය. 

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා  (08) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මේ වන විට අප රට වියවුල් ගණනාවකටම මුහුණ දෙමින් සිටින ආකාරයක් දකින්නට තිබෙනවා. රටට ආදරය ඇති කිසිදු පුද්ගලයෙකුට ඒ පිළිබදව අවධානය යොමු නොකර සිටීමට හැකියාවක් නැහැ. සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය රටට විපතක් වන සෑම අවස්ථාවකදීම රටේ ජනතාව සමග එක්ව පෙනී සිටින්නේ ඒ නිසායි. 

එම මැදිහත් වීම කිසිදු පක්ෂයකට, නායකත්වයකට හෝ කණ්ඩායමකට එරෙහිව සිදු කරන ක්‍රියාවක් නොවේ. ඒ මැදිහත් වීම අප සිදු කරන්නේ රටේ සමස්ත ජනතාව වෙනුවෙනුයි. ඒ අනුව මෙම මාධ්‍ය සාකච්ජාව මගින්ද අප ක්‍රියා කරන්නේ රට ඉදිරියේ ඇති එවැනි අභියෝග ගණනාවක් හදුනා ගනිමින් ඒ පිළිබදව අදාළ බළධාරීන්ගේ අවධානය යොමු කර වීමටයි. 

එහිදී මේ රටේ සියලු පාර්ශවයන්හි අවධානය යොමු විය යුතු සිදුවීම් කිහිපයක් පසුගිය සතිය ඇතුළත දී අපට දැක ගත හැකි වුණා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කර ගනිමින් ජන සමාජයේ මතුවූ සංවාද ගණනාවක්ම එහිදී දැක ගත හැකි වුණා. ඒ පිළිබදව අවධානය යොමු කිරීමේදී අපට කිසි සේත්ම සතුටු විය නොහැකි ආකාරයේ සංවාද සහ වාද විවාද කිහිපයක්ම දැක ගත හැකි වුණා. අප ඒ සියලු පාර්ශවයන්ගෙන්ම ඉතා බැගෑපත් ලෙස ඉල්ලා සිටින කාරණය වන්නේ කුමන තත්ත්වයක් යටතේ වුවද මේ රටේ ජාතීන් අතර හෝ ආගම් අතර වගේම දේශපාලනික වශයෙන්ද කිසිදු බෙදීමකට හේතු වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙසයි. 

අප එසේ සදහන් කරන්නේ ජාතීන් සහ ආගම් අතර වගේම දේශපාලනික වශයෙන්ද භේද නිර්මාණය වීමට තුඩු දිය හැකි ප්‍රකාශ ගණනාවක්ම එහිදී විවිධ පාර්ශව අතරින් අසන්නට ලැබුණ නිසයි. අතීතයේදී අවස්ථා ගණනාවකදීම සිදුව ඇති ආකාරයට මේ රට නැවත ගිණි ගොඩක් හෝ ලේ විලක් බවට පත් කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකියි. ඒ සඳහා කිසිවෙකුට ඉඩ නොතැබීම පුරවැසියන්ගේ වගකීම සහ යුතුකම වන බව ද කිව යුතුයි. රටට ආදරය කරන කිසිවෙකු රටට යළි එවැනි ඉරණමක් අත් වීමට ඉඩ තබන්නේ නැහැ. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අප ඉතාමත්ම පැහැදිලිව කිව යුත්තේ එම ප්‍රහාරය අතිශය දුශ්ඨ අරමුණකින් සිදු කර ඇති සාහසික ත්‍රස්තවාදී ක්‍රියාවක් වන බවයි. නියත වශයෙන්ම ඊට සම්බන්ධ වූ කණ්ඩායම් ද ඇතුළු සියලුම පුද්ගලයින් නීතිය හමුවට පමුණුවා ඔවුන් වෙත උපරිම ආකාරයේ දඩුවම් ලබාදිය යුතුයි. ඒ පිළිබදව කිසිදු විවාදයක් ඇත්තේ නැහැ. 

එහෙත් ඒ පිළිබදව උනන්දුවක් දක්වන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින සෑම පාර්ශවයක්ම එහිදී ක්‍රියා කළ යුතුව ඇත්තේ සත්භාවයෙන් බව කිව යුතුයි. පටු ජාතික හෝ ආගමික සීමා ඉක්ම වමින් ජාතියේ යහපත පෙරදැරිව පමණක් එම කටයුතු සිදු විය යුතුයි. එමගින් කිසිදු ජාතියක් හෝ ආගමික කණ්ඩායමක් පීඩාවට පත් විය යුතු නැහැ. එමෙන්ම එකී මිලේච්ඡ ප්‍රහාරයෙන් විපතට පත් සියලුම වින්දිතයන්ට යුක්තිය ඉටු විය යුතුයි. ජාතික ආරක්ෂාව ඉතාමත්ම විද්‍යානුකූල ලෙස නිසි ක්‍රමවේද හරහා තහවුරු කරමින් අනාගතයේදී කිසිදු ලෙසකින් හෝ එවැන්නක් සිදු නොවීමට ජාතියක් ලෙස අප වග බලා ගත යුතුයි. ඒ අපගේ පැහැදිලි සහ ඒකායන ස්ථාවරයයි. 

එමෙන්ම මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට අදාළ ඉතා වැදගත් කරුණක් කෙරෙහිද අප අපගේ අවධානය යොමු කළ යුතුයි. එනම් කෝවිඩ් වසංගතයට එරෙහිව මේ වන විට සිදු කරමින් සිටින එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබදව මතුව ඇති ඇතැම් සැක සංකා පිළිබදවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වගකීමක් සහිත වෘත්තීය සංවිධාන පෙන්වා දී ඇති ආකාරයට කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා 1,264,000ක් (දොලොස් ලක්ෂ හැට හතර දාහක් ) පමණ පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. වාර්තා වන අන්දමට එයින් මාත්‍රා 960,000 (නව ලක්ෂ හැට දාහක්) පමණ මේ වන විට ජනතාවට එන්නත් කර තිබෙනවා. එම තත්ත්වය එසේ නම් තවදුරටත් රටේ ඉතිරිව ඇත්තේ එන්නත් මාත්‍රා තුන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණටයක් විය යුතුයි. මේ වන විටත් එන්නත ලබාදුන් පිරිසට නියමිත කාලයේදී නිසි ආකාරයට එහි දෙවන මාත්‍රාව ලබාදීමට නම් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් අප විසින් සපුරා ගත යුතුව තිබෙනවා. 

ඒ අනුව පැන නැගෙන ප්‍රශ්නය වන්නේ දැනට අදාළ එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගෙන ඇති 960,000ක් පමණ වූ අපේ සහෝදර ජනතාවට නියමිත කාලයේදී එහි දෙවන මාත්‍රාව ලබාදීමට රජයේ ඇති සැලැස්ම කුමක්ද යන්නයි. මේ පිළිබදව ඊට අදාළ බලධාරීන් රට හමුවේ ඉතා පැහැදිලි සහ නිශ්චිත පිළිතුරක් ලබා දිය යුතුව තිබෙනවා. 

ජනමාධ්‍ය මගින් වාර්තා කර ඇති ආකාරයට වගේම රජයේ ඇතැම් බලධාරීන් ප්‍රකාශ කර ඇති ආකාරයට මේ වන විටත් මේ රටේ ජනතාව වෙත ලබාදී ඇති එන්නත් වර්ගය නිෂ්පාදනය කරන සමාගම තවදුරටත් අදාළ එන්නත ශ්‍රී ලංකාවට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් මේ වන විටත් ඇණවුම් කර ඇති එන්නත් තොගය අපට නොලැබීමට ඇති ඉඩ බොහෝ වැඩියි. එසේ නම් රටක් ලෙස අප ගන්නා ක්‍රියා මාර්ගය කුමක් ද..? කිසියම් තත්ත්වයක් මත එම එන්නත් තොගය අප රටට නොලැබුණ හොත් ඇති විය හැකි තත්ත්වය කුමක් ද..? ඒ පිළිබදව රජයට අවබෝධයක් තිබේ ද..?

වෛද්‍ය විශේෂඥයන් සදහන් කරන ආකාරයට අපේ රටේ ජනතාවට ලබාදී ඇති එන්නත් වර්ගය අනුව එමගින් සාර්කත්වයක් ලබා ගැනීමට නම් එහි දෙවන මාත්‍රාවද නියමිත කාලයේදී ලබාදිය යුතුමය. කුමන තත්ත්වයක් යටතේ හෝ ඒ සදහා වෙනත් එන්නත් වර්ගයක් ආදේශ කළ නොහැකියි. එමෙන්ම එසේ කිරීම බෙහෙවින් අන්තරායකාරී ද විය හැකියි. දැනටමත් වාර්තා වී ඇති පරිදි මේ වන විටත් අදාළ එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති 960,000ක් පමණ වූ අප රටේ ජනතාවට තව සති කිහිපයකින් එහි දෙවන මාත්‍රාවද අත්‍යවශයෙන්ම ලබාදිය යුතුව තිබෙනවා. එසේ නොවුණ හොත් ඔවුන්ට නියමිත ප්‍රතිශක්තිය ජනනය වන්නේ නැහැ. එහි අර්ථය ඔවුන් කොරෝනා රෝගයට තවදුරටත් නිරාවරණය වන බවයි. නොඑසේ නම් ලබාගත් එන්නතෙන් කිසිම ඵලයක් අත් නොවන බවයි. මේ තත්ත්වයට රජය මුහුණ දෙන්නේ කෙසේ ද..? ඒ ගැන රටට පැහැදිලි කිරීම අදාළ බළධාරීන්ගේ වගකීමක් වනවා. අප ඒ දෙස උනන්දුවෙන් යුතුව බලා සිටිනවා.

මෙවැනි අසංවිධානාත්මක තත්ත්වයක් රටේ නිර්මාණයවීමට හේතුව කුමක් ද..? අප රටේ ජනතාව මේ පිළිබදව ගැඹුරින් අවධානය යොමු කළ යුතුයි. අද රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ බොහෝ ආයතන අකර්මණ්‍ය වී ඇති ආකාරයක් දැක ගත හැකියි. රටේ සමස්ත බලය එක් පුද්ලයෙකුගේ අධිකාරියක් යටතට පත්වී තිබෙනවා. මේ හේතුවෙන් එකී පුද්ගල අධිකාරීත්වයේ නියෝග සහ උපදෙස් නොමැතිව කිසිදු ආයතනයක් ස්වාධීනව ක්‍රියා කාරීවීමට නොහැකි වී ඇති අතර අනෙක් අතට ඔහුගේ නිවැරදි නොවන උපදෙස් සහ මග පෙන්වීම් මත ක්‍රියා කරන්නට යාම නිසාද ඇතැම් ආයතන අකර්මණ්‍ය වී ඇති ආකාරයක් දැක ගත හැකිව තිබෙනවා. 

ඇත්ත වශයෙන්ම අද වන විට මේ රටේ සෑම ආයතනයක්ම එක් පුද්ගලයෙකුගේ රෑකඩ බවට පත්ව තිබෙනවා. එමගින් විනාශ මුඛයට යමින් තිබෙන්නේ රටේ ප්‍රජාත්නත්‍රවාදය පමණක්ම නොවෙයි. මුළු රාජ්‍ය තන්ත්‍රයම අවුල් ජාලයක් බවට පත් වෙලා. එවැනි තත්ත්වයකට මේ රට යොමු කර ඇත්තේ 20 වන සංශෝධනය මගින් රට අභ්‍යන්තරයේ ඇති කරන ලද විකෘතිය මගිනුයි. 

ඒ නිසා මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය යළි නිසි පරිදි සක්‍රීය කරලීමට නම් එක් එක් කාරණයන්ට අදාළව එක් පුද්ගලයෙකු වෙතින් නියෝග සහ නිර්දේශ ලැබෙන තුරු බලා නොසිට ඒ ඒ ආයතන වෙත ව්‍යවස්ථාපිතව ලබාදී ඇති බලතල ස්වාධීනව ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ පරිසරයක් යළි නිර්මාණය කළ  යුතුයි. ඒ සදහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුමයි. 

අද වන විට ඒ බව බොහෝ දෙනෙකුට තේරුම් ගොස් ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. එම තත්ත්වය යහපත් ප්‍රවණතාවයක්. ගැටඹේ රාජෝපවනාරාමාධිපති අති ගෞරවණීය නායක මා හිමිපාණන් වහන්සේ රජයේ ප්‍රමුඛ අමාත්‍යවරුන් දෙපලක් ඉදිරියේ තබා ගෙන පසුගිය දා අවස්ථා දෙකකදී සිදු කරන ලද අනුශාසනාවන් ඒ සඳහා හොඳම නිදසුන් වනවා. උන්වහන්සේගේ මෙම අනුශාසනාවන් වෙත රජය සේම මේ රටේ ජනතාවද සවන් දෙන්නේ නම් ඉතා යහපත් බව කිව යුතුයි. 

ඇත්ත වශයෙන්ම 20 වන සංශෝධනය මේ රටේ පැවැති ප්‍රශ්න විසදීමට හේතුවක් වුණා ද..? එසේ නැති නම් නොතිබුණු ප්‍රශ්න ඇති වීමට ද හේතුවක් වුණාද..? 20 ජනතාවට වඩා යහපත් ජීවිතයකට ආධාරකයක් වී තිබේ ද..? ජීවන වියදම පාලනය කරන්නට, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට එමගින් පිටු බලයක් ලැබුණා ද..? 

20 වන සංශෝධන මගින් ලබා ගෙන ඇති අසීමාන්තික බලය අද ඔවුන් යොදා ගනිමින් සිටින්නේ කුමක් වෙනුවෙන් ද..? තම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්නට, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්‍යතා දුර්වල කරන්නට සේම අධිකරණ කෙරෙහි මේ රටේ ජනතාව අතර පැවැති විශ්වාසය දවසින් දවස දුර්වල කරන්නට නම් එකී බලතල මත ක්‍රියාත්මක වූ ඇතැම් කටයුතු හේතුවී තිබෙනවා. 

ඒ නිසා එහි නිර්මාතෘවරුන් ඉතා පැහැදිලිවම එක් කරුණක් තේරුම් ගත යුතු වෙනවා. එනම් මේ තත්ත්වය මේ ආකාරයෙන් තවදුරටත් වර්ධනය වුව හොත් ජනතාවගේ ශාපය ඔවුන් වෙත එල්ලවීම නොවැළක් විය හැකි වනු ඇති බවයි. එපමණක් නොව මේ රටේ අනාගත පරපුර ඒ වන විට මේ රටේ ජීවත් වන ඔවුන්ගේ දරු පරපුරට පවා සමාවක් නොදීමට ඉඩ ඇති බවයි. අප මේ කරුණු අවධාරණය කරන්නේ එවැනි තත්ත්වයක් ඇතිවීම ද වළක්වා ගැනීමටයි. අද මේ රට ගමන් කරමින් සිටින දැවැන්ත ප්‍රපාතයේ රට මුදා ගැනීම අප සතු පරම වගකීමක් ලෙස සලකන නිසයි. 

රටේ ඇති වෙමින් පවතින මෙම අහිතකර තත්ත්වය මේ රටේ උගතුන්ට, විද්වතුන්ට ද ඉතාමත් නරක කල දසාවක් නිර්මාණය කරමින් පවතිනවා. ඒ සදහා දැක් විය හැකි ආසන්නතම උදාහරණයක් වන්නේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඔහු කටයුතු කරමින් සිටි ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කිරීමයි. මේ රටේ ප්‍රමුඛතම ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇති අන්දමට ඔහු අදාළ තනතුරෙන් ඉවත් කිරීමට හේතුවී ඇත්තේ මේ රටේ ජනතාව අවදානමකට ලක් විය හැකි කරුණකදී ඔහු රජයේ මතයට පටහැනිව නිවැරදි ලෙස ජනතාවගේ ආරක්ෂාව උදෙසා පෙනී සිටීම නිසයි. 

මෙවැනි සිදුවීම් මගින් රටට ලබාදෙන පණිවිඩය කුමක් ද..? තම වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් නිවැරදි ලෙස පෙනී සිටීමට විශේෂඥ වෛද්‍යවරයෙකුට පවා අද හැකියාවක් නැති බව නොවේද..?. මේ තත්ත්වය ඉතාමත්ම ඛේදනීය බව කිව යුතුයි. මීට පෙරද මේ ආකාරයටම කිර්තිමත් වෛද්‍ය විශේෂඥවරුන් කිහිපදෙනෙකුටම ඔවුන්ගේ තනතුරු අහිමි කළ බව සහ ඉල්ලා අස්වීමට යොමු කළ බව මෙහිදී අප තේරුම්ගත යුතුයි. ජනතාව මෙවැනි දේ කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒ බව මේ රටේ බලධාරීන් තේරුම් නොගන්නේ නම් ඒ ඔවුන්ගේ ද අවාසනාවකි. 

අද මේ රටේ ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරිමට මහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනු පරිසරය සහ අත්‍යන්තයෙන්ම බද්ධ වූ සංස්කෘතික මහෝත්සවයක් වනවා. අපගේ සංස්කෘතික මූලයන් සේම ජීවන පැවැත්ම ද බැදී ඇත්තේ පරිසරය සමගයි. නමුත් අද වන විට අපේ රට පරිසර නාශක පාලකයන්ගේ ගොදුරක් බවට පත් වෙලා. 

මේ රටේ පරිසරය ආරක්ෂා කර ගන්නට අති ගරු ජනාධිපතිතුමා අවස්ථා ගණනාවකදීම නියෝග ලබා දෙන ආකාරයක් අප දැක තිබෙනවා. එහෙම තත්ත්වයක් මතත් ප්‍රාදේශීය දේශපාලන බලවන්තයන් පවා පරිසර නාශකයන් වි සිටින්නේ ඇයි..? පරිසරය ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන පොලිස් නිලධාරින්ද ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට මේ ආකාරයේ බලපෑම් එල්ල වන්නේ කෙසේද..? ගරු ජනාධිපතිතුමා ඒ ගැන අන් සියල්ලටම පෙර අවධානය යොමු කළ යුතුයි. 

ඒ නිසා මේ රටේ පරිසරය විනාශ කරන මුරණ්ඩු දේශපාලකයන් මට්ටු කිරීම සදහා ජනාධිපතිතුමා කෙලින්ම මැදිහත් විය යුතුයි. මේ රටේ රාජ්‍ය නායකයා ලෙස එතුමාට ඒ සදහා ධෛර්ය සහ ශක්තිය ලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතු වන සියලු අභියෝගයන් ඉදිරියේ පවා මේ රටේ පරිසර ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සියලුම රාජ්‍ය නිළධාරීන් සහ සංවිධානවලට සේම විශේෂයෙන්ම අපේ රටේ තරුණ පරපුරට අප අපගේ ගෞරවය පුද කර සිටිනවා.

ඒ වගේම අද අපගේ ආහාරවල ගුණාත්මකභාවය ගැනද අන් කවරදාකටත් වඩා අවධානය යොමු කළ යුතුව ඇති ඛේදනීය තත්ත්වයකට වැටිලා තිබෙනවා. ඇත්තටම එම තත්ත්වය මහත් වේදනාවක්. අලුත් අවුරුද්දට වස විස නැතිව කැවිලි ටිකක්වත් හදා ගත නොහැකි තත්ත්වයකට අද මේ රටේ ජනතාව අසරණ වෙලා. ශ්‍රී ලංකාවේ ආහාර වර්ගවල ද ඇතුළුව භාණ්ඩවල ප්‍රමිතිය තහවුරු කරන ප්‍රමිති ආයතනයම ඒ බව පිළි ගන්නවා නම් වෙනත් කවර කතා ද..? මෙම ස්වාභාවය ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක්. මේ ගැන රජය ඉතාමත්ම කඩිනමින් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුයි. එමගින් මේ රටේ ජනතාව ලබා ගන්නා ආහාරවල වස විස නොමැති පරිසරයක් ඉක්මනින්ම තහවුරු කළ යුතුයි. 

හදිසියේ ෆාම් ඔයිල් ආනයනය තහනම් කිරීම හේතුවෙන් රස කැවිලි කර්මාන්තය සම්පූර්ණ වශයෙන් බිඳ වැටීමට ලක්වී ඇති බව මාධ්‍ය වාර්ථා සනාථ කර සිටිනවා. හදිසි තීරණ ගැනීමට පෙර  අදාළ පාර්ශව සමඟ අදහස් හුවමාරු කර ගත්තේ නම්, මෙම ගැටලුව ඇති වන්නේ නැහැ. රජයේ නියෝග පැය කිහිපයකින් වෙනස් කරන්නේ නම්, එම තත්ත්වය රජයට විශාල අපකීර්තියක් බව බලධාරින් තේරුම්ගත යුතුයි.

අද අප රටේ සමස්ත ජනතාවටම බලපාන මෙම කරුණු කාරනා පිළිබදව අප විශේෂ අවධානයක් යොමු කළේ අඩුම වශයෙන් අලුත් අවුරුද්දෙන් පසුව හෝ ජනතාවට යහපතක් සිදු වන ආකාරයෙන් කටයුතු සිදු විය යුතුව ඇතැයි අප කල්පනා කරන නිසායි. ඒ ජනතාවගේද ප්‍රාර්ථනයයි. එම ප්‍රාර්ථනා එසේම සඵල වේවා..! ලබන්නා වූ සිංහල සහ දෙමළ අවුරුද්ද මේ රටේ සමස්ත ජනතාවටම යහපත් වන්නා වූ කාල පරිච්ඡේදයක් වේවා..! ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!

Advertiesment