Monday 7th of October 2024

English Tamil
Advertiesment


සිංහලයින් දෙමළ ඉගෙන ගත්තම විතරක් ඇතිද..?


2021-03-10 14346

උතුරු-නැගෙනහිර සිංහල භාෂා ගුරුවරුන් නොමැති තරම්ය  

 

ත්‍රෛභාෂික ජන සමාජයක් ගොඬනැඟිම තීරණාත්මක අභියෝගයයි  

 

දෙමළ ජන සමාජයේ සිංහල භාෂා සාක්ෂරතාවය ප්‍රමාණවත් නොවේ

 

භාෂාව-සංස්කෘතිය යනු සමාජ විශ්වසනීයත්වයයේ ප්‍රධානතම යතුරුය 

 

වෙනස් භාෂාවක් යනු ජීවිතය පිළිබඳ වෙනස් දැක්මකි

 

ජාතීන් අතර සංහිඳියාවේ පාලම භාෂාවයි 

 

මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව හේතුවෙනි

 
 
 
(දේශප්‍රිය නානායක්කාර)

 

"If you talk to a man in a language he understands, that goes to his head. If you talk to him in his mother language that goes to his heart" - Nelson Mandela.

එක් භාෂාවක් ඔබේ  ජීවන ගමනේ එක් දොරටුවක් කරා ඔබව යොමු කරනු ඇත. භාෂා දෙකක් හෝ කිහිපයක් නම් සෑම දොරක්ම ඔබ වෙනුවෙන් විවෘත වනු ඇත. "වෙනස් භාෂාවක් යනු ජීවිතය පිළිබඳ වෙනස් දැක්මකි."

ගෝලීයකරණ යුගයේ දී විවිධාකාර ජාතින්ට අයත් මිලියන ගණනක් මිනිසුන් වඩා හොඳ රැකියා සහ අධ්‍යාපන අවස්ථා සොයමින් වෙනත් රටවලට සංක්‍රමණය වී ඇත. සමහර විට මිනිසුන් සංක්‍රමණය වන්නේ නිවසේ ඇති වන ගැටුම්වලින් මිදීමට සහ විදේශයන්හි ආරක්ෂිත සේම වඩා ස්ථාවර ජීවන තත්වයන් සොයා ගැනීමටය. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට හුව මාරු වන මෙම චලනය ජනතාවගේ මව් භාෂාවට බලපායි.

භාෂාව යනු හුදෙක් වචන එකතුවක් නොව පුද්ගලයෙකු සිය පවුල, අනන්‍යතාවය, සංස්කෘතිය, සංගීතය, විශ්වාසයන් සහ ප්‍රඥාව සමඟ සම්බන්ධ කරන පැවත්මකි. ඒ අනුව එම භාෂාව එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට ඉතිහාසය, සම්ප්‍රදායන්, සිරිත් විරිත් සහ ජනප්‍රවාදයන් හී වාහකයා වේ. භාෂාවක් නොමැතිව කිසිදු සංස්කෘතියකට එහි පැවැත්ම පවත්වා ගත නොහැකිය. භාෂාවන් ඇත්ත වශයෙන්ම නොයෙක් වෛවාරණ ජාතීන්ගේ අනන්‍යතාවයයි.

පුද්ගලයෙකුගේ පෞරුෂය සේම ඔහුගේ හෝ ඇයගේ මානසික සංවර්ධනය, සිතුවිලි සහ හැඟීම් හැඩ ගැස්වීමේ දී මව් භාෂාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. අපගේ ළමා කාලය අපගේ ජීවිතයේ වැදගත්ම අවධිය වන අතර දරුවන්ට ඔවුන්ගේ මව් බසින් උගන් වන සංකල්ප සහ කුසලතා ඉතා වේගයෙන් වටහා ගත හැකිය.

බොහෝ මනෝ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ආදරය, දයානුකම්පාව, ශරීර භාෂාව සහ වාචික සන්නිවේදනය ප්‍රදර්ශනය කිරීමෙන් දරුවෙකු සහ ඔහුගේ දෙමව්පියන් (විශේෂයෙන් මව) අතර ශක්තිමත් බැඳීමක් ඇති වන බවයි. අධ්‍යාපන විශේෂඥ හුරිසා ගුවර්සින් ( Hurisa Guvercin) පවසන පරිදි, "පුද්ගලයෙකු සිය මව් භාෂාව කතා කරන විට හදවත, මොළය සහ දිව අතර ඍජු සම්බන්ධතාවයක් ඇති වේ. අපගේ පෞරුෂත්වය, චරිතය, නිහතමානිකම, ලැජ්ජාව, අඩුපාඩු, කුසලතා සහ අනෙකුත් සියලු සැඟ වුණු ලක්ෂණ මවු බසෙන් සැබවින්ම හෙළි වන්නේ මවු බසෙහි ශබ්දය සහ හදවතේ ඇති අර්ථය අපට භක්තිය සේම විශ්වාසය ලබා දෙන බැවිනි.

ඉන්දියානු වාග් විද්‍යාඥ පතංජලීට ( Patanjali) අනුව  භාෂාව යනු මිනිසාගේ විවිධ කථන අවයවයන් විසින් නිපදවන මානව ප්‍රකාශනයයි. ඇරිස්ටෝටල්ට අනුව කථනය යනු මනසෙහි අත්දැකීම් නිරූපණය කිරීමයි. භාෂාව යනු මිනිසුන්ගේ අදහස්, හැඟීම්, සිතුවිලි සහ ආශාවන් ප්‍රකාශ කිරීම සඳහා නිපදවන කථන ශබ්දයකි.

ඇමරිකානු වාග් විද්‍යාඥයෙකු, දාර්ශනිකයෙකු, සංජානන විද්‍යාඥයෙකු, ඉතිහාසඥයෙකු, සමාජ විචාරකයෙකු සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඇවරම් නොම් චොම්ස්කි (Avram Noam Chomsky ) පවසන්නේ භාෂාව යනු ව්‍යාකරණ වාක්‍ය තේරුම් ගැනීමට සහ වාක්‍ය පැබඳීමට ස්වදේශීය කථිකයින්ට ඇති සහජ හැකියාව වන බවය. 

ජාතියක් එකට බඳින බැමි අතුරෙන් භාෂාව අති ප්‍රබලය. මේ හේතුවෙන් ජාතියත් භාෂාවත් අතර මහා විසල් සජිවී සම්බන්ධතාවක් ඇත. යම්කිසි භාෂාවකින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස මූලික මානව අයිතියකි. භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ලෝකයේ භාෂාමය විවිධත්වය ආරක්ෂා කිරීමට ද උපකාරී වේ. භාෂාව ජාතිකත්වයේ කොටසක් ලෙස වඩ වඩාත් දර්ශනය වීම හේතුවෙන් ඉතිහාසය සිසාරාම භාෂාමය අයිතිවාසිකම් වඩ වඩාත් ප්‍රකට විය. 

මුල් යුරෝපීය ඉතිහාසයේ භාෂාව හා සම්බන්ධ ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කර තිබුණ ද, උක්ත නෛතික උපකරණ තිබිය දී පවා බොහෝ විට බහුතරයේ භාෂාවක් සුළුතරයේ මිනිසුන් මත පැටවූ අතර වෙනත් භාෂා හෝ උප භාෂාවන් නොසලකා හරින ලදි. 1815 ට පෙර භාෂා අයිතිවාසිකම් ද්විපාර්ශ්වික ගිවිසුම්වලින් ආවරණය වන නමුත් ජාත්‍යන්තර ගිවිසුම්වල ඇතුළත් නොවීය. 

භාෂාමය අයිතිවාසිකම් පිළිබඳ ආරම්භක ක්‍රියාවලීන් බොහෝමයක් ආරම්භ වූයේ භාෂාමය විවිධත්වයන් මත පදනම් වූ භාෂාමය සහ / හෝ ජාතික බෙදීම් හේතුවෙන් භාෂාමය අයිතිවාසිකම් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලද රටවලිනි. 

කෙසේ වෙතත්, භාෂාමය අයිතිවාසිකම් දේශපාලනයේ සහ ජාත්‍යන්තර සම්මුතීන්හි නිල තත්ත්වය ලබා ගත්තේ 19 ශත වර්ෂයේදීය. උදාහරණ - ලෝසාන් ගිවිසුම. (The Treaty of Lausanne 1922-23) වියානා කොන්ග්‍රසයේ අවසන් පනත. (The Congress of Vienna (1814-1815) එමෙන්ම සමහර ජාතික ව්‍යවස්ථාවන් සුළු ජාතීන්ගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කර ඇත. උදාහරණ - 1867 ඔස්ට්‍රියානු ව්‍යවස්ථාමය නීතිය. (The December Constitution) එමගින් ජනවාර්ගික සුළුතරයන්ට ඔවුන්ගේ ජාතිකත්වය සහ භාෂාව සංවර්ධනය කිරීමේ අයිතිය ලබා දී ඇත.

පළමු වන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය අතර ජාතීන්ගේ සංගමයේ අනුග්‍රහය යටතේ, සාම ගිවිසුම් සහ ප්‍රධාන බහු පාර්ශ්වික සහ ජාත්‍යන්තර සම්මුතීන්වල මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ සුළු ජාතීන් ආරක්ෂා කරන වගන්ති ඇතුළත් විය. උදාහරණ - ඕනෑම භාෂාවක් පුද්ගලිකව භාවිතා කිරීමේ අයිතිය සහ ප්‍රාථමික පාසල්වල ස්වකීය භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීමේ විධිවිධානයන් ඇතුළත් වීම. ඒ අනුව බොහෝ ජාතික ව්‍යවස්ථා මෙම ප්‍රවණතාවය අනුගමනය කර ඇත.

1948 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ දී භාෂාමය අයිතිවාසිකම් ජාත්‍යන්තර මානව අයිතිවාසිකමක් ලෙස ඇතුළත් කරන ලදී. 1945-1970 මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර නීති සම්පාදනය කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ යටිතල පහසුකම් යටතේය. ඒ ප්‍රධාන වශයෙන් ස්වයං නිර්ණය සඳහා පීඩිත කණ්ඩායම්වලට පුද්ගල අයිතිවාසිකම් සහ සාමූහික අයිතිවාසිකම් ලබා දීම සඳහාය.

1970 දශකයේ මුල් භාගයේ සිට සුළු ජාතීන්ගේ භාෂා අයිතිවාසිකම් ඇතුළු සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව උනන්දුවක් ඇති විය. ජාතික හෝ ජන වාර්ගික, ආගමික සහ භාෂාමය වශයෙන් සුළු ජාතීන්ට අයත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය ඊට උදාහරණයකි.(Declaration on the Rights of Persons Belonging to National or Ethnic, Religious and Linguistic Minorities.)

විධිමත් ගිවිසුම් මත පදනම් වූ භාෂා අයිතිවාසිකම් බොහෝ දුරට සුළුතර අයිතිවාසිකම් කෙරෙහි සැලකිලිමත් වේ. එවැනි භාෂා අයිතිවාසිකම්වල ඉතිහාසය අදියර පහකට බෙදිය හැකිය. භාෂාමය අයිතිවාසිකම් යනු පුද්ගලික හෝ පොදු වාතාවරණයක් මත සන්නිවේදනය සඳහා භාෂාව හෝ භාෂාවන් තෝරා ගැනීමේ පුද්ගල සහ සාමූහික අයිතිය පිළිබඳ මානව සහ සිවිල් අයිතිවාසිකම්ය. භාෂාමය අයිතිවාසිකම් අතර නෛතික, පරිපාලන සහ අධිකරණ ක්‍රියා ද, භාෂා අධ්‍යාපනය සහ මාධ්‍යය අතර සිය භාෂාවට ඇති අයිතිය පිළිබඳව ද අර්ථ දක්වා ඇත.

ජාත්‍යන්තර නීතියේ භාෂාමය අයිතිවාසිකම් සාමාන්‍යයෙන් ගනුදෙනු කරනු ලබන්නේ සංස්කෘතික සහ අධ්‍යාපන අයිතිවාසිකම් පිළිබඳ පුළුල් රාමුවක් ඇතුළතය. භාෂාමය අයිතිවාසිකම් සඳහා වන වැදගත් ලියකියවිලි අතර,

(01) භාෂාමය අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය.( Universal Declaration of Linguistic Rights 1996)

(02) කලාපීය හෝ සුළුතර භාෂා සඳහා වූ යුරෝපීය ප්‍රඥප්තිය. ( European Charter for Regional or Minority Languages 1992)

(03) ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය. (Convention on the Rights of the Child 1989) 

(04) ජාතික සුලු ජාතීන් ආරක්ෂා කිරීමේ රාමු සම්මුතිය. ( "ජාතික සුලුතරය" යන්නෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් රටේ පුරවැසියන්ගෙන් සුළුතරයක් (රාජ්‍යයේ පුරවැසියන්) බහුතරයට වඩා වෙනස් වූ යම් ලක්ෂණ ඇති අයයි.) - (Framework Convention for the Protection of National Minorities-1988)

(05) අධ්‍යාපනයේ වෙනස්කම්වලට එරෙහි සම්මුතිය. (Convention against Discrimination in Education1960)

(06) සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. (International Covenant on Civil and Political Rights 1966)

භාෂාමය අයිතිවාසිකම් ආරක්ෂා කරන උපකරණ. ජාත්‍යන්තර උපකරණ වන්නේ, 2 වන වගන්තිය - මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. (Article 2, Universal Declaration of Human Rights) 27 වන වගන්තිය - සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. (Article 27, International Covenant on Civil and Political Rights) 17, 29, 30 සහ 40 යන වගන්ති - ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය. (Articles 17, 29, 30 and 40, Convention on the Rights of the Child) 13, 14 සහ 16 යන වගන්ති - ආදිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය.(Articles 13, 14 and 16, United Nations Declaration on the Rights of Indigenous Peoples) ජාතික හෝ ජනවාර්ගික, ආගමික සහ භාෂාමය සුළු ජාතීන්ට අයත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය. (UN Declaration on the Rights of Persons Belonging to National or Ethnic, Religious and Linguistic Minorities) සංස්කෘතික විවිධත්වය පිළිබඳ යුනෙස්කෝ විශ්ව ප්‍රකාශනය  (UNESCO Universal Declaration on Cultural Diversity) යන උපකරණයෝය.

න්‍යායාත්මකව භාෂා අයිතිවාසිකම් + මානව හිමිකම් = භාෂාමය මානව හිමිකම්. (Linguistic Human Rights හෙවත් LHR) භාෂා අයිතිවාසිකම් සහ භාෂාමය මානව හිමිකම් අතර වෙනස, වඩා පුළුල් පරාසයක් ආවරණය කරයි. මේ අනුව, සියලුම භාෂා අයිතිවාසිකම් LHR නොවේ, නමුත් සියලුම LHR භාෂා අයිතිවාසිකම් වේ.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ දී පුද්ගල භාෂාමය අයිතිවාසිකම් තහවුරු කර ඇත. ඒ මෙසේය, 2 වන වගන්තිය - භාෂාව මත පදනම්ව වෙනස්කම් කිරීමකින් තොරව ප්‍රකාශිත අයිතිවාසිකම් සඳහා සියලුම පුද්ගලයින්ට හිමිකම් ඇත. 10 වන වගන්තිය - පුද්ගලයන්ට සාධාරණ නඩු විභාගයකට හිමිකම් ඇති අතර, අපරාධ අධිකරණ කටයුතුවල දී හෝ සාපරාධී චෝදනාවකට භාවිතා කරන භාෂාව පුද්ගලයෙකුට නොතේරෙන්නේ නම් ඔහුට පරිවර්තකයෙකු ලබා ගැනීමේ ඇති අයිතිය සාමාන්‍යයෙන් පිළිගැනේ. අධිකරණ ලියකියවිලි ද ඇතුළුව නඩු විභාගය පරිවර්ථනය කිරීමට පුද්ගලයාට අයිතියක් ඇත. 19 වන වගන්තිය - අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යය ලෙස ඕනෑම භාෂාවක් තෝරා ගැනීමේ අයිතිය ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පුද්ගලයන්ට ඇත. 26 වන වගන්තිය - ඉගැන්වීමේ මාධ්‍යයේ භාෂාවට අදාළව සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇත.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයයේ (Universal Declaration of Human Rights ) 22 වන වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි භාෂා අනන්‍යතාවය  මානව අයිතිවාසිකමක් වන අතර එහි සඳහන් වන්නේ (ඔහුගේ / ඇයගේ) ගෞරවය සහ නිදහස් සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සඳහා සියලු පුද්ගලයින්ට හිමිකම් ඇති බවයි. 

අද්‍යතනව ගෝලීයව දෙමළ භාෂාව භාෂණය කරන ජනයා මිලියන 78 කි. ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ දී දෙමළ භාෂාවට නිල තත්ත්වය ලැබි ඇත. 2012 සංගණනයට අනුව ජන ගහනයෙන් 11.2% ක් වූ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයින් 2,270,924 ක් වේ. ශ්‍රී ලාංකික දෙමළ ජනයා උතුරු පළාතේ ජන ගහනයෙන් අති බහුතරයක් වන අතර නැගෙනහිර පළාතේ විශාලතම ජන වාර්ගික කණ්ඩායම ද වේ.

දෙමළ කතා කරන ශ්‍රී ලාංකිකයන්ගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික උත්සාහයන් වැඩි දියුණු කිරීම රටේ දිගු කාලීන සාමය සහ සංහිඳියාව සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කළ හැකි බව උක්ත විස්තර අනුව පැහැදිලි විය යුතුය. "භාෂා සමානාත්මතාවය ගොඬනැගිම ශ්‍රී ලංකාවේ සංහිඳියා ප්‍රයත්නයන්ට ඇති ලොකුම අභියෝගයකි. එක් ජාතික භාෂාවක් වුව ද, දෙමළ භාෂාවේ අදාළතාවය බොහෝ දුරට දෙමළ කතා කරන ජනතාව බහුතරයක් සිටින ප්‍රදේශවලට පමණක් සීමා වී තිබේ" යැයි හඳුනා ගැනිම තරමක් දුරට නිවැරදිය.

රටේ මිලියන 21,473,268 ක ජන ගහනයෙන් 11.2%ක් ද්‍රවිඩයන් ද,  9.7% ක් මුස්ලිම්වරුන් ද, 74.9%ක් සිංහලයන් ද වන බව රජයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. දෙමළ භාෂාව ජාතික භාෂා දෙකෙන් එකක් ලෙස ව්‍යවස්ථානුකූලව පිළි ගෙන ඇති අතර ජන ගහනයෙන් පහෙන් එකකගේ මව් භාෂාව වන අතර එම භාෂාව ප්‍රධාන වශයෙන් දෙමළ සහ මුස්ලිම් ජාතිකයින් භාෂණය කරයි.

භාෂාව, පශ්චාත් යුධ ශ්‍රී ලංකාව එක්සත් කිරීමේ කදිම මෙවලමක් බව සැබැවින්මැ සත්‍යයකි. භාෂා අයිතිවාසිකම අනන්‍යතාවයේ අනිවාර්ය අංගයකි. මෙම අයිතිය නීත්‍යානුකූලව ආරක්ෂා කිරීම ප්‍රමාණවත් නොවේ. ක්‍රියාත්මක කිරීම යුගයේ තීරණාත්මක ජාතික අවශ්‍යතාවයකි.

ජන වාර්ගික අරගලයේ ප්‍රධාන හේතු සොයා බැලීම සඳහා පිහිටුවා ඇති පශ්චාත් යුධ සමයේ රජය විසින් පත් කරන ලද කොමිසමක් වන 2011 උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම නව ආරම්භක ලක්ෂ්‍යයක් විය හැකි බව විශ්වාස කළ ද අපේක්ෂිත ඉලක්කය ස්පර්ශ වී හෝ නොමැති බව ස්ථිරව දර්ශනය වේ.

විවිධ ප්‍රජාවන් අතර භාෂාමය සහ සංස්කෘතික බැඳීම් පිළිබඳ වැඩි දැනුමක් ඇති කිරීම වඩා හොඳ ප්‍රතිසන්ධානයක් ඇති කිරීම සඳහා ඵලදායී මෙවලමක් වනු ඇති බව LLRC වාර්තාව සඳහන් කළ අතර ඊට ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස යෝජනා කර ඇති මුත් අවශ්‍යය තත්ත්වයට ඒ කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බව කිව යුතුය.

ඒ මක්නිසාද යත්..! උතුරු පළාතේ පාසල් 1,023 කි. දෙමල භාෂා පාසල් 960 කි. දෙමළ-ඉංග්‍රිසී පාසල් 23 කි. සිංහල භාෂා පාසල් 30 කි. එනමුත් අද්‍යතන ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර දෙපළාතේ පාසල් පද්ධතියේ සිංහල භාෂාව ඉගැන්විම සිදු වනුයේ අවශ්‍යය තාවයට ගැළපෙන තත්ත්වයෙන් නොවන බව සංඛ්‍යා ලේඛණ අනුව පැහැදිලිය. සැබැවින්ම උතුරු-නැගෙනහිර දෙපළාතේ වැඩිමනත් පාසල්වල සිංහල භාෂාව උගැන්මට පහසුකම් නොමැති වීම ජාතික අර්බුදයකි.

උක්ත තත්ත්වයට සාපේක්ෂව දකුණේ පාසල් පද්ධතියේ දෙමළ භාෂාව සඳහා ඇති පහසුකම් තරමක් හෝ යහපත්‍ ය. මානව සංහතියේ විශිෂ්ඨතම සන්නිවේදන උපකරණය භාෂාවය යන්න අවිවාදිතය. ඒ අනුව සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව යන ත්‍රෛභාෂාත්මක ජන සමාජයක් ගොඬනැඟිම අප හමුවේ ඇති තීරණාත්මකම අභියෝගයයි.

ශාස්ත්‍රීය දේශපාලනයේ සුවදායක විසල් කුණාටුවක් වනු ඇත්තේ ඓතිහාසික වටිනාකම් රාශියක් සතු සිංහලයෝ අනෙකාගේ ජීවිතවලට සිංහල භාෂාවේ ආලෝකය ද ඓතිහාසික වටිනාකම් රාශියක් සතු දෙමළ භාෂාවේ ආලෝකය සිංහල ජන සමාජය සිසාරා අභ්‍යාස කිරිමට ද කටයුතු කිරිමෙනි. ඒ මක්නිසාද යත් සංස්කෘතිය සහ භාෂාව යනු  සමාජ විශ්වසනීයත්වයයේ ප්‍රධානතම යතුරු වන හෙයිනි.

 


 

Advertiesment