සෑම වසරකම මාර්තු මස 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ලොවේ බොහෝ රටවල් සැදී පැහැදී සිටී. ලෝකයේ වෙසෙන සියලු කාන්තාවන්ගේ අභිමානය, උදාරභාවය, ගෞරවය, වටිනාකම වඩ වඩාත් ඔප් නංවන මෙම ජගත් සැමරුම සිදු කිරීමට මූලාරම්භය සිදු වනුයේ මීට වසර 163කට පෙරදීය.
ඇමරිකාවේ නිව්යෝක් නුවර පවත්වා ගෙන ගිය ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් එහි පාලකයන්ගෙන් ඉල්ලා සිටියේ එහි සේවය කරන පිරිමි සේවකයන්ට ලබා දෙන වැටුපට සමාන වැටුපටක් කාන්තා සේවිකාවන්ට ලබා දෙන ලෙසය. නමුත් එම ඉල්ලීමට පාලකයන්ගේ අවධානය යොමු නොවුණි. ඔවුන්ගේ මෙම ඉල්ලීම පාලකයන් අඩු තරමේ සාකච්ඡාවකටද බඳුන් නොකළේය. මේ තත්ත්වය හමුවේ සේවිකාවන් සාකච්ඡා කර තීරණය කළේ එක් දින වැඩ වර්ජනයක යෙදීමටය. ඒ අනුව 1857 වසරේ මාර්තු මස 08 වන දා ඔවුන් පාලකයන්ට එරෙහිව ප්‍රථම වැඩ වර්ජනය සිදු කළේ අද වන් දිනකය.
අද ලොවටම මානව හිමිකම් ගැන උපදෙස් දෙන ඇමරිකාව ආදී රටවල් අතීතයේදී ඔවුන්ගේ රටවල කාන්තාවන්ගේ සේවය ලබාගත්තේ ඔවුන් ඉතාමත් අමිහිරි වේදනාවන්ට ලක් කරමිනි. ඔවුන් වැඩ කළ යුතු කාලය පැය 16 ක් පමණ විය. පිරිමි සේවකයෙකුට ගෙවන වැටුප ලැබීමට කාන්තාව නුසුදුසු විය. අදත් ඇමරිකාවේ කාන්තාවන්ට එරට ජනාධිපති අපේක්ෂක ධූරය ලබා ගැනීම පහසු ක්‍රියාවක් නොවන අතර, මෙතෙක් කිසිම කාන්තාවකට ඇමරිකාවේ ජනපති පදවිය හිමි වී නොමැති නමුත් ලෝකයේ පළමු වරට කාන්තා දිනයක් සමරා ඇති රට ඇමරිකාවය.
එම සැමරුම සිදුව ඇත්තේ වර්ෂ 1908 පෙබරවාරි 28 වනදාය. ඇමරිකාවේ දේශපාලන පක්ෂයක් වූ ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් මෙම සැමරුම එරට නිව්යෝක් නුවරදී පැවැත් වූ බව වාර්තා වේ. ඊට වසර 9කට පසු 1917 මාර්තු මස 08 වන දින රුසියාවේ කාන්තාවන් පළමු ලෝක යුද්ධයෙන් ඇති වූ දුප්පත්කම සහ අග හිඟ කම් නිසා පැවති ආහාර අහේනිය මත තම තමන්ට ආහාර ලබා දෙන ලෙසත්, රටට සාමය උදා කර දෙන ලෙසත් ඉල්ලා සිදු කළ උද්ඝෝෂණය සහ වැඩ වර්ජනය කාන්තා විමුක්ති අරගලයක් විය. එමෙන්ම ජර්මන් ජාතික කාන්තාවන් වූ ක්ලේරා සෙට්කින් නැමැති සුදු ජාතික කාන්තාව විසින් කාන්තාවන් වෙනුවෙන් අන්තර් ජාතික දිනයක් අවශ්‍ය බව ප්‍රකාශ කළාය.
ඒ අනුව 1945 දෙසැම්බර් මස 01 දින පැවැත් වූ ජගත් කාන්තා සුමුළුව මෙම කාන්තා දිනය ලබා ගැනීමට එක් හේතුවක් විය. මෙලෙස විටින් විට ලෝකයේ විවිධ රටවල කාන්තාවන් සිය විමුක්තිය උදෙසා සිදු කළ විවිධ සටන් සහ වැඩ වර්ජන ආදියෙහි ප්‍රතිඵළයක් ලෙස 1977 වසරේ සිට මාර්තු 08 වන දින ලෝක කාන්තා දිනය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තේය.
ලෝකයේ පළමු වතාවට කාන්තාවක් රාජප්‍රාප්තියට පත් වූයේ ශ්‍රී ලංකාවෙනි. ඇය අනුලා දේවියයි. මේ වන විට ලෝකයේ බොහෝ රටවල කාන්තාවන්ට වඩා ශ්‍රී ලාංකික කාන්තාවන් සිටියේ බොහෝ ඉදිරියෙන්ය. ඒ වසර 2500 කට එහා ගිය ඉතිහාසයක් ඇති සිදුවීම් පෙළකි. ලෝකයේ පළමු වතාවට කාන්තාවක් රාජ්‍යප්‍රාප්තියට පත් වූයේ ශ්‍රී ලංකාද්වීපයෙනි. අනුරාධපුර යුගයේ විසූ අනුලා දේවිය ඒ රජ පදවියට පත් වනිතාව වේ. ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එකල තිබූ නිදහස සහ ආරක්ෂාව විදහා පාන කියමනක් අප රටේ ඇත. නව රුවනින් සැරසුණු වනිතාවකට වටිනා මාණික්‍යයක් දෑතෙහි තබා ගෙන තනිපංගලමේ වුව දෙවුන්දුර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පයින් ගමන් කළ හැකි බව එම කියමනය. බුදු පියා හැරුණු විට ගෙයින් ගෙට සිටින බුදු රුවන ලෙස මවට හිමි වූ තැන ලෝකයේ වෙනත් රටවලදී මව්වරුන්ට එසේ හිමි වූයේ නැත. නිවස ඇතුළත ගොඩනැගුණු සමාජය බොහෝ විට මාතෘ මූලික වූ අයුරු පෙනී යයි. මේ අනුව බටහිර රටවලට වඩා අප රටේ කාන්තාවන්ට විශේෂ ගරු සැළකිලි ලැබුණු බව වටාහා ගැනීම අපහසු නැත.
1930 වසරේ මෙරටට සර්ව ජන ඡන්ද බලය හිමි වන විට කාන්තාවන්ටද එම අයිතිය හිමි විය. 1978 දී මෙරට සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කාන්තාවන්ගේ අයිතීන් තහවුරු කර ඇත්තේ මේ අයුරිනි.
12:1 වගන්තිය - සියලු පුද්ගලයෝ නීතිය ඉදිරියේ සමානය. නීතියේ සමාන ආරක්ෂාව ලැබීමට හිමිය.
12:2 වගන්තිය - කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී-පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි දෙයක් මත වෙනස් ලෙස සැළකිය යුතු නොවේ.
12:4 වගන්තිය - නීතිය මගින් සැලසෙන විධිවිධාන උප ව්‍යවස්ථාව හෝ කාන්තාවන්ගේ ළමයින්ගේ ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රගමනය සඳහා උප ව්‍යවස්ථාව හෝ විධායක ක්‍රියාමාර්ග මෙම වගන්තියේ කිසිවක් මගින් නොවැළක්විය යුතුය.
1975 සිට 1985 දක්වා තිබූ දශකය ජාත්‍යන්තර කාන්තා දශකය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය එම වසරේ ඇමරිකාවේ මෙක්සිකෝවේ පැවැත් වූ ජාත්‍යන්තර කාන්තා සම්මේලනයේදී සම්මත කර ගෙන තිබුණි. ඒ අනුව එම දශකයේ අප රටේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට කාන්තාවන්ට හිමි වූ ගෞරවය සහ නීතිමය තත්ත්වය සමව අදද නොනැසී පවතින බව නොරහසකි. ලෝකයේ මානව ආයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදා ඇත.
(01) මානව අයිතිවාසිකම්.
(02 ) මූලික අයිතිවාසිකම්.
(03) කාන්තා අයිතිවාසිකම්.
(04) ළමා අයිතිවාසිකම් යන ඒවාය.
ජේ.ආර්.ජයවර්ධන මහතාගේ රජය මගින් කාන්තා අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළි ගෙන සම්මත කළ අතර කාන්තාවන් පිළිබඳ ඉදිරිපත් වූ ජාත්‍යන්තර සම්මුතිද පිළි ගත්තේය. ඒ අනුව 1980 ජූලි 11 වන දින ශ්‍රී ලංකා රජය පිළි ගත් ජාත්‍යන්තර සම්මුති දෙකක් වනුයේ,
(01) සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය.
(02) ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය.
ඊට පසුව ඉදිරිපත් වූ කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීමේ සම්මුතියටද ශ්‍රී ලංකාව අත්සන් තබා,1981 ඔක්තෝබර් 05 වන දා සිට ශ්‍රී ලංකාවේ බලාත්මක කර ඇත. ඊට වසරකට පසු 1982 දී ඉදිරිපත් වූ සියලුම ආකාරයේ වාර්ගික වශයෙන් වෙනස් කොට සැළකීම පිටු දැකීමේ ජාත්‍යන්තර සම්මුතියටද ශ්‍රී ලංකාව අත්සන් තබා පිළිගන්නා ලදී. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය මගින් සිදු කළ කාන්තා සුබ සාධන ක්‍රියාවලියේදී එක් පියවරක් වූයේ වනිතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයක් බිහි වීමය. 1993 දී රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධූර කාලයේදී, එනම් 1993 ශ්‍රී ලංකා රජය කාන්තා ප්‍රඥප්තියක් සකස් කර සම්මත කර ගෙන කාන්තාවට ලබා දුන් සහන රැසකි. ඒවා අතර,
(01) පරිපාලන සේවයේ 20%ක් වූ කාන්තා නියෝජනය එම තත්ත්වයෙන් මුදා හැර සුදුසු අයුරින් පත් කර ගැනීමට ඉඩ කඩ ලබා දීම.
(02) ප්‍රසූත නිවාඩුවට හිමි වූ දින ගණන 42 සිට 85 ක් දක්වා දීර්ඝ කිරීම.
(03) රාත්‍රී වැඩ මුරයේ යෙදෙන කාන්තාවන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීමට සැලසීම.
(04) කාන්තාවන්ට පුරුෂයන් හා සමානව වැටුප් ගෙවීමට සැලසීම ආදී සහන රාශියක් ලබා දුන්නේය.
2016 රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය මගින් ගෙන එන ලද පළාත් පාලන මැතිවරණ ඡන්ද ක්‍රමය යටතේ කාන්තා නියෝජනය සෑම දේශපාලන පක්ෂයකින්ම 25%ක් ලෙස සම්මත කරන ලදී. මෙම කරුණු එම රජයන් මගින් කාන්තාවට ලබා දුන් විශේෂ වරප්‍රසාද ලෙස සඳහන් කළ හැක. මේ යටතේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ වැඩි අවධානයක් පසුගිය කාල වකවානුවලදී දක්වා ඇත.
ලොවේ ප්‍රථම අගමැතිණිය බිහි වූයේ ශ්‍රී ලංකාවෙන්ය. ලොව ප්‍රථම ජනාධිපතිනිය බිහි වූයේ ආජන්ටිනාවෙන්ය. 1956 වසරේ සිට මෙරට කාන්තා දේශපාලනයේ ඇමතිවරියන් බිහි වීම ආරම්භ විය. 1947 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා මැතිවරණයේදී පිරිමි අපේක්ෂකයන් 358 ක් තරඟ කළ අතර, ස්ත්‍රී අපේක්ෂිකාවන් තරඟ කළේ තිදෙනෙකි. ඒ අතරින් එක් අයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්විය. දෙවන මහා මැතිවරණයට 1952 දී කාන්තා අපේක්ෂිකාවන් 9 දෙනෙකු තරඟ කර ඇති නමුත් මැති සබයට පත් වූයේ දෙදෙනෙකි. 1956 වසරේදී පැවැති තෙවන මහා මැතිවරණයට පුරුෂ අපේක්ෂකයන් 244 ක් තරඟ කළ අතර, කාන්තා අපේක්ෂිකාවන් 5 දෙනෙකු තරඟ වැදුණි. ඒ අයගෙන් සිව් දෙනෙකු මැති සබයට පත් විය. 1960 මාර්තු පැවැති සිව්වන මහා මැතිවරණය සුවිශේෂී මැතිවරණයක් වූයේ එහි අපේක්ෂකයන් 16 දෙනෙකුගෙන් 13 දෙනෙකුම මන්ත්‍රීවරයන් ලෙස පත්වීමයි. 1977 දී පැවති මහා මැතිවරණයට ඉදිරිපත් වූ කාන්තා අපේක්ෂිකාවන් ප්‍රමාණය 14 ක් වූ අතර, එම 14 දෙනාම මන්ත්‍රීවරියන් වශයෙන් තේරී පත්වීම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ වාර්ථාවක් විය.
මේ අනුව පසුගිය 2015 වසර දක්වා මැති සබය නියෝජනය කළ මන්ත්‍රීවරියන් ප්‍රමාණය 65 කි. 1931 නොවැම්බර් 14 වන දින පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා අතුරු මැතිවරණයෙන් රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාශය ජය ගෙන පැමිණි ඇඩ්ලින් මෝලමුරේ කුමාරිහාමි මැතිසබයේ ප්‍රථම මන්ත්‍රීවරිය විය. ඊට වසරකට පසු එනම්, 1932 නොවැම්බර් 12 වන දින පැවති අතුරු මැතිවරණයෙන් උතුරු කොළඹ ජය ගත් නේසන් සරවණමුත්තු මහත්මිය දෙවන මන්ත්‍රීවරිය විය. 1946 මහා මැතිවරණයේදී කිරිඇල්ල ආසනය දිනා ෆ්ලෝරන්ස් සේනානායක මහත්මිය ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විය.
නමුත් පළාත් සභා ඉතිහාසයේ මෙවැනි කාන්තා නියෝජනයක් දකින්නට නොලැබුණි. 2018 පළාත් පාලන මැතිවරණ ක්‍රමය යටතේ සෑම පළාත් පාලන ප්‍රාදේශීය සභාවකටම කාන්තා නියෝජනය 25%ක් ලෙස පත් කරන නීති ප්‍රතිපාදන ඇතුළත් කරමින් හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්තේ ඓතිහාසික තීරණයකි. මේ නිසා ජාතික ලැයිස්තු නියෝජනය මගින් විශාල ප්‍රමාණයක් පත් වූයේ කාන්තා නියෝජිතවරියන් වීම විශේෂ කරුණකි.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ලැබී ඇති දේශපාලන සහ පරිපාලන තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. ඒ අනුව ජනාධිපතිවරියක්, අගමැතිණියක්, ඇමතිවරියන්, මන්ත්‍රීවරියන්, මහ ඇමතිනියන්, ආණ්ඩුකාරවරියන් අප රටේ දේශපාලන ක්ෂේත්‍රයෙන් බිහි වී ඇත. පරිපාලන මට්ටමින් ගත් කළ අග විනිසුරුවරියක්, විනිශ්චයකාරවරියන්, අමාත්‍යංශ ලේකම් වරියන්, දිසාපතිනියන්, විවිධ ආයතන ප්‍රධාන නියෝජිතවරියන්, ප්‍රාදේශීය ලේකම්වරියන්, විදුහල්පතිනියන් ආදී වශයෙන්ද නියෝජ්‍ය පොලිස්පතිනියන්ද වර්ථමානයේ මෙරට බිහි වී ඇත.
ඉහළ තලයේ එසේ නියෝජනය කළද සමස්තයක් ලෙස අප රටේ කාන්තාවන්ට සිදු වන ආසාධාරණයන්ද රාශියකි. ඒවා අතර ස්ත්‍රී දූෂණය, ලිංගික හිංසනය, බිරිඳට පහර දිම, අපචාරය, කාන්තාවන්ට එරෙහිව අසැබි දර්ශන, විකෘති කාම ක්‍රියා, අසැබි දර්ශන බලෙන් පෙන්විම, ස්ත්‍රී ජාවාරම, (කුට්ටනය කිරීම) වාචික තර්ජන, බලෙන් ගණිකා වෘත්තියේ යෙදවීම, ලිංගික අල්ලස් ඉල්ලීම, රැවටීම, සේවා අයිතිවාසිකම් නොදී සේවා ස්ථානවල රැකියාවේ යෙදවීම, මහලු වූ පසු දරුවන් විසින් නොසළකා හැරීම, දේපොළ ආදිය රවටා ලබා ගැනීම, බිය කිරීම් සහ තර්ජනය කිරීම් ආදියෙන් අනිසි දේ ලබා ගැනීම ආදීය වේ. මෙම තත්ත්වයන්ගෙන් කාන්තාව බේරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. මේ සියල්ලම නීතියෙන් පමණක් සිදු කිරීම අපහසුය. ඒ සඳහා සාධාරණ සමාජයක් රටේ ගොඩනැගීම අත්‍යවශ්‍යය. එසේ වනතුරු රටේ කාන්තාවන්ට අපේක්ෂිත නිදහස හෝ සාධාරණය හිමි නොවනු ඇත. එසේ සාධාරණ සමාජයක් බිහි වූ කළ මෙරට හැම දිනයක්ම කාන්තාවන්ට කාන්තා දිනයක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.
Lanka Newsweek © 2024