Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


රවී ගැන සරසවි මහැඳුරන් කියන කතා


2021-03-22 15245

"රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි"

 

"යහ පාලනය වැටුණේ මුදල් ඇමතිගේ කකුලෙන් ඇද්ද නිසා"

 

"ජාතික දේශපාලනට අවශ්‍ය රවීලා වගේ ප්‍රායෝගික මිනිස්සු"

 

"පීඩිතයාගේ සේම ධන කුවේරයාගේ ප්‍රශ්න ගැනත් දන්නවා"

 

විශ්ව විද්‍යාල ප්‍රජාව රවී වටා පෙළ ගැසෙති 

 

රවී ආර්ථිකයට පණ දුන් හැටි සරසවි ඇදුරෝ පහදති

 

 

(මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, මහාචාර්ය මිල්ටන් රාජරත්න, මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ සහ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා විසිනි)

"රවී ආර්ථිකයට පණ දුන් හැටි සරසවි ඇදුරෝ පහදති" යන ශීර්ෂය යටතේ, 2020-07-31 වැනිදා "lankanewsweek" හී පළ වූ මෙම ලිපිය යළි මෙසේ පළ කරන්නේ යහ පාලන රජය යටතේ සිදු කෙරුණු මහා බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියත් සමඟ ඔහු පිළිබඳව ජන සමාජයේ යළි සංවාදයක් ඇති වී තිබෙන නිසාය.

මුදල් අමාත්‍යවරයාගේ කාර්ය භාරය රටක දියුණුවට අතිශයින් වැදගත් වේ. රටෙහි ආර්ථිකය සාධනීය මාවතකට ගෙන යාමට මුදල් අමාත්‍යවරයා සතුව සුවිශේෂි දැක්මක් පැවතිය යුතුය. සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යවරයාගේ වගකීම් ඔහුගේ සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට වඩා වෙනස් වූවකි. සමස්ත අයවැය අරමුණු ඉටු කර ගැනීම ඔහුගේ ප්‍රධාන කාර්යයකි. අයවැය ක්‍රියාවලිය සංවිධානය කිරීම මත පදනම්ව මුදල් අමාත්‍යවරයාගේ කාර්ය භාරය ක්‍රියාවට නැංවීමත්, ඒවා අධීක්ෂණය හා බලාත්මක කිරීමත් මත රජයක පැවැත්ම තීරණය වන ආකාරයක් හඳුනාගත හැකිය. සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් නැගෙන වියදම් පීඩනයන්ට සාර්ථකව මුහුණ දීමට ද මුදල් අමාත්‍යවරයාට සිදු වේ. පුළුල් පරාසයක කටයුතු කරන, අයවැය පිළිබදව පුළුල් දැක්මක් සහ ආර්ථිකය හැසිරවීම පිළිබදව මනා අවබෝධයක් මුදල් අමාත්‍යවරයාට පැවතිය යුතුමය.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරුන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් කීර්තිමත් ඇමතිවරුන් දෙදෙනෙකු මතකයට නැගේ. එනම් 1970-1975 කාල පරිච්ඡේදය තුළ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ඇන්.එම්.පෙරේරා මහතා සහ 1977-1988 කාලයේදී මුදල් අමාත්‍ය ධූරය දැරූ රොනී ද මෙල් මහතාය. 

ආචාර්ය ඇන්.එම්.පෙරේරා මහතා දේශපාලනික වශයෙන් සමාජවාදී බල කඳවුර නියෝජනය කළ අතර ආර්ථිකය අභ්‍යන්තරාභිමුඛ කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ආනයන ආදේශන ප්‍රතිපත්ති ක්‍රියාවට නංවීම තුළ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ ආකාරයක් හඳුනාගත හැකිය. එමෙන්ම 1977-1988 කාලයේදී මුදල් අමාත්‍ය ධූරය දැරූ රොනී ද මෙල් මහතා නිදහස් විවෘත ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරමින් බාහිරාභිමුඛ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලාංකික ආර්ථිකය යොමු කළ බව හඳුනා ගත හැකිය. 

කීර්තිමත් මුදල් අමාත්‍යවරුන් පිළිබදව කලාපීය වශයෙන් සාකච්ඡා කිරීමේ දී දැනට බංගලාදේශ මුදල් අමාත්‍ය මුස්තාපා කමල්, අසල්වැසි ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය මන්මෝහන් සිං සහ දැනට ඉන්දුනීසියාවේ මුදල් අමාත්‍යවරිය වන ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී යන මහත්ම මහත්මීන් සාර්ථකව තම මුදල් අමාත්‍ය ධූරයේ වගකීම් ඉටු කිරීමට සමත්ව ඇත. 

ජේ.ආර්.ජයවර්ධන මහතාගෙන් ආරම්භ වන නිදහස් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ධූරය වර්තමානය වන විට අමාත්‍යවරුන් ගණනාවක් විසින් මෙහෙයවා ඇත. පැවති යහ පාලන රජය යටතේ මුදල් අමාත්‍ය ධූරය අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් දරා ඇති අතර ඔවුන් වසර 02 මාස 05කට ආසන්න කාලයක් එකිනෙකා විසින් මුදල් අමාත්‍ය ධූරය දරා ඇත. රවී කරුණානායක මහතා 2015 ජනවාරි 12 සිට 2017 මැයි 22 දක්වාත්, මංගල සමරවීර මහතා 2017 මැයි 22 සිට 2019 නොවැම්බර් 17 දක්වා නව ආණ්ඩුව බලයට පත් වන තෙක් මුදල් අමාත්‍යවරයා ලෙස පාලන කටයුතු කළේය.

ද බෑන්කර් (The Banker) සඟරාව බැංකු සහ මූල්‍ය අංශය තුළ විශ්වාසය දිනා ගත් සඟරාවක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ලියාපදිංචිව පවත්නා බැංකු සියල්ලක්ම පාහේ තම වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම්වලදී ද බෑන්කර් (The Banker) සඟරාවට අනුව තමන්ට ලැබුණු ශ්‍රේණිගත කිරීම් යොදා ගනිමින් බැංකු ප්‍රවර්ධන කටයුතු කෙරෙහි යොමු වන ආකාරයක් දැක ගත හැකිය. ඒ හේතුවෙන් ද බෑන්කර් (The Banker) සඟරාවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලුවක් මතු නොවන අතර බැංකු හා මූල්‍ය අංශය පිළිබඳ විමසුමක් මෙම සඟරාව හරහා ඉදිරිපත් කරයි. 

ආසියා ශාන්තිකර සාගරයේ වඩාත් කාර්යක්ෂම මුල්‍ය පද්ධතිය හසුර වන්නන් තෝරා පත් කර ගැනීම ද බෑන්කර් (The Banker) සඟරාව හරහා වාර්ෂිකව සිදු කරන අතර 2017, 2018, 2019, 2020 වර්ෂවලදී ශ්‍රී ලංකාව,ඉන්දියාව, ඉන්දුනීසියාව සහ බංගලාදේශයේ මුදල් අමාත්‍ය ධූරය දරන ලද නිළධාරීන් සම්මානයට පාත්‍ර වී ඇත‍. ද බෑන්කර් (The Banker) සඟරාව විසින් 2017 වර්ෂයේදී ආසියාතික කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගන්නා අතර එම තීරණයේ කාර්ය සාධනය සලකා බැලීම මෙම සාකච්ඡාවේ අරමුණ වේ.

2017 මැයි 24 ආසියා ශාන්තිකර කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගන්නා අතර එහිදී, ද බෑන්කර් (The Banker) සඟරාව විසින් ඔහුව තෝරා පත් කර ගැනීම පිළිබදව මෙලෙස අදහස් දක්වයි. "ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් මතු වී තිබුණු මූල්‍ය අර්බුදය වළක්වාලීමටත්, රටෙහි මුදල් සංචිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එමගින් විදේශ ආයෝජකයින් කෙරෙහි විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටත් සමත් වීම වෙනුවෙන්" එම සම්මානය ලබා දෙන බවයි.

සාර්ථක මුදල් අමාත්‍යවරයෙකුගේ කාර්ය භාරය වන්නේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමයි. මෙහිදී රවි කරුණානායක මහතා නිළධාරීන්ගේ උපදෙස් මත යැපෙනවා වෙනුවට නිර්මාණශීලිත්වයෙන් තම ධූරය තුළ වගකීම් ඉටු කළ අතර ඔහු ප්‍රායෝගිකත්වය වඩා හොදින් අවබෝධ කර ගෙන මෙම තීරණය කෙරෙහි යොමු වූ බව හඳුනාගත හැකිය. 

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ඉතිහාසය තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිම ප්‍රමාණයකින් ඉහළ දැමීම සිදු වන්නේ 2015 වසරේදී ය. මාසිකව රාජ්‍ය සේවකයන්ගේ වැටුප රු.10,000කින් ඉහළ දැමීමක් සිදු කළ අතර එය සේවකයන්ගේ වැටුප් වාර්ෂිකව රු.120,000කින් ඉහළ යාමකි. මෙම වැඩිවීම නිසා 2014 වර්ෂයේදී පැවති වැටුප් බිල රු.බිලියන 455 සිට 2015 වර්ෂයේදී රු.බිලියන 580ක් දක්වා ඉහළ ගියේය. 

යහ පාලන ආණ්ඩුව නියෝජනය කළ ඇතැම් පිරිස් පසුකාලීනව මෙම වැටුප් ඉහළ දැමීම ගැටලුකාරී බවත් රාජ්‍ය වියදම් ඉහළ යෑමට එය දැඩි බලපෑමක් ඇති කරන බවත් පැවසූ නමුත් කරුණු විමසා බැලීමේදී එලෙස නොවන බව පෙනේ. නිෂ්පාදන බද්දට ඇතුළත් මත්පැන් බදු මගින් රු.බිලියන 36ක් පමණ, වැඩි වූ වැටුප් බිල පියවා ගැනීම වෙනුවෙන් උපයා ගැනීමට සමත් විය. 2014 වර්ෂයේදී නිෂ්පාදන බදු ආශ්‍රිත මත්පැන් බදු රු.බිලියන 69ක් වූ අතර 2015 වර්ෂයේදී දී එම ප්‍රමාණය රු.බිලියන 105 ක් දක්වා වැඩි වී ඇති බව වගු අංක 01න් දක්වා ඇත. එමෙන්ම 2014 වර්ෂයේදී සිගරට් ආශ්‍රිත බදු රු‍.බිලියන 57ක්වූ අතර 2015 වර්ෂයේදී එය රු‍.බිලියන 80ක් වුණි. මෙමගින් ද රු.බිලියන 23ක අමතර ආදායමක් උපයා ගැනුණි. මේ නිසා රු.බිලියන 60ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වූ අතර ,වැඩි වූ වැටුප් බිලෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මූල්‍යමය කෙරිණි. වගු අංක 01 : 2010 සිට 2019 දක්වා රජයේ මූල්‍ය මෙහෙයුම්.

 

 

-මූලාශ්‍රය - 

ශ්‍රී ලංකා මහ බැංකුව - විවිධ වාර්ෂික වාර්තා

රජයේ බදු ආදායම දෙස අවධානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රු.බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රු.බිලියන 1355 ක් දක්වා, රු.බිලියන 305කින් (30%කින් පමණ) ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද ඉහත වගුවෙන් පැහැදිලි වේ. 2014 වර්ෂයේදී දී රු.බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රු.බිලියන 497ක් දක්වා, රු.බිලියන 241 කින්ඉහළ නංවාගැනීමට රජය සමත් විය. මෙහිදී සාමාන්‍ය ජනතාවට බදු බර නොපටවා රාජ්‍ය සේවක වැටුප දැනෙන සුළු ආකාරයෙන් ඉහළ දැමීමට රජය සමත් වූයේ මුදල් අමා‍‍ත්‍යවරයාගේ හැකියාව මතය. 

ප්‍රස්තාර සටහන 01 

-දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට අනූව රජයේ ආදායම-

 

 

- මූලාශ්‍රය - 

https://www.statista.com/statistics/797372and Central Bank of Sri Lanka, (Various) Annual Reports  

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයේ හැසිරීම ප්‍රස්තාර සටහන් 01හි දක්වා ඇත. රජයේ ආදායම හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය දශක ගණනාවක් මුළුල්ලෙහි පහළ අගයක් ගැනුණු අතර එය දිගින් දිගටම අඩුවෙමින් පැවතුණි. මෙයට හේතු වූයේ රජයේ ආදායම පහළ යාමයි. 2000 වර්ෂයේදී 17.2%, 2014 වර්ෂයේදී 11.6%ක් දක්වා එම අගය පහළ වැටුණි. 2015 වර්ෂයේදී 13.3%ක් ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර 2016 වර්ෂයේදී 14.1%ක්ව පැවතුණි. ඉන් අනතුරුව මෙම අනුපාතය නැවත පහළ යාමක් දක්නට ලැබේ.

2015-2016 අතර රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවා තිබියදීත් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාවක් ලැබී ඇත. මේ අනුව රාජ්‍ය ආදායම මගින් රාජ්‍ය වියදම පියවා ගැනීමට ද හැකියාවක් ලැබුණි. ප්‍රාථමික ගිණුම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ද 2015-2016 කාලපරිච්ඡේදය තුළ ගිණුමේ ශේෂයද ධන අගයකට ගෙන ඒමට හැකි වුණි.  

පශ්චාත් යුද සමයේ පැවති ආර්ථික වෘද්ධි වේගය ඉහළ මට්ටමක රදවා ගැනීමට 2014ට පෙර පැවති රජයට හැකියාව නොලැබුණි. ප්‍රස්තාර සටහන 02න් එය දැක්වේ. පැවති ගෝලීය අර්බුද සහ රට අස්ථාවරවීම මධ්‍යයයේ වුවත් 2015-2016 වර්ෂවල ආර්ථික වෘද්ධියේ සාමාන්‍ය අගය 5% ක මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වුණි. ඉන් පසුව 4% කට වඩා අඩු ආර්ථික වෘද්ධියක් වාර්තා වේ. 2019 වර්ෂය සංසන්දනය කිරීම ප්‍රයෝගික නොවන්නේ ඒ තුළ පාස්කු ඉරිදා ප්‍රහාරය බලපෑම පවතින නිසාය. එමෙන්ම 2020 ආර්ථික වෘද්ධිය තුළ Covid -19  ගෝලීය වසංගතයේ ආර්ථික බලපෑම ඇතුළත්ව ඇත.

ප්‍රස්තාර සටහන 02  

-2010 සිට 2020 දක්වා ආර්ථික වර්ධන වේගයන්-

 

 

- මූලාශ්‍රය -  

CBSL, Annual Reports and IMF forecasting for 2020

වර්තමාන රජය මාස දෙකක් උත්සාහ කළද කොවිඩ් අරමුදල වෙනුවෙන් ලබා ගත හැකි වූයේ රු.මිලියන 900ක් පමණි. එය මේ වන විට ද රු.බිලියනයකට ළගා වී නොමැත. වර්තමාන රජය රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ අර්බුදයකටද හසු වී ඇත. 

වර්තමාන තත්ත්වය තුළ රජයේ පුනරාවර්තන වියදම පියවා ගැනීමටවත් රජෙය් ආදායම ප්‍රමාණවත් නොවේ. දේශීය වශයෙන් උපයන ආදායම රාජ්‍ය සේවය නඩත්තු කර ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. එහෙත් 2015-2016 දී එවකට සිටි මුදල් අමාත්‍යවරයා බදු දැල ප්‍රසාරණය කරමින් බදු ගෙවීමක් කිරීමට හැකි පුද්ගලයින් බදුකරණයට හසු කර ගැනීමටත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා බදු කාර්යක්ෂමව ඒකරාශී කර ගැනීමටත් සමත් වුණි.

මෙයින් මතු කළ හැකි තර්කය වන්නේ "ද බෑන්කර්" (The Banker) සඟරාව පවසන පරිදි රටෙහි ඇති විය හැකි මූල්‍ය අර්බුදය වළක්වා ගැනීමටත්, රටේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම තුළ රාජ්‍ය වියදම පියවා ගැනීමටත් 2015-2016 වසරවලදී මුදල් අමාත්‍යවරයා සමත් වූ බවයි. වඩා වැදගත් වන්නේ මෑත ඉතිහාසය තුළ පහළ වූ අකාර්යක්ෂම ම භාණ්ඩාගාර ලේකම්වරයා තබා ගෙන මේ තරම් සක්‍රීය හා සාධනීය ක්‍රියාකලාපයන් හා තීරණ කෙරෙහි යොමුවීමයි. 

මෙම තීරණ සඳහා හේතු වූයේ රවි කරුණානායක මහතා පෞද්ගලික අංශය තුළ ක්‍රියා කිරීම නිසා ලබා ගන්නා ලද කාර්යක්ෂමතාවය බව පැහැදිලි කළ හැකිය. මෙය දිවා රෑ නොතකා භාණ්ඩාගාරයේ ගත කරමින්, සාකච්ඡා පවත්වමින් ලබා ගන්නා ලද වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකිය.

යුරෝපයේ මුදල් ඇමතිවරුන්ගේ පෞද්ගලික චරිත ලක්ෂණ පිළිබඳ දත්ත භාවිතා කරමින් (1980 - 2010), මාක්-ඩැනියෙල් මොයිසින්ගර් (2012) පෙන්වා දුන්නේ ද මුදල් ඇමතිවරයකුගේ පෞද්ගලික ගති ලක්ෂණ ඔහුගේ හෝ ඇයගේ සමස්ත කාර්යසාධනයට බලපාන බවයි.

ඇත්තටම රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කළ මෙහෙවර සහ ඔහුගේ දේශපාලන-ආර්ථිකය ගැන අපට කරන්න කිසිම තක්සේරුවක් ඉතිරි වෙලා නැහැ.1926 සිට ගෝලීය මූල්‍ය පිළිබඳ ප්‍රමුඛතම මාසික සඟරාව වන ලොව ප්‍රකට "Financial Times" සමූහයට අයත් "The Banker" සඟරාව විසින් 2017 සඳහා ආසියා-පැසිෆික් කලාපයේ "හොඳම මුදල් ඇමති" සම්මානය රවී කරුණානායක මහතාට පුද කරමින් ජාත්‍යන්තරය ඒ තක්සේරුව  ඉහළින්ම කර තිබෙනවා.

ආර්ථික වේදීන් ලෙස මෑත දේශපාලන ඉතිහාසයේ අප දුටූ හොඳම අය-වැය යෝජනාවලිය වන්නේ මුදල් ඇමතිවරයා වශයෙන් 2015 දී රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අය-වැයයි. ඒ අනුව රවී කරුණානායකගේ කකුලෙන් නොඇද එම අය-වැය යෝජනාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඔහුට එදා ඉඩ දුන්නා නම් රට මේ වන විට විශාල දියුණු මට්ටමක පවතින අතර එසේ වුණා නම් තවමත් බලයේ සිටින්නේ යහ පාලන ආණ්ඩුවයි.

ඒ වගේම මාරාන්තික COVID - 19 නව කොරෝනා වසංගතය හමුවේ රටක්-ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටී සිටින මේ මොහොතේ රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියා නම් වත්මන් ආණ්ඩුව වගේ මුදල් අච්චු ගැසීමට රජයට සිදු වන්නේ නැහැ. 

මෙවැනි බරපතළ සහ හදිසි තත්ත්වයකදී මුදල් අච්චු ගසා රටේ ආර්ථිකය තව තවත් අර්බුදයකට තල්ලු නොකර ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මුල්‍ය ප්‍රතිපාදන රැස් කිරීමට සේම අර්බුදය අවසන් වන තුරු එම ප්‍රතිපාදන කළමනාකරණය කිරීමට රවී කරුණානායක මහතාට හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනයේ නිත්‍ය සාමාජිකයෙකු වන රවී කරුණානායක මහතා, මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අත්දැකීම් සහ හැකියාවන් බහුල පුද්ගලයෙකු බව කිව යුතුයි. 

එවැනි අත්දැකීම් සහ හැකියාවන් සහිත වෘත්තීයවේදීන් ජාතික දේශපාලනයේ සිටින්නේ ඉතා අතලොස්සයි. රට ගොඩනැගීමට නම් රවී කරුණානායකලා වැනි ප්‍රායෝගික දේශපාලකයින් ජාතික දේශපාලනයට වැඩි වැඩියෙන් අන්තර් ග්‍රහණය කර ගත යුතුයි. 

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය හැක්කේ රවී කරුණානායක සාධකය සමගින් වන අතර ඔහු නියත ලෙසම පක්ෂයේ ඉදිරියට ආ යුතුයි.ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය පුළුල් ලෙස ප්‍රතිසංවිධානය කළ යුතුයි. එහිදී රවී කරුණානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි අප විශ්වාස කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසන්ධනයක් සිදු කරමින් පාක්ෂිකයා බල ගන්වා පක්ෂය යළි ජයග්‍රහණය කරා මෙහෙයවීමට අදාළව එම පක්ෂයේ උප නායකවරයා ලෙස රවී කරුණානායක මහතා මේ වන විටත් පක්ෂයට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය (පෙරස්ත්‍රොයිකාව) ඉතාම වැදගත් සේම අතිශය කාලෝචිත සහ ප්‍රායෝගික බවය ද කිව යුතුයි.

 

Advertiesment